UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

 

ප්‍රශ්නය :- “දිට්ඨ ධම්ම හිතාය” ව්‍යග්ඝපජ්ජ සූත්‍රයෙහි එන ධර්ම පාඨයකි. විවරණයක් කරන්න.

පිළිතුර :- “මෙලොව හිත සුව පිණිස පවත්නා” යන්න එහි සරල අදහස වේ. ඒ සඳහා ජීවන මාර්ග හතරක් ධර්මයෙහි සඳහන් වෙයි.
1. උට්ඨාන සම්පදා
2. ආරක්ඛ සම්පදා
3. කල්‍යාණ මිත්තතා
4. සමජීවි කතා යන සතරය .


ප්‍රශ්නය :- ව්‍යග්ඝපජ්ජ සූත්‍රයෙහි සඳහන් වන පරිදි පරලොව ජීවිතය සැපවත් කර ගන්නා ක්‍රමය පැහැදිලි කරන්න.

පිළිතුර- පරලොව හිත සුව පිණිස පවත්නා ධර්මයෝ සතර දෙනෙක් වෙති එනම්
1. සද්ධා සම්පදා
2. සීල සම්පදා
3. ත්‍යාග සම්පදා
4. ප්‍රඥා සම්පදා යන මේවාය.


ප්‍රශ්නය :- සිත පිරිසුදු ව තබාගෙන කරන හැම ක්‍රියාවක්ම කුසල් බව ධර්මය හැදෑරීමෙහි දී අප ඉගෙන තිබේ. එසේ නම් පිරිසුදු සිතක ස්වභාවය පිළිබඳ ව විවරණයක් කරන්න.

පිළිතුර :- ධම්මපද ධර්ම ග්‍රන්ථයෙ හි එන “මනාසා චෙ පදුට්ඨෙන” “මනසා චෙ පසන්නෙන” යන පාඨ දෙක කෙරෙහිත් අවධානය යොමු කරන්න. “ පදුට්ඨෙන” “පසන්නෙන” යන පද දෙකින් ගම්‍ය වන්නේ අපිරිසුදු හා පිරිසුදු සිතක ස්වභාවයයි.

“ භවාංග චිත්ත” යයි නම් කරන භවයාගේ නොසිඳ පැවැත්මට හේතුවන සිත පිරිසුදු ය. මඩ බොර නැති ප්‍රසන්න පිළියක් සේ පිරිසුදුය. මේ පිරිසුදු සිත ඇස් , කන්, නාස ආදී වූ දොරටු මගින් ඇද බැඳ ගන්නා අරමුණු නිසා උපදනා ලෝභ, ද්වේෂ, මෝහ ආදී වූ කෙලෙසුන්ගෙන් අපිරිසුදු වේ.

“පභස්සර මිදං භික්ඛවෙ චිත්තං තං ඛො ආගන්තුකෙහි උපක්කිලෙසෙහි උපකිලිට්ඨං” ආදී දේශනාවට අනුව වඩාත් පැහැදිලි වනු ඇත.


ප්‍රශ්නය
මෙහි පහත සඳහන් වන්නේ ධම්මපද ග්‍රන්ථයෙන් උපුටාගත් ගාථා ධර්මයකි. අදහස කෙටියෙන් පැහැදිලි කර විවරණයක් සපයන්න.

සුභානුපස්සිං විහරන්තං
ඉන්ද්‍රයෙසු අසංවුතං
භොජනම්හි අමත්තඤ්ඤුං
කුසීතං හීන වීරියං
තං වෙ පසහති මාරො
වාතො රුක්ඛං ච දුඛ්ඛලං “

පිළිතුර -රූපාදී වූ අරමුණු ශුභයයි දකිමින් වාසය කරන ඇස්, කන්, නාසාදී වූ ඉඳුරන්හි සංවර නැති අහරෙහි දී පමණ නොදත් අලස වූ වීර්ය රහිත වී පුද්ගලයා දුබල රුකක් සුළඟින් උදුරා දමන්නාක් මෙන් මරු වසඟයට යේ.

සුභානුපස්සිං විහරන්තං - පුහුදුන් මිනිසුන් විසින් දිවා රෑ දෙක්හි ශුභ වශයෙන් දකින සිහින අරමුණු සයෙක් වේ. රූප, ශබ්ද, ගන්ධ, රස,ස්පර්ශ, ධම්ම යනුවෙන් ඒ සය නාමිකව සඳහන් වෙයි.

මේ රූපාදී අරමුණු දුබල මිනිසෙකු සැරයටියක ආධාරයෙන් එල්බගන්නා සේ චිත්ත චෛතසික ධර්මයන්හි එල්බගනු ලැබෙයි. ඒවාට අරමුණු යැයි කියන්නේ ඒ නිසාය.


ප්‍රශ්නය - විදර්ශනා භාවනාව පිළිබඳ ව කෙටි හැඳින්වීමක් කරන්න.

