Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ප්‍රශ්නය - බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව හා මහා ප්‍රඥාව පිළිබඳ ව කෙටි හැඳින්වීමක් කරන්න.

පිළිතුර - බුදුරජාණන් වහන්සේ ගේ ප්‍රඥාව පිළිබඳ ව ශ්‍රී මුඛ පාඨයක් වශයෙන් දම්සක් පැවතුම් සූත්‍රයෙහි සඳහන් වන “මයා සම්ම දක්ඛාතො භාවිතො බහුලී කතො අභිඤ්ඤය , සම්බෝධාය, නිබ්බාණාය” ආදී වශයෙන් තමා අවබෝධ කරගත් සද්ධර්මය තමා විසින් ම ප්‍රඥා මහිමයෙන් ම ලබා ගත්තක් බව සඳහන් කිරීමෙන් මුළු ලොව ම අන්ධකාරයෙන් ආලෝකය කරා ගෙන යා හැකි ශ්‍රේෂ්ඨ පුද්ගලයා බුදුරජාණන් වහන්සේ බව පාලි නිකාය ගත තොරතුරු අනුව තහවුරු වේ.

සිද්ධාර්ථ ගෞතම බුද්ධ චරිතයෙහි ප්‍රඥාවෙහි ආරම්භය බුදුවීම වුවත් පෙළ පොත්හි එය සඳහන් වන්නේ සිව්සස් (චතුරාර්ය සත්‍යය) අවබෝධයත් ප්‍රතීත්‍ය සමුප්පාද ධර්මාවබෝධය නිසා ප්‍රඥාව උදා වූ බවයි.

ජළභිඤ්ඤ හා තේවිජ්ගුණ ශ්‍රාවකයන් වහන්සේට පොදු වන අතර බුදුරදුන් ගේ ප්‍රඥාව ප්‍රකට වන්නේ “ සතර වේසාරජ්ජ” ගුණයෙනි.

පාලි පොත පතෙහි එන ජළභිඤ්ඤ
පුබ්බේ නිවාසානුස්සති
තමන්ගේ පෙර ආත්ම පිළිබඳ අවබෝධය
චුතූපපාතඤාණය
(අන්‍යසත්වයන්ගේ චුති උත්පත්තිය පිළිබඳ අවබෝධය)
ආසවක්ඛයඤාණය
(සියලු කෙලෙසුන් මුළුමනින්ම නැසීම පිළිබඳ ඤාණය)
ඉද්ධිවිධ ඤාණය
දිබ්බසොතඤාණය
පරචිත්තවිජානනඤාණය (චෙනොපරිය)

බුදුරදුන්ට ආවේණික ඇතැම් ගුණ රහතන් වහන්සේ තුළ ද පැවැතිණි. මේ නිසා බොහෝ දෙනකු බුදුරදුන් සහ ශ්‍රාවකයන් වහන්සේලා සම තත්වයෙහි ලා සලකා ඇත. එහෙත් මෙහිදී පවතින මූලික වෙනස නම් තථාගතයන් වහන්සේ ගුරුවරයා වන අතර, ශ්‍රාවකයන් ශිෂ්‍යයන් වීමය. එමෙන්ම මාර්ගය සොයා ගත් මුල්ම උතුමාණෝ බුදුරජාණන් වහන්සේ ය. ශ්‍රාවකයෝ බුදුරදුන්ගෙන් අසා ඒ මඟ ගමන්කොට දෙවනුව රහත්බව ලබා ගත් අය වෙති. මේ පිළිබඳව “ මහා සකුළුදායි “ සූත්‍රයෙහි සඳහන් වන්නේ, “බුදුරදුන් විසින් ප්‍රතිපත්තිය කියන ලදී. එම ප්‍රතිපත්තිය අනුගමනය කළ ශ්‍රාවකයෝ සියලු ආශ්‍රව දුරුකොට මෙලොවදීම ඵලසමාධිය හා ඵල ප්‍රඥාව ලබා වාසය කරති” යනුවෙනි. වරෙක ආනන්ද තෙරුන්ගෙන් ගෝපක මොග්ගල්ලාන බ්‍රාහ්මණයා බුදුරදුන් හා සමාන ශ්‍රාවකයෙකුවේදැයි ඇසූ විට උන්වහන්සේ මෙසේ කියති.

