UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

අපා දුක් විඳින්න කැමතිද?

ඔය ඇහෙන්නේ ඒ සතුන් කෑ ගහන සද්දේ. ඔබ වහන්සේටත්, ඒ හඬ ඇහෙනවද? ඒ වෙලාවේ බුදුහාමුදුරුවො එම භික්‍ෂූන් අරමුණු කරගෙන දේශනා කරනවා. මහණෙනි, වෙනද මේ වෙලාවට කෑගහනව ඇහෙන්නේ චුන්දගෙන් පහර ලබන අහිංසක ඌරන් තමයි. නමුත් අද ඔය ඇහෙන්නේ ඒ ඌරන්ගේ හඬ නොවේ. ඔය ඇහෙන්නේ චුන්ද සූකර මැරෙන්න පණ අදින හඬ. දවස් හතක් තිස්සේ ඔය වගේ පණ ඇදල ඌරන් කෑගහනවා වගේ කෑගහල ඔහු මැරිලා යනවා. අපායේ උපදිනවා. ඒක වෙනස් කරන්න තථාගතයන් වහන්සේටවත් බැහැ.

රජගහනුවර වේළුවනාරාමය අසල එක්තරා මිනිසෙක් වාසය කළා. බොහෝ දෙනා බුදුරජාණන් වහන්සේගෙන් බණ දහම් අසන්නට පන්සලට ආවත් එම පුද්ගලයා ඒ අහලකටවත් පැමිණෙන්නේ නැහැ. එයට හේතුවක් තිබුණා.

එම පුද්ගලයාගේ නම චුන්ද. ඔහු රැකියාව හැටියට කළේ ඌරන් මරා මස් විකුණා මුදල් උපයා ගැනීමයි. සූකර කියලා කියන්නේ ඌරට. ඌරන් මරල මස් විකුණලා ජීවත්වෙන මේ චුන්දට මිනිසුන් සූකරයා කියලත් කියන්න පටන් ගත්තා. ඔහු පසුව ප්‍රසිද්ධ වුණේ ඔහුගේ නමත් මිනිස්සු ඔහු පිළිබඳව කියූ නමත් එකතුවෙලා චුන්ද සූකර යන නමිනි. තමන් කරන ප්‍රාණඝාත රැකියාව නිසාම බුදුරදුන් වැඩ වාසය කරන වෙහෙර අයිනේ ජීවත් වුණත් පන්සලට එන්න බණ පදයක් අහන්න සිත දුන්නේ නැහැ. පවට නැඹුරු වුණ නිසාම පාපකාරී සිතිවිලි ඉස්මතු වෙන්න පටන් ගත්තා.

ඇතැම් අය තමන්ගේ අතින් පවක් සිදුවුණහම ඒක තමන්ගෙන් සිදුවුණ වරදක් ලෙස සිතා මින් පසුව මේ වගේ වැරැදි කරන්න මා යන්නේ නැහැ කියලා අධිෂ්ඨානය කරගෙන එබදු වැරැදි ක්‍රියාවලින් මිදෙනවා. සාමාන්‍ය මිනිසෙක් අතින් පාපයක් වරදක් සිදුවෙන්න පුළුවන්. නමුත් එම වරද දිගින් දිගටම කරනවා නම් වරදක් බව දැන දැනත් එයම කරනවා නම් එම වරද බරපතළයි. නීතියෙහි වුවත් පෙරවැරැදි නැති වැරැදිකරුවකු දිහා කම්පිතව බලන අවස්ථා තිබෙනවා.

ඇතැම් අය වරදක් කළහම එහි ඇළෙනවා. එයට ආස කරනවා. මිහිරි ලෙස සිතනවා. මී පැණි වගේ සිතනවා. පව් කරන කළට මිහිරි මී පැණි වගේ සතුටින් ඒ පාපය ගැන සිතනවා. එහෙම අයත් සමාජයේ ඉන්නවා. චුන්ද සූකර ඒ වගේ කෙනෙක්. ඌරන් මරා මස් කරල විකිණීම තුළින් ඔහු හරි සතුටක් ලැබුවා. බුදුහාමුදුරුවො ඒ වගේ පාපක්‍රියා එපාය කියන නිසා ඔහු බුදුහාමුදුරුවන්ටත් සරදමට වගේ ඒවා කළා. පවට කැමැති පාපකාරී මිනිසුන්ගේ හැටි එහෙමයි. චුන්ද සූකර ඌරන් මරණ කොට නිකම්ම මැරුවේ නැහැ. ඔහු කරන්නේ ඒ සතුන්ට වේදනාකාරී ලෙස පහර දෙනවා. සතුන් වේදනාවෙන් කෑගහනකොට චුන්ද සූකරට හරි සතුටුයි. ඔහු අත්පොළසන් දෙමින් සතුටු වෙනවා. වේදනාවෙන් කෑ ගහන සතුන් දිහා බල බලා ආස්වාදයක් ලබනවා. ඒ වගේම වේදනාවෙන් කෑගහල පිපාසාවෙන් වතුර සොයන කොට නටන උණුවතුර අර සතුන්ගේ කටට වක්කරනවා. මේ විදිහට වධ දීල සත්තු මරණ කෙනෙක් චුන්ද සූකර. ප්‍රාණඝාතය අකුසල කර්මයක්. සතුන්ට වධ දීම වෙනත් අකුසල කර්මයක් ‘චුල්ල කම්ම විභංග‘ සූත්‍රයේ දී සත්තු මැරීම නිසා එය කළ පුද්ගලයා අඩු ආයුෂ ලබන බව කියනවා. සතුන්ට වධ හිංසා පමුණුවන පුද්ගලයා නිතර නිතර රෝගී වන කෙනෙක් බවට පත්වන ආකාරය දන්වනවා. චුන්ද සූකර ප්‍රාණඝාතයත් ප්‍රාණ හිංසාවත් දෙකම කළ කෙනෙකි. ප්‍රාණඝාතය කිරීම අකුසලයක්.

