UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

අති දීර්ඝ සසර ගමනේ දී ලබා ගත් මෙම මනුකයෙන් මතු සසර ගමනට හෝ ගමන නවත්වන්ට හෝ අර්ථයක් හෝ සාධනීය ක්‍රියාවක් චින්තනයක් ඉතිරියක් කර නොගතහොත් යළි මනුකයක් නොලැබෙන්නේ ය.

නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
උට්ඨානේ න ප්පමාදේන
සඤ්ඤමේන දමේනච
දීපං කයිරාථ මේධාවී
යං ඕඝෝනාභි කීරති

පින්වත්නි,

සුගත තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ රජගහ නුවර වේළුවනාරාමයෙහි වැඩවසන සමයෙහි චුල්ල පන්ථක තෙරුන් වහන්සේ අරඹයා මෙම ගාථා ධර්මය දේශනා කළ සේක.

පින්වත්නි,

රජගහනුවර ඉසුරුමත් සිටු පවුලක ‘මහා පන්ථක’, ‘චුල්ල පන්ථක’ යයි දරු දෙදෙනෙක් මුත්තණුවන් යටතේ වැඩෙති. මෙයින් මහා පන්ථක මුත්තණුවන් සමග වේළුවනාරාමයට ගොස් බණ දහම් අසා ඉතා ශ්‍රද්ධාවෙන් මුත්තනුවන්ගේ අවසරය පරිදි මහණදම් පුරා නොබෝ දිනකින් රහත් ඵලයට පැමිණියහ.

මෙසේ මහා පන්ථක රහතන් වහන්සේ ලොව්තුරු ගුණයෙන් ප්‍රභාමත්ව නිවන් සුවයෙන් සැනසෙන සේක්, තම සහෝදර මලණුවන්ටද එය ලබාදීමේ අදහසින් මුත්තණුවන්ගෙන් අවසර ලබාගෙන පැවිදි කරවූහ. එහෙත් භවාන්තරයේ කළ අකුසල කර්මයකින් බණ දහම් ඉගෙනීමෙහි අදක්‍ෂව එක් ගාථාවක් පාඩම් කිරීමට සාරමසක් ගත වූවද, නොහැකි වූයෙන්, මහාපන්ථක හිමියන් විසින් මෙම චුල්ල පන්ථක හිමියන් ශාසනයෙන් නෙරපන ලදී. ඉතා කනගාටුවට පත් චුල්ලපන්ථක හිමියන්ද සිවුරු හරනට නොකැමැතිව අලුයම විහාරෙන් නික්මෙන්නේ බුදුරජාණන් වහන්සේ දොරටුව වෙත වැඩ කරුනු විමසා අවස්ථාවෝචිත අවවාද දී කමටහනක් දෙවා වදාළ සේක. චුල්ල පන්ථක හිමියෝ ද එක් දහම් පදයකින් දහසක් කරුණු දැනගෙන චතුරාර්ය සත්‍යාවබෝධ කරමින් උතුම් රහත් ඵලයට පත්වූහ. මෙම ආශ්චර්යවත් සිද්ධිය මූලික කරගෙන බුදුරජාණන් වහන්සේ ඉහත දැක් වූ ගාථා ධර්මය දේශනා කළසේක.

උත්සාහය අප්‍රමාදය සංයමය, දමනය යන ධර්මතා හතර ක්‍රියාකාරීත්වයෙන් පුරුදු කරගත් නුවණැත්තා කාමාදී ඕඝයන්ට හසුනොවී උතුම් රහත්ඵලය ලබා ගන්නේ ය. මිහිමත උපන් සෑම සත්වයාටම තම තමන්ගේ ජීවන බර අනුව යම්කිසි ප්‍රමාණයක උත්සාහයක් අවශ්‍යම වන අතර මිනිසාට එයට වඩා බුද්ධියෙන් මෙහෙයවන වීර්යයක් අවශ්‍ය වන්නේ ය.

