UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ප්‍රශ්නය :– රාහුල සාමණේරයන් පැවිදි වූ අලුත ම දේශනා කළ සූත්‍රයකි “ අම්බලට්ඨික රාහුලෝවාද සූත්‍රය” එහි කියවෙන්නේ සත්‍ය ගරුක ජීවිතයේ වටිනාකම ගැනයි. මෙම සූත්‍රයෙහි අන්තර්ගතය ( ඇතුළත ) පිළිබඳ ව යමක් පැහැදිලි කරන්න.

පිළිතුර – දිනක් බුදුරජාණන් වහන්සේ රාහුල හිමියන් දකින්නට ගියහ. බුදුන් වහන්සේ වඩින බව ඈත සිට ම දුටු රාහුල සාමණේරයෝ උන්වහන්සේගේ පා සෝදන්නට දිය සූදානම් කළහ. බඳුනෙහි දිය ස්වල්පයක් ඉතිරි වන සේ පා සෝදාගත් බුදුරජාණන් වහන්සේ ‘ රාහුල, බඳුනෙහි ඉතිරි වූ වතුර ටික ඔබට පේනවා නේදැ’ යි විමසූහ. රාහුල හිමියෝ ද “ එහෙමයි ස්වාමීනි” යි පිළිතුරු දුන්හ. රාහුල හිතා මතා බොරු කියන ලැජ්ජා නැති තැනැත්තා ගේ ජීවිතයත් ඔය විදියයි වදාළහ. අනතුරු ව ඒ ඉතිරි වතුර ටික ඉවත දැමූ බුදුරජාණන් වහන්සේ “ රාහුල හිතා මතා බොරු කීමට ලැජ්ජාවක් නැත්තා ගේ ජීවිතයත් ඔය අයුරින් ම ඉවතලන ලද්දකි” යි වදාළහ.

හිස් බඳුන උඩු අතට තැබූ බව දුටු බුදුරජාණන් වහන්සේ සිතා මතා බොරු කීමට ලැජ්ජාවක් නැති අය ගේ ජීවිතය හිස් ය. නිසරු ය. සිතා මතා බොරු කියන්නට ලැජ්ජා නොවන කෙනෙකු කරන්නට බැරි පාප කර්මයක් නැතැයි මම කියමි. රාහුල එහෙයින් තමන් මම සෙල්ලමටවත් බොරුවක් නොකියමියි සිතා හික්මීම අවශ්‍ය යි වදාළහ.

ළමාවියේ පසුවන්නෙකුට පහසුවෙන් වැටහෙන පරිදි නිදසුනක් මගින් සත්‍යවාදීත්වයේ අගය බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළහ.

ප්‍රශ්නය – අනගාරික ප්‍රතිපදාව ජීවිතය කොටගත් භික්‍ෂූන් වහන්සේගේ ජීවන රටාව ආධ්‍යාත්මික සදාචාරාත්මක හා මානව හිතවාදී ප්‍රායෝගික අගයට මුල්තැන දෙමින් සංවිධානය වී ඇත. ඒ සඳහා පුරන පිළිවෙත් අතර ගමික වත හා වැසිකිළි වත යන අංග දෙකකි. මෙයින් දෙවැන්නට සඳහන් කළ වැසිකිළි වත පැවිදි - ගිහි ඕනෑම සාමාජිකයෙකුට වර්තමානයෙහි ප්‍රයෝජනවත් වෙයි. පැහැදිලි කරන්න.

පිළිතුර - සගමහලු පිළිවෙත ( වැඩිහිටි තැනැත්තාට මුල්තැන දෙන ) සාසනික සම්ප්‍රදාය උල්ලංඝනය කළ හැකි වන්නේ ( නොසලකා හැර ) වැසිකිළියට කැසිකිළියට හා නාන තොටුපළට පිවිසීමේ දී පමණි. මෙම ස්ථාන තුනට පැමිණි පිළිවෙළට ඇතුළු විය හැකි ය.

ප්‍රශ්නය – මජ්ජිම නිකායේ කොසම්බිය සූත්‍රයෙහි එන දේශනා පාඨයක් පහත සඳහන් වේ. “ යෙ තෙ ලාභා ධම්මිකා ධම්ම ලද්දා අන්තමසො පත්ත පරයාපන්න මත්තම්පි, තථථා රූපෙහි ලාභෙහි අප්පටි විභත්තභොගී හොති සීලවන්තෙහි සබ්බ්‍රහ්මචාරිහි සාධාරණ භොගි. අයම්පි ධම්මො සාරාණියො පිය කරණො සංගහාය අවිවාදාට සාමග්ගියා එකී භාවාය සංවත්තන්ති’.

ලබා ගත් දෙය කොතරම් ධාර්මික වුව ද සමාජ සමගිය එකමුතුකම අරමුණු කොට ගෙන යටත් පිරිසෙයින් ( අවම වශයෙන් ) පාත්‍රයට ලැබුණු සුළු දෙය වුව ද බෙදා නොගෙන නොවැළඳිය යුතු බව දැඩි ලෙස කියවෙයි.

