අප විසින් රැස් කර ගන්නා පින හේතුවෙන් දෙව් මිනිස් දෙගතියෙහි සැප ලැබිය
හැකි ය. නමුත් සතර අපායට වැටීමේ අනතුර ඉවත් වී නැත. මේ නිසා උතුම් බුදු
සසුනක් තුළ අප වඩාත් උත්සාහ ගත යුත්තේ සතර අපායට වැටෙන ස්වභාවය ඉක්මවා
ගිය ආර්ය ශ්‍රාවකයෙකු බවට පත්වීමයි.
පොතුහැර
විපස්සී හිමි
සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකය දකින්නේ සාමාන්‍ය පුද්ගලයකු ලෝකය දකින
ආකාරයට නොවේ. එයට වඩා මුළුමනින්ම වෙනස් ආකාරයටයි. එය උන්වහන්සේගේ
ලෝකවිදූ ගුණයයි. බුදුරජාණන් වහන්සේ ලෝකයේ පහළ වන අවධියේ, මිනිස්
ප්‍රජාව තම තමන් කරන රැකියාව අනුව ප්‍රධාන කොටස් හතරකට බෙදා හඳුන්වනු
ලැබුණා. යාග හෝම කිරීම, වේද, මන්ත්‍ර සජ්ඣායනය ආදිය ජීවිකා වෘත්තිය
කරගත් පිරිස ‘බ්‍රාහ්මණ’ නමින් හඳුන්වනු ලැබුවා. රාජ්‍ය පාලනය අයත්
වූයේ ‘ක්‍ෂත්‍රීය’ පිරිසටයි.
වෙළඳාම ගොවිතැන ‘වෛශ්‍ය’ පිරිසේ ජීවිකා වෘත්තියයි. අනෙකුත් හීන යැයි
සලකන ලද වෘත්තීන් හි නිරත වූ පිරිස ‘ශුද්‍රයන්’ ලෙස හඳුන්වනු ලැබුවා.
සම්බුදුරජාණන් වහන්සේ ද විවිධ අවස්ථාවල ලෝකයේ පුද්ගලයන් විවිධාකාර ලෙස
කොටස් කර දැක් වූ සේක.
බුදුරජාණන් වහන්සේ බොහෝ විට පුද්ගලයන් කොටස් කර බෙදා දැක්වූයේ, ධර්මයේ,
හැසිරෙන ආකාරයට අනුව යි. ධර්මයේ හැසිරෙමින් නිවන් අවබෝධය පිණිස උත්සාහ
කරන පිරිස, වේගයෙන් ගලන සැඩ පහරක ඉහළට පිහිනන ‘පටිසෝතගාමී’ පුද්ගලයන්
ලෙසත් ධර්මයෙන් බැහැරව ගමන් කරන පිරිස ‘අනුසෝතගාමී’ පුද්ගලයන් ලෙසත්
බෙදා දැක් වූ සේක.
තවත් අයුරකින් ලෝකයේ පුද්ගලයන් ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයන් හා
අශ්‍රැතවත් පෘථග්ජනයන් ලෙස ප්‍රධාන කොටස් දෙකකට බෙදා දැක් වූ සේක.
භාග්‍යවතුන් වහන්සේගේ මේ බෙදා දැක්වීමට අනුව ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා
යනු කවරුදැයි සූත්‍ර දේශනාවන්ට අනුව නිවැරැදිව හඳුනා ගැනීමට උත්සාහ
කරමු. මෙහිදී සංයුක්ත නිකායට අයත් පඨම අර්ය සාවක සූත්‍රය ඉතා වැදගත්
වේ.
