UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

රත්නපුරේ රත්ගඟ බුදුරජ මහා විහාරය

රත්නපුර වේවැල්වත්ත ප්‍රධාන මාර්ගයේ කිලෝමීටර් 12 ක් ගමන් කර ගලබඩ මං සන්ධියෙන් වමට හැරී තවත් කිලෝමීටර් 10ක් ගියවිට, අති පාරිශුද්ධ සිරිපා අඩවියේ සුන්දර මිටියාවතක ඉදිකර ඇති “පුංචි දඹදිව” පින්බිම මුණ ගැසේ.

සිරිපා කඳු පාමුල පිහිටි ගිලීමලේ නම් දුෂ්කර ගම්මානයේ උපත ලබා ශ්‍රී පලාබද්දල මහා විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය හදාරා සිත තුළ පැන නැඟෙමින් පැවති ආශාව ඉෂ්ට කරගනිමින් ගිලීමලේ චන්ද්‍රාලෝක නමින් පැවිදි දිවියට ඇතුල්වූ අප නායක ස්වාමීන් වහන්සේ 1981.04.14 සිංහල අවුරුදු දා මනස්කාන්ත රත්ගඟ මිටියාවතෙහි කොළ අතු සෙවිලි කර ඉදිකර ගත් පුංචි ආවාසය, මේ මහා නිර්මාණයේ තිඹිරි ගෙය විය.

චන්ද්‍රාලෝක පොඩි හාමුදුරුවන්ගේ අප්‍රතිහත ධෛර්යයෙහි ප්‍රතිඵලයක් ලෙස මේ පින්බිමේ ඉදිවූ අසූ මහා ශ්‍රාවක පස්විසි බුදුරජ මහා විහාරය 1986.07.20 දින එවකට ශ්‍රී ලංකා ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා අතින් විවෘත විය.

තරුණ වයසේදීම මෙසේ සුවිශේෂි නිර්මාණයක් කිරීම වෙනුවෙන් උත්තරීතර සංඝ සභාව මඟින් ශ්‍රී ලංකාවේ ළාබාලම සංඝ නායක හිමිපාණන් ලෙස සබරගමු පළාතේ ප්‍රධාන සංඝ නායක ධූරයෙන් ගිලීමලේ චන්ද්‍රාලෝක පොඩි හාමුදුරුවෝ පුදනු ලදහ.

දායක කාරකාදීන්ගේ උදව් උපකාර ලබාගත් ගිලීමලේ චන්ද්‍රාලෝක නාහිමිපාණෝ එතෙක් ශ්‍රී ලංකාව තුළ ඉදිවූ සුවිශාලම ධර්ම ශාලා මන්දිරය ඉදිකීරීමට සමත් වූහ. දිගින් අඩි 200 ක් හා පළලින් අඩි 62 ක් වූ මෙහි එකවර දහස් ගණනකට සිල් සමාදන් වීමේ අවස්ථාව උදාවී ඇත.

මේ සුවිශාල ධර්ම ශාලාව විවෘත කිරීම, එවකට ශ්‍රී ලංකා ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිඳුන් අතින් 1990.04. 21 වන දින සිදුවිය. මහල් දෙකකින් යුත් සබරගමුවේ සුවිශාලම චෛත්‍යය ලෙස රන් සළු රදුන් මෙම පින්බිමේ ස්ථාපනය වී ඇත.

එසේම දඹදිව වන්දනාවේ යා නොහැකි අසරණ දුප්පත් ශ්‍රී ලාංකික මහ ජනතාව වෙනුවෙන් බුද්ධ චරිතයෙහි සුවිශේෂී වූ සතර සිද්ධස්ථාන ඉන්දියාවේ ආකාරයටම අනුරූ ලෙස මෙම පින්බිමේ ඉදිකිරීම ඇරඹුණි.

