UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

යොවුන් වියේදී දහමට යොමු වෙමු

ජීවිතයේ සුන්දර වූ සමය තරුණ අවධිය යි. මෙම අවධිය චිත්ත ආවේගයන්ගෙන් සමන්විත නොසන්සුන් වයසක් ලෙස සමාජය හඳුන්වති. මෙසමයෙහි තරුණ තරුණියන් සිත් ඇද බැඳගන්නා දේවලට නිරායාශයෙන් ඇදී යති. තරුණ වයස ශාරීරික වශයෙන් මෙන්ම මානසික වශයෙන් ද විවිධ වෙනස්කම් වලට ලක්වන අතර නවමු සිතුම් පැතුම් පිබිදී, නව අත්දැකීම් ලැබීමට පෙළඹෙන්නේ එම අවධියේ ය.

ඇතැම් තරුණ තරුණියන් තම සිත් ගන්නා අරමුණු වලට පහසුවෙන් ඇදී යති. මේ නිසා බොහෝවිට නිවැරදි මාවතින් බැහැරව යාමෙන් ඇතැම් ජීවිත අකාලයේ විනාශ කර ගනිති. ඔවුන් නිසි මගට ගත හැකි එකම ක්‍රමය නම් තිලෝගුරු බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද සදහම් මාවතෙහි ගමන් කරවීමයි. විනෝදකාමී, සරාගී ජීවිත ගත කළ ‘ භද්දවග්ගිය’ කුමාරවරුනට බුදු රදුන් දේශනා කළේ අනුන් ගැන සෙවීම පසෙකලා තම තමන්ගේ විමුක්තිය උදෙසා කටයුතු කරන ලෙසයි. ආත්මාර්ථ කාමිත්ව වැදගත් බවත්, පරාර්ථ කාමිත්වය නොසළකා හැරිය යුතු බවත් මෙයින් අදහස් නොකරයි. ‘ අත්තාහි අත්ථනෝ නාථෝ’ තමාට පිහිට වන්නේ තමන්ම බව බුදු රජාණන් වහන්සේ දේශනා කර ඇත. ඒ අනුව කටයුතු කළ භද්දවග්ගිය කුමාරවරු සදාකාලික විමුක්තිය උදා කර ගැනීමට උත්සුක වූහ.

තරුණ තරුණියන්ගේ රූප සෝභාව මෙන්ම, තාරුණ්‍යය ද ආරක්ෂා කර ගැනීම තම පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය දෙයකි. නිරෝගිකම උසස්ම ලාභයක් බව ‘ආරෝග්‍යමිච්ඡේ පරමංච ලාභං ..’ යනුවෙන් බුදු පියාණන් වහන්සේ දේශනා කළහ. එසේනම් තම ශරීරය පිළිබඳ තමන්ම අවධානය යොමු කිරීම ඉතා වැදගත් ය. සෞඛ්‍යය පිරිහීමේ ආදීනව විඳවන්නේ තමන් විසින්ම බව තරුණ තරුණියන් අමතක නොකළ යුතු ය. නිසි වයසට වඩා වැඩි මහළු පෙනුමක් ලබා ගැනීමට තරුණ තරුණියෝ අකැමැති වෙති.

ලේඛන කලාව, චිත්‍ර කලාව, ක්‍රීඩා කටයුතු, සංගීතය වැනි විනෝදාංශ මෙන්ම, සමාජ සේවා කටයුතුවලට නිතර සිත් යොමු කරන විට විවිධ හැඟීම් නිසි ලෙස පාලනය කර ගැනීමට හැකි වෙයි. පාසල් අවධියේ සිට තරුණ තරුණියන් එවැනි යහපත් බාහිර ක්‍රියාවන් කෙරෙහි උනන්දුවක් දක්වන්නේ නම් විවිධ අයහපත් ආවේග නිසා ඔවුනට සිදුවන අතවර, විපත් වළක්වා ගත හැකි අතර, තරුණ ජීවිත නොමගට යාමෙන් ද වළක්වා ගත හැකිය. එබැවින් සමාජය පිළිගත් හැසිරීම් රටා අනුවත්, පිළිගත් සාර ධර්ම අනුවත් තම තමන්ගේ චින්තනය හැඩ ගස්වා ගැනීම සුදුසු වෙයි. ආවේගයන් හිතට ප්‍රබලව දැනුනොත්, එම පුද්ගලයාගේ හැසිරීම් රටාවේ පූර්ණ වෙනසක් ඇති වෙයි. මේ නිසා දැනෙන අසහනය මෙන්ම චිත්ත ආවේග නිසා සිත පාලනය කර ගැනීමට අපහසු වෙයි. එයින් සිත එකඟ කරගෙන කිසිදු කාර්යයක් කිරීම අපහසු වෙයි. එපමණක් නොව, හෙතෙම විවිධ අපචාර වලට යොමු වෙයි. සිතෙහි ඇතිවන අසහනකාරී තත්ත්වය දුරු කර ගනු පිණිස විවිධ අනියම් කටයුතු කිරීමට ද පෙළඹෙයි. එම හේතුව නිසාම තම දිවිය අඳුරු මාවතට යොමු කර ගනියි. එබැවින් අහිතකර සිතිවිලි වළක්වා ගැනීමට කිසියම් බාහිර ක්‍රියාවන්ට හිත යොමු කළ යුතුය.

