UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පුරාවිද්‍යා ස්මාරකයක් වූ මහරගම ශ්‍රී විපෂ්‍යාරාමය


නව බුදු මැදුරේ බුද්ධ ප්‍රතිමා වහන්සේ

1818 වසරේදී වෙල්ලස්ස කැරැල්ලේ නායකත්වය ගත්තේ මොණරවිල කැප්පෙටිපොළ මහාධිකාරම් තුමා විසිනි. ඔහු යටතේ සටන් වැදි කැරලි නායකයකු ව සිට පසුව මහණ දිවියට සපැමිණි බෝගොඩ විපස්සි නම් භික්‍ෂූන් වහන්සේ මහරගම ශ්‍රී විපෂ්‍යාරාමය පුරාණ විහාරය එම ආසන්න කාලයේදී ඉදි කළ බව කියැවෙයි.


පැරැණි බුද්ධ ප්‍රතිමා වහන්සේ

මේ අප සඳහන් කරන මහරගම ප්‍රදේශය කෝට්ටේ රාජධානිය සමයේ සශ්‍රීක වූ ප්‍රදේශයකි. ඒ බවට සාක්‍ෂි දරන බොරලැස්ගමුව වැව ඉදිව ඇත්තේ මෙම පුණ්‍ය භූමියට ආසන්නයේ වූ සැතපුමක් පමණ දුරකය.

වැව ඉදිකළ නරපතියකු හෝ ඇමැතිවරයකු විසින් මෙම විහාරයට සම්බන්ධ යම් ඉදිකිරීමක් සිදු කළ බවට මතයක් පවතී. කෙසේ හෝ බෝගොඩ විපස්සි හිමි ප්‍රධාන වශයෙන් මෙම විහාර කර්මාන්තයට මූලික විය.

ඒ නාමයට ගෞරවයක් වශයෙන් අද මෙම විහාරස්ථානය නම් කර ඇත්තේ ශ්‍රී විපශ්‍යාරාමය නමිනි. මෙය ප්‍රදේශයේ ජනතාව අතර පුවක්පිටිය පන්සල ලෙසද ප්‍රකටව පවතියි.

බෝගොඩ විපස්සි හිමියන් ත්‍රිපිටක ධර්මය පිළිබඳ වියතකු ලෙස ප්‍රකටය. එසේම උන් වහන්සේ ඡ්‍යොතිශ් ශාස්ත්‍රය පිළිබඳවද ප්‍රාමාණික වියතෙක්ද වූහ.

ඒ නිසාම උන් වහන්සේගේ යුගයේදී ඉදි කළ බුදු මැදුරේ ලග්න, තිථි, කරණ, හෝරා ආදී ඡ්‍යොතිෂයට සම්බන්ධ සිතුවමින් අලංකාරවී තිබීම විශේෂයකි. එසේ සිතුවම් කර ඇති ඡ්‍යොතිෂ්‍යයට සම්බන්ධ සිතුවම් බුදු මැදුරකදි දැකිය හැකි ඉතා දුර්ලභ ගනයේ දසුනක් මෙම බුදුමැදුර පුරා විද්‍යා ස්මාරකයක් වශයෙන් නම් කර තිබේ.

මෙම විහාර මන්දිරය කොටස් දෙකකින් සමන්විත වේ. පිට අංගනයේ සිට ඇතුල් ගර්භයට පිවිසෙන ස්ථානයේ ඇති මකර තොරණ ඉපැරැණි සම්ප්‍රදාය සිහිගන්වන දැකුම්කලු නිර්මාණයකි. දෙපස බිත්ති මත කතරගම , නාථ, දේව ප්‍රතිම අඹා ඇත. ඉන් ඇතුල් වූ පසු සමන් හා විෂ්ණු ප්‍රතිමා ද ප්‍රධාන බිත්තිය ඉදිරියේ සම ප්‍රමාණයෙන් විශාල ලෙස හිඳි පිළිම වහන්සේ තෙනමක්ද නෙළා ඇත. ඒ දෙපස හිටි පිළිම වහන්සේ දෙනමකි. පැති බිත්ති මත රහතන් වහන්සේ, සහිත සංඝ රත්නයෙන් අලංකාර වී තිබේ.


චෛත්‍යයේ දසුනක්

සත් සතිය, දහම් සොඬ ජාතකය, සස ජාතකය ආදී සිතුවමින් විහාර බිත්ති වර්ණවත් වී තිබේ. මේ සියල්ල නුවර යුගයේ කලා සම්ප්‍රදායට සමීප බවක් දක්වයි. විශේෂයෙන් පිළිම සහ සිතුවම් අඹා ඇඳ ඇති ආකාරය ප්‍රශස්ත මට්ටමක පවතී. එය බුදු මැදුරේ අලංකාරයට මහඟු පිටිවහලකි.

එතරම් ආකර්ෂණය වුවද දුර්ලභ සිතුවම් ආදියෙන් පිරිපුන් වුවද බුදු මැදුරේ වර්තමාන තත්ත්වය දකින විට හිතට දැනෙන්නේ කනගාටුවකි. ඇතුළත බිත්ති බොහොමයක් ඉරිතලා පුපුරා ගොස් ඇත. වටිනා සිතුවම් සහිත සිවිලිමේ ලෑලි සමහරක් දිරාපත්ව ඇත. තවත් සමහරක් කැඩී තිබේ. පිවිසුම් මකර තොරණේ තැන තැන පළුදු වී ගොසිනි. ඉතා පැරණි කලා ආකෘතියකින් හෙබි සිංහ රූප කැඩී බිඳී තිබේ.

