UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ප්‍රශ්නය-
මෙම පුවතින් කියවෙන බුද්ධකාලීන සම්මානනීය තැනැත්තා කවුද? එවිට බිම්සර මහරජු ඔහුට “ රාජ වෛද්‍ය යන සම්මානය පිරිනමා බුදු පාමොක් මහ සඟනටද , තමාටද උවටැන් කරන සේ නියම කොට හවුරුද්දකට ලක්‍ෂයක් ආදායම ලැබෙන ගම්වරක්ද රමණීය අඹ උයන ද මාලිගයක්ද තුටු පඬුරු කොට පිරිනැමීය.

පිළිතුර-
බිම්සර පුත් අභයරාජ කුමරු නිසා ‘සාලවතී’ නම් නගරශෝභිනියගේ පුත්‍රයා ජීවත්වේ. යන්න මුල්කොටගෙන ජීවක නම් විය. අභයරාජ කුමාරයා සිය මාළිගයෙහිම ඇති දැඩි කළ නිසා කොමාර භච්ච නම් විය.

ජීවක වෛද්‍ය ශාස්ත්‍රයෙහි කෙළ පැමිණ රජගහනුවර වාසය කළේය. ජීවකයෝ බරණැස් සිටු පුත්‍රයාගේ ආබාධයක් ද රජගහ නුවර සිටුහුගේ සත් හවුරුදු හිස රදය ද සුවපත් කොට රාජකීය වෙදැදුරෙක් විය.

ප්‍රශ්නය-
පෙල දහමට අනුව බෞද්ධ ජීවිතයක කළමනාකරණයෙහි වැදගත් අංගයනම් උපාය කුසලතාවයයි. වීමංසාය සමන්නාගතො යනුවෙන් සඳහන් වන්නේ එයයි. මෙම කුසලතාවය පිළිබඳව බෞද්ධයෙකු සැකසිය යුතුපිළිවෙත පැහැදිලි කරන්න.

පිළිතුර-
ධාන්‍ය, ධනය, යසස, කීර්තිය, සැපය, යන දෑ ගලා එන්නට හේතුවන ඉක්මණින්ම භෝග සම්පත් බහුල වීමට කරුණු හතරක් බුදු දහමෙහි සඳහන් වෙයි.

1. සුදුසු පෙදෙසක විසීම
(පතිරූප දෙස වාසො)

2 සත්පුරුෂ ආශ්‍රය
(සප්පුරිස සුපස්සයො)

3. තමා මනාව පිහිටුවා ගැනීම
(අත්ත සම්මා පණීධි)

4. පෙර කළ පින් ඇති බව
(පුබ්බෙච කත පුඤ්ඤතා )

ප්‍රශ්නය-
පංචිමා භික්ඛවෙ වණිජ්ජා උපාසකෙන අකරණීයා “ බෞද්ධයා (උපාසකේන) නො කටයුතු වෙළඳාම් පස මොනවාද?

පිළිතුර-
1.සත්ථ වණිජ්ජා හෙවත් අවි වෙළඳාම

2. සත්ත වණිජ්ජා හෙවත් සතුන් හෝ මිනිසුන් වෙළඳාම

3. මංස වණිජ්ජා හෙවත් මස් පිණිස සතුන් වෙළඳාම

4.මජ්ජ වණිජ්ජා හෙවත් මත්පැන් සහ මත්ද්‍රව්‍ය වෙළඳාම

5. විස වණිජ්ජා හෙවත් විස වෙළඳාම

ප්‍රශ්නය-
ධර්ම ග්‍රන්ථයන්හි (ද්වෙ ධම්මා) යනුවෙන් භව දිට්ඨි විභව දිට්ඨි “ යනුවෙන් මරණින් මතු පැවැත්ම පිළිබඳව සඳහනක් වෙයි. පැහැදිලි කරන්න.

