UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

බුදු පා පහස ලද නාගදීපය

නාමල් රාජපක්‍ෂ මන්ත්‍රීවරයා විසින් ඉදිකරවන ලද රන්වැට නිරාවරණය කිරීමේ උළෙල නිමිත්තෙන් නොවැම්බර් මස 14 වැනිදා පාන්දර කිරිඅම්මාවරුන් 128ක් සඳහා කිරිඅම්මා දානයක් පැවැත්විණ. එමෙන්ම මහා සංඝරත්නයේ පිරිත් සජ්ඣායනා මධ්‍යයේ නිරාවරණය කළ රන් වැට සියවස් ගණනාවක් නාගදීපයේත් බුද්ධ ධර්මයේත් ආරක්ෂාව සඳහා කදිම සංකේතයක් වනු ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා විසින් යාපනයේ කළ සංචාරයකින් අනතුරුව පොරොන්දුවූ පරිදි ඓතිහාසික නාගදීප විහාරයේ බෝධි රාජයාණන් වහන්සේ වටා ඉදිකළ රන්වැට නිරාවරණය කිරීමේ පූජෝත්සවය නිමිත්තෙන් සකස්කරන ලද ලිපියකි.

මහින්දාගමනයත් සමඟ ලංකාද්වීපය බෞද්ධ රාජ්‍යයක් බවට පත්වුවත් ඊට එහා ගිය බෞද්ධ උරුමයක් ලංකාවට තිබෙන බව අප කවුරුත් දන්නා දෙයකි. ක්‍රිස්තුපූර්ව යුගයට අයත් බෞද්ධ නෂ්ටාවශේෂ වර්තමානය වනවිටත් හමුවෙමින් පවතී.



නව බෝධි ප්‍රාකාරය විවෘත කරමින් මන්ත්‍රීවරයා සමරු ඵලකය නිරාවරණය කළ අයුරු හා රන්වැට සහිත නව බෝධි ප්‍රාකාරය. ඡායාරූප - සුදත් මලවීර

විශේෂයෙන් උතුරු, නැඟෙනහිර ප්‍රදේශවලට යාව තිබෙන ඒ නෂ්ටාවශේෂ පසුගිය බිහිසුණු යුද්ධය සමඟ අවසන්වරට සැඟවී තිබුණි. ඊට පෙර වුව සිදුවූ විවිධ ආක්‍රමණ කැරලි කෝලාහල සමඟ ඒ අතීතයේ නටබුන් වැලිතලාවන්ගෙන් යටපත් වන්නට විය. එසේ යටපත් වූයේ හුදෙක් ගල් කණු හෝ ගඩොල් කැට ගොඩක් පමණක් නොවේ. ඒ ආශි‍්‍රත දීර්ඝ ඉතිහාස පුරාවෘත්තයක් ද ඒ වැලිතලාවට යටපත්ව ඇත. පසුකාලීනව සිදුවූ යම් යම් සොයාගැනීම් හරහා නැවතත් ඒ පුරාවෘත්ත මෙන්ම පැරණි බෞද්ධ පූජනීය ස්ථාන ඇතුළු තොරතුරු රැසක් ද අනාවරණය විය.

රට පුරා තිබෙන බෞද්ධ පූජනීය ස්ථාන අතුරින් බුදු පා පහසින් පාරිශුද්ධත්වයට පත් පුණ්‍යභූමි කෙරෙහි බෞද්ධයන් තුළ ඇත්තේ අසීමිත භක්ත්‍යාදරයකි. බුදුරජාණන්වහන්සේ තෙවරක් ලක්දිවට වැඩම කළ බවට අපේ ඉතිහාස ග්‍රන්ථ හා විවිධ ජනප්‍රවාද සාක්ෂි දරන අතර ප්‍රථමයෙන් මහියංගනයටත්, දෙවනුව නාගදීපයටත් තුන්වනුව කැලණියටත් වැඩම කළ බව කියැවේ.

