Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පූජිත පින්කෙත

මොහොට්ටිවත්තේ ගුණානන්ද මා හිමි

බුදුදහමේ හා ශාසනයේ උන්නතිය උදෙසා මුළු ජීවිතයම කැප කළ ගුණානන්ද මාහිමිපාණන් රට පුරා ගමින් ගමට පිවිසෙමින් සිංහල ජනතාව අවදි කළහ. බෞද්ධ ආරාම ගොඩ නැඟූහ. විනාශ වී තිබුණු  පිරිවෙන් අධ්‍යාපනයට නව ජීවයක් ලබා දුන්හ

පෘතුගීසි ලන්දේසි සහ ඉංගී‍්‍රසි පාලන යුග තුළින් වසර ගණනාවක් තිස්සේ ලාංකීය බෞද්ධ ජනතාවට අහිමි වූ අපේ ශ්‍රේෂ්ඨ උරුමයන් යළිත් අපේ දේශයට ජාතියට බෞද්ධ ආගමට ලබා ගැනීමට මහත් ශක්තියක් මෙන්ම අනුබලයක් වූ ඓතිහාසික පානදුරාවාදයේ යෝධ නියමුවාණන් වූ වාදීභසිංහ මොහොට්ටිවත්තේ ගුණානන්ද මාහිමිපාණන්ගේ 189 වැනි ජන්ම සමරු උළෙල 2012 පෙබරවාරි 09 දිනට යෙදී තිබිණි.

වර්තමාන බෞද්ධ ප්‍රබෝධයට හේතු වූ පානදුර මහාවාදය ඓතිහාසික රන් කොත් විහාරය අබියසදී මුළු දී 2012 වසර වන විට වසර 138 ක් ගෙවී අවසානය. 1873 අගෝස්තු 26 සහ 28 වැනි දින දෙක තුන තුළ දී ගුණානන්ද මාහිමිපාණන් ප්‍රමුඛ ගිහි පැවිදි ධීර වීර දේශප්‍රේමීන් දසත නැංවූ කාහල නාදය නොවන්නට අපේ ජාතියේ දේශයේ ගමන් මඟ සපුරා වෙනස් වනු නොඅනුමානය. තැන තැන තනි තනිව නැගූ බොදු හෙළ ජන හඬ මිෂනාරී ආධිපත්‍යය හේතු කර ගෙන විනාශවන්නට ඉඩ තිබුණි.

1823 පෙබරවාරි මස 09 වැනි දින දකුණු සිරිලක බලපිටියේ මොහොට්ටිවත්ත නොහොත් මිගෙට්ටුවත්තේ සුන්දර ගම්මානයේ දී මෙලොව එළිය දුටු කුමරු ගිංගම ලද්දු මිගෙල් මැන්දිස් නම් විය. දයාබර පියාණන් වූයේ ගිංගම ලද්දු මිගෙල් මැන්දිස් ය. කලුදුර මල්ලෝද සිල්වා දයාදර මෑණියන් වූවා ය. මුහුදු බඩ ව්‍යාප්තව තිබුණු බටහිර සංස්කෘතියත් මුල් බැස ගත් මිෂනාරි ව්‍යාපාරයත් හේතු කරගෙන අපේ ජනී ජනයාගේ නම් ගම් ද ඒ ඌරුවටම සකස් කළ යුතු විය. එහෙත් මේ කුමරු මූලික ඉගෙනුම ලබන්නට පිවිසියේ බලපිටියේ සුභද්‍රාරාම පැරණි විහාරයෙහි වැඩ විසූ බලපිටියේ ගුණරතන හිමිපාණන් වෙතිනි.