පිළිතුර-
මරණින් මතු පැවැත්ම පිළිබඳව පැරැණි දඹදිව දාර්ශනිකයන් එල්බගත් මත වාද දෙකක් වෙයි. සදාකාලික ආත්මයක් පිළිබඳව පිළිගත් පිරිස භව දෘෂ්ඨිවාදින් වශයෙන්ද “චාර්වාක” වැනි අන්ත භෞතික වාදීන් මරණින් මතු පැවැත්මක් පිළිනොගන්නා අය “ විභව දෘෂ්ඨවාදීන් වශයෙන් සලකා ඇත.

ප්‍රශ්නය-
සචෙතනික ක්‍රියා (චෙතනා සහිත) එම ක්‍රියාවලට මුල්වන (නිධාන) අනුව බෙදීමක් සිදුවෙයි. පැහැදිලි කරන්න.

පිළිතුර-
සචෙතනික ක්‍රියා එම ක්‍රියාවලට මුල් වන චේතනා අනුව, කුසල හා අකුසල වශයෙන් දෙවැදෑරුම් වෙයි.මෙම වෙන්කිරීම සඳහා කම්ම නිධාන හෙවත් මුල් තුනක් ධර්මයෙහි සඳහන් වෙයි.මෙහිදී කුසල පක්ෂයට අලෝභ, අදෝස, අමෝහ යන චෛතසික යන්ද අකුසල පක්‍ෂයට ලෝභ, දෝස, මෝහ යන චෛතසික යන්ද මූලික වෙයි.

ප්‍රශ්නය-
බෞද්ධ පිළිවෙතට අනුව ගිහි හෝ පැවිදි පුද්ගලයෙකු යහමග තෝරා ගැනීම සඳහා (සම්‍යග්මාර්ග) සංකල්පනා ත්‍රයක් පෙල දහමෙහි සඳහන් වෙයි. පැහැදිලි කරන්න.

පිළිතුර-
සංකල්පනා තුනකි. එනම්

1. අත්තාධි පතෙය්‍ය
2. ලොකාධි පතෙය්‍ය
3. ධම්මාධි පතෙය්‍ය

අත්තාධි පතෙය්‍ය ක්‍රමයෙහිදී තමා මුල් කරගෙන සිත සදාචාර යෙහි පිහිටුවීම සිදුවෙයි. ලොකාධිපතෙය්‍ය ක්‍රමවේදයට අනුව ලෝකාපවාදයට යොමුවන ක්‍රියාවලින් වැළකී ආත්ම දමනයෙන් පධන් වීර්ය වඩා දිවිමග සරුකර ගැනීමයි. ධර්මයෙහි ස්වාක්ඛාතාදී ගුණ මෙනෙහි කරමින් ඒ අනුව දැහැමි සිතුවිලි වඩා ධර්මානුකූල පැවැත්මට නැඹුරු වීම ධම්මාධි පතෙය්‍ය නම් වෙයි.

ප්‍රශ්නය-
බුදුරජාණන් වහන්සේ පන්සාළිස් වසක් දේශනා කළ සමස්ත දේශනා සමුච්චය නියෝජනය වන්නේ පාලි ත්‍රිපිටකයෙහි ප්‍රථම සංගීතියෙහිදි එය එක්කොට සංග්‍රහ කරන ලදී. පාලි ත්‍රිපිටකය පිළිබඳව ඓතිහාසික තොරතුරු ඇතුලත්ව පැහැදිලි කිරීමක් කරන්න.

පිළිතුර-
භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පා වදාළ නමුත් උන්වහන්සේගේ දීර්ඝ හා ඵලදායි ලෝකාර්ථචර්යාව මගින් මානව වර්ගයා වෙත නො සඟවා දායාද කළ උතුම් වූ ශ්‍රී සද්ධර්මය අදද නිර්මලව පවතී.

