UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

 සෝමාවතී මහ සෑ වන්දනාව 8 වන දා

සොළොස්මස්ථාන වන්දනාවේ ගිය යුගයක් අපට තිබිණි. නාගදීපය, සේරුවාවිල, සෝමාවතිය, දීඝවාපිය ආදී පූජනීය වෙහෙර විහාර අපි මහත් ආශාවෙන් වන්දනා කළෙමු. එහෙත් මින් තිස් වසරකට පෙර ලොව අතිශයින් ම බිහිසුණු අමානුෂික ජාතිවාදී ත්‍රස්තවාදයකට අපි ගොදුරු වුනෙමු. එහි ප්‍රතිඵල විසින් අපට සියලු යහපත් දෑ අහිමි කරන ලදී. සාමය සමාදානය මෙන් ම සතුට ද තෙරක්, නොපෙනෙන ලොවක සඟවන ලදී. ත්‍රස්තවාදය පෝෂණය කළ බලවේග විසින්, ඒ බිහිසුණු ත්‍රස්තවාදයේ නියමුවා වන ප්‍රභාකරන් ව සලකන ලද්දේ කිසිවකුට මැඩළිය නොහැකි අද්භූත වූ සටන්කරුවෙකු ලෙසිනි.

එම කුරිරු ත්‍රස්තවාදයට අහිංසක ජීවිත දහස් ගණනින් බිලිවිය. දසක ගණනක් වන්දනා චාරිකා පාලුවී ගියේය. විශේෂයෙන් නැ‍ෙගනහිර හුදෙකලා වනයක නිහඬ ව වැඩ සිටින සෝමාවතී භූමිය මුලුමණින් ම පාලු වී ගියේය. පොළොන්නරුවෙන් එපිට යෑම ත්‍රස්තවාදියා සමග කරන බිහිසුණු ගනුදෙනුවක් වැනි විය. භික්ෂූන් වහන්සේලාද සැදැහැවත්හු ද අහිංසක ගැමියෝ ද ගොවියෝ ද පාසල් දරුවෝ ද ඒ ත්‍රස්තවාදයෙහි ගොදුරු බවට පත් ව මහ පොළව මත වැතිර ගත්හ. කොටින් ම බුදුරැස් විහිදෙන සෝමාවතී මහා සෑයේ කොත් වහන්සේ ද ත්‍රස්තවාදීන් ගේ කුරිරු දෑතින් වෙන් වී ගියේය. එම ත්‍රස්තවාදීන්ගේ ම තියුණු ආයුධයෙන් සෝමාවතී මහසෑය සිදුරු විය. නමුත් ඒ කිසිවකින් බුදුරැස් විහිදෙන මහාසෑයේ අසිරියට හානි කළ නොහැකි විය. දහස් ගණන් සාදු හඬ නැගුණු පුණ්‍ය භූමින් සිසාරා රැව් දුන්නේ බිහිසුණු වෙඩි හඬයි. සැබවින්ම සොළොස්මස්ථාන වඳිනු තබා පණ නළ රැකගෙන රැයක් ගෙවාගැනීම පවා එකල අසීරු ව තිබුණි. තිස් වසරක ත්‍රස්තවාදයෙන් බැට කෑ අත්දැකීම් අප සතු ව ද තිබේ. ඒ 1985 අපේ‍්‍රල් මස 17 වැනි දාය. සේරුවිල සිට කන්තලේ බලා මා බස් රථයකින් පැමිණෙමින් සිටියදී මහවැලි ගඟ ආසන්නයේ මහවනයේ දී මෙම බස්රථය ත්‍රස්ත ප්‍රහාරයකට ලක් විය. පළමුව අප බස්රිය තුළ දිගා වී සිටියෙමු. වනයේ සැගවී සිටි ත්‍රස්තවාදීහු එක දිගට අහිංසක අපට වෙඩි තබන්නට පටන් ගත්හ. බසයට ගමන් කළ නො හැකි විය. වාසනාවකට මෙන් එදා බසය පදවමින් සිටියේ හමුදාවේ සාජන්වරයෙකි. ඔහුගේ චිත්ත ධෛර්යය නිසා බසය නො පෙරලුණේය.