පිළිතුර :- සංස්කාරයන් කෙරෙහි වූ අනිත්‍ය දුඞඛ අනාත්ම ලක්‍ෂණ සිතට නගාගෙන සිත එහි පුරුදු කිරීමෙන් භවත්‍රයෙහි කිසිවක සිත නොඇලෙයි.

කිසිවිටකත් සංස්කාර ධර්ම ශුභවාදීව පිළිනොගනී. සංස්කාර ධර්ම පිළිබඳව නැවත වැඩීමෙන් බලවත් ව ගිය විදර්ශනාව නියත වශයෙන් ම නිර්වාණාවබෝධය සඳහා ම සිත යොමුගත බව සඳහන් වෙයි.


ප්‍රශ්නය -පින් කළ අය සුගතිගාමි වෙති. ධර්මයට අනුව සුගති යන්න පිළිබඳව විවරණයක් කරන්න.

පිළිතුර :- කාමාවචර, රූපාවචර, අරූපාවචර යයි මූලික අවස්ථා තුනකි. කාමාවචර සුගති මනුස්ස, චාතුම්මහාරාජික , තාවසිංසයාම, තුසිත නිම්මාණ රති. පරනිම්මිත වසවත්ති යනුවෙන් සත්වැදෑරුම් වෙයි.


ප්‍රශ්නය - මිනිස් ලොව උපත ලද අයෙක් තමන් කළ කුසල කර්මයන් ගේ විපාක වශයෙන් මහා සම්පත් ඇති මහා සාර කුලවල උපත ලබන බව බෞද්ධ පොත පතෙහි සඳහන් වෙයි. එසේ හැඳින්වෙන මහාසාර කුල කීයක් තිබේ ද?

පිළිතුර :- මහාසාර කුල 05 කි.

1. ගෘහපති මහාසාර සම්පත්තිය
2. බ්‍රාහ්මණ මහාසාර සම්පත්තිය
3. ක්‍ෂත්‍රිය මහාසාර සම්පත්තිය
4. ප්‍රදේශ මහාසාර සම්පත්තිය
5. චක්‍රවර්ති මහාසාර සම්පත්තිය වේ.


ප්‍රශ්නය - විනය පිටකය ග්‍රන්ථ වශයෙන් ගත් විට 5 කි.පරිවාර පාලි එක ග්‍රන්ථයකි. පරිවාර පාලි ග්‍රන්ථයට අයත් ධර්ම කොටස් පැහැදිලි කරන්න.

පිළිතුර- පඤ්ඤාත්ති, ආපත්ති, විපත්ති, ගාථා, උදාන, ඉතිවුත්තක,ජාතක, අබ්භූත ධම්ම, වේදල්ල යනුවෙනි.


ප්‍රශ්නය :- නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්මය යනුවෙන් ධර්මයට පර්යාය (විස්තර) සටහනක් ධර්ම ග්‍රන්ථවල අපට බෙහෙවින් දක්නට ලැබේ. පැහැදිලි කරන්න.

පිළිතුර :- සෝවාන් මඟ ඵල, සකදාගාමී මඟ ඵල, අනාගාමි මඟ ඵල, අර්හත් මඟ ඵල, නිර්වාණය.


ප්‍රශ්නය - බුදුරජාණන් වහන්සේ ව්‍යග්ඝපජ්ජ සූත්‍රයෙහි දී බෞද්ධ ජීවන මාර්ගයට සුදුසු වෘත්තීන් කිහිපයක් ඉදිරිපත් කළහ. ඒ මොනවාද?

පිළිතුර
1. කෘෂිකර්මය – කසියා
2. වෙළෙඳාම – වණිජ්ජා
3. ගවපාලනය -හොරක්ඛෙත්ත
4 දුනු ශිල්පය – ඉස්සෙත්ථෙන
5. රාජ්‍ය සේවය –රාජපොරිසෙන
6. වෙනත් කිසියම් ශිල්පයක් සිරිපඤ්ඤනරෙන


ප්‍රශ්නය- සත්වයා ස්කන්ධ හෙවත් කොටස් 05 කට බෙදනු ලැබේ. මේ බෙදීම පිළිබඳ ව ධර්මානුකූල ව පැහැදිලි කරන්න.

පිළිතුර- සත්වයා පළමුකොට නාම හා රූප වශයෙන් කොටස් දෙකකි. නාමය ස්කන්ධ 04 කට බෙදනු ලැබේ. එවිට රූප වේදනා සංඥා, සංඛාර, විඤ්ඤාණ යන කොටස් පහ ලෙස දැක්වේ.

බිනර මස පුර අටවක

බිනර මස පුර අටවක පෝය සැප්තැම්බර් 04 වන දා ඉරිදා පූර්ව භාග 11.58 ට ලබයි.
05 වනදා සඳුදා පූර්ව භාග 10.39 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 04 වන දා ඉරිදාය.

මීළඟ පෝය
සැප්තැම්බර් 11 වනදා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 04

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 11

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 20

New Moonඅමාවක

සැප්තැම්බර් 27


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]