UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

මිනිස් ජීවිතයක් හරියට මල් ගොමුවක් වගෙයි. ලස්සන මල් පරවෙච්ච මල්, පොඩිවෙච්ච මල් අපි තුළත් තියෙනවා. ඒ මොනවද? බලන්න සිතිවිලි. හොඳ සිතිවිලි, නරක සිතිවිලි යනුවෙන් කොටස් දෙකක් අපි තුළ තිබෙනවානෙ. හොඳ සිතිවිලි මූලික කරගෙන සිදු කරන කටයුතු ලස්සනයි හොඳයි. තමන්ටත් අනුන්ටත් පි‍්‍රයයි. නරක සිතිවිලි මූලික කරගෙන කරන කටයුතු අවලස්සනයි නරකයි. කාටත් අප්‍රසන්නයි. එවැනි අය ආශ්‍රය කිරීම හරියට පරමල් ඇඟේ ගාවගෙන ඉන්නවා වාගේ. තමන්ටත් කරදරයි අනුන්ටත් කරදරයි.

නමෝ තස්ස භගවතෝ
අරහතෝ සම්මා සම්බුද්ධස්ස!
“යථාපි පුප්ඵරාසිමහා
කයිරා මාලා ගුණෙ බහු
එවං ජාතෙන මච්චෙන
කතතබ්බං කුසලං බහුං”

සැදැහැවත් පින්වත්නි!,

දුර්ලභව ලැබුවා වූ උතුම් මිනිසත් බවින් යහපත් ගුණ ධර්මයන් රැස් කරගත යුතු ආකාරය පිළිබඳ දේශනා කරන ලද ධම්මපදයේ පුප්ඵ වග්ගයට අයත් ගාථා ධර්මයකුයි පින්වතුන්ට පහදා දෙන්නට මෙහිදී මා මාතෘකා කරගත්තේ. එහි සරල අදහස නම් ‘යම් සේ දක්‍ෂ මල් මාලා කරුවෙක් අලංකාර මල් ගොඩකින් මල්දම් ගොතන්නේ යම් සේද, එපරිද්දෙන් උපන් මිනිසා විසින් බොහෝ කුසල් කළ යුතුය’ යන්නයි.

මිනිසත් බවක් ලැබීම ඉතා දුර්ලභ කාරණාවක් බව බුදුරජාණන් වහන්සේ බොහෝ අවස්ථාවලදී අපට දේශනා කර තියෙනවා. ඒ සඳහා සංසාරික වශයෙන් ගුණ ධර්මයන් ආරක්‍ෂා කරගත යුතු බව අවබෝධ කර නොගත් පෘථජ්ජන සත්ත්වයින් බොහෝ අකුසල් ධර්මයන් රැස්කොට සතර අපායෝත්පත්තිවල ඉපිද අනන්ත අප්‍රමාණ දුක් කම්කටොළු වින්දනය කරනවා.

මෙසේ සංසාරික වශයෙන් විඳින්නට සිදුවන දුක් සමුදායෙන් එතෙරවන්නට ලැබෙන මහඟු අවස්ථාව නම් මිනිසත් බවයි. මනුෂ්‍ය ජීවිතයක් ලැබුවෙකුට සියලු තෘෂ්ණාවන්ගෙන් මිදී උතුම් නිර්වාණ ධර්මය එම ජීවිතයේ ක්‍ෂාත් ක්‍ෂාත් කර ගත හැකි වෙනවා. ඒ සඳහා යෝනිසෝ මනසිකාරයෙන් යුතුව ආර්යය අෂ්ටාංගික මාර්ගයට පිළිපන් තැනැත්තෙක් විමටයි අපි උත්සාහවත් විය යුත්තේ. එනිසා සසරින් එතෙර වීමට නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය හැර වෙනත් සීල ව්‍රත ප්‍රතිපදාවන් තුළින් මේ සසර ගමන නිමා කරන්නට බැරිබව අප හොඳින් මෙනෙහි කරන්නට ඕන. සසරින් එතෙරවීමට හෝ භවගාමි ජීවිතය සුගතිගාමී ජීවිතයක් බවට පත් කර ගැනීමට විර්ය වඩන තැනැත්තා පළමුව ශික්ෂාකාමී විය යුතු ය. කයින්, වචනයෙන්, මනසින් සිදුවන්නා වූ අකුසල් ධර්මයන්ගෙන් බැහැර විය යුතු ය.