“ නත්ථි ඛො බ්‍රාහ්මණා එක භික්ඛුපි තෙහි ධම්මෙහි සබ්බෙන සබ්බං සබ්බථාසබ්බං සමන්නාගතොයෙහි ධ්මෙහි සමන්නාතොසොභගවා අහොසි අරහං සම්මා සම්බුද්ධො “

ම.නි.ගොපකමොග්ගල්ලාන සූත්‍ර)

(උ.දෙවදහවග්ග) භාග්‍යවතුන් වහන්සේ යම් ධර්මයකින් සමන්විත වූ සේක්ද ඒ සියලු ප්‍රඥා හා සර්වඥතා ගුණ ඇතුළු සියල්ලෙන් සියල්ල සම්පූර්ණ වූ ශ්‍රාවකයකු නොමැති බවය. බුදුරදුන් හා ප්‍රඥාවෙන් හෝ වෙනත් ධර්මතාවයකින් හෝ සමාන වන කිසිදු ශ්‍රාවකයකු නැත. බුදුන් වහන්සේගේ මහා කරුණාව පිළිබඳ පෙළපොත් හි එන පරිදි, මහා කරුණා සම්මාපත්තිඤාණයක් සේ බොහෝ විට සටහන් වී තිබේ. මානසංභාවයේ අපරිමාණං කරණීයමෙත්ත සූත්‍රයෙහි එන පරිදි අරමුණක් සීමාවක් නැති කරුණාව මහා කරුණාවයි.

ආභිධම්මිකයන් සඳහන් කරන පරිදි, බුද්ධ කරුණාව මහා කරුණාව වීමට හේතු 05 ක් දක්වා ඇත.

මහා කරුණාව සඳහා කරන ලද කුසල් උසස් වන්නා සේම එය ලබා ගැනීමට කළ කුසල් කරුණාව සඳහා වූ කුසල්වලට වඩා බලවත් වේ.

ස්වරූපය අතින් උසස් වන මහා කරුණාව දුක හා සැප යන දෙකේහි ම එක සේ දැක්වෙන අතර කරුණාව දුකෙහි දී පමණක් (පරදුක්ඛෙ සති හදය කම්පනය) ක්‍රියාවට නැංවේ.

උසස් අරමුණෙහි පවතින මහා කරුණාව කාමරූප හා අරූප යන ධාතු ත්‍රයෙහිම ක්‍රියාත්මක වන අතර කරුණාව කාම ධාතු කෙරෙහි පමණක් ක්‍රියාවට නැංවේ.

මහා කරුණාව සියලු සචේතනික අචේතනික ධර්ම සමූහය උදෙසා ම ක්‍රියාවට නැංවෙන අතර කරුණාව පුද්ගල ඒකීය භාවය සඳහා ම යොමුවේ. මහා කරුණාවේ පැතිරීම ප්‍රමාණයෙන් හා කාලය වැනි සීමාවන්ගෙන් ඔබ්බට යන අතර කරුණාව සීමිත පරිමාණයක් තුළ ක්‍රියාවට නැංවෙනු ඇත.

ප්‍රශ්නය - බුද්ධ ධර්මය අනුව කර්මය පිළිබඳ සඳහනක් කිරීමෙහිදී “ දෙසීසිත්වා කම්මං කරොති” යන්නෙන් දේශිත ධර්මය පිළිබඳ පැහැදිලි කරන්න.

