UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

මාර බන්ධනය ඉතා සියුම්

නමෝ තස්ස භගවතෝ
අරහතෝ සම්මා සම්බුද්ධස්ස

“එවමෙව ඛො භික්ඛවේ තුම්හෙපි මාරො
පාපිමා සතතං සමිතං පච්චුපට්ඨිතො
අප්පෙවනාමාහං ඉමෙසං චක්ඛුතො වා
ඔතාරං ලභෙය්‍යං, සොතතොවා පෙ
ඝානතොවා - පෙ – ජිව්හාතොවා - පෙ -
කායතොවා - පෙ – මනතොවා - ඔතාරං
ලභෙය්‍යන්ති”
(සංයුත්ත නිකායේ ආසිවිසවග්ගයේ කුම්මෝප සූත්‍රය)

පින්වත් ආරිය ශ්‍රාවකයිනි,

කාමලෝකයටම අධිපති වන්නේ මාරයා බව අමතක නොකළ යුත්තකි. සතරවරම් දෙවිවරුන්ගේ පාලකයා වන්නේ ශක්‍ර දෙවියා. නමුත් ශක්‍ර දෙවියත් පාලනය වන්නේ මාරයා යටතේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. මේ ලෝකයේ අධිපතිභාවය අතරින් මාරයා අග්‍ර වෙනවා කියලා. පුද්ගලයා කෙලෙස්වලින් මිඳෙනවට මාරයා කොහෙත්ම කැමැති නෑ. ඊට හේතුව මාරයාට තැනක් නැතිවන නිසා.

කෙලෙස්වලින් සිත පිරී තිබෙන තරමට මාරයාගේ බැම්මට හසු වෙනවා පින්වතුනි. මෙයට කදිම නිදසුනක් වන්නේ සුර අසුර යුද්ධයයි. සුර දිව්‍ය කණ්ඩායමේ නායකයා ශක්‍ර දෙවියා. අසුර කණ්ඩායමේ නායකයා වේපචිත්ති. අසුර නායකයා කියනවා සුර යුද්ධයේදී සුරයන් පැරදුණොත් එහි නායකයා වන ශක්‍රයාගේ බෙල්ලයි අත් දෙකයි, පාද දෙකයි බැඳලා අසුර පුරයට ගේන්න කියලා. සුර නායකයා වන ශක්‍ර දේවේන්ද්‍රයන් කියනවා සුරයන්ට අසුරයන් පැරදුණොත් වේපචිත්තිගේ බෙල්ලයි අත් දෙකයි කකුල් දෙකයි බැඳලා සුධර්මා දිව්‍ය සභාවට ගේන්න කියලා. අන්තිමේදී අසුරයන් පැරදී වේපචිත්තිගේ බෙල්ලයි අත් දෙකයි කකුල් දෙකයි බැඳගෙන දේව සභාවට ගෙනාවා. මෙහිදී බැන්දේ ලණුවලින් හෝ දම්වැල්වලින් නොවේ. සිතිවිලි රැහැනකින්ය. වේපචිත්ති අසුරයා විසින් සුරයන් හරිම ධාර්මිකයි. අසුරයන් අධාර්මිකයි කියලා හිතන කොට බැඳීම්වලින් නිදහස් වෙනවා. හැබැයි අසුරයන් ධාර්මිකයි සුරයන් අධාර්මිකයි කියලා හිතනකොට බැඳීම් තව තවත් වැඩි වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අසුර බන්ධනය මේ තරම් සියුම් දෙයක්. ඊට වැඩිය මාර බන්ධනය සියුම් කියලා. මාර බැම්මට හසුවන්නේ ‘මම’ යන හැඟීමෙනි. මාරයා බුදුරජාණන් වහන්සේට හා බුදු සව්වන්ට නිතරම කරදර කරන්නමයි බලන්නේ. ම.නි. මාරතඡජනීය සූත්‍රයේ සඳහන් වෙනවා.