ඒ සූත්‍ර දේශනාවට අනුව ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා හට හේතු, ඵල දහම
පිළිබඳව තමා තුළින් ලත් අවබෝධයක් ඇත. එය බුදුරජාණන් වහන්සේ මේ අයුරින්
පැහැදිලි කර දෙන සේක. ‘මහණෙනි, ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා හට කුමක් ඇති
කල්හි මෙය වන්නේ ද? (කිස්මිං සති කිං හෝති) කුමක් ඉපදුන කල්හි මෙය
උපදීද? (කිංසු උප්පාදා කිං උප්පජ්ජති) යනුවෙන් හේතු - ඵල දහම පිළිබඳව
සැකයක් ඇති නොවේ. එනම් අවිද්‍යාව ඇති කල්හි සංස්කාර ඇත, අවිද්‍යාව
ඉපදුන කල්හි සංස්කාර උපදී, ආදී වශයෙන් හේතු - ඵල දහමට අයත් ‘පටිච්ච
සමුප්පන්න’ ධර්මයන්ගේ මනා සම්බන්ධතාව අවබෝධ කොට ඇත. භාග්‍යවතුන් වහන්සේ
‘ආර්ය න්‍යාය’ වශයෙන් දේශනා කොට වදාළ මේ හේතු - ඵල දහම පිළිබඳව තමා
තුළින් ලත් අවබෝධයක් ඔහුට ඇත. (අපර පච්චයා ඤාණ මේවෙත්‍ථ හෝති ) එම
සූත්‍ර ෙද්ශනාවේ අවසානයට දැක්වෙන පරිදි මේ අවබෝධය ඇති පුද්ගලයා
හඳුන්වනු ලබන්නේ ‘දිට්ඨි සම්පන්න’ පුද්ගලයා හෙවත් ‘සෝතාපන්න’ පුද්ගලයා
ලෙසයි.
අංගුත්තර නිකායේ දුක නිපාතයේ ද මෙයට අදාළ සූත්‍ර දේශනාවක් හමුවේ. එම
සූත්‍ර දේශනාවේ දැක්වෙන පරිදි ලෝකයේ පුද්ගලයන්, ආර්ය පිරිස හා අනාර්ය
පිරිස ලෙස කොටස් දෙකකි. එයින් ආර්ය පිරිසට දුක පිළිබඳව තමාගේ ම
අවබෝධයක් ඇත. (ඉදං දුක්ඛන්ති යථාභූතං පජානාති) දුක හටගන්නා ආකාරය
පිළිබඳව තමාගේම අවබෝධයක් ඇත. (ඉදං දුක්ඛ සමුදයෝති යථාභූතං පජානාති) දුක
නිරුද්ධ වීම පිළිබඳ ව ද තමාගේම අවබෝධයක් ඇත. එසේම දුක නිරුද්ධ වන
වැඩපිළිවෙළ වන ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබඳව ද තමා තුළින් ලත්
අවබෝධයක් ඇත. (ඉදං දුක්ඛ නිරෝධ ගාමිණි පටිපදාති යථා භූතං පජානාති)
කෙටියෙන් දක්වතොත් චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳව තමාගේම අවබෝධයක් ඇති
පුද්ගලයන් ආර්ය පුද්ගලයන් ලෙස භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එවැනි
අවබෝධයක් නැති පිරිස අනාර්ය පිරිස ලෙස එම දේශනාවෙහි විස්තර වේ.
චතුරීර්ය සත්‍ය පිළිබඳ අවබෝධය යනු කියවීමෙන් හෝ ඇසීමෙන් ලබන දැනුම
නොවේ.
එය තමාගේ අත් දැකීමකි. අවබෝධයක් ඇති වීම පිණිස, ‘ශ්‍රද්ධා’
(විශ්වාසයෙන් යුතුව පිළිගැනීම) ‘රුචි’ (තමාගේ කැමැත්තට අනුව
පිළිගැනීමා’ ‘අනුස්සව‘ (ඇසීමෙන් පිළි ගැනීම) ‘ආකාර පරිවිතක්ක’ (කරුණු
ගලාගෙන පිළිගැනීම) ‘දිට්ඨි නිජ්ඣානක්ඛන්ති’ (දෘෂ්ටිමය ලෙස වටහා ගැනීම)
යන අවස්ථා ඉක්මවා යා යුතු බව ‘චංකි’ සූත්‍රයේ දී භාග්‍යවතුන් වහන්සේ
පෙන්වා වදාළහ.ඇසීමෙන් හා කියවීමෙන් සීනි පැණි රසැති බව දැන ගත්තත්, ඒ
පැණි රස යනු කුමක්දැයි, අත්දැකීමක් වන්නේ සීනි ආහාරයට ගැනීමෙනි.
