UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

නිවන් මඟ

මිනිස් ජීවිතය යනු පංච ඉන්ද්‍රියන්ගෙන් හෙබි ගොඩනැගිල්ලක් මෙනි. මෙහි රූප වේදනා සංඥා සංඛාර විඤ්ඤාණ යන පංචස්කන්ධයක්ද අන්තර්ගත වෙයි. මේ පංචස්කන්ධයන්ගෙන් හෙබි පංච ඉන්ද්‍රියන් ක්‍රියාත්මක කරවන මිනිස් ජීවියා මෙලොව ජීවත් වනවා යයි කියන්නේ කුමකටද?

“පුන්නාමත්ථි ධනම්මත්ථි
ඉනි බාලො විහඤ්ඤති 
අත්තා හි අත්තනො නත්ථි
කුතො පුන්නා කුතො ධනං”

පින්වතුනි,

බෞද්ධයා යනු තෙරුවන් සරණ ගිය අයයි. බුදුන්, දහම්, සඟුන් පිළිබඳ විශ්වාසය ඇති කරගෙන බුදුදහම අනුව ගමන් කරන අය මේ යටතේ නම් කළ හැක. ඔවුන්ගේ ඒකායන අරමුණ විය යුත්තේ නිවන් මගෙහි ගමන් කොට සසර දුක නිම කරන නිවන් සුව ලබා ගැනීමයි. ලෞකික ජීවිත ගත කරන ඇතැම් දෙනා එම භෞතික සැප සම්පත්ම පසුපස ගොස් සසර දිගු කරවන තෘෂ්ණාදී ක්ලේශයන් වැඩි දියුණු කර ගනිති.

ඉහත සඳහන් ගාථා ධර්මයෙන් උගන්වා ඇත්තේ එම නිවන් මඟ හෙළි කරවන මූලධර්මයකි. අවිද්‍යාවෙන් අන්ධ වූ (සසර පිළිබඳ නොදැනීම) බාල ජනතාව නිතර නිතර සිතන්නේ මට දරුවන් සිටියි. වතුපිටි ඉඩකඩම් තිබෙයි කියායි. ඒ සමග ඒවා වැඩි දියුණූ කර ගැනීමට පුදුම වෙහෙසක් මහන්සියක් දරයි. එහි ප්‍රතිඵලය කුමක්ද? මගේ කියා එකතු කර ගන්නා සැම දේකින්ම දුක වේදනාව ගෙන දෙන බවයි. මෙහිදී ‘අත්තාහි අත්තනො නත්ථි’ තමාට තමාවත් නැති මෙලොව දරුවන් මිල මුදල් වතුපිටි වත්කම ඇතැයි කෙසේ සිතන්නේද, මෙහිදී උගන්වන දර්ශනය නිවනට පාදක වෙයි. ඒ කුමක්ද? අනිත්‍ය දර්ශනයයි. ප්‍රථම වරට ලොවට අස්ථීරතාවය හෙවත් අනිත්‍යතාවය පෙන්වා දුන් එකම ශාස්තෘවරයා බුදුරජාණන් වහන්සේයි.

මේ ඇස් ආදි ඉන්ද්‍රිය රූපාදි අරමුණු රස විඳ ගැනීම ජීවත් වීමයි.අපි උපතේ සිට මරණය දක්වා අසමින් රූප බලමින් එහි ඇලෙයි. එය නිත්‍ය සුඛ ආත්ම ලෙස ග්‍රහණය කරවයි. කනින් ශබ්ද අසයි. එයද නිත්‍ය (ස්ථිර) සුඛ (සැප) ආත්ම (සදා කල් වෙනස් නොවන) ලෙස සිතා ග්‍රහණය කරගනියි. මෙලෙස සෑම ඉන්ද්‍රයකින්ම අදාළ ආරම්මණවස්තු ග්‍රහණය කර ගනිමින් මේ ගමන ඉදිරියට යයි. මෙහිදී තවත් වැදගත් ක්‍රියාවලියක් ද සිදුවෙයි.මේ ඇස් ආදි ඉන්ද්‍රිය තුළට ශුභ සහගත රූපාරම්මනයක් ගැටුන වහා සිතට ආශාව හෙවත් තෘෂ්ණාව ඇතුල් වෙයි. එසේම එම පංච ඉන්ද්‍රියන්ට අශුභ සහගත අපි‍්‍රයජනක ආරම්මනයක් ගැටුන වහා ඇති වන්නේ තරහක් වෛරයක්ය. මේ තෘෂ්ණාව සහ තරහ පොදි බැඳගෙන යන ගමන් තමයි ජීවත් වෙනවායි සඳහන් කරන්නේ.

