Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ජංගම දුරකථනය සතුරෙක් ද ? මිතුරෙක් ද ?

තාරුණ්‍යය සහ සන්නිවේදනය යන අංශ දෙක ඉතා සමීප සබඳතාවක් සහිතයි. අද අප කතා කරන්නට අදහස් කරන්නේ සන්නිවේදනයේදී, විශේෂයෙන් ජංගම දුරකථන වැනි සන්නිවේදන මෙවලම් භාවිතයේදී අපේ දූ දරුවන් සහ තරුණ පිරිස වෙත පැවැතිය යුතු විනය හා ශික්‍ෂණය ගැනයි.

තිස් පස් වැනි වියේ දී ලොව්තුරා සම්මා සම්බුද්ධත්වයට පත් වූ අප බුදුපියාණන් වහන්සේ සන්නිවේදන මාධ්‍යය ලෙස තෝරා ගත්තේ ධර්ම දේශනා මාධ්‍යයි. එනම් වාචික සන්නිවේදනයයි. උන්වහන්සේගේ ධර්මය ජනතාව අතරට රැගෙන ගිය පිරිසෙන් බොහෝ දෙනා තුරුණූ වියේ පසුවූ අයයි. සැරියුත් මුගලන් අගසවු දෙනම වහන්සේ, ආනන්ද හිමි, ඛේමා, උප්පලවණ්ණා, වැනි තෙරණිවරු ආදී වශයෙන් වූ මේ සියලු දෙනාම පාහේ තරුණ වියේ දිවිගෙවූ අයයි. රාහුල පොඩි හාමුදුරුවෝ ,සෝපාක හාමුදුරුවෝ, වැනි කුඩා සාමණේර හිමිවරුන් හැරෙන්නට අනෙක් පිරිසෙන් බහුතරයක්ම වාගේ යෞවන වියේ සිටි බව අපට පැහැදිලියි.

මේ තුරුණු අයට බුදුරජාණන් වහන්සේ ලබා දුන් සන්නිවේදන පණිවුඩය කුමක්ද? සරල ලිහිල් බසින් ගැඹුරු දහම් කරුණු සාමාන්‍ය ජනයාට අවබෝධ කරවිය යුතු බවයි. ඒ අතරම කුඩා කණ්ඩායමකින් විශාල කාර්යයක් කරගත හැකි බවත් බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා.

‘එක මඟ එක් අයෙක් පමණක් යන්න. එක මඟ දෙදෙනෙක් යන්න එපා’ සන්නිවේදනය වඩා පුළුල් පරාසයක සිදුකර ගැනීමට නම් මෙය ඉතාම වැදගත් පණිවුඩයක්. හැම කලටම ගැළැපෙන ලෙසයි බුදුරජාණන් වහන්සේ එදා දහම් පණිවුඩය ලබා දුන්නේ.

අද ගුවන්විදුලිය, රූපවාහිනිය, ජංගම දුරකථනය, අන්තර්ජාලය , පුවත්පත මේ ඕනෑම මාධ්‍යයකින් බලාපොරොත්තු වන්නේත් සංඛ්‍යාත්මක විශාල පිරිසකට සමීප වීමයි. සුළු පිරිසකගෙන් සඵලදායක කාර්යයක් ඉටු කරගැනීමයි. හැටනමක් වූ ප්‍රථම ධර්ම දූත කණ්ඩායම මාර්ග හැටක ධර්ම ප්‍රචාරය පිණිස යොදමින් බුදුරජාණන් වහන්සේ එදා විශාල කාර්යයක් ඉටු කළ බව ඉතා පැහැදිලියි. ඒ වගේම උන්වහන්සේ පරිසරයත්, ගොවිතැන ඇතුළු ජනතාවගේ එදිනෙදා ජීවනෝපායන ක්‍රමත් ආශ්‍රය කරගෙන උපමා රාශියක් යොදාගනිමින් ධර්මය දේශනා කළා. අවබෝධයට පහසු මේ ක්‍රමය ඉතාම සාර්ථක වුණා. දේශනා ශෛලියත් මෙහිදී බෙහෙවින් වැදගත්. පණිවුඩයක් තවත් අයට යෑමේදී පණිවුඩය ලබන්නාට වැටහෙන ඔහුට ගැළපෙන ආකාරයෙන් ඉදිරිපත් කිරීම තමයි මෙතැනදී විශේෂයෙන්ම වැදගත් වුණේ.

