කඨින චීවර පූජාවේ
ආරම්භය හා ශාසනික වැදගත්කම
දෙල්ලව විද්‍යාවර්ධන පිරිවෙන් විහාරාධිපති
සද්ධර්ම විශාරද
දෙල්ලව ජිනරතන නා හිමි
කඨිනයක් සෑම භික්‍ෂුවකටම ලබාගත නොහැකිය. ඒ සඳහා භික්‍ෂූන් වහන්සේ කරුණු
කිහිපයක් සම්පූර්ණ කළ යුතුය. ඇසළ පුණු පොහොයදා පොහොය කිරීමේ විනය
කර්මයට සහභාගිවී අව පෑළවිය දා පෙරවස් එළඹ වස් ආරක්‍ෂා කරගෙන වප් පුණු
පොහෝ දින මහා පවාරණය විනය කර්මයට සහභාගිවී සිටිය යුතුය. වස් වසා
අතරමගදී වස් කැඩුණු භික්‍ෂුවටත් පසු වස් එළඹි භික්‍ෂුවටත් කඨිනයක්
පරිභෝග කිරීමට නොහැකිය. කඨිනයක් පරිභෝග කරණ භික්‍ෂුව අංග අටකින්
සම්පූර්ණ විය යුතුය.
ශාසනික සම්ප්‍රදාය අනුව වසරක මාස දොළොස සෘතු තුනකට බෙදේ. හේමන්ත
ගිම්හාන වස්සාන යනුවෙන් එම සෘතු තුන හැඳින්වේ. වස්සාන සෘතුවෙහි මුල්
මාස තුන භික්‍ෂූන් වහන්සේ වස් වසන කාලයයි. එම කාලය ලබනවිට දායක
දායිකාවෝ විහාරස්ථානයට පැමිණ වස්වැසීමට ආරාධනා කරති. එසේ වස් විසූ
භික්‍ෂූන් වහන්සේට කඨින චීවර ද පූජා කරති. වස් හාර මාසයේ අවසන් මාසය
කඨින පූජා කරන කාලයයි. එම මාසය චීවර මාසය නමින් හැඳින්වෙන අතර එම කාලය
තුළ වස් විසූ සෑම ආරාමයකම කඨින පින්කම් සිදු කෙරේ.
කඨින චීවර පූජාව මහපොළොව මෙන් කම්පා නොවන මහාමේරු පර්වතය මෙන්
නොසෙල්වෙන වජ්‍ර පර්වතය මෙන් නොබිඳෙන ස්ථිර ගරු පුණ්‍ය ක්‍රියාවකි.
සියලු බුදුවරුන් අගය කළ සහභාගිවුන අටමහ කුසල් වලට අයත්වන ආමිස දානමය
පින්කම් අතර උසස් උතුම් පින්කමකි. කඨිනය ලබන භික්‍ෂුවට අනුසස් පහක්
ලැබෙන එක් වස් ආරාමයක එක වසරක එක දවසක එක වරක් මිස දෙවරක් කළ නොහැකි
දුර්ලභ පුණ්‍ය ක්‍රියාවක් ලෙසද සැලකේ.
ආරම්භය
පෙර සාකේත නුවර වස් වසා වස් පවාරණය කළ භික්‍ෂූහු තිස් නමක් බුදුරදුන්
දැකීමට සැවැත් නුවර බලා පිටත් වූහ. අතර මගදී මහ වැස්සකට හසුවී තෙමුණු
සිවුරුවලින් හා ක්ලාන්ත ගතියෙන් යුක්තව බුදු රදුන් වෙත පැමිණ තොරතුරු
පැවසීමෙන් පසු එම කරුණ මුල් කරගෙන
“අනුජානාමි භික්‍ඛවේ වස්සං වුත්ථානං භික්‍ඛුනං කඨිනං අත්ථරිතුං”
යනුවෙන් කඨිනාස්තරණ විනය කර්මය අනුදැන වදාළහ. එතැන් සිට භික්‍ෂූන්
වහන්සේලාට කඨින චීවරයක් පරිහරණය කිරීමට හැකිවිය. කඨිනයක් සෑම
භික්‍ෂුවකටම ලබාගත නොහැකිය. ඒ සඳහා භික්‍ෂූන් වහන්සේ කරුණු කිහිපයක්
සම්පූර්ණ කළ යුතුය.
