UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ඇය නිවසට මිණි පහනකි

පසුගිය පත්‍රය හා සම්බන්ධයි

ස්වාමි භාර්යාවන් තුළ සැබෑ පේ‍්‍රමයක් ඇත්නම් එය රාගය නිසා බිඳහෙළිය හැක්කක් නොවනු ඇත. ඔවුහු සංසාර ගතව එන බැඳීමකින් යුක්ත වූවන්ය. එවැනි ස්වාමි භාර්යාවන් සසර නැවත නැවතත් හමුවන ආකාරය බුදු සිරිතේ එන ප්‍රවෘත්තීන්ගෙන් පවා පැහැදිළි වෙයි. නකුල මාතා නකුල පිතා ප්‍රවෘත්තියෙන් පැහැදිලි කෙරෙනුයේ ද ඔවුනොවුන් කෙරෙහි ස්නේහයෙන් බැඳී සම සීල සද්ධාවන්ගෙන් යුත් අඹුසැමි යුවළකගේ කථාවයි.

විශ්වාසය පළුදු කරන තමා සමාජයේ සෙස්සන්ගේ ගර්හාවට ලක්වන පුද්ගලයෙක් බවට පත්වීමට කාමමිථ්‍යාචාරය හේතු වෙයි. ඔබ ඔබගේ පෞද්ගලිකත්වය කෙරෙහි යම් ඇල්මක් දක්වන්නේ ද සෙස්සන් ද ඔවුන්ගේ පෞද්ගලිකත්වය කෙරෙහි එබඳුම කැමැත්තක් දක්වන බව තේරුම් ගැනීමෙන් අත්තුපනායික ක්‍රමයෙන් (තමා අනුව අන්‍යයන් ගැන සිතීම) භාර්යාව ඉක්මවා වෙනත් කාන්තාවන්ගෙන් කම් සුව ලැබීමට සිහිනෙනුදු නොසිතිය යුතුය. එවන් පුරුෂයාට සිය භාර්යාවගෙන් දෙවියකුට බඳු සැලකිලි හිමිවේ.

නිවසේ කාර්යභාරයන් භාරදීමෙන්
(ඉස්සරියවොස්සග්ගෙන)

බොහොමයක් අනුවණ පුරුෂයෝ කාන්තාවන් සතු සංවිධාන ශක්තිය පිළිබඳව සැක කරති. පැරණි පඩිවරුන් පවසා ඇත්තේ මැටි යොදා සකස් කරගත් සැකිල්ලකට අතු සෙවිලි කිරීමෙන් පමණක් නිවසක් නොවන බවත් කාන්තාවක වසන ගෙය පමණක් නිවස යන වචනයට යෝග්‍ය බවත් ය. (න ගෘහං ගෘහමිත්‍යාහු: ගෘහණීං ගෘහමුච්‍යතෙ) මෙම විවරණය තුළින් පැහැදිලි වන්නේ නිවසක් අර්ථවත් වන්නේ ගෘහණියගෙන් බවය. එබැවින් නිවසක සංවිධාන කටයුතු විෂයෙහි ගෘහණියගේ ප්‍රධානත්වය පිළිගැනීමට කිනම් තරාතිරමක පුරුෂයෙකු වුවද සූදානම් විය යුතුය. ලොව මෙතුවක් ඉතා උසස් තත්වයන්ට පත් පුරුෂයෙක් වේ නම් ඔහුගේ සියලු වැඩපිළිවෙළ පිටුපස බිරිඳ ද සිට ඇති බව සුපැහැදිළි කරුණකි. බෝසතුන්ගේ පවා පාරමිතා පූර්ණයේ දී ඇයගෙන් සැපයුණු පිටුබලය චන්දකින්ණර ජාතකය ආදියේ දී මැනවින් පැහැදිලි කොට ඇත.ඇතැම් අනුවණ පුද්ගලයන් කල්පනා කරනුයේ ස්ත්‍රිය නුවණ මද තැනැත්තියක බවත් ඇයට ගෙදර ඉවුම් පිහුම් කටයුතු හැර සෙසු කටයුතු අවිශය බවත් ය.