බුද්ධ පරිනිර්වාණයෙන් තෙමසකට පසු අජාසත් රජුගේ රාජ්‍යෝදයෙන් අටවන වසරෙහිද ධර්මයෙහි පිරිසුදු බව උදෙසා රජගහ නුවර ධර්ම සංගායනාවක් පවත්වන ලදී. පිවිතුරු බුද්ධ දේශනාව වියවුලකින් විනාශ නොවී පවත්වාගෙන යාම සඳහා නැවතද බුද්ධ වර්ෂ 100 දී හා 236 දී රහතන් වහන්සේලාට සංගීති දෙකක් පවත්වන්නට සිදුවිය. ක්‍රි.පූර්ව 83 දී පමණ දැහැමි සිංහල නරේන්ද්‍රයෙකු වූ වට්ටගාමිණී අභය (වළගම්බා) රාජ සමයේ මාතලේ අලු විහාරයෙහි දී සංගායනාවක් පවත්වන ලද අතර බෞද්ධ ඉතිහාසයේ ප්‍රථම වරට ත්‍රිපිටක ගන්ථාරූඪ කරන ලදී.

ත්‍රිපිටක යන වචනයේ තේරුම් මංජුසාතුන යන්නයි (පාලියෙන් ත්‍රිපිටක ) මංජුසා පෙට්ටිය කූඩය , මල්ල) පිටක තුන නම් විනය පිටකය (පැවිදි ජීවිතයට අදාළ නීති රීති ඇතුළත් සංග්‍රහය) සූත්‍ර පිටකය (බුද්ධදේශනා එක්කළ සංග්‍රහය හා අභිධර්ම පිටකය (ගැඹුරු දේශනා ඇතුලත් සංග්‍රහය වේ)

ප්‍රශ්නය -
“වාණ “ නම් වූ තෘෂ්ණාවෙන් වෙන්වීම ඉවත්වීම යන අර්ථයෙන් එයට “ නිබ්බාණ” යැයි කියනු ලැබේ. පැහැදිලි කරන්න.

පිළිතුර -
නිබ්බාණ යන පාලි වචනය සිංහල හා සංස්කෘත භාෂාවෙන් නිර්වාණ යන්න භාවිත වී තිබේ. වචනය සකස් වී ඇත්තේ “නි” පූර්ව “ වාණ “ යන්නෙනි. “නි” යන නිෂේධනාරර්ථයේ (වැළැක්වීම ) උපසර්ග පදයකි. “ වාණ “ යන්නෙහි අර්ථය ගෙතීම හෙවත් තෘෂ්ණාව යන්නයි. මෙම තෘෂ්ණාව එක් ජන්මයක් හා තවත් ජන්මයක් අතර බන්ධනයක් සේ ක්‍රියා කරයි. “ වාණ නම් වූ තෘෂ්ණාවෙන් වෙන්වීම “ ඉවත්වීම යන අර්ථයෙන් එයට නිබ්බාණ යැයි කියනු ලැබේ.

තෘෂ්ණාවෙන් අප බැඳි සිටිනතාක් කල් නවකර්ම රැස්වන අතර ජාති මරණ සංසාරයෙහි කවර අවස්ථාවක් වුවද ඒවා විපාක දිය යුතුය. සියලු ආකාරයේ තෘෂ්ණාවෙන් වෙන් වූ විට කර්ම ශක්තිය ක්‍රියාත්මකවීම නැවතී ජාති ජරා මරණාදියෙන් මිදී නිර්වාණය සාධනය වෙයි. විමුක්තිය පිළිබඳ බෞද්ධ සංකල්පය හුදෙක් පාපයෙන් හා අපායෙන් මිදීම නොව නිරතුරුව ක්‍රියාත්මක වන සංසාර චක්‍රයෙන් මිදීමය.

බිනර අමාවක පෝය

බිනර අමාවක පෝය ඔක්තෝබර් 07 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 3.50 ට ලබයි.
8 වනදා සිකුරාදා පූර්ව භාග 00.14 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 7 වනදා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය ඔක්තෝබර් 14
වනදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ඔක්තෝබර් 07

First Quarterපුර අටවක

ඔක්තෝබර් 14

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර්  22

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 30


2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]