Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සුමංගල නා හිමියන්ට සන්නස් පත්‍ර ප්‍රදානය 15 දා මල්වතු මහා විහාරයේ දී

මහනුවර මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහ නාහිමියන් විසින් විචිත්‍රභාණි ධර්මරක්ෂිත සරණපාල යන ගෞරව නාම සම්මුතිය සහිත යටිනුවර උප ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය ඓතිහාසික ගන්නෝරුව රජ මහා විහාරය සහ ගන්නෝරුව උඩබෝමළුව පුරාණ විහාරය යන උභය විහාරාධිපති මල්වතු මහා විහාරයීය විශේෂ කථිකාචාර්ය අඹන්පොල සුමංගල හිමියන් වෙත පිරිනමා ඇත. ඒ පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවය මැයි 15 වනදා සවස 3.00 ට මල්වතු මහා විහාරයීය ඓතිහාසික මංගල උපෝෂථාගාරයේදී පැවැත්වේ.

මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහ නාහිමියන් ප්‍රධාන අනුනාහිමිවරුන් වෙතින් ශ්‍රී සන්නස් පත්‍රය කාරක මහා සංඝ සභාවේ ආසිරිවාදය මධ්‍යයේ ලබාගන්නා අඹන්පොල සුමංගල නාහිමියන් පිළිගැනීම නිමිත්තෙන් උත්සවයක් මැයි 16 දින සවස 3.00 ට ගන්නෝරුව රජ මහා විහාරයේදී මල්වතු පාර්ශ්වයේ අනුනා හිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. අග්‍රාමාත්‍ය දි.මු.ජයරත්න මහතා ප්‍රධාන මධ්‍යම ප්‍රදේශයේ මැති ඇමැතිවරුන් රැසක් එම උත්සවයට සම්භාවනීය අමුත්තන් ලෙස සහභාගිවීමට නියමිතය.

මැයි 16 වනදා අභිනව නාහිමියන් සවස 1.00 පේරාදෙණිය ගැටඹේ දිය කපනා තොට ශ්‍රී රක්ඛංග විහාරය අසලදී පිළිගෙන පෙරහරෙන් ගන්නෝරුව රජ මහා විහාරය වෙත වැඩමවාගෙන යනු ඇත.

 


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.