උපතේ සිට මරණය දක්වා අප මහන්සි වන්නේ, සිදු කරන්නේ මේ ක්‍රියාදාමය පමණයි. මේ සඳහා අපි කුඩා කල සිට ඉගෙන ගන්නවා. රැකියා සොයා යනවා. ගේ දොර ඉඩකඩම් දූ දරුවන් ආදි විවිධ භෞතික වස්තු සොයා යන්නේ ඒ සඳහා වෙහෙසෙන්නේ මේ පංච ඉන්ද්‍රිය පිනවීමටයි. මෙකී ක්‍රියාවලිය පිළිබඳ යථාර්ථ නොදැනීම, නිසා නැවත නැවත සසර ඉපදෙමින් දුක් රැස් කර ගනිමින් දුකේම ගිලී සසර දිගු කර ගනියි.

එසේ නම් පින්වත, මේ පංච ඉන්ද්‍රිය පිනවීමෙන් සසර දුක වැඩි කර ගන්නේ නම් ඉන් මිදීමට ඇති උපක්‍රමය කුමක්දැයි සොයා බැලිය යුතුයි. බුදුරදුන් ඒ සඳහායි නිතර නිතර බෞද්ධයාට මඟ පෙන්වා ඇත්තේ බුද්ධ දේශනාවේ ප්‍රධාන අරමුණ වන්නේද මේ සසර පැවැත්ම නතර කරලීමයි.

සසර දිගු කරවන, දුක වැඩි කරවන තෘෂ්ණාදී කෙලෙස් වර්ධනය සඳහා මිනිසා පෙළඹී ඇත. ඉන් මිදීමට විවිධ ධර්ම කොටස් උගන්වා ඇති අතර අප මෙහිදී පැහැදිලි කරදෙන බෞද්ධ දර්ශනය ද ඉතා වැදගත් වෙයි.

මිනිසා රූපාදි අරමුණු ග්‍රහණය කරගැනීමේදී ඇස් ආදි ඉන්ද්‍රිය මුල් වීමෙන් චක්ඛූ විඤ්ඤාණද සිත් පහළ වීමෙන් මේ ක්‍රියාදාමය සිදුවෙයි. ඇසත් රූපයත් ගැටීමෙන් චක්ඛු විඤ්ඤාණය නැමැති සිත පහළ වෙයි. එවිට රූපය දැක ක්‍ෂණයකින් හඳුනා ගනියි.

මෙම දර්ශනය සිහිනුවනින් යුතුව දකියි නම් ඔහු ජීවිතයේ යථාර්ථය දැන ගනියි. සෑම අවස්ථාවකම උපේක්‍ෂා සහගත වෙයි. එවිට ඇස රූපයේ ගැටී එහි ඇලීමක් හෝ තෘෂ්ණා සහගත බැඳීමක් ඇති නොවෙයි. එවිට ජීවිතය හා ලොව පිළිබඳ ඇති තතු වැටහෙයි. දුක පිළිබඳ අවබෝධයක් ඇතිවෙයි. මෙය ත්‍රිලක්‍ෂණ භාවනාව ලෙසද හැඳින්විය හැක. මෙය දියුණු කරගත් විට ඔහුට විදර්ශනා ඤාණය උපදවාගත හැක. ඉන් සසර බැඳ තබන අවිද්‍යා තෘෂ්ණා කඩා බිද වැටෙන අතර එයම සසර දුක කෙළවර කිරීමෙන් ලබන උතුම් නිවන් සුවය ලබා ගැනීමට ද පාදක වෙයි.

