Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

‘තුන් බුදු උතුමෝ හැර අන් සියල්ලෝ නැවත උපදිති’

පේත වත්ථු කතා මාලාව - 4 කොටස

උරුවේළ - ගයා හා නදී කාශ්‍යප යන තුන් බෑ ජටිලයන් දමනය කොට රහත් ඵල ලාභී ඒ බුද්ධශ්‍රාවකයන් දහසක් වහන්සේ, සමඟින් ම බුදුරජාණන් වහන්සේ රජගහ නුවරට වැඩම කළේ එදා බිම්බිසාර මහරජුට වූ පොරොන්දුවක් ඉටුකිරීමටය. ඒ බුද්ධත්වයෙන් පසු පළමුකොට ඔබ රටට වඩින බවට වූ පොරොන්දුවක් අනුවය. මහත් සතුටට පත් රජු තම මාළිගාවෙහි දීම මහදන් පිළිගැන්වූහ. දානයෙන් පසු බුදුරජාණන් වහන්සේගේ අන්‍ය පහසුකම් පිළිබඳ උනන්දු වූ මහරජුට කිසිවෙකුටත් පින් අනුමෝදන් කිරීමට අමතක විය. මෙයට දෙඅනු කල්පයකට පෙර වැඩසිටි සත් බුදුවරයාණන් වහන්සේලාගෙන් “ඵුස්ස “ නම් වූ පළමු බුදුරජාණන් වහන්සේ දවස සිට බිම්බිසාර මහරජුට ද ඥාති පේ‍්‍රතව සිටි එක්තරා පිරිසක් බුදුරජාණන් වහන්සේ වෙත පිළිගැන්වු මේ මහා දානයෙහි දී හෝ තමාට ද පින් දෙතැයි සිතා රජුගේ මාලිගාවෙහි බිත්තියෙන් පිටත (තිරෝකුඩ්ඩ) එම පේ‍්‍රත ඥාතීහු රැස්ව සිටියහ.

පළමු කී දානයෙන් කිසිදු පිනක් නොලැබූ මේ ඥාති ප්‍රේතයෝ නැවැත රාත්‍රී කාලයෙහි පැමිණ රජමාලිගය වටකොට ඉතා බියකරු ශබ්ද නැගූහ. රජු බියට හා සන්ත්‍රාසයටත් සංවේගයටත් පත්ව රාත්‍රී පහන්වත් ම බුදුරජාණන් වහන්සේ වෙත ගොස් කාරණය සැළ කළහ. මහරජ බිය නොවන්න, ඔබට මෙහි කිසි නපුරක් නැත. ඔබට යහපතක්ම වන්නේය. ඔබගේ පුරාණ ඥාති පිරිසක් පේ‍්‍රත ආත්ම භාවනයේ ඉපිද බුද්ධාන්තර කල්ප කීපයක් එහි දුක් විඳ මේ අවස්ථාවේ ඔබෙන් පින් බලාපොරොත්තුව පැමිණ ඇත. ඊයේ ඔබ දන් දෙද්දී ඔවුනට ද පින් දෙ තැයි බලාපොරොත්තුව පැමිණි මුත් එසේ නොවු හෙයින් රාත්‍රියේ පැමිණ මෙවැනි ශබ්ද නැගූ®හ ‘යි වදාළහ. ස්වාමීනි, එසේ නම් දැන් පින් දුන් කල්හි ඔවුන් සම්පත් ලබාදැයි විචාළේය.