අකුසලයෙන් බැහැරව කායික, මානසික, වාචසික වශයෙන් කුසල් ප්‍රතිපදාවට අවතීර්ණ වීම තුළින් සීල ප්‍රතිපදාව සම්පූර්ණ කර ගනී. ඒ තුළින් ඔහු ශික්‍ෂාකාමී තැනැත්තෙක් බවට පත්වේ. සීල ප්‍රතිපදාව සම්පූර්ණ කරනු ලබන තැනැත්තා තුළ සමාධිය, ශ්‍රද්ධාව කුසල් වැඩීමේ වීර්යය ආදී කුසල් චෛතසිකයන් වර්ධනය වෙයි. එය නිර්වාණ ධාතුව සාක්‍ෂාත් කරගන්නාට සැලසෙන මහඟු අවස්ථාවකි.

දහම් කාරණා බුද්ධ දේශනාවෙහි සීල, සමාධි, ප්‍රඥා එනම් ත්‍රිශික්‍ෂා ලෙස දැක්වේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කරනවා යනු ත්‍රිශික්‍ෂා ධර්මයන්ට අනුගතව කටයුතු කිරීමයි. එහෙයින් අප හැමදෙනාම ත්‍රිශික්‍ෂා ධර්මයට අනුගතව කටයුතු කිරීමට උත්සාහ කළ යුතු යි.

ඉහතින් මාතෘකා වශයෙන් සඳහන්වන ගාථාව බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළේ විශාඛා උපාසිකාව මුල් කරගෙනයි. භද්දිය නුවර ධනඤ්ජය සිටුතුමාගේ දියණිය වූයේ විශාඛාවයි. ඇය පංච කල්‍යාණයෙන් යුතු රූමත් කාන්තාවක් මෙන්ම ඤාණවන්ත කාන්තාවක් ද වූවා.

කුඩා කාලයේ සිටම ගුණ ධර්මයන්ට අනුව හැඩ ගැසුණු නිසා ඇය තමන්ගේ සීයාත් සමඟ බුදුරජාණන් වහන්සේගෙන් බණ ඇසීමට භද්දිය නුවරට ගොස් බණ අසා සෝවාන් ඵලයට පත්වුණා. පසුව සැවැත් නුවර මිගාර සිටුතුමාගේ පුතුණුවන් වන පූර්ණවර්ධන සිටුකුමාරයන් සමඟ නිසි කළ වයසේ දී විවාහයට පත් වුණා. විවාහයට පත්වුණ දින පියාගෙන් ඇයට ලැබුණු උතුම් දායදය නම් අසූකෝටියක් වටිනා මහාමේල පළඳනාවයි. බුදු සසුනට ඇති ලැදියාව නිසාත් සැදැහැති කාන්තාවක් නිසාත් ඇය එම පළඳනාව විකුණා මුදල් බවට පත්කොට ‘පූර්වාරාමය’ නම් අලංකාර අංග සම්පූර්ණ විහාරයක් කොට බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට පූජා කළා. විශාඛාවට දූ පුතුන් ගොඩක් සිටියා.

ඇය සෑම පොහෝ දිනකටම අට සිල් සමාදන්ව කටයුතු කිරීමට කවදාවත් අමතක කළේ නැහැ. “පූර්වාරාමය” බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට පූජා කළ දිනයේ විශාඛාව හා සිය දරුවනුත් මුණුබුරු මිණිබිරියන් පිරිවරාගෙන ඇය පී‍්‍රතිඝෝෂා නගමින් සතුටු වුණා. විශාඛාව ගී කියමින් පී‍්‍රතිඝෝෂා වන අයුරු දුටු භික්‍ෂූන් වහන්සේලා එම සිද්ධිය බුදුරජාණන් වහන්සේට දැන්වූවා. ඒ අවස්ථාවේ දී බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන් වහන්සේලාට මෙසේ දේශනා කළා.

