Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මුළාවෙන් මිදීමට උපකාර වන සත්‍යවාදී ගුණය

මේ ලිපියේ මුල් කොටස ‘බොරු කීම මහා පාප කර්මයකි’ යන මැයෙන් පෙබරවාරි 29 වැනිදා පත්‍රයේ පළවිය.

 

බොරුවෙන් වෙන් වුණු අය ලොව දුර්ලභ බවත් බොරු කියන පිරිස වැඩි බවත් අපි පසුගිය වතාවේදී සාකච්ඡා කළෙමු. අප අනර්ථය වෙත පමුණුවන මේ බොරුවෙන් හැමවිටම වෙන් විය යුතු ය. බොරුවෙන් වෙන්වීම හේතුකොට ගෙන බොහෝ යහපත් ප්‍රතිඵල අත්වේ. ඒ බව අධිමුත්ත සාමණේරයන් වහන්සේගේ කථා පුවතෙන් ද පැහැදිලි වේ. ඒ හිමියන් සංකිච්ච තෙරුන් වහන්සේගේ ශිෂ්‍යයෙකි.

දිනක් මේ සංකිච්ච හිමියන් අධිමුත්ත සාමණේරයන් වහන්සේ අමතා පවසන්නේ ඔබ දැන් වැඩිමහලු බවත්, උපසම්පදාව කිරීම සඳහා නිවෙසට ගොස් වයස අසා දැනගෙන එන ලෙසත්ය. හිමියෝ සිය මෑණියන් වෙසෙන ගමට යනු පිණිස නික්මී අතරමඟදී සොරුන් සිටින වනයකට ඇතුළු වූහ. සොරු මෙම හිමි නම අල්ලා ගත්හ. කෙනෙකුගෙන් ධනයක් ගන්නට නොමැති විට දී පවා තමන් එහි සිටින බව සෙසු මිනිසුන්ට ආරංචි නොවීම පිණිස වනයට ඇතුළු වුණු අය මරා දැමීම සොරුන්ගේ සිරිතකි. මේ හිමියන් පැවිද්දෙකු නිසා අතහැර දැමීමට සමහර අය කථා කළ අතර සමහරු මැරීමට කථා කළහ. තමන් මරණයට පත්කළහොත් මේ වනයට ඇතුළු වුණු පැවිද්දෙකුටවත් ආපසු එන්නට ලැබෙන්නේ නැතැයි සලකා ඉන්පසු කිසිවෙකු මේ වනයට නොපැමිණෙනවා ඇත යනුවෙන් මේ අධිමුත්ත සාමණේරයෝ පැවසූහ. හිමියන්ගේ කථාව ඇසූ සොරු මේ ප්‍රකාශයෙහි සත්‍යතාව සලකා, තමන් වනයෙහි සිටින බව පෙරමග එන කිසිවකුටවත් නොකිය යුතුය යනුවෙන් උන්වහන්සේ පොරොන්දු කරවාගෙන නිදහස් කළෝය. හිමියෝ ඉදිරියට ගමන් කළහ. සාමණේරයන්ට මඟදී තම මවුපියන්, සහෝදරයා සහ සහෝදරිය එම වනයම පසු කර යන්නට එනවිට හමුවිය. සත්‍යයෙහි පිහිටි ඒ හිමියෝ මේ අයට සොරුන් වනයේ සිටින බවක් නො කීහ. වනයේ දී සොරු එම හිමියන්ගේ නෑ පිරිස අල්වා ගත්හ. එවිට හිමියන්ගේ මව විපත දැන සාමණේර හිමියන් මේ ගැන අපට පැවැසුවේ නැත යැයි පවසමින් හඬන්නට වූවාය. සොරු විස්තර අසා දැන ගත් හ. සාමණේරයන් වහන්සේගේ බොරු නොකීමේ, සත්‍යයෙහි පිහිටා සිටීමේ ගුණයට පැහැදුණෝය. හිමියන්ගේ මේ නෑ පිරිසද නිදහස් කළහ. සොරු සොරකම් කිරීමද අත්හළහ. පැවිදිවී උපසම්පදාව ලබා ගත්හ. අධිමුත්ත හිමියන්ගේ අවවාද අනුශාසනා අනුව කටයුතු කොට සියලු දෙනා පසු කාලයේදී රහත් බවට පත් වූහ. මෙලෙස සත්‍යවාදි වීම හේතුවෙන් සිදුවූයේ මහත් යහපතකි.