එසේය මහරජ, ‘ස්වාමීනි, එසේ නම් අද දවසේ මාගේ දානය ඉවසුව මැනවැ’යි පවසා මාලිගයට ගොස් දන් පිළියෙළ කරවූහ. පේ‍්‍රත ඥාතියෝ බිත්තියෙන් පිටත වටකොට සිටියහ. රජු දානය සඳහා පැන් පිළිගන්වන්නේ මේ පින් මාගේ ඥාති පේ‍්‍රතයන්ට ලැබේවායි සිතත්ම ඔවුනට සිසිල් පැන් පොකුණු පහළව එහි බැස දිය නා වතුර බී සිරුරු දාහය වළක්වා රන්වන් ශරීර ඇත්තෝ වූහ. ආහාර කැවිලි පෙවිලි පූජා කරන්නේ රජු ඔවුන් සිහි කරමින් පින් දුන්හ. එකල්හි ඔවුනට දිව්‍ය භෝජන ලැබුනාහ. අනතුරුව වස්ත්‍ර පිරිකර සෙනසුන් රජු විසින් පුජා කළහ. එවිටද ඥාති පේ‍්‍රතයන් සිහිකළ රජු පින් දුන්නේය. ඔවුනට දිව්‍ය වස්ත්‍ර හා ප්‍රාසාද පහළ විය. මෙහිදී භුක්තානුමෝදනා කළ බුදුරජාණන් වහන්සේ රජුගේ සිත් පහදවමින් මෙසේ ධර්ම දේශනා කළ සේක.

14.තමන්ගේ මිය ගිය ඥාති ප්‍රේතයෝ තාප්ප බිත්ති වලින් එහා ද සතරමං සන්ධි, තුංමං සන්ධි, ගෘහසන්ධි, බිත්ති සන්ධි, වලද තමන් විසු ගෘහයන්හි දොර බාවන්හි (උළුවස්ස උඩ බාල්කයන්හි )අවුත් සිටිති.

“තිරොකුඩෙඩසු තිට්ඨන්ති සන්ධි සිංඝාටකෙසු ච,
ද්වාරබාහාසු තිට්ඨන්ති ආගනත්වාන සකං ඝරං “

16. නෑයන් අතුරෙන් ඒ පේ‍්‍රතයන්ට අනුකම්පා කරන දූපුත් ආදී යම් නෑ කෙනෙක් වෙද්ද, ඔවුහු ප්‍රණීත වූ කැප වූ පැන් හා බොජුන් සුදුසු කළ පිරිනමත්,

“එවං දදන්ති ඥතීනංයෙ හොන්ති අනුකම්පකා,
සුචිං පණීතං කාලෙන කප්පිංය පානභොජනං “

17. මේ පින පරලොව ගිය අප ඥාති පේ‍්‍රතයනට පැමිණේවා. ඒ ඥාති පේ‍්‍රතයෝ සුවපත් වෙත්වා යි පින් දෙත්.

“ඉදං වො ඥාතීනං හොතු සුඛිතා හොන්තු ඥාතයො
තෙ ච තත්ථ සමාගනත්වා ඥාතිපෙතා සමාගතා “

18. ඒ ඥාති පේ‍්‍රතයෝ දන්දෙන තැනට අවුත් එක්රැස්ව බොහෝ වූ ආහාරපාන පිදූ කල්හි ඒ පින් මෙසේ සකසා අනුමෝදන් වෙත්, යම් නෑයන් නිසා අපි මේ සම්පත් ලබමෝ නම් ඒ නෑයෝ බොහෝ කල් ජීවත් වෙත්වා. අපට ද පුජා පවත්වන ලදී. ඒ දන් දුන් ඇත්තෝද යහපත් විපාක රහිතයෝ නො වෙති.

“පහුතෙ අන්නපානම්හි සක්කච්චං අනුමොදරෙ,
චිරං ජීවන්තු නොඥා තී යෙසං හෙතු ලභාමසෙ
අමභාකං ච කතා පූජා දායකා ච අනිප්ඵලා “

20. උස්තැන වැටුණු වැසි දිය යම් සේ පහත් තැන කරා පැමිණේ ද එමෙන්ම මේ මිනිස් ලොවින් දුන් පින ඒ පේ‍්‍රතයන්ට පැමිණේ.

