UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ බුද්ධත්වය ප්‍රතිඥාකළ බුදුරජාණන් වහන්සේ මෙම ධර්මය අවබෝධ නොකරන ලදැයි පැවිද්දෙක්, බ්‍රාහ්මණයෙක්, දෙවියෙක්, මාරයෙක් බ්‍රහ්මයෙක් හෝ ලෝකයේ කවරෙකුට හෝ ප්‍රකාශ කිරීමට අවකාශ නැත්තේමය. එනිසා බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ විශාරද ඤාණයෙන් යුක්ත වන සේක. ආශ්‍රවක්‍ෂයෙහි විශාරද ඥානය. කාමශ්‍රව, භවාශ්‍රව, දිට්ඨාශ්‍රව, අවිද්‍යා ආශ්‍රව නමින් ආශ්‍රව ධර්ම සතරකි. මෙම සියලු ආශ්‍රව ධර්මයන් තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ ප්‍රහාණය කළ සේක.

නමෝ තස්ස භාගවතෝ
අරහතෝ සම්මා සම්බුද්ධස්ස
වේසා රජ්ජානි චත්තාරි
බුද්ධත්තේ ආසවක්ඛයේ
අන්තරායේච නිය්‍යානේ
ගේහි බූද්ධෝ විසාරදෝ

පින්වත්නි,

තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ සිවු විශාරද ඤාණයන්ගෙන් සමන්නාගත වන සේක.

බුද්ධත්වය විශාරද ඤාණය
ආශ්‍රවක්ෂය විශාරද ඤාණය
අන්තරායිකය විශාරද ඤාණය
නෛර්යාණිකය විශාරද ඤාණය
යනු එම විශාරද නුවණ සතරයි.

විශාරද බව යනු බියක් තැති ගැන්මක් නැත්තා වූ නිර්භය භාවයයි. එමෙන්ම යම් යම් විෂයයන් පිළිබඳ සියල්ල දන්නා සියල්ල දක්නා සව¢ප්‍රකාරයෙන්ම අවබෝධ කළ කිසිවකුටත් නොදෙවෙනි වූ අනන්ත වූ ඥානයයි. තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙම සිවු විශාරද ඥානයන්ගෙන් සමන්නාගත වන බැවින් සැමකල්හිම සෑම තන්හිම විශාරද වන සේක. විසි අසංඛ කල්ප ලක්ෂයක් පුරා පුරනා ලද අනන්ත වූ බ්‍රහ්ම විහාර ගුණයන්ගේද සාරාසංඛ කල්ප ලක්ෂයක් පුරා පුරනා ලද සමතිස්පාරමී ගුණයන්ගේද බලමහිමයෙන් තථාගතයාණන් වහන්සේට මෙම සිවු විශාරද නුවණ පහළ වූ සේක.

අභිධර්ම පිටකයේ විභංග ප්‍රකරණයේ ඥාන විභංග දේශනාවෙහි සිවු විශාරද ඤාණ මෙසේ සඳහන් වේ. බුද්ධත්වයෙහි විශාරද ඤාණය.

සත්‍ය අවබෝධ කළ බැවින්ද, අන්අයට අවබෝධ කර වූ බැවින්ද, සියල්ල දන්නා බැවින්ද, සියල්ල දක්නා බැවින්ද, ස්වයං අවබෝධයෙන්ම චතුරාර්ය සත්‍ය අවබෝධ කළ බැවින්ද, ආශ්‍රව ක්‍ෂයකර කෙළෙස් නින්දෙන් අවදි වූ බැවින්ද, වීතරාගී බැවින්ද, වීත දෝශ බැවින්ද, වීත මෝහ බැවින්ද, ඒකායන මාර්ගයේ ගමන්කර අනුත්තර සම්බෝධියට පත් වූ බැවින්ද, අබුද්ධිය නසා බුද්ධිය හෙවත් විද්‍යාව පහළකර ගත් බැවින්ද, බුද්ධ නම් වනසේක. මෙම බුද්ධනම් වූ උත්තරීතර වූ උත්තම වූ නාමය මෑණියන්ගෙන්, පියාණන්ගෙන්, සහෝදර සහෝදරියන්ගෙන් , මිතුරන්ගෙන්, නෑයකුගෙන්, ශ්‍රමණ බ්‍රාහ්මණයින්ගෙන්, දෙව් බඹුන්ගෙන් ලැබුවක් නො වන්නේය. එය බුද්ධගයා බෝධි මණ්ඩලයේදී සත්‍ය අවබෝධ කර සර්වඥතා ඤාණයෙන්ම ලැබූ ප්‍රතිලාභයක් බැවින් බුද්ධ නම් වන සේක. ඒ උත්තරීතර වූ බුද්ධ රාජ්‍යයට පැමිණි සම්මා සම්බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ අවබෝධ කළ චතුරාර්ය සත්‍ය පිළිබඳ මෙසේ ප්‍රකාශ කළ සේක.

