UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

වෙසක් අව අටවක 2012 මැයි 12 වනදා

යහ ගුණ පිරි දරු පරපුරක්

ද දරු පරපුර හෙට වැඩිහිටි පරපුර වෙයි. ඒ නිසාම වත්මන් දරු පරපුර ගුණ නැණ දෙකෙන් පිරිපුන් දරු පරපුරක් බවට පත් කිරීම වත්මනෙහි වෙසෙන මව්පිය, ගුරුවර වැඩිහිටි පරපුර සතු පරම යුතුකමක් වේ.

නැණවත්කම දිවිමග සරුකර ගැනීමට අත්‍යවශ්‍ය ය. ඒ ඤාණය, නුවණැස මෙන් ම ගුණවත් කමද අත්‍යවශ්‍ය ය. නැණවත් බව දිවි මග ආලෝකවත් කරන එක් අංශයක් පමණි. භෞතික දියුණුව හඹා යන සමාජයකට ගුණවත්බව අත්‍යවශ්‍ය වන්නේ සමාජයේ ගුණ දහම් පෝෂණය කර ගුණ දහමින් පිරි සමාජය සමාජයටම ආදර්ශයක් වන බැවිනි.

2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති වර්ෂ පූර්ණ මහෝත්සවය ඉකුත් දා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී සිදු කැරිණි. ඒ පිළිබඳ සවිස්තර සටහනක් ‘දිනමිණ’ වාර්තා කර තිබිණි.

සම්භාවනීය පූජනීය මහ සඟරුවනෙහි සහභාගිත්වයෙන් පැවැති එම සම්බුද්ධත්ව ජයන්ති මහෝත්සවයේ දී ජනාධිපතිතුමා කළ දෙසුමෙන් කොටසක් වෙත අපි අවධානය යොමු කරමු.

“අපි මේ සම්බුද්ධත්ව ජයන්තිය සමාප්තිය පවත්වන්නේ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතියට දස අවුරුදු වැඩ පිළිවෙලක් එක්ක. අපි මොන සංවර්ධන කටයුතුවල යෙදුනත් ඔබ වහන්සේලා පෙන්වා දුන් පරිදි වැඩ කොටසක් මේ රටේ සංවර්ධනය සඳහා මේ අවුරුදු කිහිපය තුළ දී කරල තියෙනවා. ඒත් මොන තරම් කරත් අපේ හදවත්වල දරුවන්ගේ හදවත්වල සමාජයේ පැවැත්ම පිළිබඳ එකිනෙකාට ගරු කිරීම, වැඩිහිටියන්ට ගරු කිරීම ඇතුළු සමාජය පිළිබඳව අවබෝධයකින් කටයුතු කරන්න, සාරධර්ම වලින් පිරි සමාජයක් අපි ගොඩනැගුවේ නැත්නම් ඇත්ත වශයෙන් ම අපට අනාගතයේ දී කනගාටු වෙන්න කාරණයක් බවට පත් වෙනවා. එයට චෝදනා විඳින්නත් අපට වෙනවා. අපි ඇත්ත වශයෙන් ම මේ කාරණය පිළිබඳව හැමදාමත් පෙන්වා දෙනවා. මේක රජයකට පමණක් කළ හැකි කාර්යයක් නෙමෙයි.

මෙහිදී අපි සියලු දෙනාම පන්සල, පාසල සමාජයේ හැම තරාතිරකමකම වගකීමක් දරන සෑම පුද්ගලයෙක්ම ඒ යුතුකමක් හා වගකීමක් තියනවා. මේ සමාජය ගොඩනැගීම සඳහා, මේ දරුවන් සාරධර්මයෙන් පිරි දරුවන් බවට පත් කර අනාගත ලෝකයට ඉදිරිපත් කරන්න අපිට පුළුවන්කම ලැබෙනවා. ඒ හින්ද මම හිතනවා අපිට විද්‍යාව ඉගෙන ගන්න විද්‍යාගාරයක් තියෙනවා. කියවන්න පුස්තකාලයක් තියෙනවා. සංගීතයට සංගීත කාමරයක් තියෙනවා. දැන් මං හිතන්නෙ දරුවන්ගේ මනස හදන්න ඔවුන් භාවනා කරන්න, ධර්මය ප්‍රගුණ කරන්න, සාරධර්ම පිළිබඳ අවබෝධයක් ලබන්න පාසල්වල පන්තිකාමරයක් තියෙන්න ඕනෑ. එය වැදගත් වෙයි කියල මම හිතනවා.

මේ පන්ති කාමරය තුළ ජනතාවගේ දරුවාගේ හදවත මනස හදන්න ඕනෑ. ඒ වගේම මේ වැඩ පිළිවෙළ තුළ ඔබවහන්සේලා යෝජනා කරන වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කරන්න නිලධාරීන් ඒ වෙලාවෙ මේ වග කිව යුතු අමාත්‍යාංශ කැපවෙන්න ඕනෑ කියා කිය යුතුයි. එය කළ යුතු කාර්යයක් වෙනවා” යනුවෙන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අවධාරණය කර තිබේ.