අවබෝධය ද එවැනි ම වූ තමාගේ අත්දැකීමකි.
කෙනෙකුට දුක පිළිබඳව තමා තුළින් ලත් අවබෝධයක් ඇති වන්නේ සත්‍ය ඥානයට
පැමිණි පසුවයි. සෑම මොහොතකම සකස් වෙමින් පවතින, අනිත්‍ය මත පදනම් වූ
දුකක් ඇති බව මූලික වශයෙන් අවබෝධ කර ගැනීම සත්‍ය ඥානයයි. දුක පිළිබඳව
කලකිරීම (නිබ්බිදා) ඇති වන්නේ ඒ අවබෝධයෙන් පසුවයි. එය ආර්ය අෂ්ටාංගික
මාර්ගය ප්‍රගුණ කිරීමෙන් ලැබිය යුතු ඵලයකි. සුතමය පඤ්ඤා, චින්තාමය
පඤ්ඤා, භාවනාමය පඤ්ඤා වශයෙන් ප්‍රඥාවෙහි ආකාර තුනක් භාග්‍යවතුන් වහන්සේ
පෙන්වා වදාළ සේක.
ඇසීමෙන් කියවීමෙන් ඇතිවන දැනුම සුතමය ප්‍රඥාවයි. ඇසූ කරුණු නැවත
සිතීමෙන් විමසා බැලීමෙන් තව දුරටත් වටහා ගැනීම චින්තාමය ප්‍රඥාවයි.
භාවනාමය ප්‍රඥාව යනු එම කරුණු එකඟ වූ සිතක් තුළින් තමාගේ අත්දැකීමක්
බවට පත්කර ගැනීමයි. මේ නිසා සිතීමෙන් විමසීමෙන් කරුණු වටහා ගැනීම
අවබෝධය නොව චින්තාමය ප්‍රඥාවයි.
බොහෝ විට වරදවා ගන්නා අනෙක් කරුණ නම්, කෙනෙකු තෙරුවන් සරණ ගිය පමණින්
ඔහු ආර්ය ශ්‍රාවකයෙකු වන බවයි.
තෙරුවන් සරණ ගිය පුද්ගලයා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකි. යම්
ශාස්තෘවරයෙකු දේශිත මාර්ගය අනුගමනය කරන අනුගාමික පිරිස හඳුන්වන්නේ
ශ්‍රාවකයන් වශයෙනි. නිගන්ථ නාථ පුත්‍රගේ අනුගාමික පිරිස හැඳින්වූයේ
නිගන්ථ ශ්‍රාවක යන නමිනි. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක වූ තෙරුවන් සරණ
ගිය පුද්ගලයා උපාසක නමින් ද හැඳින්වේ.
ඒ පුද්ගලයා තව දුරටත් ආර්ය අෂ්ටාංගික මාර්ගය ප්‍රගුණ කිරීමෙන්, දුක
පිළිබඳ සත්‍ය ඥානයට පැමිණ ආරිය ශ්‍රාවකයෙකු බවට පත් වේ. බුදුරජාණන්
වහන්සේගේ කාලයේ නම්, යම් කෙනෙකු තෙරුවන් සරණ යන්නේ ධර්මය ඇසීමෙන් පසු
සිත පහදවා ගැනීමෙනි. සමහර විට ඒ පුද්ගලයා තෙරුවන් සරණ යන විට මාර්ග ඵල
අවබෝධයට පත් ආර්ය ශ්‍රාවකයෙකු විය හැකිය.