දෙමාපියන්ගේ ද ඉල්ලීම පරිදි වයස අවුරුදු දොළහේ දී මොහොට්ටිවත්තේ ගුණානන්ද නමින් මේ කුමරු පැවිදි දිවියට පිවිසුණි. නැණ නුවණින් මෙන්ම චතුර කථිකත්වයෙන් කුඩා කල පටන් පිරිපුන් ගුණානන්ද පොඩි හාමුදුරුවෝ සිංහල පාලි සංස්කෘත භාෂා දැනුමෙන්ද සිය අනාගත ගමන් මග විදහා දැක්වූහ. පියාණන්ගේ අභාවය නිසා අසරණ වූ මව රැක බලා ගන්නට උපැවිදිව පිය පාර්ශ්වයේ ඥාතිවරයකු වූ කතෝලික පූජකවරයෙකුගෙන් ක්‍රිස්තියානි ධර්මය මැනවින් ඉගෙන ගත්තේ ය. බයිබලය මැනවින් අවබෝධ කර ගත්තේ ය. මෑණියන්ගේ වියෝවෙන් ටික කලකට පසු දොඩන්දූවේ ගලබොඩ විහාරයෙහි පැවැති ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීමේ මහා පින්කමට සහභාගිවීමෙන් පසු දෙවැනි වරට ද මොහොට්ටිවත්තේ ගුණානන්ද නමින් යළිත් උතුම් වූ පැවිදි දිවියට පිවිසියේ ය.

1844 දී දඹල්ලේ වාලුකාරාමාධිපතිව වැඩ විසූ බෝපාගොඩ ඤාණලංකාර සිරිසුමන මහානායක මාහිමිපාණන් වහන්සේ වෙතින් උතුම් වූ උපසම්පදා ශීලයට පිවිසියහ. එකල්හිම ගුණාන්ද මාහිමිපාණෝ කොළඹ කොටහේනේ ආවාසයක නතරව උගත මනා බණ දහම් ඉගෙන ගත්හ. එම ආරාමය දීපදුත්තමාරාමය නමින් සුප්‍රකට බෞද්ධ විහාරස්ථානයක් විය. ඒ 1845 – 46 කාල වකවානුවය. 1848 මාතලේ මහා කැරැල්ලට මාතලේ සත් කෝරලේ ධීර වීර පුරුෂයන් මහ වන මැද කඩුවෙන් හෙල්ලෙන් දුන්නෙන් ප්‍රගුණ කර සටන් ගන්නා සමයයි. ටොරින්ටන් නම් පාලකයාගේ භීෂණ සමයම මුල් වූ කාලයයි. කොළඹ නගර සීමාව තුළ ජීවත්වීම පවා අසීරු අපහසු වූ අවධියයි. පිඬු සිඟා වැඩීම පවා ඉතාම අපහසු වූ අවිනිශ්චිත සමයයි.

නගරයේ මංසන්ධිවල වැඩී තිබුණු බෝ ගස් කපා ඉවත් කරන්නැයි ඉහළින් නියෝග ලැබුණි. එරෙහි වන්නට කිසිවකු නැත. බ්‍රිතාන්‍ය ආධිපත්‍යය සමඟ අත්වැල් බැඳගත් මිෂනාරිවරු මහා බලවත්ව සිටියහ. දේශ ප්‍රේමයත්, ජාති වාත්සල්‍යයත් ඔස්සේ නැගී සිටි ගුණානන්ද හිමිපාණෝ පැමිණෙන ඕනෑම බලවේගයකට මුහුණ දීමේ අරමුණෙන් 1849 දී කොළඹ කොට්ටම්බගස් වීදියේ දී චතුර දේශනයක් පැවැත්වූහ. කැපූ බෝගස් වෙනුවට බෝ පැළ සිටුවීමේ ව්‍යාපාරයක් කොටහේනෙන්ම ආරම්භ කළහ. පීටර් ඩයස් බණ්ඩාරනායක මුදලිවරයාගේ වලව්වේ දී බෝධිරාජ බෞද්ධ සංගමය ද ආරම්භ කළහ.

මිෂනාරිහු අළු ගසා දමා නැගිටින්නට පටන් ගත්හ. යම් යම් වාසී ලබාදී බෞද්ධයන් මිෂනාරී ව්‍යාපාරයට බඳවා ගැනීමට ද උත්සුක වූහ.