කරුණු මෙසේ හෙයින් පළමුකොටම කළ යුත්තේ ශරීර සෞඛ්‍යයට මෙන්ම ශරීරයෙහි රූප සෝභාවට හානි කරන බාහිර වැරදි ක්‍රියාකාර කම් වලින් ඉවත් වීමයි. දුම් පානය ශරීර සෞඛ්‍යයට අහිතකර වන්නට පුළුවන. යනුවෙන් දුම්වැටි පැකැට්ටුවෙහි සඳහන් කර ඇත්තේ අවිනිශ්චිත කියමනක් ලෙස ය. එහෙත් දුම් පානය නියත වශයෙන්ම ශරීරයට අහිතකරය. වර්තමානයේ දුම් පානය කිරීමෙන් පෙනහලු පිලිකා වැළඳීම නිසා දිනපතා මිය යන සංඛ්‍යාව අති විශාලය. දුම් පානය කරන්නාට මෙන්ම අසළ සිටින අයට ද එය තද බල ලෙස බලපානු ලබයි. දුම් පානය කරන පුද්ගලයා ළඟින් හමන දුර්ගන්ධය ඉවසීම ද අපහසුය. මේ නිසා බොහෝ විට දුම් පානය කරන පුද්ගලයන් සමාජයේ පිළිකුලට ලක්වන අයුරු දැකිය හැක.

මත් වතුර, මත් ද්‍රව්‍ය ශරීර සෞඛ්‍යයට මෙන්ම, සමාජයේ නින්දා අපහාස වලට මෙන්ම, අප්‍රසාදයට ගොදුරු වන කරුණකි. බීමත් පුද්ගලයාට තමන් කරන කියන දෙය පිළිබඳ තමන්ටම වැටහීමක් නැත. ඒ නිසා හැසිරීම් තුළින් සමාජයේ නින්දා අපහාසයන්ට ගොදුරු වෙයි. මත්වන දේවලට පුරුදු වුවහොත් ඒවා නොමැතිව එදිනෙදා කටයුතු කිරීමට අපහසු වනවා පමණක් නොව, ශරීර ශක්තිය, ධෛර්යය, ආත්ම විශ්වාසය යන පුද්ගලයකු සතු උදාරත්වය මත් වතුර, මත් ද්‍රව්‍ය විසින් උදුරා ගනු ලබයි. දුම් පානය, මත්වන සියලු දේවල් ජීවිතයකට අත්‍යවශ්‍ය සාධක නොවේ. එබැවින් පළමු කොටම එවැනි දේවලින් වැළකිය යුතු ය. මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ තරුණ ජීවිත දෙස බලන විට ඇති වන්නේ කනගාටුවකි. ඔවුන් තමන්ට කර ගන්නා හානියත්, තම දෙමාපියන් ඇතුළු පවුලටත්, සමාජයටත් කරනු ලබන හානිය පිළිබඳ දිනපතා ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයන් ඔස්සේ කරුණු අසන්නට දකින්ට ලැබේ.

