Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සසර රඳවන - දුක වඩන තණ්හාව

‘සත්වයා ‘ යනු, පංචස් කන්ධයෙහි එකතුවක් බව බුදු දහම පෙන්වා දෙයි. රූප,වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන ස්කන්ධ පහ සත්වයා යනුවෙන් හැඳින්වෙයි. බුදු දහමට අනුව මෙම ධර්මතාව වටහා ගැනීම ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. බුදු දහම අනුව සසර සත්වයා බැඳ තබන ප්‍රධාන බලවේගය වූ තෘෂ්ණාව පිළිබඳ අවබෝධයක් ලබා ගත හැකිය.

අංගුත්තර නිකාය තුළ පංචස්කන්ධය තුළ සාරවත් (ස්ථිර) දෙයක් නැති බව, සඳහන් වෙයි.

“පෙණ පිණ්ඩූපමං රූපං
වේදනා බුබ්බුලූපමා
මරීචි කූපමා සඤ්ඤා
සංඛාරා කදලූපමා
මායුපමාන විඤ්ඤාණං
දේසිතා ආදිච්ච බන්ධුනා“

මෙම ගාථාවට අනුව ස්කන්ධ පහේ නිසරු බව පැහැදිලි වෙයි. රූපය පෙණපිඬක් ලෙස ද, වේදනාව දිය බුබුළක් ලෙසද, සඤ්ඤාව මිරිඟුවක් ලෙස ද, සංඛරය කෙසෙල් කඳක් ලෙසද, විඤ්ඤාණය මායාවක් සිහිනයක් ලෙස ද පෙන්වා දී ඇත. ස්කන්ධ පහටම දී ඇති හැඳින්වීම් දෙස බැලීමේදී ඒ කිසිවක් හරයක් ඇති දේවල් නොවන බව පැහැදිලි වෙයි. එසේ නම් මම ය මාගේ ය, අප ය , අපේ ය ආදි වශයෙන් ගොඩ නැඟෙන අස්මීමානය, මමායනය, ගොඩ නැගෙන්නේ,මෙවැනි නිසරු දෙයක් උදෙසා බව නොවැටහීම, සසර ගමන දිගු කිරීමට හේතු වෙයි.

මෙහි ප්‍රධාන ලක්ෂණය වන්නේ තෘෂ්ණාවයි. සත්වයා සසර ගමනට ඇදගෙන යන රැහැන, තෘෂ්ණාව යි. සත්වයා සසර බැඳ තබන රැහැන තෘෂ්ණාව යි. දුකට හේතුවන ප්‍රත්‍ය සමුදායක් සාරවත් දෙයක් ලෙස සලකා සත්වයා යන සම්මුතිය ගොඩනගා ගෙන ඇත. තෘෂ්ණාවත්, නොදැනීමත් තුළ සිර වූ සත්වයාට , සසරෙහි බිහිසුණු බව නොපෙනෙයි. එබැවින් සසර දිගු කරන තෘෂ්ණාව වර්ධනය වන අයුරින් ඔහු කටයුතු කරයි. එයින් සිදු වන්නේ, සසර පුරා සැරිසරමින් නිත්‍ය නොවන දෑ හමුවේ ඔහු දුකට පත් වීමයි.

තණ්හාය ජායතී සෝකෝ
තණ්හාය ජායතී භයං
තණ්හාය විප්ප මුත්තස්ස
නත්ථි සොකෝ කුතො භයං

ඉහත ගාථා ධර්මය තුළින් පැහැදිලි වන්නේ තෘෂ්ණාව ඇති කල ශෝකයත් බියත් ඇති වන බවයි. තෘෂ්ණාව නැති කල ඒවා ඇති නොවන බවයි. අද සමාජය තුළ හොඳින් පැහැදිලි වන කරුණක් ලෙස, ශෝකයක් බියක් තමන් විසින්ම උපදවා ගන්නා ස්වභාවය පෙන්වා දිය හැකි ය. එයට හේතුව වන්නේ මිනිසුන් තෘෂ්ණාවෙන් පරතෙරට ගොස් තිබීම ය. බුදු,පසේ බුදු, මහ රහත් යන උත්තමයන් වහන්සේ හැර අන් සියලු දෙනා තුළම අඩුවැඩි වශයෙන් තෘෂ්ණාව පවතී. එසේ වුව ද එහි අන්තයට යෑම මගින් කිසිදා සැනසීමක් ලැබීමට නොහැකි ය.