යහපත් වචන, සත්‍ය වවන කථා කිරිම පුද්ගලයාගේ ජීවිතයට ශක්තිය සපයයි.ඇතැම් අය තමන් සත්‍ය වචන පාවිච්චි කරන්නේ යැයි ප්‍රකාශ කරමින් වඤ්චක ධර්මවලට හසුවෙති. සමහරු තමන් සත්‍ය වචන ප්‍රකාශ කරනවා යැයි කේලාම් කියති. කේලාම් ඇතැම් විට සත්‍යයක් විය හැකිය. එහෙත් එකිනෙකා බිඳෙන වචන කථා කිරීම පාපයකි. අප කිව යුතු සත්‍යය තුළ ඇති අර්ථ සහිත බව, වැදගත් බව වටී. සත්‍ය වදන් කථා කිරීමෙන් මෙලො වදීම යහපත් ආනිශංස ලැබෙන බවට ඉහත සඳහන් කළ අධිමුත්ත සාමණේරයන් වහන්සේගේ කථා පුවත මනා නිදසුනකි. යහපත් වචනයෙන් පරලොව දීද යහපත් ආනිශංස ලද හැකිවේ.

මහා ඍද්ධිමත් වූ මුගලන් මහ තෙරුන් වහන්සේ දෙවිවරුන් හමුවීමට චාරිකාවේ වැඩි අවස්ථාවක මහේශාක්‍ය දේවතාවකුගේ විමානද්වාරයේ සිට මෙබඳු සම්පතක් ලැබීමට කළ පින්කම් කවරේදැයි විමසා සිටියහ. එවිට එම දේවතාවා පවසන්නේ තමන් දානයක් නුදුන් බවත්, පූජාවක් නොකළ බවත්, ධර්මයක් නො ඇසූ බවත් හුදෙක් සත්‍යය ආරක්‍ෂා කළ පමණින් එබඳු සම්පතක් ලැබූ බවත්ය.

මහ මුගලන් මහ රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ හමුවට වැඩම කොට විමසන්නේ මෙතරම් කුඩා පින්කම් කොට දිව්‍ය සම්පත්තිය ලද හැකිද යනුවෙනි. එවිට බුදුන් වහන්සේ පෙන්වා දෙන්නේ මෙතරම් කුඩා පින්කම් කොට වුවද දිව්‍ය සම්පත්තිය ලද හැකි බවයි. තවද බුදුරජාණන් වහන්සේ මෙසේද වදාළ සේක.

සච්චං භණෙ න කුජ්ඣෙය්‍ය,
දජ්ජා අප්පම්පි යාචිතො;
එතෙහි තීිහි ඨානෙහි,
ගච්ඡෙ දෙවාන සන්තිකෙ “

(ධම්මපද –අට්ඨකථා)

සච්චං භණෙ – සත්‍යය කියන්නේය
න කුජ්ඣෙය්‍ය - කෝප නොගන්නේය
දජ්ජා අප්පම්පි යාචිතො
-ඉල්ලන අයෙකුට ටිකක් හෝ දෙන්නේය.

එතෙහි තීහි ඨානෙහි -මේ කරුණු තුනෙන්

ගච්ඡෙ දෙවාන සන්තිකෙ - දෙවියන් කරා යන්නේය.

මෙයින් සත්‍ය වචන කතා කිරීම් මාත්‍රයේ වුව ඇති වැදගත්කම මනාව පැහැදිලි වේ.

ලෝකයේ බොරු නොකියන සත්වයන් අඩු බවත් බොරු කියන සත්වයන් වැඩි බවත් වදාළ බුදුරජාණන් වහන්සේ එයට හේතුව ද වදාළ සේක.

“තං කිස්ස හෙතු? අදිට්ඨත්තා භික්ඛවෙ, චතුන්නං අරියසච්චානං. කතමෙසං චතුන්නං: දුක්ඛස්ස අරියසච්චස්ස..... දුක්ඛනිරෝධගාමිනියා පටිපදාය අරියසච්චස්ස”