මෙසේ දෙවැනිවර වැඩම කළා වූ නාගදීපය ඉපැරණි රාජසමයේ සිටම ගෞරවාදරයට පාත්‍රවූ පුද බිමකි. නාගයින් විසූ ප්‍රදේශය නාගදීපය යැයි අතීතයේ ප්‍රචලිත වූ බව පැවසෙන අතර, මේ නාගයින් යනු කවරෙක්ද යන ගැටලුව ප්‍රථමයෙන් ලිහාගත යුතු ය. නාගදීපය කුලණිය වැනි ජලාශි‍්‍රත ප්‍රදේශවල විසුවා යැයි කියන නාගයෝ නාවික කර්මාන්ත කලෝයයිද මතයක් තිබේ. කෙසේ වෙතත් ජලාශි‍්‍රතව විසූ මේ පිරිස මනුෂ්‍ය කොට්ඨාසයක් බවට ඉඳුරාම කිව යුතුවේ.

එමෙන්ම ඔවුන් සූක්ෂම දැනුමකින් හා අවබෝධයකින් යුක්තව ජීවත්වූ පිරිසක් ලෙස ද විග්‍රහ කළ හැකිය. එනම් බුදුදහම වැනි ඉතා ගැඹුරු දහමක එදා තේරුම් ගැනීමට ඔවුන් සමත් යැයි බුදුරජාණන් වහන්සේ තීරණය කර ඇත. නො එසේනම් උන්වහන්සේ දෙවරක් නාගයින් උදෙසා ධර්ම දේශනා නොකරනු ඇත. නාගදීපයට හා කැලණියට බුදුන් වැඩම කළ අවස්ථාවන්හි නාගයෝ බණ අසා ඇත. කෙසේ වෙතත් වඩුන්නාගල නාග භවනයේ තිස් කෙළක් නාගයින්ට නායක වූ චූලෝදර නා රජු වාසය කළේය.

මණිනාග දිවයින, සමුද්‍රනාග (නාගදීප) භවනේ තිස්කෙළක් නාගයින්ට නායකවූ මහෝදර නා රජ වාසය කළේය. එමෙන්ම බුදුරජාණන් වහන්සේට තෙවැනි වර ලංකාවට වැඩමවීමට ආරාධනා කළ මණිඅක්ඛිත නාරජු වාසය කළේ කැලණි ගග භවනයේය. මෙසේ ලංකාවේ නාග රාජධානිවල පාලනය සිදුවන අතර ඔවුනොවුන් සහයෝගයෙන් දිවි ගෙවන්නට වූහ.

චූලෝදරගේ මව සහ මහෝදර යනු සහෝදර සහෝදරියන් වන අතර මහෝදරගේ දියණිය චූලෝදරට විවාහ කර දෙන ලදී. ඒ විවාහය සමඟ මහෝදරට පාරම්පරික උරුමයෙන් දායාදවූ අගනා මරාමිණියෙන් කළ මිණි පළඟක් (මැණික් පල්ලංකයක්) ද දියණියට දායාද වශයෙන් ලබාදෙන ලදී.

එහෙත් ඔවුන් විවාහ වී නොබෝ කලකින් චූලෝදරගේ බිසව අභාවප්‍රාප්ත වූයෙන් මහෝදර විසින් තම දියණියට දායාද කළ මිණිපලඟ නැවත චූලෝදරගෙන් ඉල්ලා සිටින්නට විය. තම මවට ද එහි හිමිකම් ඇතැයි ප්‍රකාශ කරමින් චූලෝදර මිණිපළඟ නැවත ආපසු බාරදීම ප්‍රතික්ෂේප කළ නිසා ඔවුනොවුන් සිය පිරිස් සමඟ මහා සටනකට සූදානම් විය.

බුද්ධත්වයෙන් පස්වැනි වසර බක් මාසයේ අමාවක දින බුදුරාජාණන් වහන්සේ ලොව බලන විට මේ නාග දෙපිරිසෙහි සටන දුටු සේක. මහා කරුණාවෙන් යුතුව බුදුරාජාණන් වහන්සේ මේ සටන සංසිඳවිය යුතු බව සිතා දෙව්රම් වෙහෙර අසල කිරිපලුරුකෙහි වාසය කරන සමිද්ධි සුමන දෙවියන් ද සමඟ ලංකාවට වැඩමවීමට තීරණය කළහ. ඒ අනුව සමිද්ධි සුමන දෙවිතෙමේ බුදුරදුන්ට ඡත්‍රයක් සේ කිරිපලුරුක ගෙන සෙවණ කරමින් බුදුන් පිටුපස වැඩියේය. පසුව චූලෝදර මහෝදර නාරජවරු ඇතුළු පිරිසට සමගියෙන් සිටීමේ අනුසස් දේශනා කර ආරවුල ඇතිවූ මිණිපළඟ හා සමිද්ධි සුමන දෙවියන් ගෙනආ කිරිපලුරුක වන්දනාමාන කිරීමට ඉතිරිකර වැඩිසේක.

