UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සදහම් දැනුම

ප්‍රශ්නය - බුද්ධ චරිතයේ එක් අවස්ථාවක සුවිශේෂිත පුද්ගලයෙකු හා සමග කළ සාකච්ඡාවකින් උපුටාගත් කොටසකි මේ.

සුනක්ඛත්ත, එන්න මා උදෙසා වාසය කරන්න; කියා මම ඔබට කීයෙම්ද?

නැත ස්වාමීනි!

සුනක්ඛත්ත, මම ඔබ වහන්සේ උදෙසා වාසය කරන්නෙමි කියා ඔබ මට කීයෙහිද?

නැත ස්වාමීනි!

සුනක්ඛත්ත, මමත් ඔබට නොකීවෙමි. ඔබත් මට නොකීවෙහිය. එසේනම් දැන් මම භාග්‍යවතුන් වහන්සේ අතහැර යමියි කීම කෙතරම් අඥාන සාවද්‍ය කියමනක්ද?

මෙම පුවතට අදාළ අවස්ථාව කුමක්ද?

පිළිතුර - ‘සුනක්ඛත්ත’ නම් ලිච්ඡවී භික්ෂූ නම බුදුරජාණන් වහන්සේ තමන්ට සෘද්ධි ප්‍රාතිහාර්ය නොපෙන්වන නිසාත්, ලෝකෝත්පත්තිය නොදක්වන නිසාත් නොසතුටට පත්ව බුදුරදුන් අතහැර දමා යන බව ප්‍රකාශ කළ විට බුදුරජාණන් වහන්සේ කළ ප්‍රකාශයයි.

ප්‍රශ්නය - ශාසනික ඉතිහාසයෙහි සුවිශේෂ වූ ශ්‍රාවකයෙකු ගේ් ප්‍රකාශනයකි මේ. ඒ තැනැත්තා කවුද?

ආශ්චය¸යකි! ස්වාමිනී! විශ්මය ජනකයි! ස්වාමිනි, යටිකුරුව තිබූ බඳුනක් උඩුකුරු කළා සේ. සැඟවී තිබුණ දෙයක් මතුකර දක්වන්නා සේ. මුළා වූ කෙනෙකුට මග කියා දෙන්නා සේ. ඇස් ඇත්තෝ රූප දකිත්වා. අඳුරෙහි පහනක් දැල්වුවා සේ ඔබ වහන්සේ ධර්මය දේශනා කළ සේක. මම ස්වාමීනි, ඔබ වහන්සේත් ධර්මයත් සංඝ රත්නයත් අද පටන් ජීවිතාන්තය දක්වා සරණ ගනිමියි පැවැසීය.

පිළිතුර - යස කුලපුත්‍රයාගේ පියා ප්‍රථම වතාවට තිසරණ සරණ ගොස් බුදු සමය වැළඳ ගත් ගෘහස්ථ ඔහුම විය.

ප්‍රශ්නය - සියලු සත්වයෝ කර්මය සිය දේපල වශයෙන් උරුම කරගත්තෝ ය. (ම.නි. චුල්ලකම්ම විභංග සූත්‍ර) කර්මය නම් චර්යාව (හැසිරීම්) පිළිබඳව හේතු ප්‍රත්‍යයි. එහි අනුප්‍රාප්තික නියාමය පුනර්භවයයි. කර්මය මූලික වශයෙන් කුසල හා අකුසල වශයෙන් කොටස් දෙකක් වුවත් කාර්ය අනුව කොටස් හතරකි. ඒ මොනවාද?

පිළිතුර -
1. ජනක කර්ම (නාම රූප ධර්ම උපත සිදුවීම ඉපදවීම
2. උපස්ථම්භක කර්ම (ජීවත්වීමට උපකාර කිරීම)
3. උප පීඩක කර්ම (ජීවත්වීමට බාධා කිරීම)
4. උපඝාතක කර්මය (ජීවිතය විනාශ කිරීම)

මේ කර්ම සතරේම ක්‍රියාකාරිත්වය පිළිබඳව එක් නිදසුනක් නම් දේවදත්ත ස්ථවිරයන්ගේ ජීවිත පැවැත්ම දැක්විය හැකිය. ජනක කර්මය කුසල වූ හෙයින් දේවදත්ත තෙරුන් රජ පවුලක උපතකට හේතුවිය.