ඇසළ පුණු පොහොයදා පොහොය කිරීමේ විනය කර්මයට සහභාගිවී අව පෑළවියදා
පෙරවස් එළඹ වස් ආරක්‍ෂා කරගෙන වප් පුණු පොහෝ දින මහා පවාරණය විනය
කර්මයට සහභාගිවී සිටිය යුතුය. වස් වසා අතරමගදී වස් කැඩුණු භික්‍ෂුවටත්
පසු වස් එළඹි භික්‍ෂුවටත් කඨිනයක් පරිභෝග කිරීමට නොහැකිය. කඨිනයක්
පරිභෝග කරණ භික්‍ෂුව අංග අටකින් සම්පූර්ණ විය යුතුය.
1. පුබ්බකරණය දැනීම
2. පච්චුද්ධාරය දැනීම
3. අධිෂ්ඨානය දැනීම
4. අත්‍ථාරය දැනීම
5. මාතිකාව දැනීම
6. පළිබෝධය දැනීම
7. උද්ධාරය දැනීම
8. ආනිසංස දැනීම
යන අංග අටකින් යුක්ත භික්‍ෂුව කඨිනයක් ඇතිරීමට සුදුසු භික්‍ෂුව බව විනය
පිටකයෙහි දැක්වේ. කඨිනයක් ඇතිරීමට හැකි වන්නේ සඟල සිවුර (සංඝාඨි තනිපට
සිවුර (උත්තරා සංගය) අඳන සිවුර (අන්තරා වාසකය) යන තුන් සිවුරෙන්
එකකිනි. එය ද සූවිසි විපත්ති වලින් දුරුව අටලොස් සම්පත් වලින් යුක්තවිය
යුතුය.
භික්‍ෂූවට ලැබෙන අනුසස්
කඨිනය අතුළ භික්‍ෂුවට බුද්ධ නියමය පරිදි අනුසස් පහක් ලැබේ.
01. අනාවන්ත වාරය : අරමෙහි වසන භික්‍ෂූන්ට නොකියා ගමෙහි හැසිරීම.
2. අසවාද වාරය, තුන් සිවුරෙන් තමා කැමති සිවුරක් තබා යෑම.
3. ගණ භෝජනය, ඇරයුමක් නැතිව පවසා ආහාර ලබා ගැනීම.
4. යාවදත්‍ථ චීවරය, කැමතිතාක් සිවුරු පරිභෝග කිරීමේ හැකියාව
5. යෝචතත්‍ථ චීවරුප්පාදය, කඨිනය අතුළ විහාරයට ලැබෙන සිවුරු පිරිකර
අයිතිවීම
යනු ඒ අනුසස් පහයි.
දායකයිනට ලැබෙන අනුසස්
කඨිනය පූජාකරන දායක පක්‍ෂයට ද ලෞකික වශයෙන් හා ලෝකෝත්තර වශයෙන් ආනිසංස
ලැබේ. නාගිතාපදානය විමසා බලන විට ආනිසංස කොපමණ ද යන්න සිතිය හැක. නාගිත
හිමියන් එක ආත්මයක කඨිනයක් පූජා කළ පිනෙන් ආශ්‍රවක්‍ෂ්‍යකර ඥානය
ලැබේවායි ප්‍රාර්ථනා කළේය. එතැන් පටන් සතර අපායෙහි නොඉපද උසස් දිව්‍ය
සම්පත් හා මනුෂ්‍ය සම්පත් විඳ අවසාන ආත්මයෙහි ඒහි භික්‍ෂු භාවයෙන්
පැවිදිව සිවුපිලිසිඹියා සහිත රහත් බවට පැමිණි බව සඳහන් වේ. සැදැහැවතුන්
මෙම පින්කම පිළිබඳ විශේෂ උනන්දුවක් දක්වන්නේ මෙබඳු අනුසස් ලැබෙන නිසාය.
කඨින චීවරය පරිභෝග කරන භික්‍ෂුවට ලැබෙන අනුසස් සීමිත කාලයකදී අවසන්
වුවත් දායක පක්‍ෂයට ලැබෙන අනුසස් වලට එසේ නොවේ.
|