අනෙක් ප්‍රධාන කරුණ නම් අප දිනපතා ගන්නා ආහාර වේලයි. බොහෝ තරුණ තරුණියන්ට එදිනෙදා ගත යුතු ආහාර රටාව පිළිබඳ අල්පමාත්‍ර අවබෝධයක් නැති බව පෙනෙයි. බොහෝ විට ඔබ ප්‍රිය කරන්නේ මිලෙන් වැඩි, අලංකාර දවටන වලින් යුතු මාධ්‍යයන් තුළින් ප්‍රසිද්ධ කරනු ලබන, රස සහ වර්ණකාරකයන්ගෙන් සමන්විත සීමිත ආහාර වර්ග කිහිපයක් පමණක් විය හැකි ය. එනමුත් ඔබ රුචි නොකරන බොහෝ ආහාර වර්ග සිරුරට අත්‍යවශ්‍ය විටමින්, පෝෂ්‍ය පදාර්ථවලින්, ප්‍රෝටීන වලින් බහුල පෝෂ්‍යදායී ආහාර විය හැකි ය. කාර්ය බහුලත්වය, අවිවේකී බව, අළස බව වැනි කරුණු නිසා බොහෝ දෙනෙක් වෙළඳපලේ තිබෙන සකස් කළ ආහාර මෙන්ම, ක්ෂණික ආහාර වර්ගවලට යොමු වීමේ ප්‍රවන තාවයක් දක්නට ලැබෙයි. එවැනි ආහාර අධික ලෙස ගැනීම නිසා වර්තමාන ළමා පරපුරත්, තරුණ පරපුරත් ශීඝ්‍රයෙන් අධික තරබාරුව, අධි රුධිර පීඩනය, දියවැඩියාව, අධික මේදය වැනි ආබාධ වලට ගොදුරු වෙමින් සිටීම ශෝචනීය තත්ත්වයකි.

ධාන්‍ය වර්ග, පළතුරු, අළුත් එලවළු පලා වර්ග ආහාරයට ගැනීමට බොහෝ තරුණ තරුණියන් මැළිකමක් දක්වති. ඔවුන් වැඩි රුචියක් දක්වන්නේ ආනයනය කරන විවිධ ආහාර වර්ග වලට බව පෙනෙයි. අපේ දේශීය පළතුරු වර්ග කොතරම් ගුණදායක ද? එහෙත් ඒවා සොයා ගැනීමට ද අද වන විට දුෂ්කරවී ඇත. බොහෝවිට මහත් රුචියෙන් මිළට ගන්නේ විදේශවලින් ආනයනය කරනලද කල් තබා ගැනීමට විවිධ රසායනික යෙදූ පළතුරු වර්ගය. අපේ තරුණ තරුණියෝ බෝතල් කරන ලද විවිධ පැණි බීම වර්ග මහත් අභිරුචියෙන් පානය කරති. ඒවා පානය කිරීම සමාජයේ කැපී පෙනෙන කරුණක් වශයෙන් සැළකීමට තරම් බොහෝ දෙනාගේ මානසිකත්වය පහත් තත්ත්වයට පත්ව ඇත. මිනිස් සිරුරට ගුණදායක අහිතකර නොවන දේශීය බීම වර්ග කොතෙක් ඇත්ද ? අපේ තැඹිලි ගෙඩියක රසය, ගුණය කොතෙක්ද ? ඒ කිසිවක් නැතත් පිරිසුදු ඇල් දිය බඳුනක් පානය කිරීමෙන් ශරීරයට යහපතක් මිස අයහපතක් ඇති නොවේ.

මස් මාළු වලට වඩා අපේ ගෙවත්තෙන් කඩාගත හැකි කොස් පොලොස් අල බතල පළා වර්ග වැනි ආහාර කොතරම් ගුණදායකද? විවිධ හෝමෝන වර්ග එන්නත් කර ඉක්මණට වර්ධනය කර සකස් කර වෙළඳපොළට එවන ඇතැම් මාංශ වර්ග අනුභව කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් අධික තරබාරුව, ඉක්මණින් වියපත් වීම වැනි තත්ත්වයන්ට ගොදුරු වනබව පෝෂණ විද්‍යාඥයන් පෙන්වා දෙති. අද බොහෝ තරුණ පිරිස් ශරීරයට ව්‍යායාමයක් ලැබෙන ක්‍රියාවක නිරත වීමට අකැමැත්තක් දක්වති. අති සුඛෝපබෝගී ජීවිත ගත කිරීමට උත්සාහ කරති. අඩු තරමින් ටික දුරක් හෝ පයින් ගමන් කිරීමට මැළි වෙති. සිරුරට වෙහෙසක් ලබා දීමට උනන්දු නොවෙති.

