UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

තුන් රුවනට සමාන කළ හැකි කිසිදු භෞතික වස්තුවක් මිහිපිට නැත

පංචකාමය පිනවීමට හා ඒ මත ගැටීමට, ඇලීමට පුරුදු වූ පුහුදුන් සත්වයාට භෞතික

වශයෙන් වටිනා කහවනු, වෛරෝඩි, පසිංගල් ආදී රුවන් සඳහා ආශාවක් ලෝභකමක් ඇති වුවද සත්‍යය තේරුම් ගත් ඤාණවන්තයින්ට ඒ තුන් රුවන තරම් වටිනා වස්තුවක් තවත් නොමැත.

ලොව විවිධ වර්ගයේ රුවන් දැක ගත හැකි ය. ඒවාට ලොව ඉහත මිලක් හා අගයක් ලැබෙනු ඇත.රුවන් යනුවෙන් හැඳින්වෙන්නේ මැණික් වුවද එහි විශේෂත්වය වන්නේ පැහැයෙන් අනූන එම පාෂාණ විශේෂය ඉතා දුලභ වීම ය. ඈත අතීතයේ පටන් ශ්‍රී ලංකාව මැණික් සඳහා ඉතා ප්‍රසිද්ධ ය. මැණික් නොහොත් රුවන් සංස්කෘත භාෂාවෙන් හඳුන්වන්නේ රත්න යන නමිනි. රත්නාකර යනුවෙන් හැදින්වෙන්නේ මැණික් පතලයි. පාලි භාෂාව තුළ රතන යනුවෙන් රුවන හැඳින්වීමට වචන භාවිතා කොට ඇත. රතන කූ®ට යනුවෙන් කොත ද රතන වර යනුවෙන් උත්තම රත්නය යනුවෙන් ද රතන සුත්ත යනුවෙන් රත්නත්‍රයේ ගුණ දක්වන සූත්‍රය යනුවෙන්ද, රත්නත්තය යනුවෙන් බුද්ධාදී රත්න තුන ද හඳුන්වා ඇත.

වටිනා වස්තූන් අතර අගතැන්පත් මැණික් නොහොත් රුවන් සඳහා මිනිසුන් ජීවිත පවා විනාශ කරගනු ඇත. නමුත් එම වටිනා වස්තූන් වුවද විනාශ වීමේ නැති වීමේ ප්‍රවණතාවය වැඩිය.

සොර සතුරන්ගෙන්, ස්වාභාවික විපත් වලින් වටිනා රුවන් වුවද නැති වීමට විනාශ වීමට පුළුවන.

එසේ වුවද තුන් රුවන එලෙස විනාශ නොවන, විනාශ කළ නොහැකි, සොර සතුරන් විසින් පැහැර නොගත හැකි වටිනා වස්තුවකි. පංචකාමය පිනවීමට හා ඒ මත ගැටීමට, ඇලීමට පුරුදු වූ පුහුදුන් සත්වයාට භෞතික වශයෙන් වටිනා කහවනු, වෛරෝඩි, පසිංගල් ආදී රුවන් සඳහා ආශාවක් ලෝභකමක් ඇති වුවද සත්‍යය තේරුම් ගත් ඤාණවන්තයින්ට ඒ තුන් රුවන තරම් වටිනා වස්තුවක් තවත් නොමැත. එයට හේතුව එය පංච කාම සැපයෙන් එහාට ගිය ආධ්‍යාත්මික සුවයට හේතුවන ප්‍රධාන කරුණු තුනක් වීමය.

අද බහුල වශයෙන් ලෞකික සැපයට මුල් තැන දෙන සත්වයා රුවන් වශයෙන් හැඳින්වෙන මැණික් ඇතුළු අනෙක් වටිනා වස්තූන් මතම ගැටීමට ඇලීමට පුරුදු වී සිටිති.

එම මැණික් ලබා ගැනීමට තුන් රුවන විනාශ කිරීමටද පෙළඹෙන අවස්ථා ද ඇත. සමහරු බුද්ධ ප්‍රතිමා තුළ ඇති මැණික් ලබා ගැනීමට බුද්ධ ප්‍රතිමා විනාශ කිරීම නොයෙක් අවස්ථාවල මාධ්‍ය තුළින් අප දැක ඇත්තෙමු. දාගැබ්පෙති පිළිම, වෙහෙර විහාර කඩා ඒවා තුළ තැන්පත් කර ඇති රන්, රිදී, මිණි, මුතු, කහවණු ගැනීමට පෙළඹී තිබීම මොන තරම් සෝචනීයද? අධම මිනිසුන් කරන එවැනි පාප ක්‍රියාවලට සාංදෘෂ්ටික වශයෙන් විපාක ලැබෙනු ඇත. එහි සැකයක් නැත.

බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නය ලොව ඇති උතුම්ම වස්තූන් තුන බව අමුතුවෙන් කිව යුතු නොවේ. එයට රත්න යනුවෙන් නම් යොදා උදාහරණයට ගෙන ඇත්තේ භෞතික වශයෙන් මැණික් වලට වඩා වටිනා වස්තුවක් නැති නිසා ය. භෞතික වශයෙන් ශක්තිමත් ද්‍රව්‍යයක් සේම පාෂාන, විශේෂයක් වන මැණික් වලට ත්‍රිවිධරත්නය සමාන කිරීමට සමහර දෙනා උත්සාහවත් වනු ඇත.

