Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සුවඳැති, රුවැති, මල් දුගඳව, විරූපීව පස් බවට පත් වුණා! මගේ සිත තුළ විදුලි කෙටීමක් දැනිණ. “නුඹේ සිරුරට ද අත්වන්නේ ඔය ඉරණමමයි” විදුලි කෙටීමක්, ගිගිරුමක් සිත සැලිණ. මා උපන් දා සිට, මොහොතින් මොහොත, පැයෙන් පැය දවසෙන් දවස, වසරෙන් වසර මගේ සිරුර ජරාවට පත් වූ හැටි, ලෙඩ රෝගවලට ගොදුරු වූ හැටි, සවිබල අත්, පා දුබල වැගිය හැටි, මට පනෙන්නට විය.

දෑත පපුවට ළං කොට හිස ඔසවා බලමි. මෙත්, කරුණා උතුරන බුදු හිමියන්ගේ මුහුණ මට පෙනේ. මම දෑත නළලට ගෙන යමි. සාදු සාදුයි සිතින් කියමින් දෑස පියා ගනිමි. යළි දෑස හැර මල් අසුන දෙස බලමි.

මා පිදු සමන්පිච්ච මල් අසල රතු නෙළුම්, සුදු නෙළුම්, නිල් මානෙල්, රතු රෝස, සුදුරෝස, ඉද්ද, වතුසුද්ද මල්, ලස්සන සුවඳ මල්. මම ඒ බුදුකුටිය තුළ සුදු සුමුදු බිම හිඳ ගතිමි. දෑස පියා ගතිමි.

අර සුවඳැති , රුවැති මල් මසිතෙහි පිරෙනු දැනිණි.

සුවඳ ලස්සන මල්

මා රැඳුනේ විසිතුරු මල් ලොවක මොහොතකින් මගේ නැහැයට නොවේ, සිතට දු¼ගදක් දැණින.

මා මේ බුදු මැදුරට පැමිණෙන විට පසු කැරගෙන ආ තුරු ගොමුව අසලින් නැඟුණ දුගඳ. මම නතර වී දුගඳ ආ දෙසට ඇස යොමු කළෙමි. මහා මල් ගොඩක්,ඊයේ මේ මලසුනේ වූ සමන්පිච්ච, රතුනෙළුම්, සුදුනෙළුම්, නිල් මානෙල්, රතුරෝස, සුදුරෝස, ඉද්ද, වතු සුදු මල්, ඒ සුවඳින් ද රුවෙන් ද මිදී මිලානව, දුගඳව , පස්ගොඩක වැතිර ඇති සැටි පෙණින. එතැන පස් ගොඩක් වූයේ කෙසේද? මල් දිරාපත්ව පස් බවට පත්වෙලා.

මල් පස් වෙලා!

සුවඳැති , රුවැති, මල් දුගඳව, විරූපීව පස් බවට පත් වුණා! මගේ සිත තුළ විදුලි කෙටීමක් දැනිණ. “නුඹේ සිරුරට ද අත්වන්නේ ඔය ඉරණමමයි” විදුලි කෙටීමක් , ගිගිරුමක් සිත සැලින.

මා උපන් දා සිට, මොහොතින් මොහොත, පැයෙන් පැය දවසෙන් දවස, වසරෙන් වසර මගේ සිරුර ජරාවට පත් වූ හැටි, ලෙඩ රෝගවලට ගොදුරු වූ හැටි, සවිබල අත් , පා දුබල වැ ගිය හැටි, මට පෙනෙන්නට විය.

සුරූපී ලලනාවක වූ මගේ මව පිළිකා රෝගයට ගොදුරු වුනා. දිගු නිල් කෙස් කලබ ගිලිහී ගියා. මුඩු හිසක් මතුවුනා. හමට සහ ඇටසැකිල්ලට ඉඩ දී මස් දිය වී ගියා. නහර මතුවුණා. මේ මගේ අම්මාද? මට සැක මතු වුණු තරම් . සැත්කම්, එන්නත්, ලේ පරීක්‍ෂණ, විදුලි සැර ගැන්වීම්, මැද වසර කීපයක් ගත වුණා. එක් දිනෙක ඇගේ හද ගැස්ම නැවතුණා. ඒ ඇට සැකිල්ල ආදාහනය කළා. ඇටසැකිල්ල අළු බවට පත්වුණා.

මගේ බාප්පා යෝධ බල සහිත ගොවියෙක් .රෝගාතුරව පස් වසරක්ම ඔහු සිටියේ ඇඳේ. මුළු සිරුරම වණ වුනා. කුණු ගඳ හමන්නට පටන් ගත්තා. මැස්සන් පිරුනා. වණ වල පණුවන් පොදි ගැහුණා. ඔහුගේ දරුවන් ද ඔහු අත්හැර දැම්මා. හඬ හඬා ම ඔහු මැරුනා. එම්බාම් නොකළ මළ සිරුර දින තුනකට පසු ඉදිමුණා. නිල්වුණා. හම පිපිරී තුවාලවලින් ලේ ගලන්නට පටන් ගත්තා ඇස්වල, කන්වල, නාස් පුඩුවල ,කටේ, පණු කැදලි මතුවුනා, මුළු පළාතම ගඳ ගහන්න පටන් ගත්තා. ගඳ නිසාම තමයි ඒ පාළු ගෙයි දොර ඇරල අවට පදිංචි අය බැලුවේ ඔවුන්ට පෙනුනේ මස් දිය වී කාගේදැයි හඳුනා ගත නොහැකි මළ සිරුරක්. හම ගැළවී, කෙස්, හම, ගැළවී වැටී තිබුණා. ඒ පස්බවට පෙරළෙමින් තිබුණා. මස් දියවී ඇට පෑදිලා ඇට සැකිල්ල මතුවෙලා නහර මතුවෙලා.