එහෙත් දූදරුවන්ගේ කටයුතු හා ගෙදොර කටයුතු වඩාත් අරපිරිමැස්මෙන් කිරීමේ හැකියාවක් සහජයෙන්ම කාන්තාව සතු වන බව අප පිළිගත යුතුය. එමෙන්ම යහපත් කාන්තාවෝ ස්වාමි පුරුෂයා දහඩිය මහන්සියෙන් උපයන වස්තුව විනාශ නොකරති. එබැවින් ඇයට සිය නිවසේ කටයුතු වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිපාදන සපයා දීම ස්වාමි පුරුෂයෙකුගේ යුතුකමකි. ඔබ නිවසට ගෙනවුත් දෙන යමක් තමාට හා දරුවන්ට පිසදෙන කුස්සි අම්මා කෙනෙකුගේ මට්ටමට භාර්යාව පිළිබඳව කල්පනා නොකළ යුතුය. ඇය ද නිවසේ ඔබ මෙන්ම කටයුතු කාරණාවන්හිදී ප්‍රධානත්වයක් දරන එමෙන්ම වගකීමක් සහිත අයෙකු බව මොහොතකට හෝ අමතක නොකළ යුතුය. කොතරම් වැදගත් කාරණාවකදී වුවද භාර්යාව සමග සාකච්ඡා කොට එම කටයුත්ත කිරීමෙන් ඔබට යහපතක් මිස අයහපතක් නොවන බව තරයේ මතක තබාගන්න. ඇතැම් නොසන්සුන් අවස්ථාවන්හි ඔබ ගන්නා තීරණ පිළිබඳ ඇය නැවත විමසුම් සහගත ලෙස බැලීමට ඔබව පොළඹවනු ඇත. නිවසේ ගෘහමූලිකයා තමා බැවින් සියල්ල තීරණය කිරීමේ බලය තමා සතු වෙතැයි අත්තනෝමතිකව කටයුතු කරන ඇතැම්හු බොහෝ කොට පසුතැවිලි වනු ඔබ දැක ඇතුවාට සැක නැත.

ආභරණ ලබාදීමෙන්
(අලංකාරානුප්පදානෙන)

බුදුරජාණන් වහන්සේ සෙස්සන්ගේ සිත් මැනවින් අවබෝධකොට ගෙන දහම් දෙසු උතුමෙකු බව ඉතා මැනවින් පැහැදිලි වන තැනකි. මේ. කාන්තාවක වශයෙන් ඇය සෙසු ස්ත්‍රින් ඉදිරියේ දෙවැනි වීමට කිසිසේත් අකැමැත්තීය. එබැවින් ඉල්ලීමක් කළ තැනැත්තා ස්වාමි පුරුෂයා විසින් ඇයට ආභරණ ගෙන දිය යුතුය. එය තමාගේ ආර්ථික මට්ටමට අනුව සැලසුම් කර ගැනීම බුද්ධිමත් අඹුසැමියන්ගේ වගකීමකි. එහෙත් විවිධ ඇඳුම් ආයිත්තම් මගින් අනවශ්‍ය ආටෝපයක් ඇතිකර ගැනීම බෞද්ධ කාන්තාවගේ ස්වභාවය නොවේ. සෙසු ස්ත්‍රින් හමුවේ කරකණ පාලුවට ගිය සිය භාර්යාව නින්දාවට පත්වන්නේ නම් එම ස්වාමිපුරුෂයා ඇයට වැඩියක් ලැජ්ජා විය යුතුය. යහපත් ස්වාමි පුරුෂයෙකු වශයෙන් ස්ත්‍රියකගේ ස්ත්‍රි මානසිකත්වය හැඳින ඇයට අවශ්‍ය අලංකාර ආභරණ, ඇඳුම් ආයිත්තම් ගෙන දීමට කටයුතු කළ යුතුය. එකල්හි ඇයද ඔබ වෙත මහත් වූ පතිභක්තියකින් කටයුතු කරනු නො අනුමානය. ඇය සතු කණකර ආභරණ උකස්කොට මත්පැන් පානය හෝ සූදුව වැනි අයහපත් ක්‍රියාවන්ට යොමුවන පුරුෂයෝ සැබවින්ම මිනිස්කමට පවා නින්දා කරන්නවුන්ය.

