UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

බුදු ගුණ මෙනෙහි කරමු

නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
“සුඛො බුද්ධානං උප්පාදෝ
සුඛා සද්ධම්ම දේසනා
සුඛා සංඝස්ස සාමග්ගී
සමග්ගානං තපෝ සුඛෝති”

ශ්‍රද්ධාවන්ත පින්වතුනි,

අපි තරම් වාසනාවන්ත පිරිසක් අද මේ ලෝකයේ ඉන්නවද කියලයි මට හිතෙන්නෙ. ඇයි ඒ ?

බලන්න මේ ලෝකයේ තිබෙන උතුම්ම රත්න තුන අපට මේ වන විටත් මුණ ගැහිල ඉවරයි. ඒ තමයි බුද්ධ රත්නය, ධම්ම රත්නය හා සංඝ රත්නය. ඒත් මේ උතුම් කාරණාව ඔබට තේරුණා ද කියන එකයි මට තිබෙන ප්‍රශ්නය. එකක් ඉතාම පැහැදිලියි ඒ තමයි තවම බොහෝ බෞද්ධ පිරිසකට මේ කාරණය තේරුණේ නෑ. ඉතින් ඒ නිසා බොහෝ දෙනෙක් භෞතික සැප සම්පත් පස්සෙම ගමන් කරමින් කාලය ගතකරන බවයි පෙනී යන්නෙ. ඒ ශාන්ති නායක අමා මෑණී බුදු පියාණන් වහන්සේ අවබෝධයෙන් සරණ යන්න කල්පනා කරන්නෙ නෑ. උන්වහන්සේගේ සම්බුද්ධත්වය පිළිගන්න කල්පනා කරන්නෙ නෑ. ඉතින් පින්වතුනි, අප එහෙම නම් කරන්න ඕන උදාරම දේ තමයි මේ වගේ දුර්ලභ අවස්ථාවක් ලැබුණ මොහොතෙදි ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගුණ වශයෙන් දැනගෙන, ධර්‍ම රත්නය ගුණ වශයෙන් දැනගෙන, සංඝ රත්නය ගුණ වශයෙන් දැනගෙන සරණ යන එක.

ඉතින් පින්වතුනි, අද දින ධර්ම දේශනාවෙදි මම ඔබට කියල දෙන්න බලාපොරොත්තු වෙන්නෙ ඉතාම උතුම් කාරණයක් පිළිබඳවයි. අපි දන්නව මේ වර්ෂයේ එළඹෙන වෙසක් පොහොය දිනය කියන්නෙ සමස්ත ලෝක වාසී බෞද්ධ ජනතාවට ඉතාමත්ම උතුම්, ශ්‍රේෂ්ඨ දිනයක්. ඒ තමයි අප ගෞතම සම්මා සම්බුදු අමා මෑණියන් වහන්සේ උතුම් සම්බුදු පදවිය ලබල වසර 2600 ක් එදිනට සම්පූර්‍ණ වීම. අපි ඒකට කියන්නෙ සම්බුද්ධත්ව ජයන්තිය කියල. සම්බුද්ධත්ව ජයන්තිය හා සම්බුද්ධ ජයන්තිය කියන එකත් අපි පැහැදිලි කර ගන්න ඕන. අප භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑ දිනයේ සිට ගණන් ගැනෙන්නෙ සම්බුද්ධ ජයන්තිය. උන්වහන්සේගෙ සම්බුද්ධත්ව දිනයේ ඉඳල තමයි සම්බුද්ධත්ව දින ගණන් ගැනෙන්නෙ. අපිට මතකයි 1956 තිබුණේ 2500 වන සම්බුද්ධ ජයන්තිය. එතකොට මේ වසරේ වෙසක් පොහොයට සමරන්නෙ 2600 වන සම්බුද්ධත්ව ජයන්තිය.

