UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

මොකක්ද මේ හරි දැකීම ?

“සම්මා දිට්ඨි” යනු නිවැරැදි දැකීමයි. නිවැරැදි අවබෝධය යි. එය තමන්ට මහත් වූ යහපතක් උදා කරනු ඇත. “සරාංච සාරතෝ ඤත්වා, අසාරංච අසාරතෝ” ‘සරු දේ සරු ලෙසත්, නිසරු දේ නිසරු හැටියටත්, දකිමින් ජීවත්වීම’ ඉන් අදහස් කෙරේ. එවැනි අය සැපවත් ස්ථානවල උපත ලබන බව බුදු දහම සඳහන් කරයි.

මිථ්‍යා දෘෂ්ටිය යන වචනය ඔබ ඕනෑ තරම් අසා ඇතැයි සිතමි. ඉන් අර්ථවත් වන්නේ වැරදි දැකීමයි. “මිථ්‍යාදෘෂ්ටි” යන වචනය සංස්කෘත වචනයක් වන අතර “මිච්චාදිට්ටි” යනු එහි පාලි වචනයයි.එහි සිංහල වචනය “වැරදි දැකීමයි” එම වචනයේ යහපත් පැත්ත සම්‍යක්දෘෂ්ටියයි. එම වචනය සංස්කෘත භාෂාවේ වන අතර පාලි භාෂාවෙන් “සම්මාදිට්ටි” යනුවෙන් දැක්වේ. එම වචනය සිංහලෙන් නිවැරදි දැකීම යනුවෙන් දක්වා ඇත.

ඔබ කොහොමද, මේ දැක්ම හඳුනාගන්නේ? කෙනෙකුට වැරදි දැකීමක් ඇත්නම්, එවැනි දෙයක් තමන්ට තිබෙනව කියල ඒ පුද්ගලයාට දැනෙන්නේ නැත මන්ද? ඒ පුද්ගලයා සිතන්නේ තම අදහස නිවැරදි බවයි. මෙම ලක්‍ෂණය ඕනෑම ක්‍ෂේත්‍රයකම දකින්නට ලැබේ.

උදාහරණයක් ලෙස කෙනෙකු දේශපාලන පක්‍ෂයකට පක්‍ෂපාතීයි නම් එම පක්‍ෂය රටට, ජාතියට කෙතරම් හානි කළ ද මේ පුද්ගලයාගේ කැමැත්ත තිබෙන්නේ එම දේශපාලන පක්‍ෂයටමයි. කෙනෙකු සැබෑ තත්ත්වය පහදා දුන්නත් එය විශ්වාස කරන්නේ නැත. ගණන්ගන්නේ ද නැත. මේ ස්වභාවය පුද්ගලයෙක් පිළිබඳව වූවත් එසේමයි. සමහර දෙනාට මිනිසුන් තේරුම් ගැනීමට හැකියාව නැත.

එක් පුද්ගලයෙක් තවත් කෙනෙක් පිළිබඳව දැඩි විශ්වාසයකින් කටයුතු කරන විට තවත් කෙනෙක් කීවොත් ඔය පුද්ගලයා එච්චර හොඳ කෙනෙක් නොවෙයි, ප්‍රවේශමෙන් ඇසුරු කරන්න කියල. අර පුද්ගලයා කියන්නේ “ නෑ නෑ එයා හොඳම කෙනෙක්” කියා ය. ඒ පුද්ගලයාගේ දෘෂ්ටිය වැරදි වුවත් හොඳවූවත් නිවැරදි කියලයි එයා සිතන්නේ. කෙසේ වෙතත් ඔය අතරේ හොඳ අයත් ඉන්නව. අප කළ යුත්තේ මධ්‍යස්ථව කටයුතු කිරීමයි.

අප නොදන්න කෙනෙක් පිළිබඳව සහතික කරන්න බැහැනේ. ඒ වගේම අප නොදන්න භාණ්ඩයක් ගැන හොඳයි කියන්නත් බැහැ. එසේම අප නොදන්න රටක් ගැන විශ්වාසයෙන් කතා කළ හැකි ද? කෙසේවත් නොහැකි ය. එසේනම් ඒ සෑම දේකම සොයාගත් නිවැරදි තොරතුරු තිබෙන්නම ඕනේ.

ඒ තොරතුරු සෙවීමේ දී වූවත් තමන්ට වැරදි තොරතුරු ලැබිය හැකි ය. ඒ නිසා තමා හොඳ සිහිබුද්ධියෙන් කටයුතු කළ යුතු වෙනවා. කිසිමදේක එල්බගැනීමක් නොකළ යුතු ය. එනම් තමන් යම් දෙයක් ගැන නියමාකාරයෙන් දන්නේ නැතිව සිටිමින් එය හොඳයි හෝ නරකයි කියා නිගමනය නොකළ යුතු ය.

අවශ්‍ය වන්නේ ඇත්තද? නැත්තද? කියා විමසා බැලීමයි. ඒ සඳහා ප්‍රධාන වශයෙන් තිබිය යුතු දෙයකි, මධ්‍යස්ථ බව. එය නොමැති නම් කොස්ගහට පොල්ගහ කීවත් එය පිළිගන්නවා. දෙල් ගහට පොල්ගහ කීවත් පිළිගන්නවා. එවැනි මිනිසුන් මේ සමාජයේ ඕනෑතරම් සොයාගත හැකිය. වෙනත් කෙනෙක් යම් දෙයක් ගැන කියූ පමණින් විශ්වාස නොකළ යුතු ය.