එම නිසා පින්වත් ඔබත් ඤාණාවන්තව සිතන්න. මේ ජීවිතය තාවකාලික එකක් ලෙසත් එය දුක් ගෙන දෙන්නක් බවත් තේරුම් ගත යුතුය. ලොව සියල්ල මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බැලිය යුතු අතර එහි ඇති නිසරු බව දැන ගෙන කටයුතු කරන්න. මේ ත්‍රිලක්‍ෂනානුකූලව බලන විට ඇස, කණ, නාසය, දිව, ශරීරය, මනස යන ෂඩ්න්ද්‍රිය පිළිබඳවම තෘෂ්ණාවෙන් නොඇලෙයි. එසේම රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ඨබ්බ, ධර්ම යන ෂඞාරම්මණ පිළිබඳව ද තෘෂ්ණාවෙන් නො ඇලි කළ කිරෙයි. තවද ඇස රූපය නිසා හට ගන්නා දැනීම් මාත්‍රය හෙවත් චක්‍රච විඤ්ඤාණ ය ද තෘෂ්ණාවෙන් අල්ලා නො ගනියි. මෙලෙස සෝත විඤ්ඤාණය, ඝාන විඤ්ඤාණය, ජිව්හා විඤ්ඤාණය, කාය විඤ්ඤාණය, මනෝ විඤ්ඤාණ ආදිය ගැන ද මනා දැනීම හෙවත් විදර්ශනා ඤාණය ඇති වූ විට අවිද්‍යාව පහව යයි. තෘෂ්ණාවෙන් නො ඇලෙයි. එසේ අවිද්‍යා තෘෂ්ණා දෙකින් මිදුන සත්වයා නැවත සසර නූපදියි. එය සසර දුක නිමාවෙන් ලබන අමාමහ නිවන් සුවයයි.

මේ උතුම් නිවන් සුවය ළඟා කරගැනීමට බෞද්ධ ඔබ සැම ද උත්සුක වන්න.


ධර්ම දානයට දායක වීමට මහඟු අවස්ථාවක්

බුදුසරණ ධර්ම දේශනා ලිපිය මෙම පිටුවෙහි පළවේ. එබැවින් ඔබටත් ධර්ම දානමය පින අත් කර ගැනීමට මහඟු අවස්ථාවක් උදා වී ඇත.

ඔබගේ දයාබර මවුපියන්ගේ හෝ දූ පුතුන්ගේ උපන් දිනය සමරුවට ආශිර්වාද පිණිස සෙත් පැතීමටත්, පරලොව සැපත් නෑදෑ හිතවතුන්ට පින් අනුමෝදන් කිරීම පිණිසත් එසේ ධර්ම දානයට ඔබට දායක විය හැකි ය.

එසේ ධර්ම දානයට දායක වන සැදැහැවතුන්ගේ නම් හා අදාළ එක් ඡායාරූපයක් (සෙ.මී. 4 1/2) සහිත දායකත්වය පිළිබඳ විස්තර මෙම පිටුවෙහි පළ කැරේ. සියලු විස්තර අලෙවි හා ශාඛා කාර්යාල අංශයේ 0777 270091 හෝ 2319741 දර්ශ ගෙන් විමසා දැන ගත හැකිය.

 

මැදින්පුර අටවක පෝය

මැදින්පුර අටවක පෝය පෙබරවාරි 29 වන දා බදාදා 05.39 ට ලබයි.
මාර්තු 01 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 07.53 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම පෙබරවාරි 29 වන දා බදාදා ය.

මීළඟ පෝය
මාර්තු 07 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 29

Full Moonපසෙලාස්වක

මාර්තු 07

Second Quarterඅව අටවක

මාර්තු 15

New Moonඅමාවක

මාර්තු 22


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]