UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සිතට සුව ගෙන දෙන වස්සාන සමය

වක්කලි මේ කුණු ශරීරය දෙස බලා සිටීමෙන් ඔබට ඇති ඵලය කුමක්ද? යමෙක් ධර්මය දකීනම් ඔහු මා දකින්නේ ය. යමෙක් මා දකින්නේ නම් ඔහු ධර්මය දකින්නේ ය. වක්කලී ධර්මය දකින කෙනා තමයි මා දකින්නේ. යන්න බුද්ධ අවවාදය විය.

නමෝතස්ස භගවතෝ
අරහතෝ සම්මා සම්බුද්ධස්ස
අනුජානාමි භික්ඛවේ
වස්සානේ වස්සං උපගන්තුං

පින්වත්නි

බුදුරජාණන් වහන්සේ විසින් උපසපන් භික්ෂූන් වහන්සේට වස් වැසීම අනුමත කරමින් ‘මහණෙනි වස්සාන කාලයේ දී වස් වැසීමට අනුදනිමි’ යනු ඉහත මාතෘකා පාඨයේ අදහසයි.

උපසම්පදා සියලු භික්ෂුන් වහන්සේ ඇසළ පොහොය දිනයෙන් පෙරවස් සමාදන්වීම ඇරඹුණා. වස් තුන් මාසය භික්ෂුන් වහන්සේට පමණක් නොව ගිහි පින්වතුන්ටද ඉතාමත් වැදගත් වටිනා කාල පරිච්ඡේදයක් වෙනවා. ඇසළ පොහොය දින දායක පින්වතුන් විහාරස්ථානයට යෝගාශ්‍රමයට හෝ ආරණ්‍ය සේනාසනයට පැමිණ දැහැත් වට්ටියක් පිළිගන්වා ‘ස්වාමිනි ඔබ වහන්සේලා මෙම වස් තුන් මාසය මෙම ස්ථානයේ වස් වාසය කරන සේක්වා.

ඔබ වහන්සේලාට සිව් පසයෙන් උපස්ථාන කිරීමට අපි සැදී පැහැදී සිටිනවා’ යනුවෙන් ප්‍රතිඥා දී වස් ආරාධනාව කළා. එම වස් ආරාධනාව බුද්ධ කාලයේ සිටම පැවත එන සිරිතක්. අතීතයේදී කණ්ඩායම් වශයෙන් එක්වන භික්ෂූන් වහන්සේ වස් කාලයේ වස් විසීමට සුදුසු ස්ථානයක් සොයා වඩිනව. ගම් දනව්වල පිරිස බොහෝවිට මෙය බලාපොරොත්තුව සිටිනව. තම ගම් ප්‍රදේශයට පිණ්ඩපාතයේ වඩින භික්ෂූන් වහන්සේගෙන් තමන් වහන්සේ කිනම් ප්‍රදේශයකට වඩින්නේදැයි විමසනව. ‘’අපි වස් විසීමට සුදුසු ස්ථානයක් සොයා වඩිනව‘’ භික්ෂුන් වහන්සේලා පවසනව. ‘ස්වාමීනි ඔබ වහන්සේ කොහේවත් වඩින්න එපා.

අපේ ගම් ප්‍රදේශයේ ඔබ වහන්සේට සුදුසු වනගත ප්‍රදේශ තියෙනවා. ස්වාමිනී ඔබ වහන්සේලා මෙහි වස් වසන්න. අපි ඔබ වහන්සේලාට සිව්පසයෙන් උපස්ථාන කරනව.’ මෙහෙම කියල අර දායක පිරිස භික්ෂුන් වහන්සේ තම ගම් ප්‍රදේශයේ නේවාසිකාර ගන්නව. භික්ෂූන් වහන්සේලාට වස් වැසීම සඳහා ‘පන්නශාලා’ නමින් හැඳින්වෙන කොළ අතු සෙවිලි කරන ලද තාවකාලික කුටි හදා දෙනව. මේ නිසංසල ප්‍රදේශවලට වී භික්ෂූන් වහන්සේ භාවනාවේ යෙදෙනව. බොහෝ අය මෙම වස්සාන කාලයේ මාර්ගඵල අවබෝධ කරගන්නව. ගිහි පිරිසද එම කාලයේදී භික්ෂුන් වහන්සේලාට උපස්ථානකර බොහෝ කුසල් රැස්කර ගන්නව. මාතිකා මාතාව වැනි කාන්තාවන් සංඝ උපස්ථානය කරමින් භාවනා කර හිත තැන්පත් කරගෙන අනාගාමි ඵලයට පවා පත්වූනා.

