UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටින සමයෙහි සැවැත් නුවර ජේතවනාරාමයට විවිධ ප්‍රදේශවලින් පැමිණෙන උපාසක උපාසිකාවන් නිසා මහත් වූ සිරියාවකින් නිතරම බැබළෙන්නට විය.

බොහෝ විසිතුරු බවකින් යුක්ත සැවැත්නුවර ඒ හැම අලංකාරයටම වඩා සැදැහැවතුන්ට මනරම් දර්ශනයක් වූයේ සන්සුන් ඉරියව්වලින් යුත් උපාසක උපාසිකාවන් විසින් කරනු ලබන පුද පූජාවෝ ය. ඔවුන් අතර සමහර කෙනෙක් දන් සඳහා මිහිරි ආහාර, රස කැවිලි ආදිය රැගෙන පෙරවරුවෙහි කරන ලද පුද පෙළහරද පවත්වති. සමහර කෙනෙක් මල් පහන් ආදිය රැගෙන පස්වරු කාලයෙහි පෙරහර පවත්වති. සමහර කෙනෙක් අටසිල් සමාදන්ව පිළිවෙත් පුරති. සමහර කෙනෙක් පන්සිල් සමාදන්ව සුචරිතවත් ජීවිතයක් ගත කරති.

දවසක් ඔවුන් අතර විවාදයක් පැන නැගුණි. ඔවුහු එකිනෙකා අප කරන ආකාරය ඉතා හොඳ යැයි විවාදයට පෙළඹුණ අතර විවාදය නොසන්සිඳුණි. ඔවුහු බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණ සිය විවාදයට හේතු ප්‍රකාශ කළහ.

බුදුරජාණන් වහන්සේ ඒ විවාදය සංසිඳුවා ඒ ශික්‍ෂාපද පහම මැනවින් රැකිය යුතු බව දේශනා කර ඒ නිමිතිකොට “ යම් මිනිසෙක් පස්පවෙහි නැවත නැවත යෙදේ නම් ඒ තැනැත්තා තමාගේ දියුණුවේ මඟ සාරා උදුරා දමන බව පවසා ලෝභ, දෝෂ, මෝහ යන අකුසලයන් තම තමන්ව බොහෝ කලක් දුකට පමුණුවනවායැයි දක්වා ධර්මය දේශනා කළ අතර එහිදී පන්සියයක් පමණ පිරිස සෝවාන්ඵල පිහිටියෙ ය.

බුදුදහමින් අනුමතව ඇති පංචශීලය විමර්ශනයට ලක් කිරීමේදී එහි ඇති අත්‍යුත්තම සදාචාරාත්මක අගය ඉහත සඳහන් කරුණුවලින් මැනවින් ප්‍රකට වනු ඇත.

සත්ත්ව ඝාතනයෙන් වැළකීම පංචශීලයෙහි ප්‍රථම ශික්‍ෂාපදයයි. මෙම ශික්‍ෂාපදයට අනුව තමන් විසින්ම හෝ විධානයකින් හෝ සත්ව ඝාතනයෙන් වැළකීම පමණක් නොව කවර විධියක ප්‍රාණියෙකුට හෝ කිසිම අයුරකින් හිංසා පීඩා ආදිය කිරීම සාවද්‍ය බව දැක්වේ. බෞද්ධ භික්‍ෂූන් වහන්සේ වර්ෂා කාලයෙහි චාරිකාවක නොයෙදී ආරාමික ජීවිතයම ගත කරන්නේ වර්ෂා සමයෙහි ඇතිවන විවිධ ප්‍රාණීන්ගේ ඝාතනයන් වැළකෙනු පිණිසයි. බ්‍රාහ්මණයන්ගේ පශු ඝාතනයෙන් කෙරෙන යාග හෝමාදියට බුදුසමය මඟින් විරෝධය නැගුණේ ඉන් කෙරෙන ප්‍රාණී හිංසාව නිසාය. විනෝදය සඳහා වුවද සත්ව ඝාතනයෙහි ඇති අමනොඥ බව දඩකෙළිය තහනම්ව තිබීමෙන් පැහැදිලි වේ. කවර කරුණක් නිසාවත් යුද්ධ කිරීම බුදු දහමින් අනුමත නොවෙයි.

