UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

 
බුදුසරණ අන්තර්ජාල කලාපය

පොකුණුවිට රජමහ විහාරය

හොරණ නගරයේ සිට හොරණ පානදුර මහා මාර්ගයේ සැතපුම් දෙකක පමණ දුර ප්‍රමාණයක් පසු කළවිට හමුවන පොකුණුවිට මංසන්ධියට සමීපව පිහිටා ඇති පොකුණුවිට රජමහ විහාරය රයිගම් කෝරළයේ පිහිටි සිංහල රාජ සමයට අයත් ඉපැරණි විහාරස්ථානවලින් එකකි.

කීර්ති ශ්‍රී මේඝවර්ණ රාජ සමයේදී ඉදිකළ පොකුණුවිට රජමහා වෙහෙර පොළොන්නරු යුගය දක්වා දිවෙන ඉතිහාසයකට නෑකම් කියයි. විහාර ඉතිහාසයේ සඳහන් වන්නේ මෙකී රජමහා විහාරය කීර්ති ශ්‍රී මේඝවර්ණ රජතුමා විසින් ඉදිකරවා කොණ්ඩඤ්ඤ විහාරය යනුවෙන් නම් කර වෙහෙරවත්තේ කොණ්ඩඤ්ඤ නැමැති භික්ෂූන් වහන්සේට පූජා කළ බවයි.


නව විහාර මන්දිරය

කීර්ති ශ්‍රී මේඝවර්ණ රජතුමාගේ යුගයේ කරන ලද ශිලා ලිපියක් ද පැරණි විහාරය අසළ ගල්තලාවෙහි අදත් දකින්නට ඇත. ශිලා ලිපියේ අනුරුවක් කොළඹ ජාතික කෞතුගාරයේ තැන්පත් කර ඇත.

දැවැන්ත ගල් පර්වතයක් මත විහාර මන්දිරය ඉදිකර ඇති අතර මෑත භාගයේ ගොඩනගන ලද ගල් විහාරය, පැරණි විහාර මන්දිරයට පහළ භූ®මි භාගයේ දක්නට ලැබේ. පැරණි විහාරයේ ඇති බිතු සිතුවම් නුවර යුගයේ චිත්‍ර සම්ප්‍රදාය පෙන්නුම් කරයි.

විහාරගෙයි ඇති ප්‍රතිමාවන් හා බිතු සිතුවම් ක්‍රමයෙන් විනාශ වෙමින් පවතින බවයි එහි ගිය අපට දැක ගන්නට ලැබුණේ. විහාර මන්දිරයට ඇතල්වීමට රජ සමයේ ඉදිකර තිබූ මකර තොරණෙහි ඇති බිතු සිතුවම් විනාශ වෙමින් පවතී. දහනමව වන ශත වර්ෂයේ ඉදිකර ඇති නව විහාරය පොළොන්නරුවේ ගල් විහාරය සිහිපත් කරවයි.

පොළොන්නරුව ගල් විහාරයේ ඇති පිරිනිවන් මංචකයට සමානව තනි කලු ගලින් නෙලා ඇති පිළිම වහන්සේ නරඹන, විහාරස්ථානයට පැමිණෙන සැදැහැවත් ජනතාවගේ සිත් සතන් තුළ ඇතිවන්නේ බුද්ධාලම්භන පී‍්‍රතියකි. පිළිම වහන්සේ ආවරණය වන අන්දමින් විසිවන සියවසේදී හේනේගම කරුණාරත්න නොතාරිස් මහතා විසින් අලංකාර පිළිම ගෙයක් ද ඉදිකර ඇති බව පෙනේ.