ඒ ප්‍රාණඝාතය කරල එයින් ආස්වාද විඳීම වෙනත් අකුසල කර්මයකි. ප්‍රාණ හිංසාවත් එහෙමයි. සත්ව හිංසාව අකුසල කර්මයකි. ඒ හිංසාවෙන් තමන් සතුටු වීම වෙනත් අකුසල කර්මයකි. චුන්ද සූකර කළේ ප්‍රාණඝාතය විතරක් නෙමෙයි. මේ සියලු අකුසල් කළා. පාපකාරයාගේ හැටි එහෙමයි පවට ආසයි. තමන් කරපු පව්කම් නැවත ද නැවත ද සිත සිතා සතුටු වෙන්න ආසයි. ඒවා තැන් තැන්වල කිය කියා සතුටු වෙන්න ආසයි. චුන්ද සූකරත් එහෙමයි. ඔහු කළ පාපකාරී ක්‍රියාවන් ඒ වගේයි.

එක දවසක් සැන්ඳෑවේ පන්සලට බණ අහන්න එකතු වුණු හාමුදුරුවන්ට ඌරන් කෑගහන හඬ ඇහෙනවා. බුදුහාමුදුරුවනේ වෙනද වගේම අදත් වුන්ද සූකර ඌරන්ට පහර දෙනවා. ඔය ඇහෙන්නේ ඒ සතුන් කෑ ගහන සද්දේ. ඔබ වහන්සේටත්, ඒ හඬ ඇහෙනවද? ඒ වෙලාවේ බුදුහාමුදුරුවො එම භික්‍ෂූන් අරමුණු කරගෙන දේශනා කරනවා. මහණෙනි, වෙනද මේ වෙලාවට කෑගහනව ඇහෙන්නේ චුන්දගෙන් පහර ලබන අහිංසක ඌරන් තමයි. නමුත් අද ඔය ඇහෙන්නේ ඒ ඌරන්ගේ හඬ නොවේ. ඔය ඇහෙන්නේ චුන්ද සූකර මැරෙන්න පණ අදින හඬ. දවස් හතක් (7) තිස්සේ ඔය වගේ පණ ඇදල ඌරන් කෑගහනවා වගේ කෑගහල ඔහු මැරිලා යනවා. අපායේ උපදිනවා. ඒක වෙනස් කරන්න තථාගතයන් වහන්සේටවත් බැහැ. පව් කරන මිනිස්සු සංසාරය දික්කරගෙන ඒවම කරන්න ආසයි.

පව් කරන පුද්ගලයා පවු කරන වේලාවේ ඇතැම් විට එයින් සතුටක් ලැබුවත් එහි බරපතළකම මනසට දැනෙන කොට ඉන් ඔහුට ඉතිරිවන්නේ ශෝකයක් පමණයි. මැරිලා ගිහිල්ලා නරකයේ උපන්න ගමන් තමන් මිනිසෙක් වෙලා උපත ලබල හොඳ වැඩ කරන්න පුළුවන්කම තිබෙද්දීත් කළ පාප ක්‍රියා ගැන සිතන විට ඇතිවන්නේ ශෝකයක්.

මේ විදිහට බැලුවහම මෙලොවදීත් ශෝක කරනවා. පරලොවදීත් ශෝක කරනවා. පව් කාරයා තමන් කළ පව් පිළිබඳව සිත සිතාම නැවත ද නැවතද ශෝක කරනවා. චුන්ද සූකරටත් ඉතිරි වෙන්නේ සතුන් මරණ විට ලැබූ පී‍්‍රතිය නෙමෙයි. සංසාරය පුරාම ශෝක කිරීමයි.

 
බක් අව අටවක පෝය

බක් අව අටවක පෝය අප්‍රේල් 13 වැනිදා සිකුරාදා පූර්ව භාග 04.51 ට ලබයි.
14 වැනි සෙනසුරාදා පූර්වභාග 04.02 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අප්‍රේල් 13 වැනිදා සිකුරාදා ය.

මීළඟ පෝය
අප්‍රේල් 20 වැනිදා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අප්‍රේල් 13

New Moonඅමාවක

අපේ‍්‍රල් 20

First Quarterපුර අටවක

අප්‍රේල් 29

Full Moonපසෙලාස්වක

මැයි 05


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]