එහි ප්‍රථම නිර්මාණය ලෙස, ලොව්තුරා බුදුරදුන් වහන්සෙගේ පරිනිර්වාණ මංචක අනුරුව ඒ ආකාරයෙන්ම මේ බිමේ නිර්මාණය කර වන්දනාමාන කෙරෙමින් පවතී.

දායක දායිකාවන් අතර, පුංචි දඹදිව, ලෙසින් නම් ලැබූ මේ පින්බිමට ගෞතම බුදුන් වහන්සේ මංගල සම්මත ධර්ම දේශනය සිදුකොට වදාළ බරණැස ඉසිපතන මිගදායේ අනුරුවක් ඉදිකරවීමට නාහිමිපාණන් කටයුතු කළහ. දඹදිව ඉන්දියාවේ උතුම් වූ විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධිය වටා ඉදිකර ඇති රන්වැට සහ වජ්‍රාසනයට ඉහළින් ඇති රන්වියන දුර්වර්ණ වූ අවස්ථාවක ඒවා නැවත රන් ආලේපකර පිළිසකර කිරීමේ මහා පින්කමට නායකත්වය දීමේ ප්‍රතිඵලයක් ලෙස ලෝකයේ දෙවන වතාවට ජයශ්‍රී මහා බෝ සමිඳුන්ගේ අංකුර ශාඛා වහන්සේ නමක් අප නාහිමියන් වෙත ලබාදීමට ඉන්දියන් රජය කටයුතු කළ අතර, 2006.03.27 දින පුංචි දඹදිවට වැඩම වු එම ශාඛාව උත්සවශ්‍රීයෙන් රෝපණය කර දැනට වන්දනාමාන කෙරෙමින් පවතී.

තව ද බුරුම රජයෙන් තිළිණයක් ලෙස ලැබුනු දැනට සබරගමු පළාත තුළ ඇති සුවිශාලම කිරිගරුඬ සමාධි බුද්ධ ප්‍රතිමාව අලංකාර විහාර මන්දිරයක තැන්පත් කිරීමෙන් අනතුරුව 2004.07.31 වන දින එවකට ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ධූරය හෙබවූ වත්මන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිඳුන්ගේ සුරතින් මහජන වන්දනාමානය පිණිස විවෘත විය.

ඓතිහාසික බුද්ධගයා අනුරූ විහාර මන්දිරයෙහි ඉදිකිරීම් මේ වනවිට නිම කෙරෙමින් පවතින අතර තව නොබෝ දිනකින් මහජන වන්දනාමානය පිණිස විවෘත කිරීමට නියමිතය.

මේ සියලු නිර්මාණ කටයුතු ඉන්දීය ශිල්පීන් විසින් සිදුකරන අතර මේ සඳහා ඇස්තමේන්තුගත මුදල රුපියල් දොළොස් කෝටිය ඉක්මවයි. මේ මහා විශ්ව කර්ම නිර්මාණය ජාතියට දායාද කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති අතර එහි එක් අංගයක් ලෙස මේ මහා ඓතිහාසික බුද්ධගයා අනුරුව තුළ ශ්‍රී සර්වඥ ධාතූ®න් සහිත නිධන් වස්තු තැන්පත් කිරීම 2011.02.20 දින උදේ 10 ට යෙදෙන සුබ මොහොතින්, ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිඳුන්ගේ සුරතින් සිදුකිරීමට කටයුතු සංවිධානය කර ඇත.

නවම්පුර පසළොස්වක පෝය

නවම්පුර පසළොස්වක පෝය පෙබරවාරි 17 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 05.32 ට ලබයි.
18 වන දා සිකුරාදා අපරභාග 02.05 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම පෙබරවාරි 17 වන දා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
පෙබරවාරි 24 වන දා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 17

Second Quarterඅව අටවක

පෙබරවාරි 24

New Moonඅමාවක

මාර්තු 04

First Quarterපුර අටවක

මාර්තු 12

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]