ගිහි පින්වතුන් ආරාධනා කළත්, නොකළත් උපසම්පදා භික්ෂූන් වහන්සේ ඇසළ පොහොයට පසුදින ‘ඉමස්මිං විහාරේ ඉමං තෙමාසං වස්සං උපේමි’ යනුවෙන් වාක්‍යය කියා වස් සමාදන් වෙනවා.

සියලු උපසපන් භික්ෂූන් වහන්සේ නමක්ම මෙම වස්සාන කාලයේ අධිෂ්ඨාන කරන්නේ (සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්ජිකරණත්තාය) සියලු දුක්ඛයන්ගෙන් නිදහස් වූ උතුම් වූ නිර්වාණ ධාතුව අවබෝධ කර ගැනීමයි. මේ නිසාම භික්ෂූන් වහන්සේ මෙම වස් කාලයේ තම ආවාස, විහාරස්ථානවල රැඳී තමන් වහන්සේලාගේ පාරමිදම් සපුරා ගැනීමට යුහුසුලු වෙනව.

බුද්ධ කාලයේ මෙන් අදද භික්ෂූන් වහන්සේ තමන් වහන්සේලාගේ වස් ජේදනය නොවීමට උපරිම පරිශ්‍රමය යොදනව. මෙය උන්වහන්සේලාගේ දැඩි වගකීමක් බවට පත්කරගත තිබෙනව. ආරණ්‍ය සේනාසනවාසී මෙන්ම යෝගාශ්‍රම භික්ෂූන් වහන්සේලා මෙම කාලය තුළ තමන් වහන්සේලාගේ පාරමී සපුරා ගැනීම සඳහා භාවනාවේ යෙදෙනව. අරණෙන් පිට යායුතු නොවැළැක්විය හැකි කරුණකට විනා අරනෙන් පිටවන්නෙ නැහැ. එසේම විහාරස්ථානවල භික්ෂූන් වහන්සේ මෙම වස් කාලය තුළ බෝධිපූජා, ධර්ම දේශනා, මෙන්ම භාවනා වැඩසටහන් පත්වනව. දායක පින්වතුන්ගේ සුබ සිද්ධිය සඳහාම භික්ෂූන් වහන්සේ ඇපකැප වී සිටිනව.

එක් ස්ථානයකදී වසරකට එක වරක් පමණක් කරන මෙම පුණ්‍ය ක්‍රියාව ගිහි පින්වතුන්ට ඉතාම අගනා ශ්‍රේෂ්ඨ අවස්ථාවක්. කුසල් රැස්කරගැනීමේ උල්පත මතු වූ අවස්ථාවක්. ගිහි පින්වතුන් මේ පුණ්‍ය අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට හිතට ගන්න ඕන. නැවත මෙවැනි අවස්ථාවක් ලබාගන්න තව අවුරුද්දක් ගත කරන්න වෙනව.

ශාන්තිනායක ලොව්තුරා බුදුරජාණන් වහන්සේ අවබෝධ කළ චතුරාර්ය සත්‍යධර්මය නොනැසී බබළන බුද්ධෝත්පාද කාලය ලැබී තිබෙනවා. සුපේක්ෂාකාමී ආර්ය සංඝරත්නය වැඩ සිටිනවා. ගරුතර මහා සංඝරත්නය වැඩ සිටින්නේ මේ පින්වතුන්ට ශාන්තිනායකයාණන් වහන්සේ අවබෝධ කර වදාළ ශ්‍රී සද්ධර්මය අවබෝධ කරදී සසර දුකින් එතෙරවීමේ මග පහදා දෙන්න. එනිසා මෙම වස් තුන් මාසය මේ පින්වතුන්ලාට ලුබුණු ස්වර්ණමය අවස්ථාවක් බව සිතන්න ඕන.