පඤ්ඤානුයා තං විරියං වදන්ති යනුවෙන් සඳහන් වන්නේ එබැවිනි. ප්‍රඥාව ආධ්‍යාත්මික පිරිසුදුකම ඇති කරන බලයක් කරගැනීමට නොනවත්වා පවත්වාගෙන යන ආරද්ධ වීර්යක් තිබිය යුතු වේ. මානව පරපුරේ ශ්‍රේෂ්ඨතම උත්තමයාණන් වූ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ නියත විවරණ ලැබූ තැන් පටන් සාරා සංඛ්‍ය කල්පලක්‍ෂයක් පුරා වීර්ය පාරමිතාවක් වශයෙන් සමාජ අත්දැකීම් අනුව පුරුදු පුහුණු කරමින් සෙසු පාරමීධර්මයන්ට ආධාර උපකාර කර ගත් සේක.

ආරම්භධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු වශයෙන් වීර්ය චින්තාවේ ත්‍රිවිධ අවස්ථාවක් ඇත. යමක් කරන්නට හිතන අවස්ථාවේ ඇතිවන චිත්ත බලය ආරම්භ ධාතු නමින් හැඳින්වෙන අතර එය මූලාරම්භය වශයෙන් ථීන මිද්ධ නීවරණය අභිබවමින් ඉදිරියට ගමන් කරන්නේ ය. ක්‍රියාවක් නොනවත්වා කරගෙන යාමේ කායික මානසික බලය නික්කම ධාතු නම් වන්නේ ය. එමෙන්ම අභිමථාර්ය දර්ශනය වන්නේ ද මෙම මධ්‍ය අවස්ථාවේ බැවින් ප්‍රතිවිරුද්ධ අරමුණු බාධක මැඩගෙන ඉදිරියටම යාමේ අධිෂ්ඨානයක්, ප්‍රසන්න මනසක් ඇතිවන්නේය. ක්‍රියාවක ප්‍රතිඵලය ලබා තව තවත් සතුටු වීම, ධෛර්වත්වීම පරක්කම ධාතු නම් වේ.

දෛනික ජීවිතය දිරිමත්ව පවත්වා ගෙන ගියත් ජාති, ජරා, ව්‍යාධි, මරණ යන සාංසාරික දුක්වලින් නිදහස්වීමට එයින් නුපුළුවන් නිසා රාගාදී කෙලෙස් තවන වීර්ය අවශ්‍යවන අතර එයට අප්‍රමාදයත්, සංයමයත්, ඉන්ද්‍රිය දමනයත් අවශ්‍යම වේ.

සීලෙ පතිට්ඨාය නරෝසපඤෙඤා
චිත්තං පඤ්ඤංච භාවයං
ආතාපී නිපකො භික්‍ඛු -
සොඉමං විජටයේ ජටං

සීලයත්, ප්‍රඥාවත්, ඉන්ද්‍රිය දමනයත්, අප්‍රමාදයත් එක්ව සංයුක්ත බලයක් වශයෙන් ඇති තැනැත්තා කාමොඝ, භවොඝ, දිට්ඨිඕඝ අවිජ්ජඕඝ යන මහා සිව් සැඩපහරින් සංසාර සාගරයට ඇදගෙන යන්නේ නැත. සතර දිගින් වසින මහාවරුසා ජලයෙන් දිරාගිය ගස් කොළං දර කෑලි පරඬලා ගෙන ගොස් ඇළ දොළට ද එයින් ගංඟාවලට ද මහ සයුරටද දමන්නා සේ මේ මහා සතර ඕඝ සැඩ පහරින් කෙලෙස් බර දුබල සත්වයන් සසර සයුරට ඇදගෙන ගොස් අතරමං කරන්නේ ය.