නාගයෝ කිරිපලු රුක රෝපණය කර ඒ අසල මිණි පළඟ තැන්පත් කර චෛත්‍යයක් සාදවන ලදී. එය නාගදීප වෛත්‍යයයි. මේ චෛත්‍ය කිරිපලු රුක අසල පිහිටි නිසා රාජායතන චෛත්‍යය ලෙස ද ප්‍රකට විය. බු: ව: 267 – 277 කාලයේ දේවානම් පියතිස්ස රජුන් බු: ව: 757 – 779 කාලයේ විසූ වෝහාරතිස්ස රජු බු: ව: 1141 – 1151 කාලවල විසූ  II වැනි අග්‍රබෝධි රජු හා මහා විජයබාහු යන රජවරු ඇතුළු රාජ රාජ මහාමාත්‍යාදීන් නාගදීප විහාරය ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකර ඇත.

12 වැනි සියවසේ දකුණු ඉන්දීය ආක්‍ර‍්‍රමණ නිසාත් ක්‍රි. ව. 1505 සිට අධිරාජ්‍යවාදී ආක්‍රමණ නිසාත් නාගදීපය අභාවයට යන්න විය. එහි නටබුන් පවා අභාවයට යමින් තිබූ සමයක වැලිතලා මතින් ඉහළට මේ පූජනීය බිම්කඩ ඔසවා තැබීමට කටයුතු කරන ලද්දේ රන්දොඹේ සෝමසිරි තිස්ස නාහිමිපාණන් වහන්සේයි. ඒ 1936 දී ය. පසුව බ්‍රාහ්මණවත්තේ ධම්මකිත්ති තිස්ස අමරපුර නිකායේ මහානායක හිමියන් හා බෞද්ධ ප්‍රභූන්ගේ මැදිහත්වීමෙන් නාගදීපය තව තවත් සංවර්ධනය විය. එහෙත් 1958 දී නැවත ජාතිවාදී කෝලාහල නිසා සාහසික පිරිසක් විසින් නාගදීප චෛත්‍යයට හානි සිදුකර බුරුමයෙන් තෑගි කර තිබූ ලෝහ බුද්ධ ප්‍රතිමාවේ සිරස ද සිඳ මුහුදට විසිකළේ ය. නැවතත් 1983 ත්‍රස්තවාදී ක්‍රියා උත්සන්නවීමත් සමඟ නාගදීපයට තව තවත් හානි සිදු විය.

එදා ජාතිවාදී කලබලවලින් සිදුවූ විපත් බණ්ඩාරනායක ආණ්ඩුව විසින් මාසයයි දින 11 කින් නැවත යථා තත්ත්වයට පත්කර දුන් පසු කිසිදු රජයක් නාගදීප සංවර්ධනය සඳහා සැලකිය යුතු අවදානයක් යොමු නොකල බව වත්මන් නාගදීප විහාරාධිපති නවදගල පදුමකිත්ති තිස්ස නායක හිමියෝ සඳහන් කළහ. යුදමය වාතාවරණය නිමාවීමත් සමඟ දැන් බහුතර බැතිමතුන්ගේ අවධානය නාගදීපය වෙත යොමුවී ඇත.

නාගදීපය ඉදිරිපිට ජැටිය හා බුදු පිළිමයක් ස්ථාපිත කිරීම සඳහා රුපියල් කෝටි 4.5ක මුදලක් මේ රජය විසින් යොදවා ඇති බවත්, නාමල් රාජපක්‍ෂ මන්ත්‍රීවරයා පොරොන්දු වූ පරිදි බෝධි ප්‍රාකාරයේ රන් වැට ඉදිකරවා නොවැම්බර් 14 වැනිදා එය නිරාවරණය කළ බවත් නාහිමියෝ වැඩිදුරටත් ප්‍රකාශ කළහ.