“උන්නමෙ උදකං වට්ඨං යථා නින්නං පවත්තති
එවමෙව ඉතො දින්නං පෙතානං උපකප්පති “

21.යම්සේ පිරුණූ කුඩා ගං හෝ ආදියෙහි ජලය මහානදී හු පුරවත් ද මහා නදීහු රැස් වන දියෙන් සාගරය පුරවාලත් ද එමෙන්ම මේ මිනිස්ලොවින් ඥාතීහු දුන් පින මියගිය ඥාතීනට (පේ‍්‍රතයනට ) පැමිණේ.(ලැබේ)

“යථා වාරිමහා පුරා පරිපුරෙන්ති සාගරං
එවමෙව ඉතො දින්නං පෙතානං උපකප්පති “

23. හැඬීම හෝ ශෝක කිරීම හෝ යම් අනෙක් වැළපීමක් හෝ වේ ද පරලොව ගියවුන්ගේ ප්‍රයෝජනය පිණිස (එයින් ) යමක් නොවේ. (ඒ පේ‍්‍රතයෝ එහි උපන් පරදිම සිටිත්) එහෙත් එබඳු (වැලපෙන ) නෑයෝ ද සිටිති.

“න හි රුණ්ණං ව සොකො වා යා චඤ්චා පරිදෙවනා,
න තං පෙතානමත්‍ථාය එවං තිට්ඨන්ති ඥාතයො “

25. මේ දක්වන ලද්දේ නෑයන් විසින් ඉටු කළ යුතු ඒ ඥාති ධර්මයයි. (පේ‍්‍රත භාවයෙන් මුදා දිව්‍ය සම්පත්තියට පමුණුවන ) මළගිය පේ‍්‍රතයන්ට මහත් වු පූජාවක් කරන ලදී. (බුද්ධප්‍රමුඛ මහා සංඝයා ආහාරපානාදියෙන් සංග්‍රහ කරන්නා වූ ඔබ විසින්) භික්‍ෂූන්හට ශක්තිය දෙන ලදී. ඔබ විසිනුදු මහත් වූ පිනක් රැස් කර ගන්නාලදී.

“සො ඥාතිධමේමා ච අයං නිදස්සිතො
පෙතාන පූජා ච කතා උළාරා,
බලඤ්ච භික්‍ඛුනමනුප්පදින්නං
තුමේහි හි පුඤ්ඤං පසුතං අනප්පක න්ති”

බිම්බිසාර මහරජු ගේ මේ සහලේ ඥාති ප්‍රේතයෝ කවරහුද? මෙයින් දෙයානුවන කල්පයෙහි කාසිපුර නම් නුවරක් විය. මෙහි රජු ජයසේන නම් ද දේවිය සිරිමා නම් ද වුවෝය.මේ “ඵුස්ස “ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගේ මවු පියෝය. ජයසේන රජු මමත්වය උපදවා ගනිමින් එදා තුනුරුවන්ම මගේම යයි යන හැඟීමෙන් කිසිවකු හටත් අවස්ථාවක් නොදී තමාම ඵුස්ස බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ තුනුරුවනට නිතර උපස්ථාන කරයි. භාග්‍යවතුන් වහන්සේගේ සුළුමවගේ බාල සහෝදරයෝ තිදෙනෙක් වෙති. බුදුවරයෝ නම් සියලු ලෝ වැස්සන්ට හිත සුව පිණිසම උපදනාහුය. මවුපියාණන්ම පමණක් කෙරෙන මේ උපස්ථානය තමන්හට ද ලබා ගැනීම් වස් ප්‍රත්‍යයන්ත දේශයක කැරැල්ලක් ඔවුහු ඇති කළහ.