පටිච්ච සමුප්පාදය මගින් පැහැදිලි වන්නේ අවිජ්ජාව (නොදැනීම) නිසා තෘෂ්ණාවත්, තෘෂ්ණාව නිසා උපාදානයත් (දැඩිව අල්ලා ගැනීමත්) ඇති වන බව යි. නිසරු වූ මෙම භව චක්‍රය බුදුරජාණන් වහන්සේ සිඳ බිඳ දා නිර්වාණය ක්‍ෂාත් ක්‍ෂාත් කර ගත්හ. උපාදානය යන වචනය මෙහිදී ඉතා වැදගත් වෙයි. එනම් මමය මාගේය කියා දැඩිව අල්ලා ගැනීම ය. ඒ බව ධම්මපදයේ මෙම ගාථාව තුළින් මනාව පැහැදිලි වෙයි. එහි සඳහන් වන්නේ මට පුතුන් ඇත, ධනය ඇත.යනුවෙන් බාලයා (අනුවණයා) වෙහෙසෙන බවත් අන්තිමට සියල්ල අත්හැර යැමට සිදු වන බවත් ය.

“ පුත්තා මත්ථි ධනං මත්ථි
ඉති බාලො විහඤ්ඤති
අත්තාහි අත්තනො නත්ථි
කුතො පුත්තො කුතෝ ධනං “

අද සමාජය තුළ පුද්ගලයා වැඩි පුර වහෙසෙන්නේ පංච කාම සංතර්පණය කිරීම උදෙසා ය. ඇස,කණ, නාසය , දිව , ශරීරය යන පංචේන්ද්‍රිය පිනවීම අද සමාජය තුළ අසීමිත අයුරින් සිදු කිරීමට වෙහෙසීම තුළින් මිනිසාට නැති ශෝකයක් හා බියක් ඇති ව තිබේ. එය කවුරුන් විසින් හෝ දුන් දෙයක් නොව තමා විසින්ම ගොඩ නගා ගත් දෙයකි. එබැවින් තමාගේ විමුක්තිය තමා විසින්ම සලසා ගත යුතුව ඇත. බුදුවරු එයට මඟ පෙන්වා දී ඇත.

අද පවතින ලෝකය ඉතා සංකීර්ණ එකක් සේම තාක්ෂණයෙන් අනූනව පවතී. සියල්ල ආර්ථිකය මත පවතින බැවින් මිනිසා ද සංකීර්ණ වී ඇත. මිනිසා ඉච්ඡා භංගත්වයට පත් වී ඇත. “සල්ල වුක වුත්ති “ නම් වූ ඒ උතුම් ගුණය ක්‍රම ක්‍රමයෙන් ගිලිහෙමින් පවතී. තෘෂ්ණාවටම යට වූ පුද්ගලයාට මේ ලෝකයවත් පරලෝකයවත් නොපෙනෙයි. ඔහු නොමැරෙන විලසින් තමන්ට සේම අනුන්ටත් අයහපත පිණිස ජීවිකාව කරනු ඇත. ලක්ෂයක් ඇති කෙනා ලක්ෂ දහයක් සෙවීමට උත්සාහ කරයි. ගෙයක් ඇති කෙනා වාහනයක් ගැනීමට උත්සාහ කරයි. එය ලැබුණා කියාද විසඳුමක් නැත. ඊට පසු තවත් දෙයක් කෙරෙහි ආශාව උපදවා ගනියි. කිසිවක් ලබා ගත නොහැකි පුද්ගලයා ඒවා ගැන සිතමින් දුකට වේදනාවට පත්වෙයි.