තවදුරටත් අදහස් දැක්වූ පදුමකිත්ති තිස්ස නාහිමියන් පවසා සිටියේ යුද්ධ කාලසීමාවේ උතුරේ සිටි එකම භික්ෂුන්වහන්සේ තමා බවත්, තමන්ට සිටි දායක පිරිස නාවික හමුදාව බවත්ය. එමෙන්ම ජාති, ආගම් භේදයකින් තොරව සියලු ජනයා පන්සලේ කටයුතුවලට සහය ලබාදෙන බවත්, අතීතයේ යුද සමයේ ත්‍රස්තවාදීනට රහසිගතව දෙමළ ජනතාව තමන්වහන්සේට උපකාර කළ බවත් උන්වහන්සේ මතුකර සිටි සේක.

1989 වසරදී ත්‍රස්තවාදීන් බුද්ධ වළව්ව නම් විහාරය සම්පූර්ණයෙන් ම විනාශ කළ බවත් නැවත එය නිර්මාණය කර ඇති බවත්, පැවසු උන්වහන්සේ එකල රජයේ පාලනය තිබූ එකම ස්ථානය නාගදීපය පමණක් බවත් මතක්කර සිටිති. 1983 සිට නාවික හමුදා දායකත්වය හා දමිළ ජනතාවගේ සහයෝගයෙන් පවත්වාගෙන ආ නාගදීප විහාරය ආගම් හතරක සහයෝගීතාවය ලොවට හෙළි කරන හොඳම පුණ්‍ය භූමියකි.

කෙසේ වෙතත් නාමල් රාජපක්‍ෂ මන්ත්‍රීවරයා විසින් ඉදිකරවන ලද රන්වැට නිරාවරණය කිරීමේ උළෙල නිමිත්තෙන් නොවැම්බර් මස 14 වැනිදා පාන්දර කිරිඅම්මාවරුන් 128ක් සඳහා කිරිඅම්මා දානයක් පැවැත්විණ. එමෙන්ම මහා සංඝරත්නයේ පිරිත් සජ්ඣායනා මධ්‍යයේ නිරාවරණය කළ රන් වැට සියවස් ගණනාවක් නාගදීපයේත් බුද්ධ ධර්මයේත් ආරක්ෂාව සඳහා කදිම සංකේතයක් වනු ඇත.

දැනට දිනකට බැතිමතුන් හතළිස්දහසක් පමණ පැමිණ වැඳපුදාගන්නා නාගදීප විහාරය සංවර්ධනය කිරීම සඳහා මූලිකත්වය ගත් එකම රජය පවතින රජය බව අවධාරණය කරන නායක හිමිපාණන්, දැනට බැතිමතුනට අවශ්‍ය ජල පහසුකම් හා නවාතැන් පහසුකම් මෙන්ම බෝට්ටු සේවාද තව තවත් සංවර්ධනය විය යුතු බව දන්වා සිටී. ඒ අතර කඩිනමින් ජල පහසුකම් පුළුල් කරන්නේනම් එය මහාර්ඝ පින්කමක් බවද නායක හිමියෝ ප්‍රකාශ කළහ.

(විශේෂ ස්තුතිය – නාගදීප විහාරාධිපති නවදගල පදුමකිත්ති තිස්ස නාහිමිපාණන් වහන්සේට සහ පි‍්‍රයන්ත රත්නායකට)

ඉල් පුර පසළොස්වක පෝය

ඉල් පුර පසළොස්වක පෝය නොවැම්බර් 20 වන දා සෙනසුරාදා අපර භාග 10.37 ට ලබයි. 21 වන දා ඉරිදා අපර භාග 10.57 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 21 වන දා ඉරිදා ය.
 මී ළඟ පෝය නොවැම්බර් 28 වන දා ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 21

Second Quarterඅව අටවක

නොවැම්බර් 28

New Moonඅමාවක

දෙසැම්බර් 05

First Quarterපුර අටවක

දෙසැම්බර් 13

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]