UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

බුදුපුත් හරසර මව්පිය කැපකරු දායක ක්‍රමයෙන් ඉගෙනුම ලබන හාමුදුරුවරුන්ට සහාය දෙනවා - මහරගම මහින්ද හිමි


 

මහණෙනි, බොහෝ දෙනාගේ හිත පිණිස, සුව පිණිස හැසිරෙන්නැයි පළමු රහතන් වහන්සේ සැට නමට බුදුරජාණන් වහන්සේ දුන් අවවාදයයි. අනුශාසනාවයි. ඒ ගෞතම ජීවමාන බුදුරජාණන් දවස පටන් 2600 වසරක් ගෙවී ගියද, වත්මනෙහි පවා ඒ අවවාදය අනුශාසනාව අනුව පැවිදි දිවි පෙවෙත ගත කරන බුද්ධ පුත්‍රයන් වහන්සේ නිසාම සම්බුදු සසුන් කෙත ශෝභාමත් වෙයි.

පුරපුරෙන් පරපුරට කිසිදා නොවෙනස් වන උතුම් චීවරය ඇඟ දරා ගත් දා සිට ඒ කුඩා සාමණේරයන් වහන්සේ පවා තමන් වහන්සේ වෙත සිව් පසයෙන් උපස්ථාන කරනු ලබන දායක කාරකාදීන්ගේ අධ්‍යාත්මික සුවය පතා සිදු කරනු ලබන්නේ නිහඩ මෙහෙවරකි.

උන්වහන්සේට ඒ උදාර වූ ආගමික සාමාජික ශාසනික හා ධර්ම ශාස්ත්‍රීය මෙහෙවර ඉටු කිරීමට නම් උන්වහන්සේ ද දැනුමින් පෝෂණය විය යුතු ය. විවිධ ආර්ථික දුෂ්කරතා මඟහරවා ඒ දැනුම ලබා දෙන්නට කැපකරු දායක දායිකාවෝ ත්‍යාගශීලී ද වෙති.

දුෂ්කර ප්‍රදේශවල වැඩවසමින් පිරිවෙන් අධ්‍යාපනය ලබන සාමණේර ස්වාමීන් වහන්සේලාගේ අධ්‍යාපන කටයුතු සඳහා අත හිත දෙන “බුදුපුත් හරසර මව්පිය දායක කැපකරු ක්‍රමයක් ආරම්භ කර ඇත. ඒ 2011 නවම් පෝදා වැල්ලවත්ත ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ දී ශාස්ත්‍රපති මහරගම මහින්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙනි.

විවිධ සමාජ සත්කාරයන්ගෙන් සමාජ සුබ සාධනය සඳහා සමාජ සත්කාරයන් මහත් උනන්දුවෙන් සිදු කරන පූජනීය සම්භාවනීය මහ සඟරුවනින් සිරිලක සම්බුදු සසුන් කෙත දීප්තිමත් වේ.

කුඩා සාමණේරයන් වහන්සේ නමක් ලෙස ශාසන දායාදය ලබන ස්වාමීන් වහන්සේ දැනුම මුහුකුරා ගොස් ශාසනභාරධාරී මහතෙර නමක් බවට පත්ව සම්භාවනීයත්වයට පත් වෙයි. එවන් යතිවරයන් වහන්සේ එදා මෙන් අදත් අද මෙන් අනාගතයටත් සම්බුදු සසුන්කෙත සුරැකීමට සිදු කරනුයේ අපමණ වෙහෙසකි.

වැල්ලවත්තේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ දී ශාස්ත්‍රපති මහරගම මහින්ද ස්වාමීන් වහන්සේ “සදහම් චාරිකා” නමින් සමාජ යහපත උදෙසා දානපතීන්ගේ සහායෙන් රථයක් අලංකාර ලෙස සරසවා ප්‍රදේශයේ බොදු පුනරුදය වෙනුවෙන් මෙහෙවරක් කලකට පෙර ඇරැඹූහ. කොළඹ හුණුපිටිය, ගංගාරාමයෙන් අධ්‍යාපනය ලබා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ගෞරව ශාස්ත්‍රවේදී උපාධිය හිමිකර ගත් උන්වහන්සේ ශාස්ත්‍රපති උපාධිය සඳහා ජපානයට වැඩම කළහ.

ශාස්ත්‍රපති මහරගම මහින්ද ස්වාමීන් වහන්සේ මෙසේ පැවැසූහ.

බෞද්ධ සාරධර්ම සුරැකීමේ අරමුණෙන් ජපානයෙන් ලද අනුග්‍රහය යටතේ පළමුව පෙර පාසලක් ආරම්භ කළා. ඒ පෙර පාසලේ සිංහල දරුවන් සේම ද්‍රවිඩ හා මුස්ලිම් දරුවන්ට ද අධ්‍යාපන පහසුකම් සැලසුවා. ඒ අනුව විවිධ ප්‍රදේශවල පෙර පාසල් හයක් පමණ ඇති කළා.

