UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සදහම් දැනුම

ප්‍රශ්නය
ලක්දිව ඓතිහාසික සිදුවීමක් පිළිබඳව දෙදෙනෙකු අතර සිදු වූ සංවාදයෙන් කොටසකි මේ. පාලි බෝධිවංශයේ 101 වන පිටුවෙහි එම සංවාදය මෙසේ සඳහන් වෙයි.

සහායේන මෙකිං න දින්නං
අදින්නං තෙන මෙ අත්තමත්ත මෙව
මහා බෝධි පරිභාරං එක කො
කතං කරිස්සා මීති උප්පජ්ජ මාන
සොකං සහායො මෙදුරමකාසි”

සිංහල අනුවාදය

මගේ යහළුවා මට නොදුන්නේ ඔහුගේ ආත්මය පමණය. (අත්තමත්තමෙව) මේ සා විශාල බෝධි පෙරහරක් තනියම කෙසේ කරම්දැයි මගේ සිත තුළ උපදින ශෝකය පවා ඔහු විසින් දුරු කරන ලදී. මේ පුවත කවුරුන් විසින් කාහට කියන ලද්දක්ද? එම සංවාදයට මුල් වූ ඓතිහාසික සිදුවීම කුමක්ද?

පිළිතුර
දඹදිව ධර්මාශෝක අධිරාජයා සහ ශ්‍රී ලංකාදීප රජය හෙබ වූ තිස්ස රජු අතර බෝධි ආගමන පෙරහර පිළිබඳ ඇතිවූ කතාබහයි ඒ. තිස්ස රජතුමා විසින් කළ යුතුව තිබුණේ ආර්ය අධිරාජයා විසින් නියම කර එවා තිබූ අන්දමට ඔවුනට තනතුරු දී ඒ ඒ වැඩ රාජකාරි හා ආවතේව කටයුතු භාරදීම පමණි.


ප්‍රශ්නය
මිහිඳු මහරහතන් වහන්සේ මහමෙවුනා උයන පිළිගත් දිනයේම අනුලාදේවිය ප්‍රධාන පිරිසක් එහිදී බණ අසා සත්‍ය ඵලයට පැමිණ පැවිදිවීමට කැමැති බව රජුට දන්වා සිටියහ. දෙවනපෑතිස් රජු ඒ බව මිහිඳු මාහිමියන් වෙත දැන්වීය. අනුලාදේවිය ප්‍රධාන කාන්තා පිරිසේ පැවිද්ද, ඉල්ලීම නිසා ශ්‍රී ලාංකික බුද්ධ ශාසනයට විශිෂ්ට ප්‍රතිඵල දෙකක් හිමිවිය. එම ප්‍රතිඵල මොනවාද?

පිළිතුර
අනුලාදේවිය ප්‍රධාන වනිතා පක්‍ෂයේ පැවිද්ද ඉල්ලීම නිසා සංඝමිත්තා මෙහෙණින් වහන්සේ ආගමනයෙන් භික්‍ෂුණී ශාසනයත් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආගමනයෙන් කාල නියමයකින් තොරව බැතිමත් සැදැහැවතුන්ට සිත් සනහාගත හැකි බුද්ධ පාරිභෝගික ධාතුවක් පූජනීය වස්තුවක් ශ්‍රී ලංකාවේ ප්‍රතිෂ්ඨාපිත විය. දෙවැන්න නිසා රටේ සංස්කෘතික පුනරුදයට ලැබුණු දායාද සම්භාරය පළමුවැන්න අභිභවනයකොට ඇති බවද වර්තමානය දක්වාම එහි ප්‍රතිඵල දක්නට ලැබීමෙන් වටහාගත හැකි ය.


ප්‍රශ්නය
ජයං වෙරං පසවති
දුක්ඛං සෙති පරාජිතො
උපසන්තො සුඛං සෙති
හිත්වා ජය පරාජයං (ස.නි. 1 පඨම සංගාම සූත්‍රය, 154 පිටුව)

ජයග්‍රහණය නිසා වෛරය ඇතිවන්නේ ය. පරාජිත තැනැත්තා ජයගත් තැනැත්තාට වෛර කිරීමෙට පෙළඹෙයි. පරාජය නිසා දුක උපදියි. පරාජිත තැනැත්තා තම අපේක්‍ෂාවන් සායනය නොවීමෙන් දුකට පත්වන්නේ ය. එබැවින් තරගකාරීත්වයෙන් තොර පැවැත්ම බුදු සමය අගය කරයි. නිතරඟ වූවෝ ජය පරාජය දෙකින්ම තොරව සුවසේ වසති. බලතරගයක් මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කළ දහම් පණිවිඩයකි. ආර්ථික හා සමාජගත ගැටලු හමුවේ එම දේශනාව ප්‍රායෝගික වශයෙන් පුද්ගල හා සමාජ අභිවෘද්ධිය සඳහා හේතුකාරක වන අයුරු පැහැදිලි කරන්න.