මෙයින් කොටසක් පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රතිසංස්කරණය කර ඇතත් වැඩි කොටස තවම පවතින්නේ අවදානම් තත්වයකය. වහ වහා ක්‍රියාත්මක වී මෙවන් වටිනා පුරාවිද්‍යා ස්මාරක සුරක්‍ෂා කිරීම අදාළ බලධරයන් ගේ දැඩි වගකීමක්ව පවතී.

මෙම පින් බිම අලංකාර කරනා චෛත්‍ය මිහින්තලයේ ඇති ඓතිහාසික කණ්ඨක චෛත්‍යයේ ආකෘතියට සාදා තිබේ. සතර දිශාවට ඇති වාහල්කඩ සමඟින් මළුව වටා ඇති සාංචි විහාරයේ වාහල්කඩ අනුව කරවා ඇති ප්‍රාකාරයද සිත් බැඳ ගන්නා නිර්මාණයකි. මෙහි රෝපිත බෝධීන් වහන්සේද සියවස් ගණනක් පැරැණි වේ.

සතර දිසාවටම දොරටු සහිත විශාල ධර්ම ශාලාවද පැරණි ගෘහ නිර්මාණ ශිල්පය අනුව ඉදිවී තිබේ.


විනාශ වෙමින් පවතින අනගි ප්‍රතිමා

විහාරස්ථානයේ මූලාරම්භක බෝගොඩ විපස්සී හිමියන් ගෙන් පැවැත එන සඟ පරපුර දෙපානම ධම්මදස්සී, අරැව්වල සුමනජෝති , බ්‍රාහ්මණගම මංගල, කුඩිරුප්පුවේ රේවත, ආදි විහාරාධිපතීන් වහන්සේලාගෙන් ශොභාවත් වූහ. අද විහාරස්ථානයේ විහාරාධිපතිත්වය උසුලන්නේ ශ්‍රී ලංකා සියම් මහා නිකායේ කැලණි පාර්ශ්වයේ අනුනායක ශාස්ත්‍රපති බ්‍රාහ්මණගම රතනසිරි නාහිමියන් ය.

මහරගම විද්‍යාකර විද්‍යාලය මූලාරම්භය සිදුවන්නේද මෙම විහාරස්ථානය මුල්කර ගනිමිනි. විද්‍යාලය සෑදීමට පන්සල් වත්තෙන් අක්කර 1/2 ක් පමණ දන් දීම සමාජය වෙනුවෙන් කළ මහා පරිත්‍යාගයකි.


දුර්ලභ ගණයේ සිතුවම් විනාශ මුඛයේ ප්‍රතිසංස්කරණය කළ යුතු පැරැණි සිංහ ප්‍රතිමාවක්

වත්මන් විහාරාධිපති රතනසිරි නා හිමියන් විහාරස්ථානයේ උන්නතිය වෙනුවෙන් සුවිශාල මෙහෙයක් කර තිබේ. 2009 වසරේදී විවෘත වූ නව බුදු මැදුර දර්ශනීය ආකාරයට ගොඩනංවා ඇත. ඒ තුළ වන 18 රියන් සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ අකුරැස්ස ලැන්ටින් නම් ප්‍රකට මූර්ති ශිල්පියාගේ නිර්මාණය කි. මනා අංග ලක්‍ෂණ සහිත මෙම පිළිම වහන්සේ ඉතා ආකර්ෂණීය වේ. අලි ඇතුන් සහිත සියලු සංස්කෘතික ලක්‍ෂණයන්ගෙන් අලංකාරවන දශක ගණනාවක් තිස්සේ විහාරස්ථානය මගින් පවත්වාගෙන එනු ලබන ඇසළ මහා පෙරහර විශේෂ උත්සවයකි.

පැරණි පුරා විද්‍යා ස්මාරකයක් ලෙසින් නම් වී ඇති නිසාම විහාරස්ථානය ඓතිහාසික වශයෙන්ද අමිල වටිනාකමකට පත්වී තිබේ. නූතන ඉදිකිරීම්ද ඉතා ක්‍රමවත්ව අලංකාරවත්ව සකසා ඇති නිසා සමස්ත පුද බිමම පිරිපුන් විහාරයක් බවට පත්ව ඇත. පුරාණ, නූතන වටිනාකම් සියල්ල නිසා සොභාවත් වී ඇති ශ්‍රී විපෂ්‍යාරාමය පුරාණ විහාරය අපගේ සංස්කෘතික ආගමික උරුමයක්සේ සුරැකීම කාගෙ කාගෙත ් යුතුකමක ් වගකීමක්ව පවතී.

 

 

 

 

බිනර පුර අටවක පෝය

බිනර පුර අටවක පෝය සැප්තැම්බර් මස 14 වන දා අඟහරුවාදා අපරභාග 11.10 ට ලබයි.
15 වන දා බදාදා අපර භාග 11.42 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 15 වන දා බදාදා ය.

මීළඟ පෝය සැප්තැම්බර් 22 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 15

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 22

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 01

New Moonඅමාවක

ඔක්තෝබර් 07

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]