පිළිතුර - කම්ම යන වචනයෙහි තේරුම ක්‍රියාව යන්නය. සිතා මතා කරන (චෙතයිත්වා) ඕනෑම කායික මානසික හෝ වාචසික ක්‍රියාවක් කර්ම ලෙස හැඳින්විය හැකිය. තුන්දොරින් සිදුකරන ක්‍රියා යන්නෙන් මේ සියල්ල සැලකෙයි. සියලු මිනිස් ක්‍රියා චේතනාහං භික්ඛවෙ කම්මං වදාමි. මහණෙනි, මෙම චේතනාවම කර්මය කොට කියමි. එසේ නම්, චේතනා රහිත, අසංචෙතනික ක්‍රියා කර්ම නාමයෙන් ගිණිය නොහැකිය.

බුදුන් වහන්සේ, රහතන් වහන්සේ හා අන් සියලු දෙනාගේ ම චේතනාත්මක ක්‍රියාකර්ම “ නම් වෙයි. බුදුරජාණන් වහන්සේ සහ රහතන් වහන්සේ සියලු කෙළෙසුන්ගෙන් මිදුණු හෙයින් උන්වහන්සේ කුසල් අකුසල් දෙකම ඉක්ම වූහ.


ප්‍රශ්නය – බෞද්ධ කර්මය පිළිබඳ විවිධ මත වාදයන්ගෙන් කිහිපයකි. මේ අතීත කර්මයක ඵල විඳිනා හෙයින් මිනිසාට වර්තමානය කැමැති සේම හැඩ ගසා ගැනීමට වෙනස් කිරීමට සංශෝධන ඇති කිරීමට පුළුවන් කමක් හෝ අයිතියක් නොලැබේ. ලැබුණු හැටියට තෘප්ත විය යුතුය. පවත්නා සමාජ ක්‍රමය ප්‍රශ්න කිරීමෙන් තොරව පිළිගත යුතුය.චේතනාමය ක්‍රියාකිරීමෙන් කර්ම (පින් හෝ පව්) රැස්වන නිසා පුද්ගලයෝ ක්‍රියාවිරහිත ව (කිසිවක් නොකර) සමාජයෙන් ඈත්වීම විශිෂ්ඨතම ආගමික පිළිවෙතකයි. මෙය සමාජ අභිවෘද්ධියට පටහැනි ධර්මතාවයකි. බෞද්ධ කර්ම සංකල්පය ඇසුරෙන් මෙම අදහස් සාවද්‍ය බව සනාථ කරන්න.

පිළිතුර - මෙම සාවද්‍ය මතවාද ප්‍රතික්‍ෂේප කිරීමට මත්තෙන් බෞද්ධ කර්ම සංකල්පය පැහැදිලි කැරෙන විශේෂ තැන් කිහිපයක් හඳුනා ගනිමු. අං.නි.නකම්ම නිදාන සූත්‍රයට අනුව කර්ම සමුදය සඳහා මූලික ගති හයක් පැවතිය යුතුය. එනම් අකුසල් පක්‍ෂයට අයත් ලෝභ, දෝස,මෝහ යන තුන සහ කුසල පක්‍ෂයට අයත් අලෝභ, අදෝස, අමෝහ යන තුනයි

ලෝභ, දෝස, මෝහ නිසා ලෝභ,දෝස මෝහයන්ම විනා අලෝභ ,අදෝස, අමෝහයන් නූපදියි. ලෝභ දෝස මෝහ හේතුවෙන් සංසාරික වශයෙන් නිරය තිරිසන් පේ‍්‍රත අපායන් හෝ අන් කිසිදු දුගතියක් විනා සුගතියක් නම් නොලැබේ. යැයි ද එම සූත්‍රයෙහි සඳහන් වෙයි.

මෙසේ සුගතිය හෝ දුගතිය තමන් විසින් සිදුකරනු ලබන කර්ම මත රැඳේ. බාහිර බලවේග විසින් කැරෙන පාලනයකින් තොරව තමාගේම වගකීම මත රැඳෙන ක්‍රියා පිළිවෙතක් මෙයින් ඉස්මතු වෙයි. තමන් විසින් කරනු ලබන පවින් තමාම කෙළෙසෙන බවත්, තමා පව් නොකිරීමෙන් තමා ම පිරිසිදු වන බවත් මේ අනුව පැහැදිලි වෙයි.