අන්තිමේ දී ඔහු කෑ ගසා මෙසේ කීවේය. “ කවුරුත් බසයෙන් එළියට පැණ ගන්න. වම් පස බෑවුමේ දිගා වෙන්න.” අපි සැණෙකින් බසයෙන් එළියට පැණ ගත්තෙමු. මම ද වම් පස බෑවුමේ දිගා වී මරණය දෙස බලා සිටියෙමි. ටික වෙලාවකින් අපට තවත් වෙඩි හඩක් ඇසුනේය. එනම් අපේ හමුදාවේ බලඇණියක් පාගමනින් ම අප සිටින පෙදෙසට එමින් සිටියි. වෙඩි හඩ ඇසුණු නිසාවෙන් ඔවුන් ද ප්‍රතිප්‍රහාර එල්ල කරමින් කැලෑව දෙසට පියමන් කරන්නට වූහ. අහිංසක බස් මගීන්ව සිටි අප බිලි ගන්නට බලා සිටි ත්‍රස්තවාදින්ගෙන් එදා ගැලවුනේ දශමයෙනි. එදා ඒ හමුදා බල ඇණිය නො එන්නට කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි යනුවෙන් කෙනෙකු ජීවතුන් අතර ද නැත.


බුද්ධ ප්‍රතිමා වහන්සේ සෝමාවතියට වැඩම කරවු අයුරු ....

එදින රාත්‍රියේ මම කන්තලේට පැමිණියෙමි. වෙන්රාසන් පුර 92 පෙදෙසේ රතනමංගලාරාම යේ නවාතැන් ගතිමි. සියලු දෙනා ම බියෙන් සලිත ව ගොස් සිටියහ. රාත්‍රියට ලාම්පුවක් වත් නො දැල්වේ. පන්සල පිටුපස මයිලගසක අට්ටාලයක් ගසා ඇත. රාත්‍රිය වෙද්දී බියකරු සෙවනැලි දසත සක්මන් කරණු අපට පෙනුනේ බිය නිසා විය හැකි ය. අඳුරු වැටීගෙන එද්දී අට්ටාලය කරා යන අපි එළිවෙන තුරු ගැහෙන හදින් යුතුව සිටින්නේ හිරු නැගෙන තෙක් ආසාවෙනි. අඳුරට එතරම් ම අපි බිය වී සිටියෙමු. පසුදා කොළඹ එන විට හබරණින් මෙපිට යුද්ධයක් නැත. ඒ සිංහල අවුරුදු සමයේ හබරණ දේශයේ “ ලස්සන ආච්චි “ තේරූ අවුරුදු උත්සවය තිබූ අයුරු මට තාමත් මතකය.

එදා මෙන් නොව, මෑත භාගයේ ද ත්‍රස්තවාදය පිළිබඳ බිහිසුනු අත්දැකීම් මා හට තිබේ. 2008 වසරේ අපගේ මූලිකත්වයෙන් අනුරාධපුරයේ ස්වර්ණමාලි මහ සෑ රදුන් අබියස දැවැන්ත පින්කමක් සංවිධානය කෙරුණි. ඊට දිවයිනේ විවිධ පළාත් වලින් සැදැහැවතුන් ලක්ෂ ගණනින් පැමිණෙන්නට විය. මේ සා විශාල පිරිසක් අනුරපුරයට පින්රැස් කර ගැනීමට පැමිණෙද්දී, කුරිරු ත්‍රස්තවාදීන් කිහිප දෙනෙකු එම භුමියේ අධිබලැති බෝම්බයක් පුපුරවා හැරීමට පිඹුරු පත් සකස් කරමින් සිටි බවක් කිසිවකු දැන සිටියේ නැත.

නමුත් විශාල විනාශයක් වළකාලමින්, මල් බෑගයක සඟවා රැගෙන ආ එම බෝම්බය අත්වැරදීමකින් දඹුල්ලේ දී පුපුරා ගියේය. එදා එය එසේ සිදු නො වී, සැ මලුවේ දී බෝම්බය පුපුරා ගියේ වී නම්, සිදුවන විනාශය ඉතා දැවැන්ත වනු ඇත. මෙවන් සිදුවීම් වලට මුහුණ දී ඇති මා, ත්‍රස්තවාදයේ බිහිසුණු කම හොඳින් හඳුනමි.