සමාජය පන්සලෙන් ඈත් වුවහොත් සිදුවන්නේ අයහපතක්. සමාජ සුබ සෙත පතා කළ හැකි මෙහෙවර සුවිශාලයි. එසේ මෙහෙවර කරන විට දානපති පරිත්‍යාගශීලීන් ලබා දෙන උපකාර අගය කළ යුතුයි. සමාජ සුබ සාධනය සිදු කරන විට සමාජය තව තවත් පන්සලට යොමුවන අවස්ථාවද වැඩි වෙනවා. “සදහම් චාරිකා” අරඹමින් බොහෝ දෙනාට සිදු කළේ මහ මෙහෙවරක්.

ආර්ථික අපහසුතා ඇති අයට වියළි ආහාර ද්‍රව්‍ය, අධ්‍යාපනය ලැබීමට දුෂ්කරතා ඇති දරුවන්ට පාසල් උපකරණ, ඇඳුම් හා ශිෂ්‍යාධාර ලබා දෙමින් ඔවුන්ගේ දිවිමග සරුකර ගැනීමට සහාය වුණා. මානසික ආතතියෙන් මිදී සහනය ළඟා කර ගැනීමට භාවනා වැඩසටහන්, සීල සමාදාන ආදී විවිධ පින්කම් මඟින් සුචරිතයට යොමු කිරීමට හැකිවුණා. සුනාමි විපත සිදු වූ මොහොතේ ද ඊට ද පිහිට වී විවිධ අවස්ථාවන්හිදී විවිධ ප්‍රදේශවල නිවාස 250 ක් පමණ ඉදිකරවා දීමේ හැකියාව ලැබුණා.

වසරකට වරක් පාසල් පොත් ඇඳුම් සහ අමතර පන්ති සඳහා මුදල් ආධාරද සමඟ සිසු දරුවන් 480 දෙනකුට පමණ ශිෂ්‍යාධාර පිරිනමනවා. ඒ දේශීය මෙන්ම විදේශීය හිතවත් දායක පින්වතුන්ගේ අනුග්‍රහයෙනි.

පෙර පාසල් මෙන්ම ළමා පුස්තකාලයක් ද, පරිගණක මධ්‍යස්ථානයක් ද පවත්වා ගෙන යනවා.

2600 සම්බුද්ධත්ව ජයන්ති වර්ෂයේ දී විශේෂයෙන් පෙරටත් වඩා සමාජය සම්බුදු දහම කෙරෙහි දක්වන ගෞරවය අසීමිතයි. ඒ නිසා ඓතිහාසික යුගයක වෙසෙන අප සම්බුදු සසුනේ චිරජීවනය සඳහා වත්මනෙහි පිරිවෙන් අධ්‍යාපනය ලබමින් මෙරට දුෂ්කර ප්‍රදේශවල වැඩ වෙසෙන සාමණේර හිමිවරුන් සඳහා පුරා වසර දහයක පමණ කාලයක් ශිෂ්‍යාධාර පිරිනැමීමේ බුදුපුත් හරසර මව්පිය කැපකරු දායක ක්‍රමයක් 2011 නවම් පෝදා ආරම්භ කළා. එහි පළමු පියවර ලෙස විවිධ ප්‍රදේශවලින් වැඩම කරවූ සාමණේරවරයන් වහන්සේලා පනස් නමකට එම ශිෂ්‍යාධාර පිරිනැමීම ආරම්භ කළා. අදාළ ආධාර උන්වහන්සේලා වෙත පිරිනමනු ලබන්නේ ද ඊට උපකාර කරන සැදැහැවතුන් අතින්මයි. එබැවින් අනාගත ශාසන භාරධාරී දැන උගත් භික්‍ෂු පිරිසක් බිහිකිරීමේ අරමුණින් ඇරැඹූ එම කටයුත්ත සාර්ථක කර ගැනීමට අපේක්‍ෂා කරනවා යැයි ද මහරගම මහින්ද ස්වාමීන් වහන්සේ පැවැසූහ.

 

නවම් පුර පසළොස්වක පෝය

නවම් පුර පසළොස්වක පෝය පෙබරවාරි 07 වන දා අඟහරුවාදා පූර්ව භාග 04.48 ට ලබයි.
8 වන දා බදාදා පූර්ව භාග 03.23 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 07 වන දා අඟහරුවාදාය.

මීළඟ පෝය
පෙබරවාරි 14 වන දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 07

Second Quarterඅව අටවක

පෙබරවාරි 14

New Moonඅමාවක

පෙබරවාරි 21

First Quarterපුර අටවක

පෙබරවාරි 29


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]