UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

නවම් අව අටවක 2012.02.14

සඳ හිරු සෑය රට දැයට අභිමානයකි

අතීතයේ විසූ හෙළ නරපතියන් රට දැයි සමයෙහි පිනට පහළ වී ලක් දෙරණට කළ මෙහෙවර බොහෝ ය. ඒ නරපතියන් යුගයෙන් යුගය කළ සේවය අදත් අපි මහත් ගෞරව බහුමානයෙන් අනුස්මරණය කරමු.

ලාංකේය ඉතිහාසයේ රන් අකුරෙන් ලියැවෙන ඒ අභීත හෙළ නරපතියන්ගේ යුග මෙහෙවර අතීත ශ්‍රී විභූතිය දැයේ පහළ වන අනාගත දූ පුතුන්ට ද දැක බලා ගත හැකි අයුරින් ඉතිරි වී පවතින පෞරාණික පූජනීය වස්තු සිරිලක පුරා විසිරී පැතිරී පවතී.

අපේ දේශයට දේශීය මෙන්ම විදේශීය උවදුරු තර්ජන එදත් පැවැතිණි. එහෙත් ඒ උවදුරු දුරු කර ගැනීමට හෙළ රජදරුවෝ දිවි පරදුවට තබා සටන් කරමින් දේශය රැක ගත්හ. එමෙන්ම කෘෂි ආර්ථිකයට කළ හැකි මහ මෙහෙවරද සැලසූහ. ඒ භෞතික දියුණුවට පමණක් සීමා නොකළහ.

හෙළ බොදු ජනතාවගේ ආධ්‍යාත්මික ගුණවගාව සඳහා සුදෝ සුදුවන් මහ දාගැබ් ද මහා විහාර කර්මාන්තයන් ද කරවූහ. සිත් පින් නැති කළු ගල් වලින් හෙළ කලා කරුවාගේ දෑතින් අගනා බුද්ධ ප්‍රතිමා වහන්සේ ඇතුළු කලා නිර්මාණ බිහි විය.

වසර දහස් ගණනක් ගත වී ගියද ඒ අපේ බොදු උරුමය අදත් නොනැසී පැවතීම දැයෙහි වාසනාවකි. ඒ අතීත උරුමය රැක ගනිමින් නව නිර්මාණය දැයට දායාද කළ යුතු කාලය දැන් එළඹ ඇත.

රට, දැයට ශාපයක් වූ කුරිරු ත්‍රස්තවාදය දශක තුනක් පුරා පැවැතිණි. උදේට පාසලට ගිය දරුවා දවල්ට නැවත නිවසට එනතෙක් දෙමාපියෝ හද ඇවුළුණු ගින්නෙන් පසුවූහ. තම මව්පියන් රැකියාවට නිවසින් පිටත් වී නැවත නිවසට පැමිණෙන තෙක් දරුවන් මහ මඟ දෙස දෑස දල්වා බලා සිටියේ දෙගිඩියාවෙනි.

ඇතැම් මවුපියවරු එකම රථයක ගමන් නො කළහ. මව පියා දෙවරකට වාහන දෙකක ගමන් කිරීමට තරම් අවිනිශ්චිත කාලයක් පසු කළහ. ගමනක් පිටත් වී නැවත නිවසට එනතෙක් ගමන ගිය තැනැත්තන්ගේ ජීවිතය අවදානමක පැවැති යුගයක් ගත විය.

වන්දනා ගමනක නිරත වූවද පාසලකට, රැකියාවකට, වෙළඳපොළට ආදී කවර තැනකට ගිය ද යළි ‘නිවෙසට පැමිණීමේ අවදානම් අඳුරු කාල පරිච්ඡේදයක අපි දිවි ගෙව්වෙමු.

ඒ භයංකර කාලයෙන් නිදහස ලබා අද අපි සැනසිල්ලේ දිවි ගෙවමු. අතීතයේ තිබූ අවදානම නැති වී හෙට දවසක් ගැන සිතන කාලය දැන් උදා වී ඇත. ඒ යුග මෙහෙවරෙහි වීරෝදාර නියමුවා වත්මන් ජනාධිපතිතුමා ය. එතුමා කුරිරු ත්‍රස්තවාදය දුරු කිරීමට මහත් ආයාසයෙන් ක්‍රියා කොට රටට ජනතාවට නිදහසත්, සාමයත් උදාකර දුන්හ.