ත්‍රස්තවාදයකට හසු වූ සමාජයක කිසිවක් ඉතුරු නොවේ. යම් සමාජයක් තුළ සමෘද්ධිය සෞභාග්‍ය කලාව ආදී ඕනෑම දෙයක් දියුණු වන්නේ සාමය ස්ථාපිත වුවහොත් පමණි. මේ සිරිලක් බිම වරින් වර ඒ අයුරින් මිසදිටු ත්‍රස්තවාදයෙන් දුකට පත් වුව ද ලක් පොළොවෙහි වාසනාවට එම ත්‍රස්තවාදය මැඩලීමේ සමත් පින්වත් නායකවරු කලින් කලට මෙහි පහළ වෙති.

තිස් වසරක් පුරාවට නොයෙක් අයුරින් මුල් ඇද ශක්තිමත් ව ලේ පිපාසිත ව දරුණු ව තිබූ ජාතිවාදි ත්‍රස්තවාදය මුලුමණින් ම නැසීමට සමත් නායකයෙක් දකුණෙන් පහළ විය. ඔහුගේ දෘඩතර අධිෂ්ඨානයත් ජාති වාත්සල්‍යයත් බෞද්ධ මාමකත්වයත් නිදහස් නිවහල් චින්තනයත් හේතුවෙන් යළිත් වරක් මේ දේශය මුලුමණින්ම ත්‍රස්තවාදයෙන් නිදහස් විය.

සැබැවින් ම දසක ගණනක් පුරා ත්‍රස්තවාදයෙන් බැට කෑ අපට මෙම දේශය ත්‍රස්තවාදයෙන් මුදවා ගැනීම යනු අදහාගත නොහැකි තරම් ම විශ්මිත සහනයකි. ඒ සහනය, සැනසිල්ල සිත දරා ගෙන මේ සියලු පුද පුජා වන්දනා ආදිය නැවත සිදු කරගත හැකිව තිබෙන්නේ ත්‍රස්තවාදය නැති වු නිසා මය. සාමය නිසා මය. සාමය යනු සැබැවින් ම අසිරිමත් දෙයකි. සාමයේ නාමයෙන් ත්‍රස්තවාදය වැපිරූ, ත්‍රස්තවාදයට උඩගෙඩි දුන්, ත්‍රස්තවාදය ම ස්ථාපිත කළ ඊනියා සාම වෙළෙන්දන්ගෙන් කිසිදාක අපට සාමය නො ලැබුණි. ලැබෙන්නේ ද නොවේ. සැබැවින් ම අපට සාමය ලැබුනේ අපේම වාසනාවට බිහි වූ නායකත්වය නිසාවෙනි.

දැන් ඉතින් අපට හිතුමනාපයට පින්කම් කළ හැකිය. වන්දනාවේ යා හැකිය. පුද පුජාවන් කළ හැකිය. සොළොස්මස්ථාන වන්දනාවේ යන්නට යුගයක් යළිත් අපට උදා වී ඇත. සෝමාවතිය යළිත් බබළන්නට පටන් ගෙන තිබේ. මහ ඝන වන මැදින් කිසිදු බියක් චකිතයක් නැති ව සැදැහැවතුන් සාදු හඬ නගමින්, බුදු ගුණ කවි කියමින් වන්දනාවේ යන්නට පටන් ගෙන තිබේ. උතුරු නැ‍ෙගනහිරට වසන්තය මෙන් ම පින් බර යුගයක් ද යළි උදාවන ලකුණු පෙනෙන්නට තිබේ. ත්‍රස්තවාදයෙන් රට මුදාගැනීමේ ප්‍රතිලාභ මෙය නො වේ ද? ත්‍රස්තවාදය නිමා වී වසරක් සපිරෙන මැයි මාසයේ 08 වැනි දින, සෝමාවතිය පුණ්‍ය භූමියේ පැවැත්වෙන මහා පින්කම් මාලාව ඒ උදා වූ සාමයේ ප්‍රතිඵලයක් මයි.

පොළොන්නරුවේ මහවනය මැද පිහිටා තිබෙන, බුදුරැස් විහිදෙන, ඒ සෝමාවතිය මහ සෑය වන්දනා කිරීමට ප්‍රථමයෙන්, එහි ඉතිහාසය පිළිබඳ ව යන්තමින් හෝ දැන සිටීම වැදගත් වේ.