උපතේ පටන් මරණය දක්වා කරන ප්‍රධාන කාර්ය වන්නේ ඇස් කන් නාසාදී ඉඳුරන් පිනවීමෙන් ලබන රස වින්දනයයි. මොහොතක් පාසා බාධාවක් නොවනතාක් ඉන්ද්‍රිය ශක්තිය තිබෙනතුරු පංච කාම සම්පත්තියේ ඇලී ගැලී වාසය කරන සත්වයාට එහි සීමාවක්, තෘප්තියක් නොපෙනෙන්නේය. එයම ශක්තියක් කරගත් සත්වයා දෙවන පියවර වශයෙන් තවත් භවයක් පිළිබඳ අපේක්‍ෂාවක් ඇති කරගන්නේ ය.කාමභව, රූපභව, අරූපභව යන භවත්‍රයේම ආශාව ඇතිකර ගැනීම භවඕඝ නම් වන්නේ ය.

පෘථජ්ජන සත්වයා පවත්නා ජීවිත වින්දනයත් මතු අපේක්‍ෂා පිළිබඳ වින්දනයත්, ඒ නිසාම ආත්මවාදී දෙසැටක් මිථ්‍යා දෘෂ්ටි ඇති කරගන්නේ ය. දිට්ඨිගත සම්පයුක්ත චිත්තෝත්පාද සතරෙහි උපදින මෙම මිථ්‍යාදෘෂ්ටි සංකල්ප නිසා සංසාරයෙහි අපමණ කාලයක් විඤ්ඤාණඨිති සත්තාවාසයන්හි හැසිරෙමින් ජාති, ජරා, ව්‍යාධි, මරණා දී මහා දුක් සාගරයේ අතරක් නැතිව තෙරපෙන්නේ ය.

දුක්ඛාදී චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳ අනවබෝධය අවිජ්ජාඕඝ නම් වන අතර සියලු අකුසල චිත්තෝපාදයන්හිම උපදින්නේ ය. එමෙන්ම සංසාර පැවැත්මේ හේතුව වශයෙන්ද බුදුරජාණන් වහන්සේ විසින් පටිච්චසමුප්පාද ධර්මයේ දී හඳුන්වා දී ඇත.

කාමාදීඕඝ සතරින් සත්වයා අවහනාර්ථයෙන් හෙවත් ඇදගෙන ගොස් නිතර ගල්වා පියන අර්ථයෙන් ද නිරයාදී දුගතියට ප්‍රවාහනය කරන අර්ථයෙන් ද ඕඝ නම් වන්නේ ය. අවීචියෙහි පටන් භවාග්‍රය දක්වා පැතිර පවත්නා මහාරාශිභූත බැවින්ද මෙම සතර ඕඝනමින් සංලක්‍ෂණය වේ.

කය වචන මනාව පාලනය කිරීම සංඛ්‍යාත සංයමයත්, ඉන්ද්‍රිය දමනයත් අප්‍රමාදය හෙවත් සිහිය පිහිටුවාගැනීමත් උතුම් මානුෂික හැඟීම් පෝෂණයට මෙන්ම නිර්වාණගාමී ප්‍රතිපදාවට ද මහෝපකාරී වේ. සීලාදී ගුණ ධර්මවලින් පවිත්‍ර සන්තාන ඇති නැණවතා යෝනිසෝ මනසිකාරයෙන් නාමරූප ධර්මයන්ගේ යථාස්වභාවය හඳුනාගෙන විදසුන් නැණින් පසක්කර ගනී.

හුත්වා අභාවතො අනිච්චා
උදයබ්බය පීළනා පීළනා දුක්ඛා
අවසව තතිත්තා අනත්තා

මෙසේ දේශනා කළ බුද්ධ වචනය අනුව හේතු ප්‍රත්‍ය බලයෙන් ඇතිව නැතිවන බැවින් අනිත්‍යවශයෙන් ද යළි යළිත් පෙළෙන බැවින් දුක් වශයෙන්ද තමාගේ වසඟයට නොපවත්නා හෙයින් අනාත්ම වශයෙන්ද නාමරූප ධර්මයන් කෙරෙන් විරාගය නිරෝධය ඇතිවන්නේ නම් සතර ඕඝයෙන් ඇදගෙන යන්නේ නැත.

