UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

වසර 125 කට පෙර සිදු වූ අසිරිමත් සිදුවීමක් සමරන අධි වෙසක් පොහොය

පසළොස්වක පොහොය දෙළොස, ශ්‍රී ලාංකික බෞද්ධයන් ගේ ජීවිතය හා බැඳී පවතී. එම නිසා එහි ආගමික හා සංස්කෘතික වටිනාකමක් ගැබ්ව ඇත. සිංහල ලිත් මාස ක්‍රමය අනුව, දුරුතු, නවම්, මැදින්, බක්, වෙසක්, පොසොන්, ඇසළ, නිකිණි, බිනර, වප්, ඉල්, උඳුවප් වශයෙන් මාස 12 නම් කෙරේ. මෙය, ඉංග්‍රීසි ලිතට අනුව ජනවාරි, පෙබරවාරි, මාර්තු, අප්‍රේල්, මැයි, ජුනි, ජූලි, අගෝස්තු, සැප්තැම්බර්, ඔක්තෝබර්, නොවැම්බර් හා දෙසැම්බර් ලෙස හැඳින්වේ.

මෙවර සිංහල ලිතට අනුවත් විශේෂයෙන්ම නක්ෂත්‍ර ක්‍රමයට අනුවත්, 2010 වසරට අධි මාසයක් ඇතුළත්වේ. මෙය සාමාන්‍යයෙන් සිදුවන්නේ සෑම වසර 3 කට වරක් ය. මේ නිසා මේ වසරේ 2010 දී පස්ළොස්වක පොහෝ දින 13 ක් ලෙස ගණනය කෙරේ.

අවුරුද්දට දින 365 කි. දශාවල් නැකත් අනුව, ජ්‍යෙතිෂයයේ දින 360 ක් ලෙස ගණය කෙරේ. එහෙත්, තවත් දවස් පහක් එකතුව දින 365 සැදී ඇත. ඉරු, චන්ද්‍ර, අඟහරු, බුධ, බ්‍රහස්පති, සිකුරු, සෙනසුරුද, එයට අමතරව ඡායා ග්‍රහයන් ලෙස හැඳින්වෙන රාහු, කේතුද ඉර වටා කැරකැවේ. මෙහිදී ගමන් මඟ වෙනස්වන අවස්ථා ද ඇත. අධික මාසයකට හේතුව එය බව ඡ්‍යොතිෂයට අනුව දැක්විය හැකිය.


මෙයට වසර 125 කට පෙර පළමු වරට බෞද්ධ කොඩිය එසවීම - අධි වෙසක් පොහෝ දිනයක දී ශ්‍රීමත් හෙන්රි ස්ටීල් ඕල්කොට් තුමන් අතින් මෙසේ සිදු විය.

සිදුහත් කුමරු උත්පත්තිය, සිදුහත් කුමරු බුද්ධත්වය ලැබීම හා ගෞතම බුදුන් වහන්සෙගේ පිරිනිවන්පෑම යන මෙකී තෙමඟුල සිදුවූයේ වෙසක් පුර පසළොස්වක පොහෝ දිනයේදී ය. මෙවර එම තෙමඟුල උදාවන්නේ වෙසක් මස, මැයි මස 27 වනදා ය. කෙසේ වුවද, ජ්‍යෙතිෂය අනුව, අප්‍රේල් 28 වනදාට අධි වෙසක් පෝය යෙදී තිබේ.

සාමාන්‍ය සම්ප්‍රදාය අනුව, දුරුතු පෝය උදාවන්නේ ජනවාරි මාසයේදී ය. එහෙත්, 2009 දෙසැම්බර් 31 වනදා දුරුතු උදාවුනු අතර, 2010 ජනවාරි 29 වනදා (වෙනදා උදාවන දුරුතු වෙනුවට) නවම් පෝය උදාවිය.වෙසක් පෝය මැයි 27 වන බ්‍රහස්පතින්දා උදාවනු ඇත. මෙය අධි වර්ෂයක් නිසා, මෙම මස අප්‍රේල් 28 වන බදාදා පොහොය අධි වෙසක් ලෙස හැඳින්වේ.

නිදසුනක් වශයෙන් ගතහොත්, වර්ෂ 2004 දී නිකිනි පෝය දෙකක්ද, 2007 දී පොසොන් පෝය දෙකක්ද, මෙවර 2010 දී වෙසක් පෝය දෙකක් ද උදාවීම, විශේෂයෙන් පෙනී යයි.මේ අනුව, අධිපෝය එළඹෙන්නේ වසර 3 කට වරකි.

අප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වයෙන් වසර 2600 සපිරෙන බුද්ධ වර්ෂ 2555 නැතහොත් ව්‍යවහාර වර්ෂ 2011 වෙසක් පුනු පොහොය සකල ලෝක බෞද්ධ ජනතාවටම අතිශයින්ම වැදගත් ජයන්ති මංගල්‍ය අවස්ථාවක් ලෙස සැලකේ. 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය සැමරීම සඳහා එම වැඩ පිළිවෙළ සකස්කිරීම පිණිසත්, බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලයක් රජය විසින් පත්කොට ඇත.