අතීතයේ සිරිලක එක් සේසත් කළ දුටුගැමුණු මහරජුන් ගේ පියාණන් වන කාවන්තිස්ස නිරිඳුන් විසින් අප සම්බුදුරජුන් ගේ ලලාට ධාතුව නිධන් කොට සේරුවිල, මංගල මහා සෑය කරවන ලද්දේය. එකල මහවැලි ගං මෝය අසබඩ වූ තැනිතලා ප්‍රදේශය සශ්‍රීක වු ජනී ජනයාගෙන් පිරී ගිය සමෘද්ධිමත් රාජධානියක් විය. ඒ අවදියේ ම කැලණියේ සිව රජුගේ බෑණනුවන් වූ අභය කුමරු සමඟ කාවන්තිස්ස රජුගේ නැගණිය වන සෝමවතී දේවිය විවාහපත් වුවාය. දකුණේ ගැමුණු කුමරු ගේ බලය වැඩෙමින් තිබීමත් සමඟ ම ගිරි අබා කුමරු හෝ සෝමවතී දේවිය එවකට සේරු නුවර රජකළ සිව රජු වෙත ගියහ. සිව රජුගෙන් මහවැලි නදිය අසබඩ ඉතා සශ්‍රීක වූ ප්‍රදේශයක් ඔවුනට තෑගි වශයෙන් ලැබිණි. එම ප්‍රදේශය ලැබුණේ සෝමවතී දේවියට බැවින්, ගිරිඅබා කුමරු විසින් අලුතින් ගොඩනැගූ නුවරට නම් තබන ලද්දේ සෝම නුවර වශයෙනි.

සෝමවතී දේවිය තෙරුවන් කෙරෙහි මහත් සැදැහැයෙන් යුතු බෞද්ධ මහෝපාසිකාවකි. ඕ තොමෝ සැමට යහපත් පිණිස දාගැබක් සහිත විහාරයක් කිරීමට අදිටන් කර ගත්තාය. තම ස්වාමියා වන ගිරිඅබා කුමරුට ද එය යෝජනා කළාය. මහත් සේ සතුටට පත් වූ කුමරුන් රහතන් වහන්සේ හැට නමක් වැඩම කොට දන් පැන් පිළිගන්වා දාගැබක් සහිත වු විහාරය සෑදීමේ අදහස ඉදිරිපත් කළේය. රහතන් වහන්සේලාගේ සම්පූර්ණ ආශිර්වාදය ලැබුණි.

එකල ලක්දිව සඟ පරපුර නිර්මල ව පැවති අවදියකි. අරිට්ඨ මහ රහතන් වහන්සේ ගේ සිසු පරපුරෙන් පැමිණි මහාදේව මහරහතන් වහන්සේ ගේ ශිෂ්‍යයෙකු වූ මහින්ද නම් එක්තරා රහත් තෙරුන් වහන්සේ නමක් ළඟ සර්වඥයන් වහන්සේ ගේ දකුණු දළදා වහන්සේ සුරැකි ව තිබුණි. මෙය දැනගත් ගිරිඅබා රජු සහ සෝමවතී බිසව අලුත් දාගැබෙහි තැන්පත් කිරීම පිණිස ධාතුන් වහන්සේ නමක් ලබාදෙන මෙන් මිහිඳු තෙරුන්ගෙන් ඉල්ලා සිටියහ.

මහත් සතුටට පත් මිහිඳු රහතුන් ප්‍රධාන ඒ උතුම් සඟරුවන තමන් මෙතෙක් කලක් භක්ත්‍යාදරයෙන් සුරැකි ඒ දකුණු දළදා වහන්සේ ගිරිඅබා රජුට දුන් සේක. මහත් පී‍්‍රතියට පත් රජතුමාත්, සෝමවතී බිසවත් රහතුන්ට වැඳ නමස්කාර කරමින් චෛත්‍ය කර්මාන්තය පටන් ගත්හ. දකුණු දළදා වහන්සේ නිදන් කොට තැන වූ එම චෛත්‍යරාජයා ගේ සියලු කටයුතු සෝමවතී දේවියගේ මූලිකත්වයෙන් සිදුකළ හෙයින් ‘සෝමවතී චෛත්‍යය ‘ යන නාමය ලැබුණි.

තත්කාලීන සෙල්ලිපිවල දී මෙම මහාවිහාරය හඳුන්වනු ලබා ඇත්තේ ‘මණිඅගිය’ නමිනි. එහි තේරුම ‘අනඟි මැණික’ යනු යි. මෙය එකල සකල විහාරාංගයන්ගෙන් පරිපුර්ණ වු සිද්ධස්ථානයකි. පොහොය ගෙවල්, විහාර, සක්මන් මළු, භාවනා කුටි, පැන් පොකුණු, පුෂ්පාරාම, ඵලාරාමයන්ගෙන් සමලංකෘත ව තිබුණි.

