UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

බක් අමාවක 2012 අපේ‍්‍රල් 20 වනදා සිකුරාදා

අප සූදානම් විය යුත්තේ ඇයි?

සතර පොහොයෙන් බක් අමාවක පොහොය යෙදී ඇත්තේ අදය. වසරකට වරක් උදාවන අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන ඓතිහාසික වෙසක් පොහොය උදාවීමට තවත් ඇත්තේ සතර පොහොයෙන් වෙසක් පුර අටවක පොහොය පමණි.

කවර කටයුත්තකදී වුවද ඊට සූදානම් වීමක් අත්‍යවශ්‍ය ය. ඒ අදාළ කටයුත්ත සාර්ථක කර ගැනීමට එය එක් මාර්ගයක් වන බැවිනි.

වෙසක් පොහොය නිමිත්තෙන් ලෝකවාසී සමස්ත බෞද්ධ ජනතාව මේ වන විටත් සූදානම් වී හමාර ය.

වෙසක් පොහොය දින බොදුනුවා දාන, ශීල, භාවනා ආදී සුවිශේෂී ආගමික වතාවත්වල නිරත වෙමින් අධ්‍යාත්මික සුවය සඳහා යොමු වීම ආදර්ශවත් අගය කළ යුතු ක්‍රියාවකි.

අන් කවරදාටවත් දනක් පිනක් කර ගැනීමට පසුබට වන තැනැත්තා පවා විවිධ පින්කම්වල වෙසක් පෝදාට නිරත වීමද අගය කළ යුතු වේ.

හැම නිවසකම වෙසක් පෝදා වෙසක් සැරසිල්ලක් කරමින් පහනක් හෝ දැල්වීමට අමතක නොකිරීම ද පැසසිය යුතු වේ.

අසිරිමත් සම්බුදු තෙමඟුල සිහි කරමින් හැම සිතකම පින් සිතිවිලි පහළ වන වෙසක් පෝදා එය ගෞරවයෙන් හා ශ්‍රද්ධාවෙන් සිහිපත් කිරීමට නිරන්තරයෙන් බෞද්ධයෝ සැදී පැහැදී සිටිති.

බොහෝ දූ දරැවෝ සෙනෙහෙබර මව්පියන් වෙත ඇප උපස්ථාන කරමින් ආගමික වතාවත්වල යෙදීමට ක්‍රියා කරති. එමෙන්ම තමන් හදා වඩා ඇති දැඩි කළ මව්පියන්ට වැඩිහිටියන්ට ඤාතීන්ට වෙසක් සිහි කරමින් සුබාසිරි පැතීමට ද අමතක නොකරති.

එසේ ආසිරි සෙත් පතන අපේ සමාජය දිගු කලක් පුරා වෙසක් සුබ පැතුම් පත්වලට ද ප්‍රමුඛස්ථානයක් දෙනු ලැබේ.

වෙසෙසින් ම දුටුවන්ගේ ප්‍රසාදය දනවන ආගමික හැඟීම් පෙරමුණට ම ගෙනෙන වෙසක් ආසිරි පැතුම් පත් ඒ සඳහා භාවිතා කිරීමට අවධානය යොමු කිරීම කාලෝචිත වේ.

මව්පියන් විසින් තම ආදරණීය දූ දරුවන් සඳහා ද එසේ යවන වෙසක් ආසිරි පැතුම්පත් සම්බුදු සිරිතට අදාළ හෝ ආගමික හා ඓතිහාසික අවස්ථා සිහියට නංවමින් බුද්ධාලම්භන ප්‍රීතිය මතු කරවන නිසා අනාගත පරපුර වෙත යොමු කරවීම ද කාලෝචිත වේ.

වෙසක් ආසිරි පැතුම් පත් සඳහා වෙසක් අසිරිය සිහි ගැන්වීමෙන් බැහැර නොවිය යුත්තේ වෙසක් පොහොය බෞද්ධයා සතු ඓතිහාසික ආගමික පූජනීය දිනයම වන බැවිනි. වෙසෙසින්ම වෙසක් නිමිත්තෙන් දන්සල පැවැත්වීම ද අගය කළ යුතු වේ.

එය මනුෂ්‍යයා සතු තෘෂ්ණාව දුරු කිරීමට පරිත්‍යාගයට යොමු කරවන්නක් හෙයිනි. තමන් සතු යමක් අනුන් වෙත පිරිනැමීම පහසුවෙන් කළ හැක්කක් නොවේ. එහෙත් අසිරිමත් බුදු ගුණ මෙනෙහි කරමින් ශක්ති පමණින් වෙසක් දන්සැල් දීම බෞද්ධයාටම ආවේණික වූ පාරම්පරික උරුමයකි.