දැන් අපේ රටේ විශාල උද්යෝගයක් උනන්දුවක් තිබෙන බව පේනව මේ සම්බුද්ධත්ව ජයන්තිය සමරන්න. රටේ විවිධ ස්ථානවල බැනර් ප්‍රදර්ශනය කරනවා. ධජ, පතාක වලින් සරසනවා. බැනර්, නාම පුවරු ආදියෙන් කියවෙන්නෙ “සම්බුද්ධත්ව ජයන්තිය සැමරීම සඳහා පිළිවෙතින් පෙළ ගැසෙමු” කියල. ඉතින් දැන් අපි විමසල බලන්න ඕන අපි සම්බුද්ධත්ව ජයන්තියට පිළිවෙතින් පෙළ ගැසෙනවද කියල. එහෙම නැතිනම් නිකම්ම බැනර්, නාම පුවරු ප්‍රදර්ශනය කර කර ඉන්නවද කියල. අපි ඇත්තෙන්ම කොහොමද ඒ සඳහා පිළිවෙතින් පෙළ ගැසෙන්නෙ? අපි පහත සඳහන් ආකාරයෙන් කටයුතු කිරීම මේ සඳහා ඉතාම වැදගත් වෙනව.

අපි ප්‍රථමයෙන්ම ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ගැන වෙනස් නොවන පැහැදීම ඇති කරගන්න ඕන. තාම මේ රටේ සමහර බෞද්ධ කියන ජනතාව බුදු රජාණන් වහන්සේ අවබෝධයෙන් සරණ ගිහිල්ල නෑ. “බුද්ධං සරණං ගච්ඡාමි” කියල කිව්වට උන්වහන්සේගෙ දේශනය පිළිගන්නෙ නෑ. මූලික බුද්ධ දේශනා වන අපාය, දිව්‍යලෝක, බ්‍රහ්ම ලෝක, පෙරේත ලෝක, නැවත ඉපදීම, චතුරාය¸ සත්‍යය, පටිච්ච සමුප්පාදය වගේ දේවල් ප්‍රතික්ෂේප කරමින් බුදු දහම අදහනව කියමින් ඉන්නා පිරිසක් අපට දක්නට ලැබෙනවා. සමහර අය එක කොටසක් පිළිගන්නව, තව කොටසක් පිළිගන්නෙ නෑ. ඉතින් එහෙම නම් අපි ඒ මති මතාන්තර අතහැරල අප තථාගත බුදුරජාණන් වහන්සේ පිළිබඳව ප්‍රථමයෙන්ම ශ්‍රද්ධාව ඇති කරගන්න ඕන. මොකක්ද ශ්‍රද්ධාව කියන්නෙ “සද්ධහති තථාගතස්ස බෝධිං” කියන එකයි. ඒ කියන්නෙ බුදුරජාණන් වහන්සේගෙ අවබෝධය අදහා ගන්නවා පිළිගන්නවා කියන එකයි. එහෙමනම් ඔබ විමසල බලන්න ඔබ ඒ කාරණාව සම්පූර්‍ණ කරගෙනද ඉන්නෙ කියල. එහෙම නැතිනම් අදම, ඉක්මනින්ම එය දියුණු කර ගන්න ඕන.

ඊළඟට අපි බුදු රජාණන් වහන්සේගේ ගුණ නවය ඉගෙන ගෙන, දහම් ගුණ හය ඉගෙන ගෙන සංඝරත්නයේ ගුණ නවය ඉගෙන ගෙන අවබෝධයෙන්ම තිසරණය සරණ යන්න ඕන. මේ කාරණාව අප මුලිනුත් අවධාරණය කළා. පවුලේ හැම කෙනෙකුටම බුදුගුණ පිළිබඳව වැටහීමක් තිබෙන්න ඕන. සම්බුද්ධත්ව ජයන්තිය සමරනකොට ලංකාවාසී, ලෝකවාසී සියලු බෞද්ධයන්ට බුදුගුණ ටිකවත් අඩුම තරමින් මෙනෙහි කරන්න පුළුවන් වෙන්න ඕන. එහෙම මෙනෙහි කරමින් බුද්ධානුස්සතිය වඩන්න ඕන.

ඊළඟට පින්වතුනි, අපි කල්පනා කරන්න ඕන ඒ භාග්‍යවතුන් වහන්සේ මේ සා අනන්ත කාලයක් සංසාරෙ දුක් වින්දෙ අපි වෙනුවෙන් නේද කියල. අපිව මේ භයානක සතර අපායෙන් නිදහස් කරන්න නේද කියල. එහෙමනම් අපි ඒ භාග්‍යවතුන් වහන්සේගේ උතුම් අරමුණ සාක් ක්‍ෂාත් කරදීම පිණිස කටයුතු කරන්න ඕන. ඒ සඳහා වීර්ය කරන්න ඕන. මේ ධර්‍මය සන්දිට්ඨිකයි කියල පිළිගන්න ඕන. ඒ කියන්නෙ මේ ජීවිතයේදීම ප්‍රතිඵල තිබෙනව ප්‍රතිඵල ලබන්න පුළුවන් කියල.