බුදුරජාණන් වහන්සේ ධර්ම සන්නිවේදනය, ධර්ම ප්‍රචාරය පිණිස යොදාගත් සියලුම පිරිස් රහතන් වහන්සේයි .රහතන් වහන්සේ නමක් නොවුණා නම් ඉතාම කලාතුරකින්. එසේ වුවත් සෝවාන් සකෘදාගාමී හෝ අනාගාමී ඵලයට පත් වූ අයයි. එසේත් නැත්නම් ආනන්ද හිමියන් වැනි විනය ඉහළ මට්ටමක තිබූ හිමිවරුන්. සෝවාන් මගඵල ලබා සිටි ආනන්ද හාමුදුරුවෝ බුදුරාජාණන් වහන්සේ පිරිනිවන් පානා මොහොත වන විටත් රහත් බවට පත්ව සිටියේ නැහැ. එහෙත් උන්වහන්සේ ධර්ම භාණ්ඩාගාරික ලෙස කටයුතු කළා. රජුගේ අන්තඞපුර බිසෝවරුන් ඇතුළු උපාසිකාවන් රැසක් සමඟ මැනැවින් කටයුතු කරමින් දහම් දෙසමින් ඔවුන් දහම් මගෙහි යැවීමට ආනන්ද හිමියෝ කටයුතු කළා.

මෙයින් අපේ මවුපියවරු ආදර්ශයට ගත යුත්තේ කුමක්ද? බුදුරජාණන් වහන්සේ ධර්ම මෙවලම අතට දුන්නේ විනයක්, ශික්ෂණයක්, හික්මීමක් තිබූ අයට බවයි.

ධර්මය අතට ගත් ඒ රහතන් වහන්සේගෙන් වරදක් සිදු වුණේ නැහැ. පරම පවිත්‍ර චේතනාවෙන් ජනයාට ධර්මාවබෝධය ලබාදීමට කටයුතු කරනවා විනා රටවැසියා මුළාකිරීම හෝ වෙනත් අකටයුත්තක් උන්වහන්සේ අතින් සිදුවන්නේ නැහැ.

අප බුද්ධ චරිතයෙන් ඒ ආදර්ශයන් ලබාගත යුතුයි. එනම් සන්නිවේදන කාර්යයට අදාළව යෙදවිය යුත්තේ ඉහළ විනයක්, හික්මීමක් තිබෙන අයයි. ඒ වගේම සන්නිවේදනයට අදාළ මෙවලම් භාවිතයේදීත් හොඳ ශික්ෂණයක් සහිත අයම එය කළ යුතුයි. සරල උදාහරණයක් වන්නේ ජංගම දුරකථනයයි. ඒ වගේ සන්නිවේදන උපකරණයක් භාවිතයේදී පවා යම් විනයක් හික්මීමක් තිබිය යුතුමයි. සිතා බලන්න අම්මේ, තාත්තේ, ජංගම දුරකථනයක් ඔබේ දරුවා අතට දුන්නේ ඔහුගේ විනය ගැන ඔබ හොඳින්ම සෑහීමට පත්වෙලාද? ඔබ බලාපොරොත්තු වන හික්මීමද දරුවා ළඟ ඇත්තටම තිබෙනවාද?

ජංගම දුරකථනය පාවිච්චි කරන ඔබේ දරුවා රහතන් වහන්සේ හා සමාන විනයක්, ශික්ෂණයක් ඇති අයකු විය යුතු යැයි මින් අදහස් කරන්නේ නැහැ. එහෙත් ජංගම දුරකථනය පාවිච්චි කරන දරුවා අවම වශයෙන් ශික්ෂණයක්, බුද්ධියක්, ඥානයක් ඇති අයකු විය යුතුයි. තමන්ගේ අතේ ඇති උපකරණය ගැන දැනුමක් ඇති අයෙක් විය යුතුයි. අද ඇතැම් මවුපියන් මහත් ආඩම්බරයෙන් පවසන්නේ ‘මට බෑ අනේ මගෙ සෙල්ෆෝන් එකෙන් මුකුත් කරන්න. මං දන්නෙ කෝල් එකක් ගන්නයි, එන කෝල් එකකට කතා කරන්නයි විතරයි. ඒත් මොන්ටිසෝරි යන අපේ පුතා බලන්න එපැයි , එයා ෆෝන් එකේ තියෙන ඔක්කොම දන්නවා’ යන්නයි.