ඓතිහාසික ශිලා ලේඛණය

විහාර භූමියෙහි පිහිටි ඉපැරණි බෝධීන් වහන්සේ වටා ඉදිකර තිබූ පවුර දැන් කැඩී බිඳී ගොස්ය. විසිවන සියවස දෙවන දශකයේදී පොකුණුවිට විසූ දානපති දොන් පේද්‍රික් අප්පුහාමි මහතා විසින් ස්වකීය ධන පරිත්‍යාගයෙන් ඉදිකරවන ලද ජේතවන විහාරය ද විහාර භූමියෙහි දක්නට ඇත.

පැරණි චෛත්‍යය අසල ඇති කලුගල් පර්වතය කැනීමෙන් ඉදිකර ඇති ළිඳ හා ගල් පව්වෙන් පහළ බෑවුමේ කලුගල හාරා ඉදිකර ඇති දර්ශනීය පොකුණ නියං සමයකදී පවා නොසිදෙන බැව් ප්‍රදේශවාසීහු පවසති.

පහතරට පැරණිම පෝය ගෙය ඇත්තේද පොකුණවිට රජමහා විහාරස්ථානයේ බව කියවේ. පර්වතය මුදුනේ ඉඳිකර තිබූ දාන ශාලාව දැන් පොළොවට සමතලා වී තිබෙනු දැකීම කණගාටුවට කරුණකි.

පැරණි විහාර මන්දිරයෙහි ඇති මහනුවර සමයට අයත් කැටයම් හා ප්‍රතිමා මැටියෙන්ම තනා හුණු පිරියම් කළ ඒවා බැව් පෙනේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවධනය ඇත්ත වශයෙන්ම පොකුණුවිට රජමහා විහාරය කෙරෙහි වඩාත් යොමුවිය යුතුව ඇත.


ඉපැරැණි විහාරය

කීර්ති ශ්‍රී මේඝවර්ණ රාජ සමයේ වෙහෙරවත්තේ කොණ්ඩඤ්ඤ හිමියන්ගෙන් ඇරඹුණු පොකුණුවිට රජමහා විහාර සඟ පරපුර වරකාගොඩ රේවත, වේරගොඩ ඉන්දජෝති, ඔකන්දූවේ ශෝනුත්තර, වීදාගම අත්ථස්සී, කනේවල උපතිස්ස, කරඳන සිරිසුමණ යන යතිවරයන් වහන්සේලාගෙන් ශෝභාමත් වූ අතර වර්තමාන විහාරාධිපති ධූරය දරනු ලබන්නේ නාරගල පුරාණ ගංගාරාමය, පාදුක්ක උඩුමුල්ල පුරාණ ගල්ලෙන් විහාරය යන උභය විහාරාධිපති සද්ධර්ම කීර්ති ශ්‍රී රතනපාල වනරතානාභිධාන රයිගම් හේවාගම් දෙකෝරළයේ ප්‍රධාන සංඝනායක ගොඩගම වනරතන නාහිමියන් විසිනි.

රජමහා විහාරස්ථානයේ දායක සභාවේ සභාපති වයි. ඤාණසිරි මහතා ප්‍රමුඛ දායක සභාවෙන් ද විහාරස්ථානයේ උන්නතිය සඳහා සිදුවන්නේ ද විශාල මෙහෙයකි. රජමහා විහාරස්ථානයේ සියලුම කාර්යයන් සපුරාලන විහාරස්ථානයේ බාරකාරත්වය දරන වග විමලරතන හිමියන් ද විශේෂයෙන් මෙහිදී සිහිපත් කළ යුතුවෙයි.

බක් මස පුර අටවක පෝය

බක් මස පුර අටවක පෝය අප්‍රේල් මස 11 වන දා සඳුදා පූර්ව භාග 05.53 ට ලබයි.
12 වන දා අඟහරුවාදා පූර්ව භාග 05.08 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අප්‍රේල් 11 වන දා සඳුදා ය.

මීළඟ පෝය
අප්‍රේල් 17 වන දා
ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අප්‍රේල් 11

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 17

Second Quarterඅව අටවක

අප්‍රේල් 25

New Moonඅමාවක

මැයි 02

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]