‘’මහණෙනි, මම අතිශයින්ම පරිශුද්ධ වූ මෙම චතුරාර්යය සත්‍ය ධර්මය පිරිවැටුම් තුනකින් යුක්තව දොළොස් ආකාරයකට නැවත ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කළෙමි. දෙවියන්, මරුන්, බඹන්, ශ්‍රමණ බ්‍රාහ්මණයින්, මිනිසුන් සහිත සත්ත්ව ප්‍රජාවට මා සර්වඥතා ඤාණය අවබෝධ කළ බවට ප්‍රකාශ කළේ ඉන් පසුවය. මම පළමු වරට පස්වග තාපසයින් වහන්සේලාට මා බුදු බවට පත්වූ බව ප්‍රකාශ කළෙමි. එම වචනය දස දහසක් ලෝකධාතු දෝංකාරයදී කම්පා වූහ. විශාලා මහනුවර ගෝතමක චෛත්‍යයේදී පන්සියයක් භික්ෂූන් වහන්සේ හමුවේ බුදුබව ප්‍රකාශ කළ අතර තෙවරක් පොළොව කම්පා විය. සාකේතනුවර කාලකාරාමයේ කාලකාරාම සූත්‍ර දේශනාවේදී පස්වරක් බුදුබව ප්‍රකාශ කළ අතර පස්වරක් පොළොව කම්පා විය. රජගහනුවර අඹ වනයේදී හැට දෙවාරයක් බුදුබව ප්‍රකාශ කළ අතර හැට දෙවාරයක් පොළොව කම්පා විය. එසේම සේල බ්‍රාහ්මණයාට

අභිඤෙඤය්‍යං අභිඤ්ඤාතං
භාවේතම්බඤච භාවිතං
පහාතබ්බං පහීනංමේ

තස්මා බුදෙධීස්මි බ්‍රාහ්මණ යනුවෙන් බ්‍රාහ්මණය මා විසින් විශිෂ්ඨ ඤාණයෙන් දතයුතු වූ ආර්යය සත්‍ය විශිෂ්ඨ ඤාණයෙන් අවබෝධ කළෙමි. භාවනා වශයෙන් වැඩිය යුතු වූ මාර්ගය භාවනාවෙන් වැඩුයෙමි. ප්‍රහාණය කළ යුතු වූ සමුදය ප්‍රහාණය කළෙමි. එනිසා බ්‍රාහ්මණය මම බුද්ධ වෙමි’’. එම අවස්ථාවේ සේල බ්‍රාහ්මණයා ඇතුලු තුන්සිසයක් මානවකයෝ පැවිදිව අර්හත් ඵලයට පත්වූහ.

එබැවින් සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ බුද්ධත්වය ප්‍රතිඥාකළ බුදුරජාණන් වහන්සේ මෙම ධර්මය අවබෝධ නොකරන ලදැයි පැවිද්දෙක්, බ්‍රාහ්මණයෙක්, දෙවියෙක්, මාරයෙක් බ්‍රහ්මයෙක් හෝ ලෝකයේ කවරෙකුට හෝ ප්‍රකාශ කිරීමට අවකාශ නැත්තේමය. එනිසා බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ විශාරද ඤාණයෙන් යුක්ත වන සේක.

ආශ්‍රවක්‍ෂයෙහි විශාරද ඥානය. කාමශ්‍රව, භවාශ්‍රව, දිට්ඨාශ්‍රව, අවිද්‍යා ආශ්‍රව නමින් ආශ්‍රව ධර්ම සතරකි. මෙම සියලු ආශ්‍රව ධර්මයන් තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ ප්‍රහාණය කළ සේක. බුදුරජාණන් වහන්සේ මෙම ආශ්‍රව ධර්මයන් ප්‍රහාණය නොකළේයැයි ප්‍රකාශ කිරීමට තරම් සමතෙක් ශ්‍රමණ, බ්‍රාහ්මණ, ගෘහපති, දේව, මාර, බ‍්‍රහ්ම ආදී කිසිවකුත් අතර නැත්තාහ. තථාගත සම්මා සම්බුදුරජාණ් වහන්සේ බෝධිමූලයේදී සෝතාපත්ති මාර්ගයෙන් දිට්ඨාශ්‍රවයද, අනාගාමී මාර්ගයෙන් කාමාශ්‍රවයද, අරහත්මාර්ගයෙන් භවාශ්‍රව සහ අවිද්‍යා ආශ්‍රවද ප්‍රහාණය කළ සේක.

මෙසේ සියලු ආශ්‍රවයන් ප්‍රහාණය කළ බුදුරජාණන් වහන්සේ බියක්, තැති ගැන්ම නැත්තා වූ නිර්භය භාවයෙන් යුක්ත ආශ්‍රව ක්‍ෂයෙහි විශාරද ඤණයෙන් යුක්ත වන සේක.

නිර්වානාබෝධයට බාධාකරවන අන්තරායික කරුණු පසක් බුදුරජාණන් වහන්සේ විශාරද ඤාණයෙන් මනාව ප්‍රත්‍යක්‍ෂකර දේශනා කළ සේක.