පිළිතුර
බුදු දහම අනුව සංවර්ධනය යනු හුදෙක් භෞතික වූ ඵලනායකත්වය පමණක් නොවේ. මිනිස් ප්‍රජාවගේ සුඛිත මුදිත පැවැත්ම පිණිස භෞතික අභිවෘද්ධියෙහි අවශ්‍යතාව පිළිගන්නා අතරම ඒ සඳහා ඉතා ප්‍රායෝගික ව උපදෙස් ඉදිරිපත් කරන අතර ඊට සමගාමී වූ සාපේක්‍ෂක වූ ද සදාචාරාත්මක හා ආධ්‍යාත්මික අභිවෘද්ධියක් ද සිදුවිය යුතු බව බුදු දහම පෙන්වා දෙයි. එබැවින් ආර්ථික ක්‍රියාදාමයන් තුළ අර්ථ සම්පන්න වියයුතු ධාර්මිකත්වය අසාහසික බව නිරතුරුවම බුදුදහම අවධාරණය කරනු ලැබේ. අධි තරගකාරී අර්ථ ක්‍රමයක් තුළ එකී දැහැමි බව හා අසාහසිකත්වය යථාර්ථයක් බවට පත්වීම සිදුවිය නොහැක්කකි. තරගය අනිවාර්ය වශයෙන්ම ප්‍රතිඵල දෙකකින් එකක් උදා කරයි. එනම් ජය හෝ පරාජයයි. ජයග්‍රහණය අනෙකා වෙත වෛරය කිරීමට පෙළඹෙයි.


ප්‍රශ්නය
කේන්ද්‍රිය බෞද්ධ සාරධර්ම ලෙස සැලකිය යුතු සිව්බඹ විහරණය වූ කලී මානව හිතවාදී බවද ඉක්මවාගිය ජීව හිතවාදී හා අව්‍යාජ සංවේදී බවකින් ද යුතු ප්‍රබද්ධ විකසිත සමාජයක් බිහි කරලීමට උපකාරී වන බෞද්ධ ඉගැන්වීමකි. ඇගයීමක් කරන්න.

පිළිතුර
බුදුසමයෙහි එන කේන්ද්‍රිය සත්ගුණ සතර නම් මෙත්තා, කරුණා, මුදිතා, උපේක්‍ඛා යන්නය. මෙත්තාව යන්න අනේකාකාර වූ සකලවිධ ජීවීන්ගේ සුවසෙත ඉතසිතින් පතන්නෙකු දුක්ඛය කැමැති නොවන්නෙකු බිහි කිරීම සඳහා ය. ද්වේෂයෙන් තොර චරිතයක් ගොඩනැංවීම පිණිස ය. කරුණාව දුකට පත්වූවන් කෙරේ සැබෑ අනුකම්පාව ඇත. එයින් කම්පාවන හදවත් ඇති මිනිසෙකු ගොඩනැඟීම අපේක්‍ෂා කරයි. මුදිතාව අන්‍යයන් කෙරේ ඊර්ෂ්‍යාවෙන් තොර වූ ඔවුන්ගේ දියුණුව සැපත දැක සතුටු වන සිත් ඇත්තෙකු බිහි කරයි. උපේක්‍ෂාව ලෝකයේ විවිධාකාර සිතුම් පැතුම් හා අදහස් උදහස් දැක එකී විෂමත්වය තුළින් මැදිහත් ව සිතන්නෙකු ඇති කරලීමට අපේක්‍ෂා කරයි. බුදුරදුන් වදාළ සියලු යහගුණයන් කේන්ද්‍රය වන්නේ මෙකී සිව් බඹ විහරණයන්ය. අධි තරගකාරී සමාජ ආර්ථික ක්‍රමයක් තුළ මෙකී බඹ විහාරණයන් අර්ථවත් කරනු ලැබීම ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීම ඉටු නොවන අපේක්‍ෂාවක් පමණක් විය හැකිය.


ප්‍රශ්නය
බුදුරජාණන් වහන්සේගේ ප්‍රත්‍ය දායක පිරිස අතරෙන් කීර්තිමත් දායක දායිකා දෙපලකි. ඒ දෙපලගේ නම කුමක්ද?