කාන්තාවක වශයෙන් කෙතරම් ආභරණ පැළඳිය ද ඇගේ අලංකාරය රඳා පවතිනුයේ ඇය සතු ගුණ ධර්මයන් නිසාවෙනි.අතක් පිරෙන තුරු රන් වළලු පැළඳියද ගෙල පහත්වන තුරු රන් මාලා පැළඳියද දෙකන් ඉරී වැටෙන තරම් රන්තෝඩු පැළඳිය ද ඇය දුර්ගුණයන්ගෙන් යුතු තැනැත්තියක නම් ඉන් ඇති අලංකාරයක් නැත. පතිභක්තියෙන් කටයුතු කරණ ගුණ ධර්මයන්ගෙන් සපිරි කාන්තාව ම ශ්‍රේෂ්ඨ බව ධර්මයේ පැහැදිලි කෙරෙයි. මෙය වත්මන් කාන්තාවන් විසින් නැවත නැවතත් සිතිය යුතු කරුණකි.

මෙසේ සිය භාර්යාව කෙරෙහි ස්වාමියා විසින් යුතුකම් පහකින් සංග්‍රහ කළ යුතු අතර භාර්යාව විසින් ද ස්වාමියා කෙරෙහි යුතුකම් පහකින් සංග්‍රහ කළ යුතු බව බුදුරජාණන් වහන්සේ සිගාලෝවාද සූත්‍රයේදි පැහැදිලි කොට ඇත.

භාර්යාවක විසින් සිය ස්වාමි පුරුෂයා වෙත ඉටු කළ යුතු යුතුකම්
මැනවින් කටයුතු සංවිධානය කිරීමෙන් (සුසංවිහිතකම්මන්තා)

ගෘහණියකගේ කටයුතු සංවිධානය මතම නිවසක සෞභාග්‍යය හෝ අභාග්‍යය සැලසෙයි. පිළිවෙළට සකස් කළ නිවස, මලින් ඵලින් බර ගෙවත්ත, පිරිසුදු හැලි වළං නිසි පරිදි අසුරා ඇති මුලුතැන්ගෙය දකින විටම එම නිවස සීදේවිය අරක්ගත් නිවසක් බව වැටහී යයි. ස්වාමි පුරුෂයා හා දරුවන් උදෑසන නිවසින් පිටව යන විට ඔවුන්ට අවශ්‍ය ආහාර පානාදිය සකස් කොට දීමෙන් හා ඔවුනට ආසිරි පතා නිවසින් පිටත්කොට හැරීමෙන් දවස පුරාම ඇය ඔවුන්ගේ ආත්මීය සුවඳ බවට පත්වෙයි. එබඳු බිරිඳ හෝ මව වෙත ආපසු පෙරලා පැමිණෙන තුරු ස්වාමියාට හෝ දරුවන්ට ඉවසිල්ලක් නැත. එවන් ආදරණීය සකසුරුවම් නිවසක් ඇති තැනැත්තියක වීම තරම් කාන්තාවකට තවත් සැපතක් ඇතැයි නොසිතිය හැකිය. නොඑසේව නිදි පැදුරේ සිටින භාර්යාව දෙස කෝපයෙන් බලබලා ආපනශාලාවන්ගෙන් ආහාර ලබාගෙන කාර්යාලයට යන ස්වාමි පුරුෂයෙකු තුළ සිය භාර්යාව විෂයෙහි ආදරයක් හෝ භක්තියක් ඇති නොවීම ස්වභාවිකය. පාසල් යන දරුවන්ගේ අපිළිවෙළ පොත්පත්, ඔවුන්ගේ කිලිටි ඇඳුම් පැළඳුම් දුටු විටම එම දරුවන්ගේ මෑණියන් ගැන ගුරු භවතෙකුට තරමක මිම්මක් ඇතිකර ගත හැකිය. එවන් අවාසනාවන්ත නිවෙසකට කල්තබා ආපසු පැමිණීමට වඩා සිය මිතුරන් සමග අවන්හලකට ගොස් මතින් මත්ව නිදි පැදුරට පෙරළීමට සැරසී පැමිණීම ස්වාමි පුරුෂයෙකුට වඩා සුවදායක යැයි සිතෙනු ඇත. එබැවින් දරුවන්ගේ හා ස්වාමි පුරුෂයාගේ කටයුතු මැනවින් සම්පාදනය කොට දෙන ස්වාමි දියණියක වසන නිවස ඔවුන්ගේ සතුට හා සැනසුම සදන දෙවි විමනක් බඳුය. එවන් දෙවි විමනකට අරක්ගත් දෙවඟනක වීමට වඩා වනිතාවට ඇති අන් සැපතක් ඇත්ද?