පවත්නා ගැටලුවෙහි යථාර්තය අවබෝධකරගත් ගුණානන්ද මාහිමිපාණෝ බුද්ධ ශාසනය ආරක්‍ෂා කර ගැනීමේ උදාර අරමුණු උදෙසා ජනතාව දැනුම්වත් කිරීමට අදාළ පත පොත මුද්‍රණය කර බෙදා හැරියහ. මිෂනාරීන්ගේ බොරු ප්‍රචාරවලට එරෙහිව දේශන මාලාවක් ආරම්භ කළහ. අභියෝගයන්ට මුහුණ දෙමින් ක්‍රිස්තියානි පූජකවරුන් සමඟ වාද කරන්නට ද ඉදිරිපත් වූහ. මේ වාද විවාද අතර චිර ප්‍රසිද්ධියට ලක් වූ වාද පහක් ඉතිහාස ගතව ඇත. 1865 දී බැප්ටිස්ට් මිෂනාරිවරු සමග වරාගොඩ දී ද, හුණුපොළ නිලමේ සහ මිෂනාරිවරුන් සමග 1866 දී උදම්මිට දී ද වාද කළහ. 1871 දී බැප්ටිස්ට් හා වෙස්ලියන් මිෂනාරීන් සමග ගම්පොල සහ බද්දේගම දී ද වාද කළහ. 1873 පානදුරේ දී 1879 දී ඔරුගොඩවත්තේ දී පැවැත් වූ මහා වාද මේ වාද විවාද අතරින් චිර ප්‍රසිද්ධියට පත් විය. 1885 – 04- 28 දා පුන් පොහෝ දා ගුණානන්ද මාහිමිපාණන් අතින්ම නිර්මිත වූ බෞද්ධ ධජය කොටහේනේ දීප දුත්තමාරාමයේ දී අති උත්සවාකාරයෙන් ඔසවා ධර්ම දේශනයන් ද පැවැත්වූහ. මේ වාද විවාද පිළිබඳ සාර ගර්භ තොරතුරු ඉංගී‍්‍රසි පුවත්පත් ඔස්සේ ඇමරිකාව දක්වා සන්නිවේදනය විය. එහි අනගි ප්‍රතිඵලයක් වශයෙන් ජර්මන් ජාතික සර් හෙන්රි ඕල්කොට්තුමා අපේ දේශයට පිවිසීම සම්බන්ධව දිගු විස්තරයක් කළ යුතු වේ. බෞද්ධ පාසල් පිහිටුවීමේ ආරම්භය ද සිදුවූයේ ගුණානන්ද මාහිමිපාණන්ගේ සද්ව්‍යාපාරය ඔස්සේ ය. කොළඹ, මරදානේ ඉංගී‍්‍රසි බෞද්ධ විද්‍යාලයක් ද ආරම්භ කෙරිණි. වත්මන් ආනන්ද විදුහල ගොඩනැගුණේ ඒ ආකාරයෙනි.

හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් කොළඹට කැඳවා ධර්ම ශාස්ත්‍ර ඉගැන්වීමට ද ගුණානන්ද හිමියෝ උත්සුක වූහ. කලුවාමෝදර පීටර් ද සිල්වා මුහන්දිරම් මහතාට අයත් නිවසක ආරම්භ කළ ධර්මායතනය පසුව මහා ජාතික ප්‍රබෝධයකට මුල් වූ මාළිගාකන්දේ විද්‍යෝදය මහා පිරිවෙනක් බවට පත් විය. 1958 දී විද්‍යෝදය විශ්වවිද්‍යාලයක් ලෙසට පත් විය.

බුදුදහමේ හා ශාසනයේ උන්නතිය උදෙසා මුළු ජීවිතයම කැප කළ ගුණානන්ද මාහිමිපාණන් රට පුරා ගමින් ගමට පිවිසෙමින් සිංහල ජනතාව අවදි කළහ. බෞද්ධ ආරාම ගොඩ නැඟූහ. විනාශ වී තිබුණු පිරිවෙන් අධ්‍යාපනයට නව ජීවයක් ලබා දුන්හ. තමන් සිංහල බෞද්ධයෙකු බව ප්‍රසිද්ධියේ පැවසීමට නොහැකි වූ ඒ අඳුර යුගය සිඳ බිඳලීමට ආත්ම ශක්තියෙන් ආත්ම ධෛර්යෙන් මහා පුනර්ජීවන ව්‍යාපාරයක නිරත වූ මොහොට්ටිවත්තේ ගුණානන්ද මාහිමිපාණන් 1899 සැප්තැම්බර් මස 21 වැනි දින අපවත් වී වදාළහ.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.