ජනපතිතුමන්ගේ එම උදාර අදහස් ක්‍රියාවට නැංවීම සඳහා වැඩිහිටි මව්පියන් විසින් ද කළ යුතු යුතුකම් රැසක් පවතී.

“දරුවන් නොමග යනවා” යැයි ඇතැම් මව්පිය වැඩිහිටියන් පැවසුවද එසේ නොමග යන තෙක් බලා නොසිට දරුවන් සුචරිතයට යොමු කර ගැනීමට පළමුව මඟ පෙන්විය යුත්තේ දයාබර මව්පිය දෙපළ විසිනි.

ස්වකීය දරුවන්ගේ දියුණුවට, අභිවෘද්ධියට නිරන්තරයෙන් ම දෙමව්පිය ආශීර්වාදය සේම ආදර්ශය ද අත්‍යවශ්‍යය.

හැම විට දරුවන් මව්පියවරු අනුකරණය කරනු ලැබේ. එබැවින් කළයුතු මූලික කරුණ වන්නේ මව්පියවරු තම දරුවන් කෙරෙහි ආදර්ශවත් වීමය. එසේ ආදර්ශවත් මව්පියවරු සමාජයේ වෙසෙනතාක් දූ දරුවන් නොමග නොයනු ඇත.

දරුවන්ට අත්දැකීම් නොමැතිවීම තුළින් ඇතැම් විට අඩුපාඩු සිදුවිය හැකිය. එහෙත් මව්පියවරු තම දරුවන් කෙරෙහි හැමවිට කරුණාවෙන් කටයුතු කිරීම අත්‍යවශ්‍යය. වරද, නිවරද කරුණාවෙන් ම ඔවුන් වෙත පෙන්වා දිය යුතු වේ.

2600 සම්බුද්ධත්ව ජයන්ති වසරේ දී පෙර නොවූ විරු අයුරෙන් මව්පියවරු ආගමික වතාවත් වල නිරත වූ බව රහසක් නොවේ. ඒ සඳහා සෑම ගමකම පාහේ විහාරස්ථානවල වැඩ වෙසෙන අතිපූජනීය මහ සඟරුවනෙහි මාර්ගෝපදේශකත්වය නොඅඩුව ලැබිණි. එසේ ආගමික කටයුතු වල නිරත වු තම මවුපියවරු අනුගමනය කරමින් බොහෝ දූ දරුවන් ද බොහෝ පින්දහම් රැස් කර ගැනීමට මඟ පාදා ගත් බව මෙහිලා සඳහන් කළ යුතුමය.

මේ අනුව බලන විට ද පෙනී යන්නේ මව්පියවරු යහපත් අරමුණු කෙරෙහි මූලිකත්වය ගන්නා විට ආදරණීය දරුවන් ද ඒ මග නිරන්තරයෙන් යොමු වන බව ය.

එසේ හෙයින් 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය නිමිති කරගෙන තවත් පරම්පරා ගණනක් එහි අසිරිය විඳ දරා ගැනීමට සමාජය යොමු කරවීම කාලෝචිත විය හැකි ය.

එසේ වුවහොත් දරුවන් මහ මඟ දමා යන මවුපියවරුන් මෙන්ම මවුපියවරුන්ට නොසලකා හරින දරුවන් ද අපේ සමාජයේ අවම වනු ඇත.

එය රටේත්, සමාජයේත් යහ පැවැත්මට, බොදු ගුණ දහම් පෝෂණයට බලවත් පිටිවහලක් වනු ඇත.

අධ්‍යාත්මික ගුණ සුවඳ පැතිරී සමාජය සුචරිතවත් වී ලොවට ම සැනසීමට මග පාදා දිය හැකි වන්නේ නම් මෙකල වැඩිහිටි පරපුරද බෙහෙවින් සතුටට පත් වනු ඇත.

යහපත් අරමුණු සාර්ථක කර ගැනීමට තෙරුවන් සරණ පතමු.

 

වෙසක් අව අටවක පෝය

වෙසක් අව අටවක පෝය මැයි 12 වැනි දා සෙනසුරාදා අපරභාග 03.28 ට ලබයි.
13 වැනි දා ඉරිදා අපරභාග 03.29 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම මැයි 12 වැනි දා සෙනසුරාදා ය.

මීළඟ පෝය
මැයි 20 වැනිදා ඉරිදාය
.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 12

New Moonඅමාවක

මැයි 20

First Quarterපුර අටවක

මැයි 28

Full Moonපසෙලාස්වක

ජූනි 04


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]