එමෙන්ම රටේ ආර්ථික සංවර්ධනය උදෙසා ද යෝධ පියවර රැසක් තැබූහ. ඒ ආර්ථික සංවර්ධනය රටට උදාකර දෙන අතරතුර සමාජයට ආධ්‍යාත්මික දියුණුව ද ළඟා කර දීමට ඇප කැප වන රාජ්‍ය නායකයකු රටට වත්මනෙහි පහළ වී සිටීම සැබැවින්ම රට වාසීන්ගේ භාග්‍යයකි.

සඳ හිරු පවතිනතාක් එකම රටක් එකම දැයක් එකම ධජයක් යටතේ ශ්‍රී ලංකාව පවත්වා ගැනීමට රණවිරුවන් ගත් උත්සාහයට සිහිවටනයක් ලෙස මෙරට සෑම පළාතකම ඉදි කරනු ලබන ස්තූප අතරින් ප්‍රථම ස්තූපය වන අනුරාධපුර ‘සඳහිරු සෑයේ’ ගඩොල් බැම්ම බැඳීම ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ සුරතින් ඉකුත් දා (4) ආරම්භ වූ පුවත අප පුවත්පතෙහි 15 වන පිටුවේ ඡායාරූපයක් හා ඒ පිළිබඳ සටහනක් ද වේ.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ සංකල්පයකට අනුව ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ පූර්ණ අධීක්‍ෂණ මධ්‍යයේ එම ස්තූප ඉදි කැරෙන බවද එහි සඳහන් වේ. පෞද්ගලික ධන පරිත්‍යාග සහ ත්‍රිවිධ හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් එම ස්තූප 09 ඉදිවන බවද එම පුවතේ සඳහන් වෙයි. සැබැවින්ම අනුස්මරණීය සිද්ධිගත සිහිවටනයක් ගොඩනැඟීම අපේ රටේ බාලපරපුරට ද අනාගතයේ දැක බලා ගැනීමට සැලැස්වීම යුගයේ අවශ්‍යතාවයකි.

එසේ නොවුවහොත් අතීතයේ අපේ රටේ පැවැති ඒ අභාග්‍ය සම්පන්න අවස්ථා පිළිබඳ ඔවුන් යම් අවබෝධයක් නොලබනු ඇත. එමෙන්ම ආගමික සංකේත සදාකල් බොදුනුවාගේ වන්දනාවට පාත්‍රවීමෙන් අතීත හෙළ හැදියාවන්, බොදු හැදියාවන් අනාගත පරපුරට දායක කිරීමක් වැනි ය.

රටේ දුර්භාග්‍ය කාලය දුරුකර සෞභාග්‍යය උදාවන යුගයක වෙසෙසින්ම සමාජය ආගමික හැඟීම් ඔස්සේ ස්වකීය ආධ්‍යාත්මික ජීවිතය සුවපත් කර ගැනීමට මාවත සකසාදීමද මහඟු කටයුත්තකි. එබැවින් රට වැසියන් ලෙස එවන් මහඟු අවස්ථා සඳහා ස්වකීය දායකත්වය ද සපයා අනුස්මරණීය සිහිවටන දැක දහම් මඟට පිවිසීමට උත්සාහ කළ යුතුව ඇත. හැමටම තෙරුවන් සරණයි.

 
නවම් අව අටවක පෝය

නවම් අව අටවක පෝය පෙබරවාරි 14 වනදා අඟහරුවාදා පූර්ව භාග 11.35 ට ලබයි.
15 වන දා බදාදා පූර්ව භාග 9.41 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 14 වනදා අඟහරුවාදා ය.

මීළඟ පෝය
පෙබරවාරි 21 වනදා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාරි 14

New Moonඅමාවක

පෙබරවාරි 21

First Quarterපුර අටවක

පෙබරවාරි 29

Full Moonපසෙලාස්වක

මාර්තු 07


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]