ගෘහස්ථ බෞද්ධයා පරිත්‍යාගය ( චාග ) සම්පතකි. සිව් සඟරාවතින් ( චතුස්සංගහ වත්ථු ) දානය පළමුවැන්නෙන් අවධාරණය කළේ ඒ නිසයි. බෞද්ධ වුවත් නැතත් මිනිස් සමාජය ශිෂ්ට සම්පන්න සංවිධානයක් ලෙස පැවැත්වීමට ( පරිත්‍යාග ) චාග සම්පත්තිය අත්‍යවශ්‍ය වෙයි. පැහැදිලි කිරීමක් කරන්න.

පිළිතුර - පෙළ දහමෙහි ප්‍රධාන හේතූන් දෙකක් නිසා දානය අවධාරණය කර තිබෙන බව පෙනේ. ඉන් පළමුවැන්න පුද්ගලයා පිළිබඳ සලකා බැලීමයි. අනෙක පරිත්‍යාගශීලී බව සමාජ ප්‍රගතියට බෙහෙවින්ම හේතු සාධකයක් වන බවයි.

පුද්ගල හා සමාජගත දුකට ප්‍රධාන හේතුව තෘෂ්ණාව බව බුදුන් වහන්සේ වදාළහ.

තෘෂ්ණාව නිසා අයත්කර ගැනීම, රැස් කිරීම මගේ බවට පමුණුවා ගැනීම, මමත්වය ගොඩ නැංවීම එමගින් ආත්මයක් පිළිබඳ විශ්වාසයක් තහවුරු කර ගැනීම ආදිය සිදුවෙයි. මෙම මිථ්‍යාදෘෂ්ටිය පුද්ගල සන්තානය තුළින් ඉවත් කිරීමට ප්‍රතිපක්‍ෂ ධර්මයක් පුරුදු පුහුණු කළ යුතු ය.

මෙසේ දානය, ලෝභය – රාගය – තෘෂ්ණාව ප්‍රහීණ කිරීමට අනුගමනය කළ හැකි ඵලදායි මාර්ගය වෙයි. හැර දැමීමේ උපරිම අවස්ථාව නෙක්ඛම්ම නමින් හැඳින්වෙයි. ආධ්‍යාත්මික දියුණුව සැලැසීමේ අඩිතාලම එයින් දැමෙයි.

සිව් සඟරාවකින් වඩාත් අවධාරණය කර ඇත්තේ දානයෙහි සමාජ මය අරුතයි. සමාජයෙහි යහපැවැත්ම සඳහා පරිත්‍යාගය අත්‍යවශ්‍ය වෙයි. නොදීමෙන් තැන්පත්වල එක් රැස්වීමකට පටන් ගැනේ. එවිට වෙනත් තැනක අඩුවක් ඇතිවේ. සන්නිධිකාර ( අධිකාර ) පරිභෝජනයට පෙළඹේ. එමගින් සමතුලනය නැතිවේ. සම්පත් සූරා කෑමකට ලක්වේ. එවිට සම්පත් හිඟයකට හා විනාශයකට මුහුණ පෑමට සිදුවේ. මේ කරුණු දීඝ නිකායේ අග්ගඤ්ඤ සූත්‍රයෙහි මෙසේ මැනවින් විස්තර වෙයි.

පෞද්ගලිකව දක්‍ෂතාව නිසා හෝ වෙනත් හේතු නිසා හැම දෙනාටම එක පමණට නොලැබේ. ඇතැමුනට වැඩියෙනුත් සමහරෙකුට අඩුවෙනුත් ලැබීම ස්වභාවයෙකි. වැඩියෙන් ලබන්නනන් නොදී සිටීම ( අදනානං ධනෙ අනුප්පාදිය මානෙ දාළිද්දියං වෙපුල්ලං අගමාසි ) ඇති නැති පරතරයක් නැතහොත් අසමානතාවයක් ඇති කිරීමට හේතුවේ. එවිට අඩු අය, වැඩි අය කෙරෙහි ඊර්ෂ්‍යාවෙන් බැලීමට පටන් ගනිති.

කලහයකට අරගලයකට මඟ පෑදේ. සමාජ සාමය එකමුතුකම බිඳ වැටේ. සමාජ චිර ජීවනයට එය අහිතකර වේ. මේ මිනිසා ලබා ගත් දේ ධාර්මික වුව ද බෙදා දිය යුතුය.

උඳුවප්
අමාවක පෝය

උඳුවප් අමාවක පෝය දෙසැම්බර් 24 වන දා සෙනසුරාදා පූර්වභාග 02.03 ට ලබයි. එදිනම අපර භාග 11.40 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම දෙසැම්බර් 24 වන දා සෙනසුරාදා ය.

මීළඟ පෝය ජනවාරි 01 වන දා ඉරිදා ය


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

දෙසැම්බර් 24

First Quarterපුර අටවක

ජනවාරි 01

Full Moonපසෙලාස්වක

ජනවාරි 08

Second Quarterඅව අටවක

ජනවාරි 16

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]