දුක නම් වූ ආර්ය සත්‍යය නොදුටු බැවින්, දුකෙහි සමුදය හෙවත් දුක හට ගැනීමට හේතුව නම් වූ ආර්ය සත්‍යය නොදුටු බැවින්, දුක්ඛ නිරෝධය නම් වූ ආර්ය සත්‍යය නොදුටු බැවින්, දුක්ඛ නිරෝධ ගාමිනි ප්‍රතිපදා ආර්ය සත්‍යය හෙවත් දුක් නිරෝධය පිණිස පවතින ප්‍රතිපදාව නම් වූ ආර්ය සත්‍යය නොදුටු බැවින් යන මේ චතුරාර්ය සත්‍යය නොදුටු බැවිනි. එසේ නම් ලොව මුසාවාදය වැඩි වීමට හේතුව වන්නේ ලෝකයෙහි යථා තත්ත්වය ඇති සැටියෙන් නොදැනීමයි.ඇත්ත ඇති සැටියෙන් නොදැන බොරුවට වසග වූ අය බොරුම පවසති. තමන් ද බොරුවක සිර වී අන් අයද බොරුවෙන් රැවැටීමට උත්සාහ දරති. බොරුවෙන් ලොව රවටා මුළා කරති. නොදැනීම නිසා මෙසේ වැරැදි කරන සත්වයන්ට ඒ හේතුවෙන් මේ ජීවිතයේ දීද නොයෙක් දුක් ගැහැට විඳීමට සිදුවේ. මරණින් මතු අපා ගත වී බොහෝ කාලයක් අපා දුක් විඳීමට සිදු වේ. උපන් උපන් භවවලදී මුඛ දුර්ගන්ධය ඇතිවීමද විශ්වාසය නැති අවිශ්වාසි කථා ඇත්තන් බවට පත් වීමද සිදුවේ. එබැවින් මේ සා දුක් පමුණුවන අසත්‍යයට නැවැතීම තැබිය යුතුය.අසත්‍යයට නැවැතුම තබා සත්‍යාවබෝධය කළ යුතුය. බුදුරජාණන් වහන්සේ තවදුරටත් මෙසේ වදාළ සේක.

“ තස්මාතිහ භික්ඛවෙ, ඉදං දුක්ඛන්ති
යොගො කරණීයො. අයං දුක්ඛසමුදයොති
යොගො කරණීයො. අයං දුක්ඛනිරොධොති
යොගො කරණීයො. අයං දුක්ඛනිරොධගාමිනී පටිපදාති යොගො කරණීයොති.”

“මහණෙනි, එහෙයින් මෙහිලා මේ දුක්ඛ යැය වීර්යය කළ යුතුය. මේ දුක්ඛ සමුදය යැයි වීර්යය කළ යුතුය. මේ දුක්ඛනිරෝධ යැයි වීර්යය කළ යුතුය.මේ දුක්ඛ නිරෝධගාමිනි පටිපදා යැයි වීර්යය කළ යුතුය.”

එසේ නම් අප මෙහිදී අවබෝධ කර ගත යුතු කරුණක් ඇත. එනම්, අප මේ මුළාවකට අසත්‍යයකට රැවටී සිටින බව යි. ඒ මුළාවෙහි පැටලුණු විට, අසත්‍යයට රැවැටුණු විට අන්‍යයන්ද මුළා කරවීම සිදුවේ. අන්‍යයන්ද රැවටීම සිදුවේ. චතුරාර්ය සත්‍යය නොදැනීමේ දෝෂයෙන් අපි කවුරුත් රැවැටීමෙන් මහත් වූ දුකක් විඳිමු. මේ තත්ත්වය වටහා නොගෙන අප මහත් වූ මුළාවකට පත් වී ඇති බවට හොඳ උදාහරණයක් මෙසේය. අපි පසුගිය කාලයේ තේලකටාහගාථා සංස්කරණයක් කළෙමු. තේලකටාහගාථා යනු කැලණියේ තිස්ස හිමියන් තෙල් කටාරමට දැමූ විට එහි දැවෙමින් සිට කියූ ගාථාවේ . එහි මේ සංසාරය, සමාජය වේදිකාවකට සමාන කොට දක්වා තිබේ. වේදිකාවක නාට්‍යයක් රඟ දක්වන විට එක අවස්ථාවක පැමිණෙන ස්ත්‍රියක් සහ පුරුෂයෙක් අම්මා සහ පුතා චරිත රඟ දක්වති. ඒ දෙදෙනා වේදිකාවෙන් බැස යති. නැවතත් වෙනත් ස්වරූපයකින් ඒ දෙදෙනාම වේදිකා ගත වෙති. ඒ ස්වාමි පුරුෂයා හා බිරිඳ වශයෙනි. මේ රඟපෑම නාට්‍යයකට නිසා නම් කම් නැත. එහෙත් සැබැවින්ම මේ සිදුවීම සිදුවේ නම් එය කෙතරම් ජුගුප්සාජනක ද? සැබැවින්ම මෙම සිදුවීම මේ සංසාරය නම් වූ වේදිකාව තුළ සිදුවේ. එනම්, මේ ජීවිතයේදි අම්මා සහ පුතා යන චරිත නිරූපණය කරන අය ඊළඟ ජීවිතයේදි බිරිඳ සහ ස්වාමිපුරුෂයා විය හැකිය. මේ ජීවිතයේදි පියා සහ දියණිය යන චරිත නිරූපණය කරන අය ඊළඟ භවවලදී ස්වාමියා, බිරිඳ විය හැකි ය. මේ ආකාරයට මේ අය එක් එක් ජීවිතවලදි නොයෙක් නොයෙක් චරිත රඟ දක්වති. සැබැවින්ම මේ තත්ත්වය ජුගුප්සාජනකය. කරුණු මෙසේ බැවින් මේවා නුවණින් සලකා බලන අය දුකෙන් නිදහස් වීමට සසරින් වහ වහා ඉවත්වීමට උත්සාහ දරති.