පිළිතුර
අනේපිඬු සිටුතුමා සහ විශාඛා මහෝපාසිකාවය.


 

ප්‍රශ්නය
ප්‍රථම ශ්‍රී ලංකාවාසී රාජ්‍ය පාලකයා වූ මේ රජු සිංහලයන් සමඟ රට නැංවීමට ආදිවාසී ජනතාවගේ සහයෝගය ලබාගෙන අනුරාධපුර පිහිටුවන ලදී.සැලසුම් කරන ලද නගර නිර්මාණයක් ලෙස අනුරාධපුරය පිහිටුවාලීම ඔහුගේ විශිෂ්ටතම සේවාව විය. මේ ශ්‍රේෂ්ඨ රාජ්‍ය පාලකයාගේ නම කුමක්ද?

පිළිතුර
පණ්ඩුකාභය රජතුමා
 


ප්‍රශ්නය
යම් පුද්ගලයෙකු තවත් අයෙකු කෙරෙහි ඇති වෛරය අමනාපය හෝ ඊර්ෂ්‍යාව නැතිකරගැනීම සඳහා ගත යුතු ක්‍රියා පිළිවෙත් බොහොමයක් අතුරෙන් ‘අත්තුප්පනායක ධම්ම පරියාය’ යනුවෙන් තමා උපමානය වශයෙන් සලකා දූෂිත සිත ඉවත් කරගැනීමයි. මෙම ධර්මපර්යාය පැහැදිලි කරන්න.

පිළිතුර
තමා පිළිබඳව පළමුවෙන් මෙසේ සිතිය යුතු ය. මම සැපයට කැමැති වන්නේ වේදනාවට බිය වන්නේ යම් සේද? මා ජීවත් වීමට කැමැති වන්නේ මරණයට අකමැති වන්නේ යම් සේද? අනෙකුත් සියලුම සත්ත්වයන් කල්පනා කරන්නේ ද එසේමය. මෙසේ තමා උපමා සේ සලකා එසේ සිතීම අන්අයගේ ජීවිත පැවැත්මට හානි නොකරයි. ඒ අයගේ ජීවිතයට ගෞරව කරයි. භාග්‍යවතුන් වහන්සේ ද එක් අවස්ථාවකදී (සං. 1.75 ) මෙසේ වදාළහ. මම මගේ මනසින් සතර දිසාවම අවලෝකනය කළෙමි. එහෙත් මට වඩා මා කැමති වෙන කිසිවෙකු මම මුණගැසුනේ නැත. මේ අයුරින් සෑම කෙනෙකුම තමාට බෙහෙවින් ඇලුම් කරන්නේ ය. යමෙක් හෘදයාංගවම තමාට ආදරය කරන්නේ නම් ඒ තැනැත්තා කිසිවිටක අන් අයට හිංසා නොකරන්නේ ය.


ප්‍රශ්නය
පස්වන සියවසේ මහානාම රජු දවස ලංකාවට වැඩමකොට අනුරාධපුර මහාවිහාරයේ වැඩවසමින් විශුද්ධි මාර්ගය රචනා කළ පඬිවරයා කවුද?

පිළිතුර
බුද්ධ ඝෝෂ අටුවාචාරීන් වහන්සේ


ප්‍රශ්නය
ත්‍රිකුණාමල දිසාවේ තිරියාය ගිරිහඬු සෑය බෞද්ධාගමික වශයෙන් වැදගත් වන විශේෂ හේතුව කුමක්ද?

පිළිතුර
තපස්සු, භල්ලුක වෙළඳ සහෝදරයන් ලබාගත් කේශධාතූන් වහන්සේලා නිදන් කොට ශ්‍රී ලංකාවේ ඉදිකළ ස්ථූපය පිහිටා තිබෙන්නේ තිරියායේ ගිරිහඬු සෑය නම් ස්ථානයෙහි ය.

පොසොන් අමාවක පෝය

 පොසොන් අමාවක පෝය ජූලි මස 11 වන දා ඉරිදා පූර්ව භාග 04.04 ට ලබයි.12 වනදා සඳුදා පූර්වභාග 01.10 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි මස 11 වන දා ඉරිදා ය.

මීළඟ පෝය
ජූලි මස 18 වනදා ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජූලි 11

First Quarterපුර අටවක

ජූලි 18

Full Moonපසෙලාස්වක

ජූලි 25

Second Quarterඅව අටවක

අගෝස්තු 03

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]