එහෙත් යාමට සිදුවුයේ පුතුන් තිදෙනාටමය. ඔවුන් එය සංසිඳුවා පැමිණීම පිය රජුට සතුටක් වීය. “පුතණුවෙනි, ඔබලාට කැමැති වරයක් ගනුව“යි කීය.පුත්‍රයෝ බුද්ධ උපස්ථානය ම ඉල්ලා සිටියෝය. වෙනත් කිසිවක්ම එපා ය යි කීහ. එසේ නම් කාල සීමාවක් කොට ගනුවයි කීහ. ඔවුහු සත් වසක් ඉල්ලූහ. රජු නුදුන්හ.මෙසේ සය වසක් - පස්වසක් ආදී වශයෙන් ගොස් තුන් මසක් ඉල්ලූහ. රජු ගණුවයි දුන්නේය. ඔවුහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ අපි වස් තුන්මාසය උපස්ථාන කරන්නට කැමැත්තෙමුය. මේ තෙමස වස් විසීම් කරන්න යැයි කළ ආරාධනය භාග්‍යවතුන් වහන්සේ තුෂ්ණීම්භාවයෙන් ඉවසා පිළිගත්සේක.

මේ රාජ පුත්‍රයෝ තිදෙනාම තම තමන්ගේ ප්‍රාන්ත ජනපද වාසීන් චනුවත්කොට ඒ ඒ ප්‍රදේශයන්හි විහාර ආරාමාදිය කොට දාන මානාදිය සංවිධාන කරමින් බුද්ධෝපස්ථාන කළහ. ජනපද වාසීන් අතර තුනුරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන්ම පැහැදී සිටි එක් ගෘහපති යුවළක් සකස් කොටම දන් දුන්හ. ජනපද අධිපතියාද ජනපදයෙහි දහස් ගණන් මිනිසුන් සමඟ එක්ව සකස් කොට දාන වස්තූන් ඒ ඒ තැනට යැවූහ. මොවුන් අතුරෙන් සමහර ජනපද වැසියෝ ශ්‍රද්ධා නැත්තෝ වූහ. මොවුහු යවන සමහර දාන වස්තූන්ට අන්තරාය කොට තුමුම කෑවෝය. දාන ශාලා ද ගිනිලෑවෝය.

ඒ රාජ පුත්‍රයෝ තිදෙන පිරිවර සමගින් තුන්මස් කල්හිම බුද්ධ ප්‍රමුඛ භික්‍ෂු සංඝයා වහන්සේට සත්කාර කොට වස් අවසන්හි භාග්‍යවතුන් වහන්සේ පෙරටුකොට පිය රජු සමීපයට නැවැත ගියහ. කාලයාගේ ඇවෑමෙන් ඒ රාජ පුත්‍රයෝ ද, ජනපද වැසියෝ ද කලුරිය කොට බුද්ධෝපස්ථානයේ පිනෙන් දෙව්ලොව උපන්හ. එදා දන් කෑ ජනයෝ නිරයෙහි උපන්හ. මේ දෙපිරිස් මෙසේ දෙව්ලොවින් දෙව් ලොවට ද නිරයෙන් නිරයට ද ඉපිදෙමින් දෙයානු කපක් ඉක්ම පස් බුදුවරයන් වහන්සේ පහළ වන මේ මහා භද්‍රකල්පයෙහි කාශ්‍යප බුදුරජාණන් වහන්සේ දවස ශ්‍රද්ධා නැතිව දන් කෑ පිරිස් ප්‍රේත විෂයෙයෙහි පේ‍්‍රත ආත්ම ලැබ ඉපදුනහ.