ඒ වගේම අපි සෑම අවස්ථාවකදීම කටයුතු කරන්න ඕන බුදුරජාණන් වහන්සේගේ ධර්‍මයට අනුවමයි. වෙනත් වෙනත් මති මතාන්තර පස්සෙ ගමන් කරන්නට හොඳ නෑ. අපේ බොහෝ දෙනෙක් බුදු දහම පසෙකලා වෙනත් පාරවල ගමන් කරන්න කැමතියි. අපි ඒ මාර්‍ගය වෙනස් කරල නියම මාවතට ප්‍රවිශ්ට වෙන්න ඕන. කේන්දර, සාස්තර ආදියට යටවෙලා කටයුතු කරන්නෙ නැතිව ධර්‍මයටම මුල්තැන දෙන්න ඕන. ඒ කියන්නෙ තමන් විශ්වාස කරන්න ඕන මේ ලෝකෙ තිබෙන සත්‍යයම දේ ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගෙ ධර්‍මය කියල.

අපි සූත්‍ර දේශනා ඔහේ ගිරවුන් සේ සජ්ඣායනා කරල හරියන්නෙ නෑ. ඒවායෙ තිබෙන අර්‍ථ හොයාගෙන ඒ අනුව ජීවිතය හැඩ ගස්වා ගන්න ඕන. කොපමණ වාර ගණනක් සූත්‍රය සජ්ඣායනා කළත් එහි තිබෙන උතුම් ගුණ තම ජීවිතයට ඇතුළත් කරගත්තෙ නැතිනම් ඒකෙන් නියම ප්‍රතිඵල නෙළා ගන්න හම්බ වෙන්නෙ නෑ. දැන් “මාතා පිතූ උපට්ඨානං” කියල, අම්මට තාත්තට සලකන්නෙ නැතිනම් ඒ ජීවිතයෙන් වැඩක් නෑ. ඒ වගේම කරණීය මෙත්ත සූත්‍රය කියවමින් හිටියට ලෝ සතුන්ට මෛත්‍රිය දක්වන්නෙ නැතිනම් වැඩක් නෑ. ඒ වගේම යම් දෙයක් කරන්න ගියාම, ඒ කියන්නෙ ලෞකික වශයෙන් හෝ ලෝකෝත්තර වශයෙන්, “ ඒක කරන්න බෑ” කියල හරියන්නෙ නෑ. “සක්කෝ” කියන ගුණය ඉගෙන ගෙන “ඔව් මට පුළුවන්” කියන අද ලෝකයේ ප්‍රසිද්ධ ධනාත්මක චින්තනය ඇති කරගන්න ඕන.

ඊළඟට පින්වතුනි අපිට පින්කම් තුනක් තිබෙනව කර ගන්න. ඒ තමයි දාන, ශීල, භාවනා කියන පින්කම්. අපි ටික ටික හෝ මේ පින්කම් කරගන්න ඕන. අපිට සංසාරෙදි ආහාර පාන, ඇඳුම් පැළඳුම්, ගේ දොර, ඉඩ කඩම් ආදිය ලැබෙන්නෙ දන් දීමෙන්. ඒ වගේම හොඳ ලෝකෙකට එන්න ලැබෙන්නෙ, සමාධිය දියුණු කරගන්න මූලික වෙන්නෙ ශීලය ආරක්‍ෂා කිරීමෙන්.

ඒ වගේම අපි භාවනාව දියුණු කරන්න ඕන. ටික ටික හරි භාවනාව ආරම්භ කරන්න ඕන. ශීලයට වඩා ආනිසංශ තියෙන්නෙ භාවනාවටයි. යමෙක් මෛත්‍රී භාවනාව කරනව නම් බොහෝ ආනිසංශ මෙලොව දීම ලැබෙනවා. ඒ බව මෙත්තානිසංශ සූත්‍රයේ දැක්වෙනව. අනිත්‍ය භාවනාව කරනව නම් විශාල පිනක් සිද්ධ වෙනව. ඒ තමයි විදර්ශනාව. අපි සමථ හා විදර්ශනා යන භාවනා දෙකම ප්‍රගුණ කරන්න ඕන. අපිට බුදු පියාණන් වහන්සේගෙ ගුණ මෙනෙහි කරන්න පුළුවන්. ඒකට කියන්නෙ බුද්ධානුස්සති භාවනාව කියල.