මුගලන් මහරහතන් වහන්සේ සක්මනේ යෙදී සිටියදී කුස තෙරපන්න පටන්ගන්නවා. ධාන්‍ය පිරූ මල්ලක් වගේ විශාල වෙනවා. විශාල වේදනාවක් ඇති වෙනවා. මීට හේතුව කුමක්දැයි දිවැසින් බලන විට වසවත්තී මාරයා කුස තුළ සැඟවී සිටිනවා. පසුව මුගලන් රහතන් වහන්සේ තම කටහඬ අවදි කරනවා. ‘එම්බා මාරය, නුඹ සිටිනා තැන මට හොඳින් පේනවා’ යනුවෙන් කියනවාත් සමග පවිටු මාරයා කුස තුළින් නික්මී ආවාස කුටියේ දොර කවුළුවේ සැඟවී සිටියා. මුගලන් හාමුදුරුවෝ උඹ දන්නවාද මමත් මේ භද්‍ර කල්පයේ පහළ වූ ප්‍රථම බුදුරජාණන් වහන්සේ වන ‘කකුසඳ’ බුදුරජාණන් වහන්සේගේ කාලයේ ‘දුසී’ මාරයා වෙලා හිටියා. ඒ කාලේ මාත් බුදුරජාණන් වහන්සේට හා බුදු සව්වන්ට නිතරම හිරිහැර කළා. කොහොමද කළේ. සිල්වත් ගුණවත් භික්‍ෂූන් වහන්සේලා පිණ්ඩපාතේ වඩින කොට භාවනා කරන කොට බ්‍රාහ්මණ ගෘහපතියන්ට ආවේශ වී පහත් වචනයෙන් බැන වැදුණා. එවිට කකුසඳ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මෛත්‍රීය කරුණාව ප්‍රගුණ කරන ලෙසටයි. එතැනදීත් මට භික්‍ෂූන්ගේ දෝෂයක් සොයා ගන්න බැරි වුණා. පසුව බ්‍රාහ්මණ ගෘහපතියන්ට ආවේශ වන්නේ වෙනස් ස්වරූපයෙනි. එනම් ලාභ සත්කාර කිරීමට පොළඹවීමෙනි. නමුත් බුදුරජාණන් වහන්සේ එවිට දේශනා කරන්නේ, ‘මහණෙනි කයෙහි අශුභය නුවණින් වඩන්න. ආහාර පටික්කූ®ල සංඥාව මෙනෙහි කරන්න. සියලු ලෝකයෙහි නොඇලීමෙන්ද සියලු සංස්කාරවල අනිත්‍යතාවය මෙනෙහි කරමින්ද වාසය කරන්න යනුවෙනි. එමගින්ද ‘දුසී’ මාරයාට කිසිදු ඉඩක් නොලැබුණි.

එක් දවසක් ‘කකුසඳ’ බුදුරජාණන් වහන්සේ ‘විධුර’, ‘සංජීව‘ යන අග්‍රශ්‍රාවක දෙනම සමඟ පිණ්ඩපාතයේ වඩින කොට දුසී මාරයාට ඊර්ෂ්‍යාවක් හිතුණා. එතැන සිටි කොලුවෙකුට ආවේශ වුණා. කොලුවා ගල් කැටයක් අරගෙන බුදුරජාණන් වහන්සේට ගැහුවා. ඒ ගල වැදුණේ ‘විධුර’ කියන අග්‍රශ්‍රාවකයන් වහන්සේටයි. ඔළුව පැලී ලේ ගලන්නට වුණා. ඒ වෙලාවේ ‘කකුසඳ’ බුදුරජාණන් වහන්සේ ඇතෙකු සම්පූර්ණ ශරීරය හරවා බලනවා වගේ හැරී කියනවා. පාපී මාරය නුඹ මගේ තරම නොදන්නේද?’ කියලා. ඒ කියනවත් සමගම මාරයාගේ සෘද්ධි බලය නැති වී එවෙලේම නිරයට ඇඳ වැටුණා. මේ අතීත කතාව විස්තර කර දී පවිටු මාරයා පලවා හැරියා. එපමණක් නොව ‘වසවත්ති’ මාරයා එවක ‘දුසී’ මාරයාගේ කනිටු සොහොයුරිය වන ‘කාළිගේ’ පුතා වූ අතර ‘වසවත්තී දුසී’ මාරයාගේ බෑණා වූ බවත් සඳහන් කළා.