මෙකල් හිද මිනිස්සු පින්කම් කළ අවසන්හි “ ඉදං වො ඥාතීනං හොතු සුඛිතා හොන්තු ඥාතයෝ “ වශයෙන් තම තමන්ගේ පරලොව ගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමේ සිරිත හඳුනාගෙන තිබූහ. එකල්හි ඔවුහු ද සම්පත් ලැබ සුවපත් වූහ. මේ දුටු දන්කෑ පේ‍්‍රතයෝ ද කාශ්‍යප සම්බුදුන් වහන්සේ වෙත පැමිණ අපි සම්පත් නොලබමෝදැ යි විචාළහ. භාග්‍යවතුන් වහන්සේ ඔබ දැන් නොලබයි. මතු කාලයෙහි “ගෞතම” නමින් සම්බුදුවරයාණන් කෙනෙක් ලොව පහළ වන්නේය. එකල්හි “බිම්බිසාර “” නම් රජෙකු වන්නේය. ඔහු මෙයින් දෙයානු කල්පයකට පෙර ඔබගේ ඥාතියෙකි. හෙතෙම බුදුන් වහන්සේට දන් දී ඔබට පින් අනුමෝදන් කරන්නේය. එදා ඔබට සම්පත් ලැබෙන්නේ යැයි වදාළහ. දීර්ඝ කලක් දුක්විඳි ඔවුනට ගෞතම බුද්ධෝත්පත්තිය හෙට දවසෙහි සම්පත් ලබන්නේ යැයි කීවාක් මෙන් වුයේය.

මෙසේ එක් බුද්ධාන්තරයක් ඉක්ම ගිය කල අප ගෞතම බුදුරජාණන් වහන්සේ දවස පළමු කී රාජ පුත්‍රයෝ තිදෙන දෙව්ලොව සිට දහසක් දිව්‍ය පුත්‍රයන් සමඟ චුනව දඹදිව මගධ දේශයේ බ්‍රාහ්මණ කුලයක සහෝදරයන් තිදෙනෙක්ව උපන්නාහ. මොවුහු පසුව උරුවෙල ජනපද ගයා ශීර්ෂයෙහි බඹසර විසූ තුන්බෑ කාශ්‍යප ජටිලයෝ (උරුවේල ,ගයා, නදී ) නම් වූහ. එදා මහරජ මෙදා බිම්බිසාර රජු විය. එදා ශ්‍රද්ධාවෙන් සකස් කොට දන් දුන් ගෘහපති යුවළ මෙදා විශාඛ සිටු හා ධම්මදින්නා සිටු දියණියව අඹු සැමි බවට පත්වීහ. (ම.නි.චූලවේදල්ල සූත්‍රය කියවා මේ දෙපොළ වඩාත් ‍ෙහාඳින් හඳුනා ගත හැක) විශාඛා සිටු ගෞතම බුද්ධ ශාසනයේ අනාගාමි වුවෙකි. ධම්මදින්නාවෝ මහරහත් මෙහෙණින් වහන්සේ නමක් වුවාය. සෙසු ජනයා සම්‍යක්දෘෂ්ටික රජ පිරිස් වශයෙන් ඉපුනහ.

අප භාග්‍යවතුන් වහන්සේ ගයා හි සම්බෝධියෙන් පසු බුද්ධගයා වෙහි සත්සති ගෙවා බරණැස ඉසිපතන මිගදායෙහි පස්වග මහණු ප්‍රධාන සැට නමක් රහත් භාවයට පත්කොට තමන් වහන්සේ දහම් අමා වැස්සවීමට වැඩියේ උරුවෙලාව දෙසටය. එදා එහිදී තුන්බෑ ජටිලයන් ප්‍රධාන දහසක් වූ ඔවුනගෙ සිසුන් ද දමනය කොට ගෙන දහසක් මහරහතන් වහන්සේ සමඟින් බිම්බිසාර රජු හමුව රජගහ නුවරට වැඩ පළමු කී පරිදි රජු ලවා දන් දෙවා සසරදුක් විඳිමින් ආ තම ඥාති පේ‍්‍රතයන් සුවපත් කළහ.

(පේතවත්‍ථු පාලියෙහි 1.5 තිරෝකුඩ්ඩ පේ‍්‍රත වස්තුව ද , ඛුද්දක නිකායෙහි ඛුද්දක පාඨ 7.තිරොකුඩ්ඩ සූත්‍රය හා අටුවා ද ඇසුරෙනි)


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.