මෙකී බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය, ශාසනිකවූත්, ජාතිකවූත්, විවිධ ගැටලු නිරාකරණ කිරීම් වස්, තෛ‍්‍රනිකායික අති පූජ්‍ය මහානායක මාහිමිවරන්ගේ උත්තරීතර අනුශාසකත්වයෙන් වියත්, දැනුවත් ස්වාමීන් වහන්සේ ඇතුළු ප්‍රධාන බෞද්ධ සංවිධාන 13 කින් සමන්විත වූ එක්සත් ස්වාධීන බෞද්ධ සංවිධානයකි.

වර්ෂ 1885 අප්‍රේල් 28 වනදා මෙයට වසර 125කට පෙර, අධි වෙසක් දිනය උදා විය.එදින බෞද්ධ ශාසනික ඉතිහාසයේ අති සුවිශේෂ දිනයක් විය. ප්‍රථම වරට නිල වශයෙන්, නීල, පීත, ලෝහිත, ඕදාත, මාජේස්ට, ප්‍රභාෂ්වර යන පාට සයකින් යුක්ත බෞද්ධ කොඩිය, කොටහේනේ දීපදුත්තාරාම විහාරස්ථානයේ දී ලෙල දුන්නේ ද වර්ෂ 1885 අප්‍රේල් 28 වන දින ය.

අද ලොව පුරා බෞද්ධයන්ගේ ධජය ලෙස පිළිගැනෙන මේ ප්‍රභාමත් කොඩිය එසවීමේ පුරෝගාමීන් ලෙස හඳුන්වන්නේ මිගෙට්ටුවත්තේ ගුණානන්ද, හික්කඩුවේ ශ්‍රී සුමංගල හා ශ්‍රී ලංකාවේ බෞද්ධ අධ්‍යාපනයේ පුරෝගාමියාවූ හෙන්රි ස්ටීල් ඕල්කට් තුමාය.

අදට 2010 අප්‍රේල් 28 යෙදෙන අධි වෙසක් දිනයේ දී අප සිත් සතන් පහන් වන්නේ ධම්මපදයේ බුද්ධ වග්ගයේ එන මෙහි පහත දක්වන ගාථාව මෙනෙහි කරන විට ය.

සුඛො බුද්ධානං උප්පාදෝ
(සුඛා සද්ධම්මා දෙසනා
සුඛා සංඝස්ස සාමග්ගි –
(සමග්ගානං තපෝ සුඛො
(ධම්මපදය – 194)

සත්වයන්ට ලොවුතුරු සැප ගෙන දෙන බැවින්, බුදුවරුන්ගේ ඉපදීම සැපතකි. සදහම් දෙසීම සැපතකි. සංඝයාගේ සමගිය සැපතකි. සමගියෙන් කල් යවන්නන්ට තපස සැපතකි.

තෙමඟුලට අදාළව අධි මාසය (අප්‍රේල්) තුළදී උදා වූ මේ අධි වෙසක් දිනය අප බෞද්ධයින්ට, මැයි මාසයේ දී උදාවන්නා වූ වෙසක් මහා උත්සවයට කිසියම් පෙරහුරුවක් වැනිය. අද දිනයේ දී ද අප බෞද්ධ විහාරස්ථාන බොදු සැදැහැවතුන්ගෙන් පිරී ඉතිරී යනවා ඇත. අෂ්ටාංගික ශීලය සමාදන්වීම, ධර්ම දේශනා ධර්ම සාකච්ඡා මෙදිනද ඉතා ඉහළින් පවත්වන්නට අප බෞද්ධයෝ සැදී පැහැදී සිටින්නාහ.

බුදුදහම එක් ගාථා පාඨයකින් අපට හකුළුවා දැක්විය හැකි ය. අධි වෙසක් දිනයේදී පමණක් නොව, සෑම දිනකම බෞද්ධයන් වශයෙන් අපි මෙකී ගාථාව මෙනෙහි කරමු. ඒ අනුව අපේ ජීවිත සකස් කර ගනිමු.

සබ්බ පාපස්ස අකරණං
කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියොදපනං
එතං බුද්ධාන සාසනං
(ධම්මපදය – 183)

සියලු පව් නොකළ යුතු ය. කුසල් රැස් කළ යුතු ය. පඤ්ච නීවරණ කෙරෙන් සිය සිත පිරිසුදු කරගත යුතු ය. මෙය බුදුවරුන්ගේ අනුශාසන ය යි.

ඔබ සැමට තෙරුවන් සරණයි.

 

අධි වෙසක් පුර පසළොස්වක

අධි වෙසක් පුර පසළොස්වක අප්‍රේල් 27 වන දා අඟහරුවාදා අපරභාග 07.53 ට ලබයි.
28 වන දා බදාදා අපර භාග 05.48 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අප්‍රේල් 28 වන දා බදාදාය.

මීළඟ පෝය
මැයි මස 06 වන දා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 28

Second Quarterඅව අටවක

මැයි 06

New Moonඅමාවක

මැයි 13

First Quarterපුර අටවක

මැයි 21

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]