Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ගෞතම බුදු සසුන මාණික්‍යයන් සේ සද්ධර්මයෙන් බැබළ වූ සැරියුත්, මුගලන් මහ රහතන් වහන්සේ අගසවු පදවියෙන් පිදුම් ලැබුවේ අද වැනි උතුම් නවම් පුර පසළොස්වක පොහොය දිනකය. මෙවන් සුවිශේෂී ඓතිහාසික සිද්ධීන්ගෙන් බැබළුණු නවම් මහේ පුර පසළොස්වක පොහොය සමස්ත බෞද්ධයාට සදා අමරණීය පින්බර දිනයක් වෙයි.

ලෝකෝත්තර මඟට මෙහෙය වූ කුසල් සිත් ඇති ආර්ය ශ්‍රාවකයෝ උට්ඨාන වීර්යෙන් යුක්ත වෙති. එවන් උත්තමයන් මහා පුණ්‍යෝත්සව පුරමින් පතන අධිෂ්ඨානයන් ඉෂ්ට වී ලබන සැනසුම උත්තරීතරය.

ගෞතම බුදු සසුන මාණික්‍යයන් සේ සද්ධර්මයෙන් බැබළවූ සැරියුත්, මුගලන් මහ රහතන් වහන්සේ අගසවු පදවියෙන් පිදුම් ලැබුවේ අද වැනි උතුම් නවම්පුර පසළොස්වක පොහොය දිනකය.

අග්‍ර ශ්‍රාවක පදවි පිදීමේ අසිරිමත් පුණ්‍යෙීත්සවයට වැඩම කළ රහතන් වහන්සේ දහස් ගණනක් රජගහනුවර වේළුවනාරාමයට වැඩමවීම නිමිත්තෙන් සම්බුද්ධ ශාසනයේ ප්‍රථම මහා සංඝ සන්නිපාතය ඇති වූයේ ද නවම් මහේ අද වැනි පුර පසළොස්වක පොහොය දිනකදී ය. ආර්යවංශිකයන්ට පිදූ අගසවු පදවිය ගැන ඇතැම් භික්‍ෂූන් වහන්සේ සැක පහළ කළහ. අසම සම වූ ගෞතම බුදුන් වහන්සේ සර්වඥතා ඤාණයෙන් පූර්වාපර සන්ධි ගළපා සැරියුත්, මුගලන් රහතන් වහන්සේලාට පෙරැ සසුන් ගත වූ භික්‍ෂූන් වහන්සේලාට මතු වූ සැකය දුරු කළ සේක.

සැරියුත් තෙරණුවන් මෙයට එක් අසංඛ්‍යෙය කල්ප ලක්‍ෂයකට පෙරැ සරද තාපසයා නමින් මෝක්‍ෂ ධර්මය සොයා ගිය තවුස් පැවිද්දෙක් වූවේ ය. සරද තාපසයාණෝ පුෂ්ප ඡත්‍රයක් දරා නිරෝධ සමාපත්තියට සමවත් සුවයෙන් වැඩ සිටි අනෝම දස්සී බුදුන් වහන්සේට පුරා සතියක් මුළුල්ලේම ගෞරව බහුමානයෙන් සත්කාර කළහ. මේ මහා සත්කාරයේ බලයෙන් අනෝම දස්සී බුදුරදුන්ගේ දකුණත් සව් නිසභ තෙරුන් වහන්සේ මෙන් තමාත් අනාගත බුදුරජාණන් වහන්සේ නමකගේ අග්‍රශ්‍රාවක වෙම්වායි සරද තාපසයාණන් ප්‍රාර්ථනා කළේ උතුරා යන ශ්‍රද්ධාවෙන් ය. ඔහුගේ මිත්‍ර සිරිවඩ්ඩන කෙළඹියා මෙම උතුම් පින්කම ගැන අසා අපරිමිත වූ සැනසීමට පත්විය. ඔහුද බුදුපාමොක් මහා සඟනට සත් දිනක් මුළුල්ලේම දැහැමි පිවිතුරු සිතින් නොමසුරුව දන් පිළිගැන්වූවේ ය. තම මිතුරා මෙන් පැතු අගසව් පදවියේ දෙවන අගසව් වෙම්වායි සිරිවඩ්ඩන කෙළඹියා දොහොත් මුදුන් දී ප්‍රාර්ථනා කළේ ය. මෙම උතුම් දානමය පුණ්‍ය කර්මයේ අනුසස් අනෝම දස්සී බුදුපියාණන් වහන්සේ සර්වඥතා ඤාණයෙන් දුටු සේක. දස බලධාරී අනෝමදස්සී බුදුරදුන්ගෙන් නියත විවරණ ලැබූ තාසපයාණන් දෙදෙනා ගෞතම බුදුසසුනේ දී සැරියුත්, මුගලන් මහ රහතන් වහන්සේලා නම් වූහ. ප්‍රඥාවන්තයන් අතර අග්‍රස්ථානය සැරියුත් මහ රහතන් වහන්සේත් සෘද්ධිමතුන් අතරින් අග්‍රස්ථානය මුගලන් මහරහතන් වහන්සේත් ලදහ.