“මහණෙනි, විශාඛාව විසින් සිදු කරන ලද මහනීය පින්කම ගැන සිත සිතා සතුටුවනවා.” අවසානයේ දී බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන් වහන්සේලා ඇතුළු පිරිසට දේශනා කොට වදාළේ දක්‍ෂ මල්මාලා කරුවෙක් තැලිච්ච, පොඩිවෙච්ච, පරවෙච්ච මල් ඉවත් කරමින් සුවඳවත් මල් අලංකාරවත් මල් යොදා ගනිමින් යම්සේ මල් මාලාවන් ගොතන්නේ ද එපරිද්දෙන් උපන්නාවූ මිනිසා විසින් බොහෝ කුසල් ධර්මයන් සිදු කළ යුතු බවයි. මෙහිදී අපේ ජීවිතය මල් දමට උපමා කර ඇති අතර එම මල් දම අලංකාර වන්නේ කුසල් ධර්මයන් නැමැති සුවඳවත්වූ අලංකාරවත් වූ මල්වලින්, පරවෙච්ච මල් නමැති අකුසල් ධර්මයන් ඉවත් කරන්නාට සසර දිවිපැවැත්ම වාසනාවන්ත කරගත හැකිවෙනවා. ඒ සඳහා “කතතබබං කුසලං බහුං” බොහෝ කුසල් කළ යුතු යි.

මිනිස් ජීවිතයක් හරියට මල් ගොමුවක් වගෙයි. ලස්සන මල් පරවෙච්ච මල්, පොඩිවෙච්ච මල් අපි තුළත් තියෙනවා. ඒ මොනවද? බලන්න සිතිවිලි. හොඳ සිතිවිලි, නරක සිතිවිලි යනුවෙන් කොටස් දෙකක් අපි තුළ තිබෙනවානෙ. හොඳ සිතිවිලි මූලික කරගෙන සිදු කරන කටයුතු ලස්සනයි හොඳයි. තමන්ටත් අනුන්ටත් පි‍්‍රයයි. නරක සිතිවිලි මූලික කරගෙන කරන කටයුතු අවලස්සනයි නරකයි. කාටත් අප්‍රසන්නයි. එවැනි අය ආශ්‍රය කිරීම හරියට පරමල් ඇඟේ ගාවගෙන ඉන්නවා වාගේ. තමන්ටත් කරදරයි අනුන්ටත් කරදරයි. එවැනි විසඝෝර සතුන් වැනි පිරිසක් ජීවත් වන මේ සමාජය තුළ තමන් නිවැරදි යහපත් පුද්ගලයෙකු වන්නට උත්සාහ කරන්න ඕනේ. යහපත් දේ නිතරම සිදු කරන්නට වගබලා ගන්නට ඕනේ. රූස්ස ගස් අතු අග නැග දිවි පරදුවට තබා දක්‍ෂ මල් කරුවා ලස්සන මල් එකතු කරල මල් මාලා සකස් කරනවා වාගේ අපිත් මේ යහපත් මල් තෝරා බේරාගෙන හොඳ පුද්ගලයෙකු වන්නට නිතර අධිෂ්ඨානයෙන් යුතුව වීර්ය වඩමු. එබඳු අය හරියට මල්කරුවා හොඳ මල් තෝරලා ලස්සන මල් මාලාවක් ගොතනවා වගේ හොඳ සිතිවිලි, හොඳ ගුණ ධර්ම වලින් යුක්ත ජීවිත සකස් කරගෙන මෙලොව පරලොව දෙලොව සුව සැප විඳ කෙළවර උතුම් නිවනින් සැනසෙන්නට අපට පුළුවන් වෙනවා.

එනිසා පින්වත්නි, කොපමණ කුසල් කළත් ඒවා වැඩි නොවන අතර භවගාමී දිවිපැවැත්ම පුරාම තමන්ගේ සෙවණැල්ල බවට පත්වෙන්නේ රැස්කරගත් කුසල් පමණයි. දුර්ලභව ලැබූ මිනිස් ජීවිතය වාසනාවන්ත කරගන්නටත් සසරින් එතෙරවන්නටත් කටයුතු කරන අප සියල්ලෝම නිසරු දේවල් වලින් බැහැරව උතුම් සාරවත් ගුණධර්මයන් රැස් කරගන්නට මෙයින් අධිෂ්ඨානය කරනි.

තෙරුවන් බෙලෙන්
යහපතක්ම වේවා!

 

ඉල් අමාවක පෝය

ඉල් අමාවක පෝය දෙසැම්බර් 05 වන දා ඉරිදා පූර්ව භාග 12.23 ට ලබයි.එදිනම අපර භාග 11.06 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 05 වන දා ඉරිදාය.
මීළඟ පෝය
දෙසැම්බර් 13 වන දා සඳුදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

දෙසැම්බර් 05

First Quarterපුර අටවක

දෙසැම්බර් 13

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 20

Second Quarterඅව අටවක

දෙසැම්බර් 28


2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]