උපත්ථම්භක කර්මයේ බලපෑමෙන් සුව පහසු ජීවිතයක්ම පවත්වාගෙන යෑමට කර්ම විපාකය බලවත් වුවත් සංඝභේද කර්මය හේතුවෙන් උපපීඩක කර්ම විපාක වශයෙන් බොහෝ දෙනාගේ අප්‍රසාදයට හේතු විය. අවසානයේ උපඝාතක කර්ම විපාක වශයෙන් අවාසනාවන්ත ඉරණමකට භාජනය විය.

ප්‍රශ්නය - භෞතික සහ ආධ්‍යාත්මික ක්‍ෂේත්‍රයන්හි ක්‍රියාත්මක වන නියාම ධර්ම පහක් බුදු දහමෙහි ඉගැන්වෙයි. ඒ මොනවා ද?

පිළිතුර

1. උතුනියාම - අජීව වස්තූන් පිළිබඳ භෞතික නියාමයකි.
2. බීජ නියාම - ඇට වර්ග හා බීජයන්ගේ ස්වභාවයයි
3. කම්ම නියාම - කර්ම සහ විපාකය පිළිබඳ නියාමය
4. ධම්ම නියාමය - ධර්මතාවයන්හි නියාමය
5. චිත්ත නියාම - මනසෙහි නියාමය

ප්‍රශ්නය - කායික (කයින් කෙරෙන) අකුසල් වලින් අදත්තාදානය (සොරකම) එකකි. නුදුන් දෙයක් සොර සිතින් තමා සන්තකයට ගැනීම අකුසලයකි. මේ සඳහා සාධක කිහිපයක් එක්වීමෙන් සතර අපා දුක් ඇතිවීම අවාසනාවන්ත දිළිඳු ජීවිත පැවැත්මක් ඇතිවීම විපාක වශයෙන් ලැබීමට හේතුවන අංග සියල්ලක් ම සම්පූර්ණ විය යුතුය. සම්පූර්ණ අකුසල විපාක සඳහා හේතුවන අංග මොනවාද?

පිළිතුර - අදත්තාදාන අකුසලයක් විපාක සඳහා හේතු වන අංග පහකි.

1. අන්සතු භාණ්ඩයක් වීම
2. අන්සතු බව දැනීම
3. සොරා ගැනීමේ චේතනාව
4. සොරා ගැනීමට කරන උපක්‍රමය
5. එයින් පැහැර ගැනීම යනුවෙනි.

ප්‍රශ්නය - අකුසල කර්ම වලින් වැළකී කය, වචනය යන දොරටු දෙක සංවර කර ගැනීම ශීලයයි. සීලයෙහි ප්‍රභේදයන් ගණනාවක් අතරෙන් ගෘහස්ථ සීලය (ගිහි) පැහැදිලි කරන්න.

පිළිතුර - ගෘහස්ත ජීවිතයෙහිදී ආරක්ෂා කළ හැකි සීල වශයෙන් (සප්ත සීල) ක්‍රම හතක් ධර්ම ග්‍රන්ථ වල සඳහන් වෙයි. අනගාරික අගාරික වශයෙන්ද වෙන්කොට ගෘහස්ථ සීලය සමාදන් වියහැකිය.

එම සීලනම්

1. පංච සීලය
2. බ්‍රහ්ම චරිය සීලය
3. ෂට්ක සීලය
4. ආජීවට්ඨමක සීලය
5. අට්ඨාංග සීලය
6. නවාංග සීලය
7. දස සීලය

ප්‍රශ්නය - සිල්වතෙක් වීම දෙලොවට යහපත පිණිස හේතුවන බව පෙල දහමේ සඳහන් වෙයි. සීලයෙහි විපාක වශයෙන් ලැබෙන ඵලයන් පැහැදිලි කරන්න.

පිළිතුර - සීලයෙහි (ආනිශංස) ඵලයන් මෙසේ ය.

1. උපභෝග පරිභෝග සම්පත් ලැබීම
2. දස දෙස සිල්වතාගේ කීර්තිය පැතිරෙයි
3. අභීතව නොපැකිළ විශාරදව සභාගත විය හැකිය.
4. (අසම්මුළ්හෝ) නුමුළාව මරණය සිදුවන අතර මරණින් මතු දෙව්ලොව උපතටද සීලයෙහි විපාක වශයෙන් හේතු වන්නේ්ය.