බුදුරජාණන් වහන්සේ ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා හඳුන්වා දෙන ආකාරය විමසා
බැලීම මෙහි දී වැදගත් වේ. ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා ආර්ය දර්ශනයෙන්
යුක්ත වේ.
(අර්යානං දස්සාවී) ඔහුට ආර්ය දර්ශනයක් ඇති නිසාම දක්‍ෂ ලෙස ආර්ය ධර්මය
තුළ කටයුතු කරයි. (අරිය ධම්මස්ස කෝවිදෝ) නියම අයුරින් ආරිය විනය තුළ
හික්මෙන අයෙක් වේ (අර්ය ධම්මේ සුවිනීතෝ) ඔහු සත්පුරුෂ භූමියට පැමිණි
සත්පුරුෂ දර්ශනයෙන් යුතු අයෙක් වේ. දක්‍ෂ ලෙස සත්පුරුෂ ධර්මයෙහි
හැසිරේ. ස්ත්‍රී පුරුෂ ධර්මය ලෙස මනා කොට හික්මේ. මේ උතුම් ලක්‍ෂණ
පිහිටා ඇත්තේ ආර්ය මාර්ගය තුළින් ප්‍රඥාව උපදවා ගත් උතුමන්ට පමණි.
මෙහිදී සෝතාපන්න මාර්ගයේ සිටින සද්ධානුසාරී, ධම්මානුසාරී පුද්ගලයන්
දෙදෙනා පිළිබඳව ද යමක් සඳහන් කළ යුතු ය.
සංයුත්ත නිකාය ‘ඔක්කන්ති සංයුත්තයේ’ දී, බුදුරජාණන් වහන්සේ සද්ධානුසාරී
පුද්ගලයා හඳුන්වාදෙනු ලබන්නේ, අනිත්‍ය ධර්මතාව පිළිබඳව ස්ථිර ලෙසටම
සද්ධාව පිහිටුවා ගත් අයෙකු ලෙසයි.
(සද්දහති අධිචුච්චති) ධම්මානුසාරී පුද්ගලයා ඒ අනිත්‍ය ධර්මතාව
ප්‍රඥාවෙන් වටහා ගනී. ඒ නිසා අනිත්‍ය ධර්මතාවය නුවණින් විමසීමෙන් තොරව
මේ තත්ත්වයට පත්විය නොහැක. මේ දෙදෙනා ම පෘථග්ජන භූමිය ඉක්මවා ගිය, ආර්ය
මාර්ගයට බැසගත් පුද්ගලයන් ලෙස දේශනා කළ සේක. එමෙන්ම ඔවුන් සතර අපායට
වැටෙන ආකාරයේ කර්ම කිරීමට අභව්‍ය බව දේශනා කළ සේක.
යමෙක් මේ අනිත්‍ය ධර්මතාව ඒ අයුරින් ම අවබෝධ කළේ නම් ඔහු නියත වශයෙන්ම
නිවන් අවබෝධ කරන සතර අපායෙන් මුළුමනින්ම නිදහස් වූ කෙනෙකු ලෙස දේශනා කළ
සේක. කෙනෙකු මුළුමනින්ම සතර අපායෙන් නිදහස් වන්නේ සෝතාපන්න ඵලයට
පත්වීමෙනි.
අප විසින් රැස් කර ගන්නා පින හේතුවෙන් දෙව් මිනිස් දෙගතියෙහි සැප ලැබිය
හැකි ය. නමුත් සතර අපායට වැටීමේ අනතුර ඉවත් වී නැත. මේ නිසා උතුම් බුදු
සසුනක් තුළ අප වඩාත් උත්සාහ ගත යුත්තේ සතර අපායට වැටෙන ස්වභාවය ඉක්මවා
ගිය ආර්ය ශ්‍රාවකයෙකු බවට පත්වීමයි. |