අවිහිංසාව පදනම් කොට ගත් ප්‍රථම ශික්‍ෂාපදය ක්‍රමයෙන් හින්දුන්ගේද ධර්මයක් විය. සත්ව හිංසාවෙන් වෙන්වීම පිළිබඳ ඉතා දැඩි නීති රීති ඇත්තේ ජෛනයන්ය. යුදෙව්වරුන්ගේ දස පනතයෙහි නොමැරිය යුතු යැයි දැක්වෙන්නේ මනුෂ්‍ය ප්‍රජාව පමණකි.

නුදුන් දෙය ගැනීමෙන් වැළකීම පංචශීලයේ දෙවන ශික්‍ෂාපදයයි. නුදුන් දෙය ගැනීම පමණක් නොව, එබඳු දේට මං සැලසීමද එබඳු ක්‍රියාමාර්ග අනුමත කිරීමද අදින්නාදානයෙහිම ලා සැළකේ.

අයුක්ති සහගත වූද නීතිවිරෝධි වුද පරසන්තක දෙය පිළිගැනීම සොරකමක් සේම සැලකිය හැකිය. සමාජය හා පුද්ගලයා වෙනුවෙන්ද කෙනෙකුට කෙතරම් පරිත්‍යාගශීලි විය හැකිද යනු මේ ශික්‍ෂාපදය ආරක්‍ෂා කරන ක්‍රමය අනුව වටහාගත හැකි වෙයි. කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකීම පංචශීලයෙහි තෙවන ශික්‍ෂාපදයයි. වෛවාසික පේ‍්‍රම ජීවිතයේ පරිපූර්ණත්වයද, විකෘති කාමික වූද මානුෂික වූද සෞඛ්‍ය බෙහෙවින් සැලසි සුඛිත මුදිත ප්‍රජාවක් ඇතිවීමටද මේ ශික්‍ෂාපදය මහෝපකාරී වේ. විෂම කාමග්නියෙන් ආතුර වූ සමාජයකට ප්‍රබල චිකිත්සා ක්‍රමයක් ඉදිරිපත් වන්නේ තෙවන ශික්‍ෂාපදයෙනි.සිව්වන ශික්‍ෂාපදයෙන් සෑම ආකාරයකම බොරු කීමෙන් වැළකීමේ ඇති අවශ්‍යතාව පැහැදිලි වේ. අයුතු චෝදනා නැගීම වැරැදි ලෙස කරුණු විස්තර කිරීම,බොරු සාක්‍ෂි ඉදිරිපත් කිරීම ආදි සියල්ලම මේ ශික්‍ෂාපදයෙහිලා ම සංගෘහිත වේ. පුද්ගලික හිත සුව එළවන පරිදිම වචනය උපයෝගී කරගත යුතු බව මේ ශික්ෂාවෙන් අවධාරණයෙන්ම කියැවේ.

අන්‍යයන් මද්‍යපානයට යොමු නොකිරීමද වැනි ක්‍රියාමාර්ග කිසිවක් අනුමත නොකිරීම මෙයින් අදහස් කෙරේ. පුද්ගලික වශයෙන් මදයට පමාදයට බඳුන් නොවීමද සමාජයේ එවැනි ශික්‍ෂාපදයෙන් බලාපොරොත්තු වන පරමාර්ථ අතර වේ.

ලංකාවේ පවතිනා අමද්‍යප ව්‍යාපාරයද මේ ශික්‍ෂාපදය පදනම් කොටගෙන බිහි වී ඇත්තෙකි. මද්‍ය විරෝධි ව්‍යාපාරය පොදුවේ සමාජ ශාන්තියට හේතුවන බව කවුරුත් පාහේ අනුමත කරති. සීලය අපගේ අභ්‍යන්තර දියුණුව සඳහා මෙන්ම සමාජ සදාචාරය උදෙසා මහත්සේ උපකාරි වන බව ඉහත කරුණු අනුව සනාථ වන අතර පුද්ගල කායික හා වාචසික සදාචාරය අප තුළ ඇති කිරීමෙහිලා සමත් වේ.

වප් පුර පසළොස්වක පෝය

වප් පුර පසළොස්වක පෝය ඔක්තෝබර් 22 වන දා සිකුරාදා පූර්ව භාග 05.35 ට ලබයි.23 වන දා සෙනසුරාදා පූර්වභාග 07.07 දක්වා පෝය පවතී..සිල් සමාදන්වීම ඔක්තෝබර් 22 වන දා සිකුරාදා ය.
මීළඟ පෝය ඔක්තෝබර් 30 වන දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර්  22

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 30

New Moonඅමාවක

නොවැම්බර් 05

First Quarterපුර අටවක

නොවැම්බර් 13

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]