බලන්න පින්වතුනි, ‘කකුසඳ’ බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුළ ‘දුසී’ මාරයා වෙලා ඉපදිලා පව් කොට නිරයේ ඉපදිලා මේ භද්‍රකල්පයේම ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ අග්‍රශ්‍රාවකයෙකු වෙලා ඉපදිලා පින්වත්නි, කර්ම බලවේග ඒ තරමට සියුම් දෙයක්. මාරයාට නොයෙක් වෙස් ගැනීමට පුළුවන්. භාවනා කරමින් සිටි තරුණ භික්‍ෂූන් වහන්සේ පිරිසක් සමීපයට බමුණෙක් අවුත් කියන්නේ, තරුණ වයසේ සිටින අය කුමකටද භාවනා කරන්නේ කම් සැප විඳීම ඊට වැඩිය හොඳයිනේ කියලා අවවාද දුන්නා. භික්‍ෂූන් වහන්සේ එය පිළිගත්තේ නැති නිසා එම බමුණා දිව ඇඳකොට ඔච්චම් කර යන්න ගියා. ඒ අන්කිසිවෙකු නොව පාපී මාරයා බව සම්බහුල සූත්‍රයේ සඳහන් වෙනවා. එක්තරා අවස්ථාවක බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ‘මාරයා’ ගොපල්ලෙකුගේ වේශයක් මවාගෙන පෙනී සිට සංවාදයක් ඇති කරගත්තා. ‘මාරයා’ කියන්නේ පංච ඉන්ද්‍රියන් මාරයා සතු වන බවය. ඒ විතරක් නොව ආයතන හය හා සතු ලෝකයම මාගේ මාගේ ආත්මය ලෙස සලකනවා නම් ඒ සියල්ලමත් තමා සතු වන බවයි. එවිට බුදුරජාණන් වහන්සේ විමසනවා. ‘මාරයා’ යම් කිසි කෙනෙකුට මමය, මාගේය. මාගේ ආත්මය කියලා හැඟීමක් නැත්නම් ඒ කෙනා ගැන මොකද හිතන්නේ කියලා. එවිට මාරයා කියනවා ඒ කෙනා මගෙන් නිදහස් කියලා. ඉහතින් මාතෘකා කළ සූත්‍ර පාඨයෙන්ද අදහස් වන්නේ ඇස, කණ, නාසය, දිව, ශරීරය, මනස නොදියුණු පුද්ගලයා ඕනෑම වේලාවක පාපී මාරයාට ගොදුරු වන බවයි. මේ සඳහා එහිම උපමා කතාවක් දක්වා ඇත.

නරියා ඉබ්බෙකු දැක කෑදරකමින් ඉබ්බා සමීපයට යනවා. කල්ගියාම ඉබ්බා නරියා දැක ඔළුව හා පාද හතර යන පස් තැන කට්ට ඇතුළට දාගන්නවා. නරියා ඉබ්බා ළඟට ඇවිත් ඌව අල්ලා ගැනීමට ආශාවෙන් ඉන්නවා. නමුත් තම ශරීරාංග කිසිවක් එළියට දාන්නේ නෑ. නරියා තම බලාපොරොත්තුව අතහැර දමා යන්න යනවා. මෙතැනදී නරියා මාරයා ලෙසටත්, ඉබ්බා ආර්ය ශ්‍රාවකයා ලෙසටත් දක්වනවා. බලන්න පංචේන්ද්‍රියන් රැක ගන්න කෙනා මාරයාට හසුවන්නේ නැති ආකාරය කුමිමෝප සූත්‍රයේ පැහැදිලි කරන අයුරු. මාරයා හත් අවුරුද්දක් බුදුරජාණන් වහන්සේගේ දෝෂයක් හෙව්වා.