වර්තමාන ජීවිත මිල මුදල් සැප සම්පත් සොයමින් කරන උග්‍ර සටනක් වශයෙන් සැළකිය හැක. එහෙත් සªතට ලැබෙනවා වෙනුවට මෙම ජීවන රටාව ගෙන එන්නේ පීඩනයත් අසහනයත් බව දැකිය හැක. ලෞකික දේවලින් මිදී ලැබිය හැකි මානසික සතුට සහනය ගැන බලන විට භෞතික සැප සම්පත් නිෂ්ඵලවූත්, නිරර්ථක වූත් දේ බව පෙනෙයි. ගෘහ ජීවිතයක් හොඳින් ගත කිරීමට නම් ආර්ථිකය දියුණුවීම අත්‍යවශ්‍යය. කුසට ආහාර සිරුරට වස්ත්‍ර වාසය කිරීමට නිවෙස් නැතිව දුක් විඳිමින් සැපවත් ජීවිත ගතකළ නොහැකිය. දුප්පත්කම ජීවිත සතුටට බාධා ඇති කරයි.

බුදු දහමෙහි උගන්වන්නේ සතුට ලබා ගැනීම සඳහා ධාර්මික වූත්, අවිහිංසක වූත් ක්‍රියා මාර්ගයන් අනුගමනය කරන ලෙසයි. අනෙකුත් ප්‍රාණීන්ට වධ හිංසා කර හෝ ඝාතනය කර හෝ ලබන සතුටෙහි ඵලයක් නොමැත. බොහෝ දෙනා සිතන්නේ සතුට රැඳී ඇත්තේ ධනය, කීර්තිය, ප්‍රසංසාව වැනි කරුණු තුළ බවයි. ජීවිත කාලයම මහන්සිවී අවශ්‍ය ප්‍රමාණයට වඩා ධනය රැස් කරන බොහෝ පුද්ගලයන්ට එම ධනය සියල්ලම වැය කර අංශුමාත්‍රයක සතුටක් වුව ලබා ගත නොහැක. ආශාවන් සංසිඳවා ගැනීම මුදල් වැය කර කළ හැකි මුත් සතුට මුදළට ලබා ගත නොහැකිය. සතුට වනාහි හුදු යහපත් බව සිතෙහි නිරවද්‍යතාවය, සිතෙහි පවිත්‍රත්වය වැනි කරුණු මත පදනම් වූ උසස් වින්දනයකි.

පැසුණු බුද්ධියකින් යුතු පුද්ගලයා තමන් පිළිබඳ පූර්ණ විශ්වාසයකින් පසු වෙයි. තමන් තුළ තිබෙන දක්ෂතාවයන් සහ තමන්ට තිබිය යුතු සීමාවන් ගැන දැණුමකින් යුක්ත වෙයි. තරුණ ජීවිතයේ දක්ෂතා සහ සීමාවන් ගැන අවබෝධයෙන් ක්‍රියා කරන විට යායුතු ගමන් මග පිළිබඳ විශාල විශ්වාසයක් ඇතිවේ. මෙය පුළුල් මනසකින් යුත් තරුණයකුගේ සහ නොසන්සුන් සෙල්ලක්කාර තරුණයකු අතර තිබෙන වෙනසයි. නොසන්සුන් තරුණයා ජීවිතය පිළිබඳ නිවැරදි අවබෝධයක් ඇත්තකු නොවේ. ඔහුගේ හැකියාව වටහා ගෙන සැබෑ දක්ෂතා හඳුනා ගෙන ඒ අනුව ජීවිතය හැඩ ගසා ගැනීමට නොදනියි. තම මනස නොසන්සුන් අවස්ථාවලදී තමාට එම තත්ත්වය උදා කළ පුද්ගලයාගෙන් පළි ගැනීමට හෝ තමන්ගේ ජීවිතය විනාශ කර ගැනීමට පෙළඹෙයි.

 

වෙසක් අමාවක පෝය

වෙසක් අමාවක පෝය මැයි 20 වැනිදා ඉරිදා පූර්වභාග 2.43 ට ලබයි.
21 වැනිදා සඳුදා පූර්වභාග 5.18 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මැයි 20 වැනිදා ඉරිදාය.

මීළඟ පෝය
මැයි 28 වැනිදා සඳුදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

මැයි 20

First Quarterපුර අටවක

මැයි 28

Full Moonපසෙලාස්වක

ජූනි 04

Second Quarterඅව අටවක

ජුනි 11

2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]