මේ වස්තු තුන් මාසය කුලවත් ගිහි පින්වතුන් මස් මංශ අනුභයෙන් වැළකීම කෙතරම් වටිනවද? මස් මාංශ අනුභව නොකරනවානම් එය සතකු මරණයෙන් නිදහස් කිරීමේ අභය දානයක්. වස් තුන් මාසය තුළ නිතර විහාරස්ථානයට යන්න. භික්ෂුන් වහන්සේ හමු වී ධර්මාවාද ලබා ගන්න. ඔබේ සිත කරුණා මෛත්‍රියෙන් පිරුණ බුදු කුටියක් බවට පත් කර ගන්න.

වක්කලී ස්වාමින්වහන්සේට බුදුරජාණන් වහන්සේ දුන් අවවාදය මේ වස් කාලයේ ඔබ හොඳට හිතට ගන්න.

‘කිං තේ වක්කලි ඉමිනාපුතිකායේන දිට්ඨෙන
යෝ ඛෝ වක්කලි ධම්මං පස්සති - සෝ මං පස්සති
යෝමං පස්සති සෝ ධම්මං පස්සති
ධම්මංහි වක්කලි පස්සන්තො මං පස්සති

වක්කලි මේ කුණු ශරීරය දෙස බලා සිටීමෙන් ඔබට ඇති ඵලය කුමක්ද? යමෙක් ධර්මය දකීනම් ඔහු මා දකින්නේය. යමෙක් මා දකින්නේ නම් ඔහු ධර්මය දකින්නේය. වක්කලී ධර්මය දකින කෙනා තමයි මා දකින්නේ. යන්න බුද්ධ අවවාදය විය.

එනිසා මෙම වස් කාලයේ ධර්මය තුළින්ම බුදුරජාණන් වහන්සේ දැකීමට උත්සාහ ගන්න. හැකිතරම් විහාරස්ථනවලට සම්බන්ධ වන්න. බෝධිපූජා බුද්ධ පූජාවලට සහභාගි වී බුදුරජාණන් වහන්සේගේ අනන්ත බුදුගුණ මෙනෙහි කරන්න. නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් ඔබේ හදවතට බුදුරජාණන් වහන්සේ සමීප කර ගන්න. භාවනාවට හිත යොමු කරන්න. භාවනාව තුළින් ඔබේ විසිරෙන සිත සන්සුන් කරගන්න. මේ වස් කාලයේ ඔබට ලබාගත හැකි ඒ මාහැඟි දායාදය භුක්තිවිදීමට අදිටන් කර ගන්න. ශාන්තිනායක ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ඔබේ සිතින් දැක දැක දෙලොව සැනසීම උදාකර ගන්න. එනිසා මෙම වස් කාලයේ දී විශේෂයෙන් විහාරස්ථානයේ ඇසුර ලබා ගරුතර මහා සංඝ රත්නයේ ඔවදන් පිළිපැද ජීවිතයේ සදා සැනසීම උදාකර ගන්න.

ඔබ සැමට තෙරුවන් සරණයි!

නිකිණි අමාවක පෝය

නිකිණි අමාවක පෝය අගෝස්තු මස 28 වන දා ඉරිදා පූර්වභාග 11.37 ට ලබයි.
29 වන දා සඳුදා පූර්ව භාග 08.34 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම, අගෝස්තු 28 වන දා ඉරිදා ය.

මීළඟ පෝය
සැප්තැම්බර් 04
වනදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

අගෝස්තු 28

First Quarterපුර අටවක

සැප්තැම්බර් 04

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 11

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 20

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]