අත්තනාව කතං පාපං
අත්තනා සංකිලිස්සති
අත්තනා අකතං පාපං
අත්තනාව විසුජ්ඣති

ධ.ප.160)

එම නිසා පිරිසුදු බව හෝ අපිරිසුදු බව රඳා පවතින්නේ තමා කෙරෙහි මය. එකෙක් අනෙකකු පිරිසුදු නොකරන්නේය. (නාඤ්ඤ අඤ්ඤං විංසාධයෙ) සියල්ල දත් බුදුවරයෙකුට වුවද කළ හැකි වන්නේ හුදෙක් යායුතු මඟ පෙන්වා දීම පමණකි. සුදුසු යැ යි වැටහේ නම්, එම මඟ තමා විසින් ම ගමන් කළ යුතු ය. (තුම්හේහි කිච්චං ආතප්පං අක්ඛාතාරො තථාගත)

සියල්ල පෙර කළ කර්මයට අනුරූපීව සිදුවෙතැයි යන පිළිගැනීම, බුදුන් වහන්සේ විසින් තිත්ථායතන සූත්‍රයෙහි දී තරයේ ප්‍රතික්ෂේප කළ සේක.

සියල්ල පෙර කර්මයට අනුරූපව ම (පුබබේකත හේතුවාද) සිදුවෙතැයි පිළිගන්නා අයකුට තමාගේ වර්තමාන ක්‍රියා සඳහා වගකීමක් නොපැවරෙන බවත් ස්වච්ඡන්දතාවක් (සිය කැමැත්ත අනුව ක්‍රියා කිරීමේ හැකියාවක්) හිමි නොවන බවත්, සදාචාරවත් ජීවිතය ඒ අනුව අර්ථ විරහිත වන බවත් පැහැදිලි කරයි.

මෙලෙස සීවක පරිබ්‍රාජකයාට කරුණු පහදා දෙන බුදුහිමියෝ, සියල්ල පෙර කර්මයෙන් සිදුවන බව පිළිගත් අයකු තමාට පෙනෙන දෙයත් ඉක්මවා යන අතිධාවකයෙකැයි ප්‍රකාශ කර උදාහරණ වශයෙන් වේදනා (රෝග ) වලට හේතු අටක් ඉදිරිපත් කරති.

ස.නි. මොළීය සීවක සූත්‍ර

පිත්ත සමුට්ඨානානිපා ඛො සීවක ඉධෙ කච්චාති වෙදයිතානි උප්පජ්ජන්ති සාමම්පි ඛො එතං සීවක වේදිතබ්බං යථා පිත්ත සමුට්ඨානානිපි ඉධෙ කච්චානි බ්‍රාහ්මණ එවං වාදිනො එවං දිට්ඨිනො,! යං කිංචායං පුරිස පුග්ගලො පටිසංවේදියති සුඛං දුක්ඛං වා අදුක්ඛ මසුකං වා සබ්බන්තං තං පුබ්බේ කත හෙතුති යඤ්ච සාමං ඤතං තංච අතිධාවන්ති තස්මා නෙසිං සමණ බ්‍රාහ්මණානං මිච්ඡාති වදාමි.

එනම් පිත, සෙම, වාතය සන්නිපාතය ඍතු විපර්යාසය විෂම පරිහරණය උපක්‍රම හා කර්ම වශයෙන් රෝග ඇතිවීමට හේතු රැසක් පවතින බවයි එයින් පැහැදිලි වෙන්නේ.


ඔබේ දහම් ගැටලු
‘සදහම් දැනුම’ සංස්කාරක,
බුදුසරණ කර්තෘ මණ්ඩලය,
කොළඹ ලිපිනයට යොමු කරන්න.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.