තණ්හාවේ මේ අතෘප්තිකර බව බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය පිළිබඳ විස්තර කිරීමේදී දුකක් හැටියට දේශනා කර ඇත. “ යම් පිච්ඡං න ලභති තම්පි දුක්ඛං “ යන පාඨයෙන් හිතන පතන දේ නොලැබීම දුකක් වශයෙන් දේශනා කොට ඇත. මේ සියල්ලටම හේතුව වන්නේ තෘෂ්ණාවයි. බුදුරජාණන් වහන්සේ තෘෂ්ණාවේ විපාක නොයෙක් අයුරින් දේශනා කොට ඇත. ත්‍රිවිධ අකුසල මූල වනාහි සත්වයාගේ සිත කිළිටි කරන ප්‍රධාන බලවේගයි. ඒ අතරිනුත් ලෝභය ප්‍රධාන වෙයි. තෘෂ්ණාව ඇති තෙක් සත්වයා මෙලොවත් සංසාරික ගමනේදීත් දුකට වේදනාවට පත් වන්නේය. දුර ගමනක් යන වාහනයකට ප්‍රමාණය ඉක්මවා බඩු පැටවීමෙන් එම වාහනයේ ගමන මන්දගාමී වනවා සේ, සාංසාරික ගමනෙහි යෙදෙන සත්වයාට ද තෘෂ්ණාව වර්ධනය කිරීමෙන් සසර ගමන දික් වී නිවන ලැබීම ප්‍රමාද වනු ඇත.

තෘෂ්ණාව කොටස් තුනකින් යුක්තය. එනම්

කාම තණ්හා
භව තණ්හා
විභව තණ්හා යනුවෙනි.

කාම තණ්හා යනු පංච කාම ඉන්ද්‍රිය පිනවීම යි. එනම් ඇස, කණ , නාසය, දිව, ශරීරය යන පංචේන්ද්‍රිය පිනවීමයි. සමහර අය උදේ පටන් රෑ වන තුරු වෙහෙසෙන්නේ ඒ සඳහා ය. නොකා නොබී වස්තු සම්පත් රැස් කරවා අන්තිමට හිස් අතින් යෑමට සිදු වන්නේ ය. එම සම්පත්වලින් පිනක් දහමක්වත් නොකර පරලොව ජිවිතයද අභව්‍ය ස්ථානයකට ගෙන යන තැනට ඔවුහු කටයුතු සිදු කර ගනිති. ලෞකික වශයෙන් පංචේන්ද්‍රිය පිනවීම තුළින් ලබන සියලු විඳීම් මොහොතින් නැති වන බව අප නිරන්තරයෙන් සිතිය යුතු ය.

භව තණ්හා යනුවෙන් හැඳින්වෙන්නේ භවයට ආශාවෙන්, ඒ සඳහා වෙහෙසීම යි. නැවත ඉපදීමක් ඇතැයි සිතා පංචේන්ද්‍රිය පිනවීමද සිදු කරමින් කල් ගෙවීම ඔවුන්ගේ ස්වභාවයයි. එවැනි අය ශාස්වත වාදයට වැටේ. එය එක් අන්තයක් ලෙස සැලකෙයි.

විභව තණ්හා යනු මේ ආත්මය පමණක් ය. නැවත ඉපදීමක් නැත යන උච්ඡේද වාදි මිථ්‍යා සංකල්පය යි.

නැවත ඉපදීමක් නැතැයි සිතන මිථ්‍යා දෘෂ්ටිකයන්ට කළ නොහැකි දෙයක් නැත. එදා සමාජය තුළ ද එවැනි අය සිටියහ. ෂට් ශාස්තෘන් අතරද සාමාන්‍ය සමාජය තුළද එවැනි අය දක්නට ලැබේ. පස් පව්, දස අකුසල් ආදි , සමාජ සම්මතයට පටහැනි අන්‍යයාට අයහපත පිණිස පවතින අකුසල් කිරීම ඔවුන්ගේ ස්වභාවය යි. එවැනි පුද්ගලයන් නොමැරෙන මිනිසුන් ලෙස ජීවත් වනු ඇත. හොඳ ගුණ ධර්ම ඔවුන් තුළ දක්නට නොලැබෙයි. එබැවින් ඔවුන්ද තෘෂ්ණාවේ වෙලුණු පිරිසක් ලෙස හැඳින්වීමට පුළුවන.