රහත්හු සුලභ වී අල්ප රජස්කයන් බහුල යුගයක පුද්ගල ශික්‍ෂණය උදෙසා ශාසනයේ පැවැත්මට චර්යා ධර්ම පද්ධතියක් හඳුන්වා දුන් බුදුරදුන් බුද්ධත්වයෙන් විසි වසරකට පසු ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කළේ නවම් පුර පසළොස්වක පොහොය දිනකය. නිවන් මගෙහි හික්මෙන ශ්‍රාවකයාගේ අධි චිත්ත සමාධියට වීර්යය වඩවා ගැනීමට පිටුබලයක් වූ ඕවාද ප්‍රාතිමෝක්‍ෂය සියලු බුදුවරයාණන් වහන්සේලාගේ අගනා අනුශාසනාවයි.

කෙලෙස් තවන වීර්යය ඇතිව නිවනට මෙහෙය වූ සිත් සතන් වලින් පන්සාලිස් වසක් මුළුල්ලේ ලෝක සත්වයාට සැනසුම උදා කළ බුදුන් වහන්සේ සම්බුද්ධ පරිනිර්වාණයට තෙමසකට පෙර චාපාල චෛත්‍යයට වැඩම කළ සේක. එහිදී ගෞතම බුදුන් වහන්සේ ආනන්ද තෙරණුවන් අමතා සතර සෘද්ධිපාද වැඩූ තථාගතයන් වහන්සේට කල්පයක් වුවද වැඩසිටින්නට පුළුවනැ’යි තෙවරක්ම ඕලාරිකව ප්‍රකාශ කළ සේක. එහෙත් එළැඹ සිටි සිහි නොමැතිව මාරාවශේෂ වූ ආනන්ද තෙරණුවන්ගේ පමාවෙන් පී‍්‍රතියට පත්ව ජය ලැබූ මාර දිව්‍ය පුත්‍රයා බුදුරදුන්ට ආයු සංස්කාරය අත් හරින්නැ’යි ආරාධනා කළේ ය. පාපකාරී මාරයාගේ ආරාධනාව පිළිගත් බුදුන් වහන්සේ් තෙමසකට සමාපත්ති සුවයෙන් සමවැද ඉන් පසු නොසමවදින්නෙමි’යි අධිෂ්ඨාන කළසේක. එසේ ආයු සංස්කාරය අත්හළ මොහොතේ මිහිතලය පවා කම්පා වූයේ නවම් මහේ අද වැනි පුර පසළොස්වක පොහොය දිනකය.

සතර මහා භූතයන් ද කුපිත නොවී කුරා කුහුඹුවෙකුටවත් විපතක් නොවෙමින් සිදු වූ භූ චලනයට හේතු ප්‍රත්‍ය බුදුරදුන්ගෙන් විමසා දැනගත් ආනන්ද තෙරණුවෝ වික්ෂිප්ත වූහ. බුදුරදුන්ට ලෝකයාගේ හිත සුව පිණිස තවත් කල්පයක් වැඩ සිටින්නැ’යි බැගෑපත්ව ආරාධනා කළ ආනන්ද තෙරණුවෝ දරාගත නොහැකි ශෝකයෙන් හඬා වැළපුණාහ. ආනන්ද තෙරණුවන් පසුව කළ සානුකම්පිත ඉල්ලීම ප්‍රතික්ෂේප කළ යථාවාදී තථාකාරී සම්බුදුරජාණන් වහන්සේ තථාගත ශරීරයද ලෝක ධර්මතාවන්ට එකඟ බව පසක් කරලූහ.

අසූ වියැති තථාගත ශරීරය ද ඇවිදින රිය සකක් වැනි ය. එහෙත්, දෙව් මිනිසුන් අතර පුළුල් වූ විකසිත ශාසන මාර්ග ධර්ම චර්යාව ගුරු තැන්හිලා ක්‍රියා කිරීමෙන් සම්බුදු සසුන අනාගතයේත් නිබඳව බැබළීමට නියමිතය. එබැවින් සම්බුද්ධ පරිනිර්වාණයෙන් ශාසනයට කිසිඳු අඩු පාඩුවක් නොවන්නේ යැයි පවසමින් අසම සම වූ මහා කාරුණික බුදුපියාණන් වහන්සේ ආනන්ද තෙරණුවන් අස්වසා ලූ සේක.

මෙවන් සුවිශේෂී ඓතිහාසික සිද්ධීන්ගෙන් බැබළුණු නවම් මහේ පුර පසළොස්වක පොහොය සමස්ත බෞද්ධයාට සදා අමරණීය පින්බර දිනයක් වෙයි. අද වැනි පොහොය දිනයක ප්‍රකාශිත බුද්ධ වචනයට ගරු කරමින් ශාසන මාර්ග ධර්ම චර්යාව ගුරු තන්හි තබා ගත යුතු ය. එය රන් දම්වැලක් සේ අඛණ්ඩව පරපුරෙන් පරපුරට රැකගෙන ලොවම සද්ධර්මයෙන් ඒකාලෝක කිරීම බෞද්ධ වූ අපගේ මහඟු වූ යුතුකමකි.

 


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.