මගේ ශරීරයටත්, වෙනත් අයගේ ශරීරවලටත්, සිදුවනදේ මේ දෙයමයි මට සිතිණ. සිතිවිලි ඇතිවී, ඇතිවී නැතිවී නැතිවී යනු බලා සිටියෙමි.

ශරීරයේ ඇති ධාතු කොටස් හතර මට සිහිවිය. පඨවි,ආපෝ, තේජෝ ,වායෝ මේ ධාතු හතර හැර මේ ශරීරයේ වෙනත් ඇත්තේ කුමක්ද?

පඨවි, පඨවි යන දේ කෙස්,ලොම්, නිය, දත් , සම්, මස් , ඇට , ඇටමිදුළු, නහර ආදි මේ සියල්ල පස් වී යන දේ පඨවි ධාතුව.

ආපෝ - දියවී යන දේ දියර සහිත දේ කෙළ සොටු, සෙම, කඳුළු,ලේ , මුත්‍රා, දහදිය ආදි ශරීරයේ ඇති දියර ගතිය, මේ ආපෝ ධාතුව,

තේජෝ - ශරීරයේ ඇති උණුසුම් සහ සිහිල් බව ඒ තේජෝ ධාතුව

වායෝ ශරීරයේ ඇති පිම්බුණු ගතිය ඇති කරන වාතය ඒ වායෝ ධාතුව

මේ ධාතු හතර හැර අන් කිසිවක් ආත්මය කියා දෙයක් මේ ශරීරයේ නැත. ඒ ධාතු හතරට අයත් දේ අනිත්‍යයට හසුව විනාශයට ලක් වූ ආකාරය මම දිටිමි.

සියල්ල අනිත්‍යයි. අනිත්‍යයි. අනිත්‍යයි.

සබ්බේ සංඛාරා අනිච්චා, මම මෙනෙහි කළෙමි. මගේ ශරීරයේ දෙසට මම යළි සිත යොමු කළෙමි. එය අනිත්‍යයට ගිය හැටි, අනිත්‍යයට යන හැටි, නිත්‍ය නොවූ ශරීරයෙක් බවට පත්වූ හැටි, මෙනෙහි කෙළෙමි. මගේ මව, මගේ බාප්පා, අනිත්‍යයට ගිය හැටි, ඔවුන්ගේ මළ සිරුරවලට සිදුවු දේ මට සිහිවිය.

ඒ ශරීරවල අභ්‍යන්තර ආපෝ ධාතුව ,බාහිර ආපෝ ධාතුවට එක් වූ හැටි ,අභ්‍යන්තර තේජෝ, වයෝ ධාතු බාහිර තේජෝ ,වායෝ ධාතුවලට එක් වූ හැටි, අභ්‍යන්තර පඨවි ධාතුව බාහිර පඨවි ධාතුවට, මහපොළොවට එක් වූ හැටි, මම සිහි කළෙමි.

සියල්ල අනිත්‍යයි. මනුෂ්‍ය ශරීරය පමණක් නොවේ. ලෝකයේ ඇති සෑම දෙයක්ම ගස්, වැල්, ගල්, පර්වත, ගංගා පවා මහා සාගරය පවා නිත්‍ය නොවේ. අනිත්‍යයි. අනිත්‍යයි, අනිත්‍යයි. ඒ සමගම තවත් දෙයක් සිහියට නැඟින. මගේ ශරීරය අනිත්‍යයට යාම, ලෙඩ රෝගවලට ගොදුරුවීම. වළක්වන්නට මට බැහැ. රැළිවැටීම සවිබල නැතිවීම පාලනය කරන්නට මට බැහැ. මගේ ශරීරය මට අවශ්‍ය පරිදි පාලනය කළ නොහැකි නම් එය මගේ යයි කිව හැකිද? එය මගේ නම් එය රැළි වැටීමෙන්, දුබලවීමෙන්, ලෙඩවීමෙන් වළක්වා ගත හැකි විය යුතුය. එහෙත් එය එසේ කළ නොහැකිය.

මේ ශරීරය මගේ නොවේ. මම නොවේ , මගේ ආත්මය නොවේ. ආත්මය යනු මමයි මගේ ය යන හැඟීමයි. මේ ශරීරය මගේ නොවේ. මම නොවේ. මගේ ආත්මය නොවේ. මෙය අනාත්මයි, අනාත්මයි අනාත්මයි, මේ ශරීරය අනිත්‍යයි. අනාත්මයි. අනිත්‍යයි අනාත්මයි.

සෑම දෙයක්ම අනිත්‍යයි අනිත්‍යයි. අනිත්‍යයි. අනිත්‍ය වූ කිසිවක් මගේ නොවේ. මගේ ආත්මය නොවේ අනාත්මයි අනාත්මයි අනාත්මයි. අනිත්‍ය අනාත්ම වූ කිසිවක් මට අල්ලා ගත නොහැකිය. මම මේ සියල්ල අත් හරිමි

සියලු දේ අත්හරිමි

ඇලීමෙන් බැඳීමෙන් මිදෙමි

අත් හරිමි, අත්හරිමි, අත්හරිමි

මම දිගින් දිගට අත්හැරීමේ සිතිවිල්ලේ පසුවූයෙමි.

සිත මහා ශාන්ත බවකට නිසල බවකට හැරිණ. ඒ ශාන්ත නිසල සිත හඳුනාගත හැකි සිතිවිලි මාත්‍රයක් පමණක් ඉතිරි විය.

සංස්කාර විරහිත ශාන්ත සුවපත් බව තුළ මම රැඳී සිටියෙමි.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.