තෘෂ්ණාව තුළ සිර වූ අයට සැනසීමක් නොමැත. සාමාන්‍ය ජීවිතය ගෙවන කාට වුවද තෘෂ්ණාව තිබෙන බව අපි ඉහතින් මතක් කළෙමු. එය සාමාන්‍ය ස්වභාවය යි. එසේ නොවන අසාමාන්‍ය ලෙස තෘෂ්ණාව තුළ ඇලුණු අයට සදා සැනසීමක් නොමැත. එවැනි අය සැමදා අතෘප්තිකරව අසහනයෙන් ජීවත් වෙති. අප මොන විධියට ජීවත් වුවද මරණයට මුහුණ දිය යුතුය. කොතරම් මිල මුදල්, ගේ දොර, වතුපිටි , ඉඩකඩම් , යාන වාහන පමණක් නොව දූ දරුවන් ඤාති හිත මිත්‍රාදීන් සිටියද අවසන් ගමනේදී ඒ කිසිවකුගෙන් හෝ කිසිම දෙයකින් පිහිටක් නැත.

එනිසා ජීවත් වන කාලය තුළදී අනිත්‍ය දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම ඉතා වැදගත් වෙයි. එසේ ඇති කර ගැනීමෙන් තෘෂ්ණාව මතම ජීවත් නොවීමේ පිළිවෙත හා තෘෂ්ණාවට වහලෙකු නොවීමේ මානසිකත්වය ඇති කර ගත හැකි ය. තෘෂ්ණාව පිළිබඳ වහලකු නොවන්නේ නම් උපාදානයක් ඇති වීමද සිදු නොවෙයි. සමහර දෙනා මිය පරලාව ගිය කල්හි තම දුවට පුතාට හෝ ඤාතියෙකුට හේ හිතවත්ම අයකුට භූත ආත්මයක් තුළින් ඇතුළු වී නොයෙක් විපත් ගෙන දෙන අයුරු අප දැක ඇත.තවද නොයෙක් දේ ඉල්ලා ඔවුනට කරදර ද කරති.

එසේ සිදුවන්නේ බොහෝ දුරට අධික තෘෂ්ණාවෙන් මිය පරලොව ගිය අයටයි. චුති චිත්තය ඊළඟ භවයට හේතු වන බැවිනුත්, චිත්ත පරම්පරාව ඊළඟ අලුත් හටගැනීමත් සමඟ සම්බන්ධ වන බැවිනුත් මෙලොව ජීවිතය ගත කිරීමේදි අධික තෘෂ්ණාව සුබදායක නොවේ. එය අප සසර බැඳ තබන රැහැන නොහොත් බන්ධනය වන්නේ ය. එබැවින් එය අඩු කර ගැනීමටත්, නැති කර ගැනීමටත් දාන සීල, භාවනාදී පුණ්‍ය ක්‍රියා වර්ධනය කළ යුතුව ඇත. එයිනුත් දානය නොහොත් පරිත්‍යාගය ප්‍රගුණ කිරීම, ඉතා වැදගත් වේ. බුදුරජාණන් වහන්සේ සසරේ පුරුදු කරන ලද දස පාරමිතා අතර පළමු අංකය වන්නේ ද එයයි. උන් වහන්සේ එය කොතරම් ප්‍රගුණ කළාද කියතොත් උපදින නොයෙක් ආත්මවල ඇස්, ඉස් මස් ලේ පමණක් නොව, අඹුදරුවන් පවා දන් දුන්හ. ගසක් මුලින්ම උදුරා දැමීමෙන් යළි හට නොගන්නවා සේ තෘෂ්ණාව මුළුමනින්ම ක්‍ෂය කිරීමෙන් නැවත ඉපදීමක් ඇති නොවන්නේය. එවිට සසර නැවත නැවත හටගැනීමක් ද නැත. එබැවින් තෘෂ්ණාව පිළිබඳ ප්‍රඥාවෙන් දැක, එහි විපාකය හඳුනාගෙන ඉන් මිදීමට අවශ්‍ය පියවර ගැනීමට අපි සැමකෙනෙක්ම උත්සාහවත් වෙමු.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.