එය මෝඩ ක්‍රියාවකි. ත්‍රිවිධරත්නයට සමාන කළ හැකි ලොව කිසිදු භෞතික වස්තුවක් මිහිපිට තවත් නැති බව පැහැදිලි වන්නේ ප්‍රඥාවන්තව බැලීමෙන් පමණි.

පළමු රුවන නම් බුදු රුවනයි. උන්වහන්සේ තුන්ලෝකයටම ශ්‍රේෂ්ඨ වූ උත්තමයාණන් වහන්සේයි. උන් වහන්සේ තුළ සුවිශේෂි වූ ගුණ නවයකි . නව අරහාදි බුදුගුණ යනුවෙන් ඒවා හඳුන්වනු ඇත.

එම ගුණ නම් , අරහං, සම්මා සම්බුද්ධ, විජ්ජාචරණ සම්පන්න, සුගත, ලෝකවිදු, අනුත්තර පුරිසදම්ම සාරථි, සත්ථා දේවමනුස්සානං, බුද්ධෝ භගවා යනාදි වශයෙන් එම නව අරහාදි ගුණ වලින් යුක්තය.

එනිසා බුදුන්වහන්සේ සියලු රුවන් පරදා පළමු රුවනට අයත් වන උත්තමයාණන් වහන්සේ වශයෙන් පෙන්වා දීමට පුළුවන.

දම්රුවන නම් දෙවෙනි රුවනයි. ධර්මය බුදුරජාණන් වහන්සේ සාරසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් මුළුල්ලේ දස පාරමිතා, දස උප පාරමිතා, දස පරමත්ත පාරමිතා, යනා දී ත්‍රිවිධ පාරමිතා සම්පූර්ණ කරමින් සොයා දැනගත් බුද්ධියේ ඉහළම ඵලයයි.

එම උතුම් ශ්‍රී සද්ධර්මය බුදුරජාණන් වහන්සේ ගුරුවරයා වශයෙන් තබා ගෙන කළ යුතු සියලු සැලකිලි පුදසත්කාර ඉහළම අයුරින් සිදු කරන ලදී. දෙවන රුවන වශයෙන් දම් රුවන වැදගත් වන්නේ බබළන්නේ කරුණු පහක් පදනම් කරගෙනය. එනම් සන්දිට්ඨික, අකාලික, ඒහිපස්සික, ඕපනයික, පච්චත්තං වේදි තබ්බ ආදී ගුණයන් හේතුවෙනි. දෙවනුව ලොව ඇති උතුම්ම රුවන ලෙස ධර්ම රත්නය හැඳින්වීමට පුළුවන.

තුන්වන රුවන ලෙස සඟ රුවන පෙන්වාදීමට පුළුවන. එනම් බුදුරජාණන් වහන්සේගේ ගමන් මඟ යන ශ්‍රාවකයින් වහන්සේලායි. නික්ලේශී මහරහතන් වහන්සේලා ඇතුළු ආර්ය මහා සංඝරත්නය එදා පටන් අද දක්වාම නොකැඩි නොසිඳී, නොබිදී පවතිනු ඇත. එනම් බුදු සසුන ආරක්‍ෂා වන ප්‍රධාන ශක්තිමත් දම්වැල මහා සංඝරත්නයයි. උන්වහන්සේලා ලොව ඇති තුන්වන ස්ථානයට අයත් වන උතුම් රුවනයි. එයට හේතුව උන්වහන්සේලා සතුව පැවති ගුණ සමුදායයි.

එනම් සුපටිපන්න, උජුපටිපන්න, ඤායපටිපන්න, සාමිචිපටිපන්න, ආහුනෙය්‍ය, පාහුනෙය්‍ය, දක්ඛිනෙය්‍ය, අන්ජලිකරණීය, පුඤ්ඤක්කෙත්තං අනුත්තර ආදී වශයෙනි.

සමස්තයක් වශයෙන් ගත් කළ තුන් රුවනට සම කළ හැකි කිසි රුවනක් මේ තුන් ලෝකයේම නැති බව තේරුම් ගත යුතු ය. තෘෂ්ණාවෙන් අන්තගාමීව භෞතික වශයෙන් වටිනාකමක් දුන් වස්තූන් මත මිනිසුන් හඹා ගියද සත්‍ය වශයෙන් ගත් කළ ඒ සියල්ල විනාශ වන වස්තූන් ය. ඒවා මරණයට පත් වීමේ දී ගෙන යෑමට හෝ පසු පස එන්නේ නැත.

නමුත් බුද්ධ, ධම්ම, සංඝ නම් වූ ඒ උතුම් තුන් රුවන සරණ ගොස් අවශ්‍ය වත්පිළිවෙත් සිද්ධ කර එහි ගුණ මෙනෙහි කිරීමෙන් සත්වයාගේ පරලොව සුගතිගාමී වීමට එය මහෝපකාරී වන්නේ ය.

 
බක් අව අටවක පෝය

බක් අව අටවක පෝය අප්‍රේල් 13 වැනිදා සිකුරාදා පූර්ව භාග 04.51 ට ලබයි.
14 වැනි සෙනසුරාදා පූර්වභාග 04.02 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අප්‍රේල් 13 වැනිදා සිකුරාදා ය.

මීළඟ පෝය
අප්‍රේල් 20 වැනිදා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අප්‍රේල් 13

New Moonඅමාවක

අපේ‍්‍රල් 20

First Quarterපුර අටවක

අප්‍රේල් 29

Full Moonපසෙලාස්වක

මැයි 05


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]