ක්‍රි.ව. 10 වන සියවසේ දකුණු දඹදිව උමතු සිව බැතිමත් රජවරුන්ගෙන් එල්ල වු ආක්‍රමණයෙන් හටගත් බෞද්ධ සිද්ධස්ථාන සංහාරය නිසා ක්‍රම ක්‍රමයෙන් මෙම ප්‍රදේශ වල් බිහිවී වනාන්තර ගත වෙන්නට විය. කාලයාගේ ඇවෑමෙන් මහවැලි නදියේ ගලාබස්නා රටාව ද වෙනස් ව ගියේය. එකල මහවැලි නදියට නැගෙනහිරින් වූ සෝමවතිය දැන් පවතින්නේ මහවැලි නදියට මෙපිටිනි. එයට හේතුව නම් නදියෙහි ගලා බස්නා ආකාරය වෙනස් වීම යි. අද චෛත්‍ය රාජයා වෙත යන මාර්ගය පවා වැටී ඇත්තේ පැරණි මහවැලි ගඟ ගැලූ ප්‍රදේශ ඔස්සේය.

කලක් තිස්සේ වල්බිහි වී වනාන්තර ගත වී තිබුණු මෙම ප්‍රදේශයෙහි පිහිටි සෝමාවතී දාගැබ පිළිබඳව තොරතුරු පැතිර ගියේ මෙහි ඇති හාස්කම් නිසාවෙනි. මෙම දාගැබෙන් බුදුරැස් විහිදීමත්, අනේක වු දිව්‍යභේරි නාදයන් ගේ රාවයන් නිකුත් වීමත් ආදී ප්‍රාතිහාර්යයන් ගැන අසන්නට ලැබී මෙම දාගැබ සොයා පළමුවෙන් ම පියවර තබන ලද්දේ සිරිමල්වත්තේ ශ්‍රී පියරතන නාහිමියන් ඇතුළු පිරිස විසින් 1947 දී ය.

උන්වහන්සේලා අලි, කොටි, වග වලසුන්ගෙන් ගහණ මහ වනයට පිවිස කෙමෙන් කෙමෙන් වන ගැබ තුළට පිවිසෙද් දී වනයේ අතරමං වූහ. කිසිත් කරගත නොහැකි ව ත්‍රාසයට පත්ව සිටි ඒ අවස්ථාවෙහි ඈතින් අහසට ආලෝක ධාරාවක් විහිදෙනු දැක එය ඔස්සේ මහාසෑය තිබුණු ප්‍රදේශය සොයාගන්නා විට රාත්‍රී 11 පමණ වී තිබුණි. ඔවුහු අපමණ බුද්ධාලම්භන පී‍්‍රතියට පත් වූහ. තමන් ගේ නෙත් ඉදිරියේ දිස් වන්නේ හුදෙකලා ඝෝර වනයක කුඩා කඳුගැටයක් මෙන් දිස්වෙන ගරා වැටුණු සෑයෙන් අහසට විහිදෙන බුදුරැස් මාලාවන්ය. තුනුරුවන් වැඳ, පිරිත් කියා මහා සෑය ප්‍රතිසංස්කරණයට අදිටන් කරගත් උන්වහන්සේලාට ඒ මහාසෑය ඇතුළින් හේවිසි හඬ ද ශ්‍රවණය කරන්නට ලැබුණි.

සිරිමල්වත්තේ ශ්‍රී පියරතන නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් සෝමාවති චෛත්‍ය ප්‍රතිසංස්කරණය ආරම්භ විය. ක්‍රම ක්‍රමයෙන් මහාසෑයේ පිළිසකර කටයුතු අවසන් වෙමින් තිබුණි. 1991 ජූලි මස 4 වෙනි දින මහාසැයේ කේතුපළන්දන මහෝත්සවය කළ වේලෙහි එහි පැමිණ සිටි ලක්ෂ සංඛ්‍යාත පිරිස මවිතයට පත්කරවමින් දුටුදුටුවන්ගේ සිත් සතන් බුද්ධාලම්භන පී‍්‍රතියෙන් ඔකඳ කරවමින් සෝමවති මහාසෑයෙන් බුදුරැස් විහිදෙන්නට පටන් ගත්තේය. මෙම දර්ශනය මිනිත්තු 45 ක් පමණ තිබුණි.