තාක්‍ෂණික උපකරණයක ක්‍රියාකාරිත්වය වටහා ගන්න වඳුරකුට වගේ සතකුටත් පුළුවන්. දැනුම ලබා ගන්නවා කියන්නෙ ඒක නොවෙයි. සතුන් වත්තේ ඩොල්ෆින් වගේ සතෙකුට කොයිතරම් සෙල්ලම් කරන්න පුළුවන්ද? අවශ්‍ය වන්නේ යථාර්ථය තේරුම් ගැනීමයි.

මෙන්න මේ අවබෝධය මවුපියන් තුළ තිබිය යුතුයි. ඔබේ දරුවා අවබෝධ කරගත යුතුයි. දුරකථනයේ අවශ්‍යතාව කුමක්ද කියා . තම දරුවා නිරුපද්‍රිතව පාසලට, උපකාරක පන්තියට ගියාද? දුම්රියේ , බස්රියේ එහෙමත් නැත්නම් පාසල් වෑන් රථයේ ගමන් කරද්දී ගැටලුවක් ඇති නොවුණාද? මෙවැනි කරුණු ගැන සන්නිවේදනයක් ඇති කර ගැනීමයි ඔබගේ අපේක්ෂාව වන්නේ .එහෙත් එම දුරකථනයම භාවිතා කරමින් වෙනත් කටයුතු කිරීමටත් ඔබේ දරුවාට ඉඩ ප්‍රස්ථාව තිබෙන බව බොහෝ මවුපියන්ට අමතක වී තිබෙනවා.

මවුපියන්ට පණිවුඩයක් ලබා දෙනවා වගේම තවත් අයටත් එම දුරකථනයෙන් කතා කළ හැකියි. ඒ වගේම කෙටි පණිවුඩ යැවීමත් ඡායාරූප ගැනීමත්, වීඩියෝ කිරීමත් කරන්න පුළුවන්. අන්තර්ජාලයට ගමන් කරන්නත් අද හැකියාව තිබෙනවා. මෙමඟින් මනස විකෘති වීම්ද අද දරුවන් තුළ සිදු වෙලා. දුරකථනයෙන් ලබා ගන්නා ඕනෑම ඇමතුමක් තත්පරයෙන් මකා දමන්න පුළුවන්. මවුපියන් නොදැනීම දරුවන් විනාශය කරා අද ඇදී ගොස් තිබෙනවා. ඒ මේ ජංගම දුරකථනය නිසයි. වෙළෙද පොළේ රුපියල් 2000 ක් වැනි අඩු මුදලකට අද කැමරාවක් සහිත ජංගම දුරකථනයක් මිලදී ගන්නට පුළුවන්. මවුපියන් නොදන්නා නමුත් දරුවන් ජංගම දුරකථනයේ සියලු ක්‍රියාකාරිත්වය දන්නවා.

අද ශ්‍රී ලංකාව තුළ පැතිරෙමින් යන දුරකථන වසංගතයේ භයානක පැත්ත පෙන්වා දෙන හොඳම නිදසුනක් ලෙස ගත හැක්කේ විදුලි සන්දේශ නියාමන කොමිසම මඟින් වෙබ් අඩවි රැසක් තහනම් කිරීමයි. ලක්ෂයකට වඩා ශ්‍රී ලාංකික දරු දැරියන්ගේ අසැබි දර්ශන අඩංගු සේයා රූ එහි තිබුණා. මෙම සේයාරූ ගත්තේ කවුද? කොහොමද? සියල්ලම පාහේ ජංගම දුරකථන මඟින් ලබාගත් ඒවායි. නෙළුව,දෙනියාය මොනරාගල, තණමල්විල, මේ වගේ ඉතා දුෂ්කර ප්‍රදේශවල දරුවන්ගේ සේයාරූ කොහොමද මේ වෙබ් අඩවි වලට ගියේ? ඇතැම් විට මේ එක ඡායාරූපයක් රුපියල් 75 කට පමණ අලෙවි කරල තිබෙනවා.මේ වගේ ලක්ෂ ගණනක් සේයාරූ ගත්තේත් ටියුෂන් යන දරුවන්ම යි. ඒ දරුවෝ ව්‍යාපාරයක් කරගෙන යනවා.අපට කතා කිරීමටත් නොහැකි ක්‍රියා පවා මෙහිදී සිදුවී තිබෙනවා. නිදා සිටින සහෝදරියගේ ඇදුම් ටිකක් එහෙ මෙහෙ වෙනකල් රැක බලා සිට ඡායාරූප ගත කර අලෙවි කළ සහෝදරයෙක් සිටිනවා. තමන්ගේ මනැස කොතරම් ව්‍යාකූල වෙලාද? අද දිනපතා පුවත්පත්වල පළවන අපචාර ක්‍රියා ගැන ප්‍රවෘත්ති දෙස බැලීමේදි මොනවද අපට තේරුම් ගන්න තිබෙන්නේ? මේ ගැන දැන්වත් අප තදින් සිතා බැලිය යුතුයි.