නමුත් සොයාගන්න බැරිවුණා. පසුව මාරයා දුකින් සිටින විට මාරයාගේ දියණියන් තිදෙනා වන තණ්හා, අරති, රඟා පැමිණ විමසූ විට මාරයාට සිදුවූ විස්තරය කියනවා. එය ඇසූ මාරදූවරු කියන්නේ, ගෞතම බුදුරජාණන් වහන්සේ වල් අලියෙකු මෙන් අල්ලා ගෙන එන්න හැකි බවයි. මාර දූවරු රූමත් ලෙස සැරසී බුදුරජාණන් වහන්සේ ඉදිරියේ පෙනී සිටියා. නමුත් ගණනකටවත් ගත්තේ නෑ. පසුව ඔවුන් දරුවන් වැදූ ස්ත්‍රීන්ගේ වෙස් ගත්තා. තලතුනා ස්ත්‍රීන්ගේ වෙස් ගත්තා. එහෙත් බුදුරජාණන් වහන්සේගේ සිත වෙනස් වුණේ නෑ. මාර දියණියන් තිදෙනා පුදුමයට පත් වුණා. වෙන කෙනෙක් නම් රාගයෙන් මැලවිලා ගිහිල්ලා. නමුත් එහෙම වුණේ නෑ. තණ්හා මාර දියණිය බුදුරජාණන් වහන්සේගෙන් විමසන්නේ ‘මොකද? මේ කැලේට වෙලා හැංගිලා අපරාධයක්වත් කළාද යනුවෙනි.

ගෞතමයන් වහන්සේ උත්තර දෙන්නේ මා කිසිවෙකු සමග බැඳීමක් ඇති කරගන්නේ නෑ යනුවෙනි. පසුව අරති මාර දියණිය විමසන්නේ, කිනම් ධ්‍යාන බලයකින්ද මෙවැනි දස්කමක් කළේ ද යන්නයි. බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙන්නේ, අවිතර්ක සමාධිය වැඩූ නිසා කාම විතර්කයකින් නොපෙළී සිටීමට හැකි බවයි. රඟා මාර දියණිය කියන්නේ මේ උත්තමයා ඇත්තටම තෘෂ්ණාව ප්‍රහාණය කළ කෙනෙකි. බොහෝ දෙනෙකුට මරු පැරදවීමට උපකාරක කරන උතුමෙකි යනුවෙනි. පින්වතුනි තෘෂ්ණාව ප්‍රහාණය කළ උතුමෙක් ඉදිරියේ මාරයා අසරණ වෙනවා. පරාජයට පත් වෙනවා. තෘෂ්ණාව තැනි කරන්න යන ගමනේ මාරයාට බැඳෙන ක්‍රම 10 ක් තිබෙන බවද අමතක නොකළ යුත්තකි. එනම් 1. ක්ලේශ කාම 2. අරතිය (කුසල් කිරීමට කැමැති නෑ) 3. කුසගින්න හා පිපාසය 4. තෘෂ්ණාව, 5. නිදිමත හා අලසකම, 6. මනෝවිකාර, 7. තුනුරුවන් කෙරෙහි සැකය, 8. ගුණමකු බව හා සිතෙහි තද ගතිය,9. ලාභ සත්කාර හා ප්‍රසිද්ධිය, 10. තමා උසස් කොට අන් අය පහත් කොට සැලකීම මෙම කරුණු දහය පාපයට මුල් වෙනවා. සසරෙහි ගමන් කරනවා මාරයාට හසු වෙනවා. එබැවින් සීල සමාධි ප්‍රඥා යන ත්‍රි ශික්‍ෂා වඩා නිවන කරාම ගමන් කළ යුතු ය. එවිට වසවත්ති මාරයා පරාජයට පත් වෙනවා.

නිකිණි අව අටවක පෝය

නිකිණි අව අටවක පෝය අගෝස්තු මස 21 වන දා ඉරිදා අපරභාග 02.24 ට ලබයි. 22 වන දා සඳුදා අපර භාග 04.12 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 21 වන දා ඉරිදා ය

මීළඟ පෝය
අගෝස්තු 28 වන දා ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අගෝස්තු 21

New Moonඅමාවක

අගෝස්තු 28

First Quarterපුර අටවක

සැප්තැම්බර් 04

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 11


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]