1983 හටගත් ජූලි කලබල වලින් පසු යළිත් සෝමවතිය හුදෙකලා වන්නට විය. බෞද්ධ ජනතාවගෙන් තොර වු මෙම ප්‍රදේශයෙහි චෛත්‍ය රාජයාට වන්දනාමාන වතාවත් කිරීම එහි වැඩසිටින භික්ෂූන් වහන්සේලා විසින් කරන ලද්දේ ඉතා දුෂ්කරතා මධ්‍යයේය. කොටින්ම යන්නට පාරක් තොටක් නොමැති, අලි කොටි වග වළසුන්ගෙන් ගහණ සෝමාවතිය වෙත ළඟා වීමට බොහෝ දුක් වින්ඳ යුතු විය. සෝමාවතී මහා සෑය වෙනුවෙන් තම මුළු ජීවිතය ම පුජා කළ සිරිමල්වත්තේ ශ්‍රී පියරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ගේ අපවත් වීමෙන් පසු එහි භාරකාරත්වයට පත් පහමුණේ ශ්‍රී ගුණානන්ද අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අප්‍රමාණ ශ්‍රද්ධා භක්තියකින් යුක්ත ව මෙම චෛත්‍යරාජයාණන් වහන්සේ ගේ ආරක්ෂාවත් අභිවෘද්ධියත් උදෙසා මුළුජීවිතය ම කැප කළ සේක. උන් වහන්සේ අපවත් වීමෙන් පසු උන්වහන්සේ ගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය වූ පහමුණේ ශ්‍රී සුමංගල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සෝමාවතී චෛත්‍යරාජයාණන් වහන්සේගේ අභිවෘද්ධියත් ආරක්ෂාවත් උදෙසා මහත් ශ්‍රද්ධාවකින් කැප වී සිටින අයුරු ලක්වැසි සියලු භික්ෂූන් හට උදාර ආදර්ශයක් සපයයි.

2008 වසරේ මම සෝමාවති මහා සෑය වන්දනා කරන්නට ගියෙමි. 2008 පෙබරවාරි මස සිදු කළ ස්වර්ණමාලි මහාසෑය වන්දනාව බඳු වන්දනාවක් කිරීමට සෝමාවතියේ ද හැකියාවක් ඇත්නම් කොතරම් අගේදැයි අපට සිතුණි. මහා සෑය වන්දනා කොට මල් පුදා, දම්සක් පැවතුම් සූත්‍රය සජ්ක්‍ධායනා කොට දෙවියන්ට පින් දී අප විසින් ප්‍රාර්ථනා කරන ලද්දේ සිරිලක වනසන බියකරු ත්‍රස්තවාදය ඉක්මණින් නිමාවක් දකින්නට අවස්ථාවක් අපට සලස්වාදෙන ලෙසයි.

ත්‍රස්තවාදී භීෂණය දුරු වු විට සෝමාවතී මහාසෑ වන්දනාවක් කරන බවට චෛත්‍යරාජයාණන් වහන්සේට වන්දනා කොට ප්‍රාර්ථනා කළෙමි. තිස්වසරක් පුරාවට පැවති බිහිසුණු ජාතිවාදි ත්‍රස්තවාදය අවසන් වුයේ ලක්වාසින්ගේ වාසනාවටය.

මෙවර මහා සෑ වන්දනාව පිළිබඳ ව සාකච්ඡා කිරීමට අප ගොස් දවල් දෙකට පමණ පහමුණේ ශ්‍රී සුමංගල නායක ස්වාමීන් වහන්සේත් සමග මහා සෑ වන්දනා කොට පිරිත් කියා මෙම වෙසක් මාසයේ 8 වෙනි සෙනසුරාදා සෝමාවති මහා සෑ වන්දනාවක් සංවිධානය කිරීමට ආශිර්වාද ලබාගන්නා වේලෙහි අප සියලු දෙනා මවිතයට පත් කරමින් මහා සෑයෙන් රැස් විහිදෙන්නට විය.