ප්‍රශ්නය - බෞද්ධ භාවනාව පිළිබඳව කෙටි හැඳින්වීමක් කරන්න.

පිළිතුර - රාග, දෝස, මෝහ ආදී සිත කිළිටි කරන සිතිවිලි, පහළ නොවන සේ සිත එක අරමුණක පිහිටුවා නැවත නැවතත් එම අරමුණට සිත නැංවීම භාවනාවයි. (භාවෙතීති භාවනා)

ප්‍රශ්නය - මරණානුස්සති (මරණය සිහිකළ යුතු) භාවනාවට අනුව ධර්මානුකූලව මරණය සිහිකළ යුතු අංග අටක් සඳහන්ව ඇත. ඒ මොනවාද?

පිළිතුර -
1. වධක පච්චුපට්ඨාන - තමා පිටුපස එන ඝාතකයෙකු සේ (මරණත්ථාය ඔකාසං වධකොවිය) පැමිණෙන බව සිතීම.

2. සම්පත්ති විපත්තිය - ජීවිතය සියලු සත්ත්වයාට සම්පතකි. එය විපතින් කෙළවර වීම සම්පත් විනාශයකි. ආරෝග්‍ය රෝගය අවසානකොට ඇත්තේ ය. තාරුණ්‍යය දිරාපත්වීම (මහලුවීම) දක්වා පමණි. සියලු ජීවිත (මරණ පරියෝසානං මෙ ජීවිතං) මරණයෙන් කෙළවර වන්නේ ය.

3. උපසංහරණය - අනුන් හා තමන් සමානවන අයුරින් මරණය සිහි කිරීමයි.

මරණය වනාහී මහා යසස් ඇති පිරිවර ඇති ධනවතුන් මෙන් පිනැති අයටද එකසේ මරණය සිදුවන බවද මා වැන්නවුනට කෙසේ නොපැමිණේදැයි සිහි කිරීම

4. කාය බහු සාධාරණ මරණය තම ශරීරය බොහෝ සත්ත්වයන්ට සාධාරණ බව සිතීමයි.

5. ආයු දුර්වලත්ව මරණය - ආයුෂ දුර්වල බව තමා වටහා ගැනීමෙන් මරණය මෙනෙහි කළ යුතුය.

6. අනිමිත්ත මරණය

ජීවිතං ව්‍යාධි කාලොච
දෙහ නික්ඛෙපනං ගති
පංචෙ තෙ ජීවලොකස්මිං
අනිමිත්තා න ඤායරේ

1. ජීවිතය 2. රෝගය , 3. කාලය, 4. මරණය, 5. ගතිය යන පස ජීව ලෝකයෙහි අනාවැකි කිව නොහැකිය.

7. අද්ධාන පරිච්ඡේදය

(අප්පමිදං භික්ඛවෙ මනුස්සානං ආයු) මිනිස් ආයුෂ කෙටිය. කාල නියමයන් පැණවිය නොහැකිය. නිකායාගත දේශනා අනුව ‘මහණෙනි, යම් කෙනෙක් බත් පිඬක් මුව තබා ගිලින තෙක්, ආශ්වාස කොට ප්‍රශ්වාස කරන තෙක් ජීවත් වන්නෙම් නම් යහපති ආදී වශයෙන් ජීවිත පැවැත්ම කෙරෙහි විශ්වාස නොතබා සිහිකිරීම අද්ධාන පරිච්ඡේද යයි.

8. බණ පරිච්ඡේදය - ජීවිතය ස්වල්ප මොහොතක් පමණක (චිත්ක්‍ෂණයක් ) පවත්නා බව සිතා මරණය මෙනෙහි කිරීමයි.

ඉල් අමාවක පෝය

ඉල් අමාවක පෝය දෙසැම්බර් 05 වන දා ඉරිදා පූර්ව භාග 12.23 ට ලබයි.එදිනම අපර භාග 11.06 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 05 වන දා ඉරිදාය.
මීළඟ පෝය
දෙසැම්බර් 13 වන දා සඳුදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

දෙසැම්බර් 05

First Quarterපුර අටවක

දෙසැම්බර් 13

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 20

Second Quarterඅව අටවක

දෙසැම්බර් 28


2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]