කර්මාන්තරාය යනු පඤ්චානන්තර්ය පාප කර්මයයි. මව මැරීම, පියා මැරීම, රහතුන් මැරීම, සංඝභේදය, බුදු සිරුරේ ලේ සෙලවීම යන අනන්තරිය පාපකර්ම සුගති උත්පත්තියට හා නිවන් අවබෝධයට බාධා කෙරෙති. මෙම පාප කර්මයන් කළ පුද්ගලයා නියත වශයෙන්ම අපාය උත්පත්තිය ලබයි.

ක්ලේශාන්තරාය යනු නියත මිත්‍යා දෘෂ්ඨියයි. මිත්‍යා දෘෂ්ටිය නාස්තික, අහේතුක අක්‍රිය වශයෙන් ත්‍රිවිධාකාරය. කළ කර්මයේ විපාක නැතැයි යන මතය නාස්තික දෘෂ්ටියයි. සසර ගමන හේතුවක් නැතිව ස්වභාවයෙන් ඇතිවන්නෙක් යැයි සිතීම අහේතුක දෘෂ්ටියයි. සිත, කය, වචනය තුළින් කෙරෙන කවර දෙයකට වුවද කර්මයක් සිදුවන්නේ් නැතැයි යන මතය අක්‍රීය දෘෂ්ටියයි.

විපාකාන්තරාය යනු අහේතුක හා ද්විහේතුක ප්‍රතිසන්ධියයි. දුගති අහේතුක හා සුගති අහේතුක යනුවෙන් මෙය දෙවැදෑරුම්ය. සතර අපාය දුගති ප්‍රතිසන්ධිය ලබයි. මිනිස් ලොව හා බුම්මාටු දෙවියන් අතර සුගති අහේතුක ප්‍රතිසන්ධිය ලබයි. අන්ධ, ගොලු, බිහිරි, උන්මත්තක උත්පත්තියට හේතුවන්නේ සුගති අහේතුක ප්‍රතිසන්ධියයි. ලෝභ ද්වේශ මෝහ චෛතසිකයන් ඇත්තේ අහේතුක ප්‍රතිසන්ධියයි. ලෝභ, ද්වේශයන්ගෙන් මිදුන මෝහ චෛතසිකය ඇත්තේ ද්විහේතුක ප්‍රතිසන්ධියයි. මෙම අයට ධ්‍යානමාර්ග කිසිවක් ලැබිය නොහැක. එබැවින් මෙය අන්තරායික ධර්මයකි. උපවාදාන්තරය යනු මාර්ගඵල ආර්යය උත්තමයාණන් වහන්ස්ලාට ගර්හා කිරීමයි. ආඥාවෘති ක්‍රමණාන්තරාය යනු සමාදන්වූ ශික්ෂාපද කඩ කිරීමයි. ඉතා කුඩා ශික්ෂා පදයක් කැඩු භික්ෂුව ඒරකපත්ත නාරජුව ඉපිද බුද්ධාන්තරයක්ම අහේතුක ප්‍රතිසන්ධිය ලැබීය. නිවනට බාධාවන මෙම අන්තරායික ධර්ම සාරාසංඛ කල්ප ලක්ෂයක් තුලවත් බෝසතාණන් වහන්සේ වෙතවත් තිබුණේ යයි කිසිම දෙවියෙකුට, මාරයෙකුට, බ්‍රහ්මයකුට මනුෂ්‍යයකුට හෝ ලෝකයේ කිසිම කෙනෙකුට අපවාද කළ නොහැකිය. මෙසේ බුදුරජාණන් වහන්සේ බියක්, තැති ගැනීමක් නැති නිර්භය වූ අන්තරායිකයෙහි විශාරද ඤාණයෙන් යුක්තවන සේක. නෛර්යාණිකයෙහි විශාරද ඤාණය බුදුරජාණන් වහන්සේ අවබෝධ කළ නෛර්යාණික ශ්‍රී සද්ධර්මය මුල මැද අග යහපත්ව නිවන් පිණිසම දේශනා කළ සේක. ආණා දේශනා, වෝහාර දේශනා, පරමත්ථ දේශනා වශයෙන් ත්‍රිපිටක ධර්මය සර්වඥතා ඤාණය පෙරදැරිව දේශනා කළ සේක. එය නෛර්යාණික නොවන්නේ යයි කිසිම දෙවියකුට මාරයෙකුට බ්‍රහ්මයකුට හෝ මෙලොව කිසිවකුට පැවසිය නොහැකිය. මෙසේ චතුවිශාරද ඤණයන්ගෙන් සමන්නාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ භයක්, තැති ගැන්මක් නැති නිර්භය වූ විශාරදත්වයෙන් යුක්ත වන සේක.

ඔබ සැමට තෙරුවන් සරණයි!

 

බිනර මස පුර අටවක

බිනර මස පුර අටවක පෝය සැප්තැම්බර් 04 වන දා ඉරිදා පූර්ව භාග 11.58 ට ලබයි.
05 වනදා සඳුදා පූර්ව භාග 10.39 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 04 වන දා ඉරිදාය.

මීළඟ පෝය
සැප්තැම්බර් 11 වනදා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 04

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 11

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 20

New Moonඅමාවක

සැප්තැම්බර් 27


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]