දුරකථනය යක්ෂයෙක්, රාක්ෂයෙක් නොවේ. තොරතුරු තාක්ෂණය දුරස් කළ යුතු නැහැ. එහෙත් ජංගම දුරකථනය ලබා දී ඇත්තේ ශික්ෂණයක්, විනයක් ඇති දරුවන්ටද? අඩුම වශයෙන් දැනුමෙන් හෝ පෝෂණය වූ දරුවන් විය යුතුයි.

අඩු තරමෙන් දරුවකුට ජංගම දුරකථනයක් ලබාදීමට ඔහු උසස් පෙළ මට්ටමවත් පසුකරන තෙක් සිටිය යුතුයි.

සිඟාලෝවාද සූත්‍රය විමසා බැලීමේදීත් දරුවන්ගේ යුතුකම් රැඳී ඇත්තේ වයස අවුරුදු 16 ඉක්ම වූ පසුව බවයි පැහැදිලිව පෙනෙන්නේ. කුඩා දරුවන්ට වගකීම් පවරල නැහැ. දරුවකුට නිවැරදිව වගකීම් දැරීමට, යුතුකම් ඉතා හොඳින් අවබෝධ කරගැනීමට ඔහු වැඩිහිටි වයසට පත්විය යුතුයි. වයසට නොගැළපෙන ආකාරයේ වගකීම් පැවරීමත් සමඟ ලැබෙන නිදහස කොයි ආකාරයට පාවිච්චි කළ යුතුද කියා ඔහු දන්නේ නැහැ.

සරසවි අධ්‍යාපනය ලබන දරුවෙක් හොරෙන් පැනල ගිය කතාවක් අහන්න ලැබෙනව නම් ඒ 1000 කට එකකටත් අඩු ප්‍රමාණයක්. එයින් පැහැදිලියි දැනුම තිබෙන විට නිවැරැදි මඟ හඳුනන බව.

සාමාන්‍ය පෙළ ලියන වයස් මට්ටමේ සිටින දරුවන්ගේ ප්‍රධානම ලක්ෂණය තමයි යහළු යෙහෙළියන්ගේ මතයට ගරු කිරීම මේ වයසේ දරුවන් ප්‍රධාන ලක්ෂණ තුනකින් යුක්තය. එනම් අනුකරණය, කාමාස්වාදය, හා වීරාභිවාදනයයි. දුරකථනය දරුවන්ගේ අතට එන්නේ මේ වයසේදි නම් එය ඉතාම භයානකයි. අපේ මවුපියන් හිතන්නේ ‘අපි මොනවද දරුවන්ට දෙන්නේ? තෑග්ගකට සෙල්ෆෝන් එකක් දුන්නාම මොකද? ආදී වශයෙන්. මේ දැක්ම දරුවන්ගේ ජීවිත විනාශය කරා ගෙන යන බව අපේ අම්මල තාත්තල දන්නෙ නැහැ.

දරුවන් මේ තත්ත්වයෙන් අපට මුදාගත නොහැකිද? මවුපියන්ගේ අවධානය ඒ සඳහා කෙසේ යෙදවිය යුතුද? ඊළඟ කලාපයේදී කතා කරන්නේ ඒ ගැනයි.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.