ස්වාමියාගේ පිරිවර ජනයාට සංග්‍රහ කිරීමෙන්
(සංගහිතපරිජනා)

දැරියක වශයෙන් මව්පියන් සමග වසන කාලය තුළ ඔබ බොහෝ කොට සියුමැලි නිදහස් ජීවිතයක් ගත කළ බව ඔබට මතක ඇත. එහෙත් පතිකුලයට පැමිණි දා පටන් ඔබ වගකීම් සහිත ජීවිතයක් ඇති අයෙකු බව තේරුම් ගත යුතුය. මෙතෙක් ඔබ දැරියකව සිටියද දැන් ඔබ ගෘහණියකි. ගෘහණියක වශයෙන් සිය සැමියාගෙන් පිරිවර ජනයාට හිතවතුන්ට හා මාපියන්ට ඔබ විසින් ඉටු කළ යුතු බොහෝ යුතුකම් ඇත.ඇතැම් විට ස්වාමි පුරුෂයාගේ පැරණි සේවකයන්ගේ ක්‍රියාකලාපයන් ඔබට නුරුස්සනවා විය හැකිය. එබඳු අවස්ථාවන්හි ස්වාමියා ඔවුන් කෙරෙහි කලකිරවා සේවයෙන් පහකිරිම වැනි දෙයක් සිදු වුවහොත් ඒ අසරණයාට යන කලදසාව ගැන ද ඔබ කල්පනා කළ යුතුය. ඇතැම් විට ඔබගේ නොසැලකිලිමත්කම මත හෝ එවැන්නෙකුගේ ඉවත්වීමෙන් ස්වාමියාගේ සියලු ව්‍යාපාර කටයුතු අඩපණ වීමටද ඉඩ ඇත. එබඳු අවස්ථාවක ඔබ කෙරෙහි ස්වාමියා දක්වන සෙනෙහසද දුරුවී යාමට ඉඩ ඇත. ඔබගේ ස්වාමියා සමාජයේ යමක් කළ හැකි අයකු වශයෙන් නැගී සිටින්නේ ඔහුගේ පිරිවර ජනයාගේ උපකාරය මත බව නිතර සිහිපත් කරන ඔබ ඔවුන් වෙත මහත් සැලකිල්ලෙන් හා ප්‍රවේශමෙන් සංග්‍රහ කළ යුතුය.

ඔබගේ සැමියාගේ මිතුරන් ඇතැම් විට ඔබ පිළිකුල් කරනවා විය හැකිය. එවන් විටෙක ඔහුට මිතුරන් අතර ඇතිවන තත්වය කෙබඳුදැයි මොහොතකට සිහිකරන්න.ඇතැම් විට ඔහු මිතුරන්ගේ උසුළු විසුළු වලට ලක්වන්ට ඉඩ ඇත. ඇතැම් විට ඔබගේ නොමනා ගති නිසා මිතුරන් ඔහු අතැර යාමට ද ඉඩකඩ ඇත. එවන් මොහොතක ඔබගේ ස්වාමියා කෙතරම් අසරණ තත්වයකට පත්වේද? ඔහු මිතුරන් සමග තැන තැන ඇවිද ආත්මගරුත්වය කෙළෙසා ගන්නවාට වඩා ඔබ සිය නිවසේදී ඔවුන්ට සංග්‍රහ කොට යහපත් භාර්යාවක වශයෙන් සිය යුතුකම ඉටුකරන්නේ නම් ඔහුගේ ජීවිතය වඩාත් යහපත් වනු ඇත.

මතු සම්බන්ධයි

 

බක් පුර අටවක පෝය

බක් පුර අටවක පෝය මාර්තු 30 වැනිදා සිකුරාදා අපර භාග12 .25 ට ලබයි.
මාර්තු 31 වැනිදා සෙනසුරාදා අපරභාග 01.38 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මාර්තු 30 වැනිදා සිකුරාදා ය.

මිළඟ පෝය
අප්‍රේල් 06 වැනිදා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 30

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 06

Second Quarterඅව අටවක

අප්‍රේල් 13

New Moonඅමාවක

අපේ‍්‍රල් 20


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]