“මිච්ඡාදිට්ටි භික්‍ඛවේ පරමා වජ්ජා” එනම් වැරදි දැකීම ප්‍රධාන වැරැද්දක් බව බුදුදහමේ දැක්වෙනවා. සමහරු දන් දෙනවට කැමති නැහැ. සිල් සමාදන් වෙනවට කැමති නැහැ. දෙමාපියන්ට සලකන එකට කැමතිත් නැහැ. පින් දහම් කරනවට කැමතිත් නැහැ. කෙටියෙන් සඳහන් කරනවා නම් කිසිම හොඳ දෙයක් කරන්නට ඉඩදෙන්නේ නැහැ. කෙනෙක් එවැනි ආකාරයට ජීවත් වේ නම් ඒ පුද්ගලයාට යන්නට වෙනම අපායක් තිබිය යුතුමය. එමනිසා එවැනි වැරදි දැකීම් ඇති මිනිසුන් සමග ජීවත් වීමත් මහා පාපයක්.

“සම්මා දිට්ඨි” යනු නිවැරැදි දැකීමයි. නිවැරැදි අවබෝධයයි. එය තමන්ට මහත් වූ යහපතක් උදාකරනු ඇත. “සරාංච සාරතෝ ඤත්වා, අසාරංච අසාරතෝ” ‘සරු දේ සරු ලෙසත්, නිසරු දේ නිසරු හැටියටත්, දකිමින් ජීවත්වීම’ ඉන් අදහස් කෙරේ. එවැනි අය සැපවත් ස්ථානවල උපත ලබන බව බුදු දහම සඳහන් කරයි.

ආගම දහම තෝරා ගැනීමේ දී වූවත් නිවැරදි අවබෝධය තිබිය යුතු ය. කෙනෙකුට උප්පැත්තියෙන් ආගමක් තිබෙන්නට පිළිවන. නමුත් ඒ පුද්ගලයාගේ නුවණ බුද්ධිය වැඩිදියුණු වන විට නිවැරදි අවබෝධය ලැබෙන්නට පිළිවන. ඒ නිසා සත්‍ය වූ ආගමක් අනුගමනය කිරීමට යොමුවේ. එවැනි ආකාරයට කටයුතු කරන්නේ තමන්ට අමුතු ලාභයක් ලැබෙන නිසා නොව නිවැරදි වූ සත්‍ය හා සැනසීම ඇති නිසා ය.

සමහරුන්ට ආගම වූවත් නිවැරදි ආකාරයෙන් තෝරා බේරා ගැනීමට හැකියාව නැත. ඒ නිසා වැරදි ඇදහීම් සහිත ආගම් අදහමින් අඳුරේ ඇලී ගැලී සිටිනු දක්නට ලැබේ. ඔවුන්ට කිසිමදාක සැනසීමක් නම් ලැබෙන්නේම නැත.

මේ අනුව සෑම දෙයක්ම සොයා බලා සිහිනුවණින් ක්‍රියාකළ යුතු වෙනවා. සාමාන්‍ය වහරේ කියමනක් තියෙනවා. “යකා ඔය කියන තරම් කළු නැහැ” කියල. එසේනම්, ඉන් පැහැදිලි වන්නේ ඈත කාලයේ සිට යකා පිළිබඳව සිතාගෙන සිටි ආකාරය නිවැරදි නොවන බවයි. අප සමාජයේ සමහර වැරදි විශ්වාස මිනිස් සිත්වලින් ඉවත් කිරීමට නොහැකිවී ඇත්තේ දැඩිව ග්‍රහණය කරගත් නිසා ය. බලන්න, හූනෙක් චුක් චුක් ගෑවොත්, බස්සෙක් කෑ ගැහුවොත්, කෑරළා හඬලෑවොත් සිතන්නේ එය යහපත් නොවන දෙයක් ලෙසය.

මේ නිසා නිරතුරුව සත්‍ය සොයන්න. තමන් හරි, මම තමයි නිවැරදි යන මානසිකත්වයේ කොටුවෙන්න එපා. තමා නොදන්න දේ මේ ලෝකයේ කෙතරම් ඇද්ද? මේ ලෝකය පිළිබඳව අප දැනගත යුතු දේ කොතරම් ඇද්ද? ඒ නිසා අනුන් කියන දේත් අසා මධ්‍යස්ථව සිතා කටයුතු කරන්න. ඉවසීමෙන් සැනසීම ලැබෙනවාසේ විමසීමෙන් සත්‍ය දැනගත හැක.

අධි වෙසක් පුර පසළොස්වක

අධි වෙසක් පුර පසළොස්වක අප්‍රේල් 27 වන දා අඟහරුවාදා අපරභාග 07.53 ට ලබයි.
28 වන දා බදාදා අපර භාග 05.48 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අප්‍රේල් 28 වන දා බදාදාය.

මීළඟ පෝය
මැයි මස 06 වන දා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 28

Second Quarterඅව අටවක

මැයි 06

New Moonඅමාවක

මැයි 13

First Quarterපුර අටවක

මැයි 21

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]