අතීතයේ ශ්‍රී විභූතිය සිහි කරවමින් ශෛලමය ආසනයක් මත තැන්පත් කෙරුණු අඩි නවයක් උසැති ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් එදිනට සෝමාවතී පින්බිමට පූජා කෙරෙනු ඇත. මහාසෑයට නිරතුරු ව සුවඳ දීම පිණිස පිච්චමල් පඳුරු පනහකින් සමන්විත සුවිශාල මල් පෝච්චි පනහක් මහා සෑය වටා පිදෙනු ඇත. රැය පහන් වන තුරා බුදු ගුණ ගැයෙනු ඇත. පිරිත් ස්වරය සෝමාවතී පින්බිමෙහි රාව ප්‍රතිරාව නැංවෙනු ඇත.

දැනට සෝමාවතිය වනාහි දුෂ්කර වු ප්‍රදේශයකි. එහි පානීය ජලය මෙන් ම, සනීපාරක්ෂක සේවාවන් ද, නවාතැන් පහසුකම් ද, ආහාරපාන ආදිය සොයාගැනීම ද අපහසු විය හැකිය. එනිසා සෝමාවති වන්දනාවට පැමිණෙන සැදැහැවතුන් උදෙසා සිසිල් ජලය, ආහාර පාන ආදියෙන් දන්සැල් පවත්වා පින් කිරීමට කැමති පින්වත්හු ඒ සඳහා සිත යොදත්වා! එමෙන් ම පැමිණෙන සියලු දෙනා පුද්ගලික පරිහරණය පිණිස පිඟානක්, කෝප්පයක්, සහ ඉඳගැනීමට සුදුසු ඇතිරිල්ලක් රැගෙන එන්න. එසේ ම රාත්‍රිය පුරා එක හඩින් අප සමඟ මිහිරට පිරිත් සජ්ක්‍ධායනා කිරීමට පිරිත් පොත්වහන්සේ සහ පාලි සතිපට්ඨාන පොත් වහන්සේ ද රැගෙන එන්න!

මේ ලක්දිව තෙවරක් වැඩම කොට සාමය ස්ථාපිත කළ තිලොවග සාමයේ මුනිදාණන් වු ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගේ දකුණු දළදා වහන්සේ නිදන් කොට තනවන ලද බුදු රැස් විහිදෙන සෝමාවති මහසෑ වන්දනාවට සියල්ලෝම සතුටු සිතින් සහභාගී වෙත්වා! තමා ලද නෙත් වල ඵල නෙලා ගනිත්වා! සැදැහැ සිත් පුබුදුවා ගනිත්වා! වන පස මලක් හෝ පුදා පින් රැස්කර ගනිත්වා! ගොයුම් ගොත් මුනිරජුන් ගේ අසිරිමත් ධාතුන් වහන්සේලා විසින් අනුහස් පැතිර වු මේ සිරිලක් දෙරණ පුරා සෙත ශාන්තිය, සෞභාග්‍යය හා සාමය පැතිර යාමට මෙම උතුම් වන්දනාව හේතුවේවා! යළි කිසිදා ත්‍රස්තවාදයෙන් හිංසා නො ලබන්නට ත් එක ම මවක ගේ දරු කැලක් සේ නිදහස් නිවහල් රාජ්‍යයක සුවසේ දිවි ගෙවන්නට ත් ඒ සියලු පින් උපකාර වෙත්වා! සියලු පුණ්‍යානුභාවයෙන් දෙවියන් ගේ රැකවරණයෙන් ශ්‍රී ලංකාව ලොව අසිරිමත් රාජ්‍යයක් වේවා!

මුනිඳු ගෞතම අප තිලෝගුරු - බුදුරැසින් ලොව දසත විහිදූ
සුමුදු බුදුවදනින් සදා සෙත - ලොවට සිරි සැප සතුට සෑදූ
පුබුදුවන මුනි ගුණය කැටිකොට - උතුම් සෝමාවතිය සෑදූ
දකුණු දළදා සමිඳු වඳිනෙමු - දෑත නළලේ තබා සාදූ

අධි වෙසක් අව අටවක පෝය

අධි වෙසක් අව අටවක පෝයමැයි මස 05 වනදා අපරභාග 8.30 ට ලබයි.
6 වන දා බ්‍රහස්පතින්දා අපරභාග 11 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 6 වනදා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
මැයි මස 13 වනදා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 06

New Moonඅමාවක

මැයි 13

First Quarterපුර අටවක

මැයි 21

Full Moonපසෙලාස්වක

මැයි 27

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]