අතීතයේ දී අද මෙන් ගමනාගමනයට පහසුකම් නොවිණි. සැතපුම් ගණන් දුරකතර ගෙවා වන්දනාවේ නිරත වූ සැදැහැවතුන්ට ආහාර පානාදියෙන් සංග්‍රහ කිරීම දන්සැලක් පැවැත්වීමේ අරමුණ ය.

එසේ දන්සැලක් පැවැත්වීමේ දී එමඟින් අන්‍යයන්ට කරදරයක් හිරිහැරයක් නොවිය යුත්තේම ය. පරෝපකාරයේ යෙදීමට එක් එක් පුද්ගලයාට තනි තනිව නොහැකිවීමෙන් සාමූහිකව, ඒකරාශී වී ගමක ප්‍රදේශයක දන්සැලක් පැවැත්වීම යහපත් ක්‍රියාවකි. එහෙත් අවට ගම්වාසීන්ගේ ධන පරිත්‍යාගයෙන් සිදු කරන එවැනි සාමූහික ආගමික කටයුතුවලදී ධනය පිරිනැමූ අයටත් එය දැකබලා සතුටු වන අයටත් ශ්‍රද්ධාවම පහළ වන අයුරෙන් ඒ කටයුතු ඉටු කරන්නේ නම් අගය කළ යුතු වේ.

දන්සැල් පිරිනමන ඇතැම් අයකුට ලැබෙන චෝදනා කීපයක් වේ. ඒවා නම් ආධාර ඒකරාශී කිරීමේ විනිවිද භාවයක් නොමැතිවීම මෙන්ම ඇතැම් විට දන්සැලක් මුවාවෙන් පැයකට දෙකකට දන්සැල් පිරිනමා අනතුරුව වෙසෙසින්ම ඇතැම් තරුණයන් එය හුදු විනෝදය සඳහා යොමු වන බවට ඇතැම් මව්පිය වැඩිහිටියන්ගෙන් ලැබෙන චෝදනාවක් වේ.

එබැවින් එවන් චෝදනාවන්ගෙන් අදාළ පිරිස් බැහැරවීමට නම් තම නිවැරැදි අරමුණ වෙනුවෙන් යහපත්ව හැසිරී ඒ බව සමාජයට පසක් කරදිය යුතුව ඇත.

කවර කටයුත්තකදී වුවද චෝදනාවක් ඉදිරිපත් වනුයේ ඒ සඳහා මූලිකත්වය ගෙන ක්‍රියා කරන අයට ය. එහෙත් අස්ථාන චෝදනා බැහැර කළ යුතු අතර සාධාරණ චෝදනාවක් නම් ඒ පිළිබඳව බුද්ධිමත්ව ක්‍රියා කර ඊට යහපත් අයුරෙන්ම ක්‍රියා කළ යුතු වේ. බොදුනුවන් සමගි සම්පන්නව ඒකරාශී වී බුද්ධාලම්භන පී‍්‍රතියෙන් වෙසක් මහෝත්සවය නිමිත්තෙන් තම දිවිපෙවෙත හැකිතාක් නිවැරැදිව ගත කිරීමට උත්සාහ කළ යුතු ම වේ.

ඒ බොදුනුවාට වෙසක් පොහොය තරම් වටිනා ආගමික ඓතිහාසික දිනයක් වෙනත් නොමැති හෙයින් මය.

එබැවින් සම්බුදු තෙමඟුල සැමරීමට හැකිතාක් ඇප කැප වී ශ්‍රද්ධා ගෞරවයෙන් කටයුතු කරමු. එවිට එය දකින බලන කවරකු වුවද ඒ සඳහා නැඹුරු වී යහපත් ක්‍රියාදාමයන්හි නිරතවනු ඒකාන්ත ය.

 

බක් අමාවක පෝය

බක් අමාවක පෝය අප්‍රේල් 20 වැනි දා සිකුරාදා පූර්ව භාග 10.28 ට ලබයි.
21 වැනි දා සෙනසුරාදා අපර භාග 12.50 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අප්‍රේල් 20 වැනිදා සිකුරාදා ය.

මීළඟ පෝය
අප්‍රේල් 29 වැනි දා
 ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

අපේ‍්‍රල් 20

First Quarterපුර අටවක

අප්‍රේල් 29

Full Moonපසෙලාස්වක

මැයි 05

Second Quarterඅව අටවක

මැයි 12

2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]