ඒ වගේම අපි ධර්‍ම මාර්‍ගයට එන්න වයසට යනකම් ඉන්න හොඳ නෑ. අද අදම ධර්‍ම මාර්‍ගයට එන්න ඕන. අපේ මරණයත් කොයි මොහොතේ සිදුවෙයිද දන්නෙ නෑ. ඊළඟට අපි ධර්‍මය අහන්න කැමැති වෙන්න ඕන. ධර්‍මයට ප්‍රිය වන්න ඕන. ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව ධර්‍මය අහන්න ඕන. මොකද බොහෝ තැන්වල පිරිමි ඇත්තො ධර්‍මය අහන්න මැලිකමක් දක්වන බව පේනව. ඒක වෙනස් වෙන්න ඕන.

ඊළඟට අපි ළඟ තිබෙන දුර්ගුණ නැති කර ගන්න ඕන. ඊර්ෂ්‍යාව, වෛරය, මාන්නය, එකටෙක කිරීම, ලෝභකම, දැඩි බව,පළි ගැනීම, දුෂ්ටකම, නපුරු කම, වගේ දේවල්. ඒ වෙනුවට හොඳ ගතිගුණ ඇති කරගන්න ඕන.

කරුණාව, දයාව, මෛත්‍රිය, ඉවසීම, පරෝපකාරය වගේ.

ඒ වගේම අපි පස් පව් දස අකුසල් වලින් වෙන් වෙන්න ඕන. ඒ කියන්නෙ සතුන් මැරීම, සොරකම් කිරීම, වැරදි කාම සේවනය, බොරු කීම, කේලම් කීම, පරුෂ වචන කීම, හිස් වචන කීම, දැඩි ලෝභය, තරහව, මිථ්‍යා දෘෂ්ටිය, මත් පැන් මත් ද්‍රව්‍ය භාවිතය නැති කර ගන්න ඕන. ඉතින් අපි සම්බුද්ධත්ව ජයන්තිය ඉතාම අර්‍ථාන්විතව සමරන්න ඕන.

අඩුම තරමින් ඉහත සඳහන් කරුණු ටික අපි කරන්න මහන්සි ගන්න ඕන. ඉතින් පින්වතුනි බුදු රජාණන් වහන්සේ නමකගේ පහළවීම සැපයක්. උන්වහන්සේ ශ්‍රී සද්ධර්‍මය දේශනා කිරීම සැපයක්.

මහා සංඝරත්නයේ සමගිය සැපයක්. ඒ සමගි වූ සංඝයාගේ ධර්‍මයේ හැසිරීම සැපයක්. ඉතින් මේ වගේ උතුම් අවස්ථාවකදී, මොහොතකදී අපිත් ඒ ධර්‍මයේ නියම ප්‍රතිඵල නෙළා ගැනීමට උත්සාහ කරමු. විශේෂයෙන්ම මේ උතුම් සම්බුද්ධත්ව ජයන්තිය අවබෝධයෙන් සමරමින් ඒ සඳහා මූලික පියවර තබාගෙන ඝෝර වූ සසර කතරින් එතෙරවීමට අධිෂ්ඨාන කර ගනිමු. ඔබ සැමට උතුම් චතුරාය¸ සත්‍යය අවබෝධ වේවා!

දුරුතු පුර පසළොස්වක පෝය

දුරුතු පුර පසළොස්වක පෝය ජනවාරි 19 වන දා බදාදා පූර්ව භාග 5.19 ට ලබයි.
20 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 02.51 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි 19 වන දා බදාදාය

මීළඟ පෝය
ජනවාරි 26 වන දා බදාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජනවාරි 19

Second Quarterඅව අටවක

ජනවාරි 26

New Moonඅමාවක

පෙබරවාරි 02

First Quarterපුර අටවක

පෙබරවාරි 11

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]