UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

කෙම්පිටිකන්ද ශ්‍රී බෝධිරුක්‍ඛාරාම පුරාණ විහාරය


ටැම්පිට විහාරයේ, නුවර යුගයේ ප්‍රතිමා

නැගෙනහිරින් අලගල්ල කන්දත් අනෙක් පසින් වූ උතුවං කන්දත් දිස්වෙන මානයේ තවත් මනරම් කඳු බෑවුමක් මත කෙම්පිටිකන්ද ශ්‍රී බෝධිරුක්‍ඛාරාමය නොහොත් කෙම්පිටිකන්ද ටැම්පිට විහාරය පිහිටා තිබේ. කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කෙම්පිටිකන්ද බෝධිරුක්‍ඛාරාමය වෙත පැමිණීමට රඹුක්කන සිට මාවනැල්ල පාරේ පත්තම්පිටිය හන්දියට විත් කෙම්පිටිකන්ද මාර්ගයේ තවත් කිලෝමීටර් 4 ක් පමණ ගමන් කළ යුතු වෙයි.

ගමන මඳක් දුෂ්කරය. එය කඳු සහිත මාර්ගයකි. වන වදුලු කෙත් වතු, රබර් වතු මැදින් දිවෙන මඟ දැකුම්කළුය. අවට පරිසරය සුන්දරය. ප්‍රාග් ඓතිහාසික .ග්‍රාමයක් වන මෙම කෙම්පිටකන්ද වසර දාහත්දාහක් පමණ පැරැණි බවත් මේ ආශ්‍රයේ ලෙන් 21 ක් පමණ දැනට සොයාගෙන ඇති බවත් පැවැසෙයි.


විහාරාධිපති ගංහැල නාරද නා හිමි

අවට පරිසරය වන දුර්ගයන්ගෙන් සහ ගිරිදුර්ගයන්ගෙන් ගහන නිසා, බ්‍රිතාන්‍ය කිරීටයට අභියෝග කළ සූර සරදියෙල් මෙම ප්‍රදේශයේ සැඟැවී සිටි බවද කියැවේ. උතුවංකන්දේ සිට මේ ආසන්නයේ ඇති බුදුගල් ලෙන දක්වා ඇති උමගක් දිගේ සරදියෙල් සැඟවී ඵල ආ බව ද පැවැසෙයි.

කෙම්පිටිකන්ද බෝධිරුක්‍ඛාරාම විහාරස්ථානයේ ඇති බෝධීන් වහන්සේ වසර පන්සියකටත් වඩා පැරැණි බවත් එම බෝධීන් වහන්සේ මුල් කර ගනිමින් කෘෂිකර්මාන්තයෙන් දිවි ගෙවූ පැරැණි ගැමියා පුද පූජා යාග හෝමාදිය මෙන්ම කෙම් ක්‍රම ආදිය කළ නිසාත් කෙම්පිටකන්ද නම සෑදී තිබෙන බව ජනප්‍රවාදයේ පැවැසේ.

එම පූජනීය බෝධීන් වහන්සේ ආශ්‍රයේ පසුව විහාරස්ථානයක් ඉදි විය. ඒ නිසාම විහාරයට බෝධිරුක්‍ඛාරාමය යැයි නම් තැබිණි. මෙම බෝධිරුක්‍ඛාරාමයේ විශේෂයක් වන්නේ එහි ඇති ටැම්පිට විහාර මන්දිරයයි. මෙය ඉදිකර ඇත්තේ නුවර යුගයේ දී ය.


ටැම්පිට විහාරය

අඩි 2 යි අඟල් අටක් පමණ ගල් ටැම් මත ඉදිකර ඇති විහාරය දිගින් අඩි 20 ක් ද පළලින් අඩි 14 ක් ද වෙයි. වටේට වූ දැවමය ගරාදි වැට මධ්‍යයේ විහාර කුටිය තුළ නුවර යුගයට අයත් ප්‍රතිමා සිතුවම් ආදිය දැක ගත හැක. මේවා පසු කලෙක ප්‍රතිසංස්කරණය කර තිබේ.

විහාරයේ පැරැණි පියස ගරා වැටීමට ලක් වූ නිසා රට උළු සෙවිලි කර සාදා ඇත්තේ වත්මන් විහාරාධිපතින් වහන්සේ විසිනි. එය විහාර මන්දිරයේ පැරැණි පෙනුමට යම් බාධාවක් වී ඇතත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවධානය යොමු නොවීම නිසා මෙම වටිනා පෞරාණික උරුමය ආරක්‍ෂා කර ගැනීමට උන්වහන්සේ එසේ මැදිහත් වී තිබේ.

මෙම පැරැණි විහාරස්ථානයට මහත් අඩුවක්ව පැවැති චෛතය්‍ය ගොඩනගා ඇත්තේ 2600 වන සම්බුද්ධත්ව ජයන්තිය සිහිවීමට උපහාරයක් වශයෙනි. මෙම චෛතය්‍ය මාස 6 ක් වැනි කෙටි කාලයක් තුළ ඉදිකිරීමට හැකි වී ඇත්තේ විහාරාධිපති හිමියන්ගේ අප්‍රතිහත ධෛර්ය නිසාවෙන් ය.

කඳු පන්තීන්ගෙන් ගහන එක් සානුවක පිහිටි දුෂ්කර වූ කෙම්පිටකන්ද ග්‍රාමයේ බහුතරයක් යැපෙන්නේ කෘෂි කර්මාන්තයෙනි. ගමට ආලෝකයක් වූ පන්සල නිසා අද වන විට මේ දුෂ්කර ප්‍රදේශයට ජලය, විදුලිය මං මාවත් ආදී යටිතල පහසුකම් රාශියක් ලැබී තිබේ.

මොල්ලිගොඩ ප්‍රවචනෝදය මහ පිරිවෙන් කෝට්ටේ සංඝ සභාවට අයත් මෙම විහාරස්ථානයේ විහාරාධිපතින් වහන්සේ එම පාර්ශ්වයේ කෑගල්ල දිස්ත්‍රික්කයේ උප ප්‍රධාන සංඝනායක සද්ධර්ම කීර්ති ශ්‍රී ගංහැල නාරද නා හිමියන් ය. සතරපේරුවේ දායක කාරකාදීන්ගේ ද සහයෝගයෙන් මෑත දී ඉදි වූ චෛත්‍යයත් සමග අද වන විට සකලාංගයන්ගෙන්ම සම්පූර්ණ වූ විහාරස්ථානයක් ගොඩ නැඟීමට සමත් වූ නාරද නාහිමියෝ අවට ප්‍රදේශයේ ගැමි ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් ද කැප වී කටයුතු කරති.

 

 

බිනර අව අටවක

බිනර අව අටවක පෝය සැප්තැම්බර් 20 අඟහරුවාදා පූර්ව භාග 6.35 ට ලබයි.
21 වනදා බදාදා පූර්ව භාග 07.30 දක්වා පෝය පවතී
සිල් සමාදන්වීම සැප්තැම්බර් 20 වනදා අඟහරුවාදාය

මීළඟ පෝය සැප්තැම්බර් 27 වනදා අඟහරුවාදාය


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 20

New Moonඅමාවක

සැප්තැම්බර් 27

First Quarterපුර අටවක

ඔක්තෝබර් 04

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 11


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]