සමාජමය වශයෙන් නිතර ඇලී ගැලී සිටින්නා සමාජබලවේගයන්ගේ තැලී පොඩිවී යන්නේ ය. රාජභය, චෝරභය ආදී පීඩනයන්ගෙන් මානව ධර්ම විනාශ කරගන්නේ ය. එමෙන්ම භවාන්තර වශයෙන් සතර අපායාදී දුක් වේදනා සන්තාපයන්ට භාජන වන්නේ ය. මේ නිසා සතර සංවරසීලයෙන් පවිත්‍රචේතනාවක් සම්මා වායාමයෙන් ආරබ්ධ වීර්යත් සතර සතිපට්ඨානයෙන් පරිභාවිත සිහියත් නිවන් පසක් කරගැනීමට අවශ්‍ය වන්නේ ය.

අති දීර්ඝ සසර ගමනේ දී ලබා ගත් මෙම මනුකයෙන් මතු සසර ගමනට හෝ ගමන නවත්වන්ට හෝ අර්ථයක් හෝ සාධනීය ක්‍රියාවක් චින්තනයක් ඉතිරියක් කර නොගතහොත් යළි මනුකයක් නොලැබෙන්නේ ය.

සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙම උතුම් ධර්මය දේශනා කළේ මිනිසාට මිනිස් චින්තනයෙන් සිතා නිර්මාණාත්මකව ක්‍රියාකොට පුද්ගලයා දියුණු වී සමාජය දියුණු කිරිම සඳහාය. එහෙත් ක්‍රමයෙන් මිනිසා අභූත දෙවියන්, යකුන් ආදීන් කෙරෙහි විශ්වාසය තබා හීනදීනව කිසිම නිර්මාණයක් නොමැතිව පුද්ගලාන්තර සම්පත් ගැටුමට සූදානම් වීම මතු මානව සමාජයේ විනාශයකට හේතු වේ.

බුද්ධිමත් උත්සාහය නිර්මාණ කුසලතාවයේ පදනමයි. එය සාධාරණ ලෝකයේ ජයග්‍රාහී සලකුණ වන අතර නිර්වාණ ගාමී ප්‍රතිපදාවටද එයම මූලාධාර වන නිසා “උට්ඨානවතො සතිමතො” ආදී නයින් දේශනා කොට ඇත. මිනිසා පරිසරයෙන් ලබා ගන්නා ආශ්වාදය පුණ්‍යචේතනාවකට හෝ කුසලයකට හෝ නිර්මාණාත්මකව පරිවර්තනය කරගන්නේ නම් ඔහු කුමන හෝ නිර්මාණශීලී තැනැත්තෙක් වන්නේ ය. එසේ නොවේ නම් පුද්ගලයෙකු වශයෙන් මහ පොළවට බරක් වී සමාජ ණයගැතියෙක් වී ජීවිතාවසනයෙන් උපනුපන් ආත්මවලදී ගුණ දහමින් හිස් වන්නේ ය.

පින්වත්නි,

ඔබ සෑම දෙනාම උත්සාහය, අප්‍රමාදය, සංයමය දමනය යන උතුම් ගුණාංග ක්‍රියාත්මක කොට මෙලොව පරලොව යහපත හා භවාන්තරයේ සැපදුක් කෙළවර කොට ඇති උතුම් අමාමහ නිවන් සම්පත් ලබාගැනීමට උත්සාහ ගන්න.

ඔබ සැමට තෙරුවන් සරණයි

වප් අව අටවක පෝය

වප් අව අටවක පෝය ඔක්තෝබර් 30 වන දා සෙනසුරාදා පූර්ව භාග 07.03 ට ලබයි. 31 වන දා ඉරිදා පූර්ව භාග 05.22 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 30 වන දා සෙනසුරාදා ය.

මී ළඟ පෝය
නොවැම්බර් 05 වන දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 30

New Moonඅමාවක

නොවැම්බර් 05

First Quarterපුර අටවක

නොවැම්බර් 13

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 21

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]