මේ සසර සැඩ පහරක් මෙනි. සැඩ පහරකට හසු වූ අයකුට තමන්ට කැමැති ආකාරයට යා නො හැකිය. සැඩ පහරට හසුවෙන හසුවෙන අයුරින් එහි ගසාගෙන යයි. ඒ නිසා මේ සසරෙහිත් අපට අවශ්‍ය අයුරින් ගමන් කළනොහැකිය. අපි සාරි, කළිසම්, කමිස ආදි ඇඳුම් අපට අවශ්‍ය අයුරින් තෝරා ගනිමු. එහෙත් අපට මේ ජීවිතයේ දී මේ ආකාරයෙන්මත් ඊළඟ ජීවිතයේ දී මේ මේ ආකාරයෙන්මත් ජීවත්වෙනවා. උපදිනවා කියා සිතේ කැමැත්තට අනුව පැවැතිය නොහැකි ය. සංසාරයේ සැබෑ ස්වරූපය මෙයයි.

අපි එක් අවස්ථාවක තෝරා ගන්නා දෙය තවත් අවස්ථාවක වෙනත් අයුරකින් තෝරා ගනිමු. එක අවස්ථාවක හොඳ හැටියට ගන්නා දෑ තවත් මොහොතකදී අපට අප්‍රසන්නම පිළිකුල්ම දෑ විය හැකිය. තරුණයකු තරුණියක සමඟ මිත්‍රව සිටින විට ඔහු සිය මිතුරිය හමුවන්නේ චොක්ලට්, මල් ආදි තෑගි භෝගද රැගෙන යමිනි. එහෙත් තත්ත්වය වෙනස් වී ආදරය අහිමි වූ දාට චොක්ලට් ගෙන ගිය අතින්ම පිහිය රැගෙන යනවා විය හැකිය. ඇය සැනසූ තරුණයා අතින්ම විනාශයක් සිදු වනවා විය හැකිය. එබැවින් මේ කාමයන් නම් ලැබෙන තුරු තෘප්තිමත්ය. සුවදායකය. එහෙත් නොලැබෙන විට ඊට ද්වේශ කරයි. ඊතල පහර කෑ අය මෙන් දඟලයි.

බුදුරජාණන් වහන්සේ සුත්තනිපාතයේ කාම සූත්‍රයේදී මෙසේ වදාළ සේක.

“කාමං කාමයමානස්ස තස්ස චෙතං සමිජ්ඣති,
අද්ධා පීතිමනො හොති ලද්ධා මච්චො යදිච්ඡති”

කාමය කැමැති වන පුද්ගලයාට ඉඳින් ඒ කාමය සමෘද්ධ වේ නම් එකල්හි ඒ සත්වයා කැමැති වන ඒ වස්තුව ලැබ ඒ කාන්තයෙන් සතුටු සිත් ඇත්තෙක් වෙයි.

“සස්ස චෙ කාමයානස්ස ඡත්දජාතස්ස ජන්තුනො,
තෙ කාමා පරිහායන්ති සල්ලවිද්ධොව රුප්පති”

කාම වස්තු කැමැති වන, ඇති වූ තණ්හා ඇති ඒ පුද්ගලයාගේ ඒ කාමයන් ඉඳින් පිරිහේ නම් එවිට ඒ තැනැත්තා උලකින් පහර කෑ අයකු මෙන් පෙළෙයි.

එබැවින් අපි මේ සංසාරයේ ඇති භයානක තත්ත්වය අවබෝධ කර ගනිමු. මුළාවෙන් මුළාවී යන මේ ගමන නවතා අසත්‍යයට නැවැතුම තැබීමට උත්සාහවත් වෙමු.

(සච්චසංයුත්තයෙහි මුසාවාද සූත්‍රය ඇසුරු කෙරිණි)


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.