Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

‘දඬුවම’ ගැන බෞද්ධ මතය

බුදුදහම පිටකයන් තුනකින් යුක්තව නිර්මාණය වී ඇත. සූත්‍ර පිටකය විනය පිටකය අභිධර්ම පිටකය ලෙසිනි. භික්ෂූන් වහන්සේගේ අරමුණු සාක්ෂාත් කරගැනීමට උපකාරිවන ප්‍රඥාප්ති මාලාව විනය ප්‍රඥාප්ති මාලාව ලෙස සලකයි. මේවා විනය පිටකය තුළ සංගෘහිත වී ඇත. විනයේ අවශ්‍යතාව මතු වනුයේ ධර්මයේ සුරක්ෂිතතාවයට සහ චිර පැවැත්මටයි.

ධර්මයේ අරමුණුවලට බාධාවන විට ශාසනය තුළ විනය ප්‍රඥාප්ති ප්‍රකාශ කරයි. එහෙත් කල්යත්ම ශාසනික පරිණතියත් සමඟම භික්ෂූ සංඝයා නිකාය වශයෙන් බෙදීයාමේදී ධර්මය ප්‍රමුඛ කොට ගත්තෝ සුත්තන්තික ලෙස ද විනය ප්‍රමුඛ කොට ගත්තෝ විනයධර නමින් ද පෙනී සිටිය හ. සම්ප්‍රදාය ගරුක වීම නිසා එසේ වුවත් ධර්මයෙන් තොර විනයක උපයෝගිතාව බුදුදහම අනුමත නොකරයි.

විනය ගරුක වීම තුළ සිල්වත් වීම අදහස් වුවද සිල්වත් වීමත් විනය ගරුක වීමත් දෙකකි. සීලය ධර්මයේ කොටසක් වන අතර විනය ඉන් පරිබාහිරය. සීලය පුද්ගල බද්ධවන අතර විනය සමාජ බද්ධ ප්‍රස්තුතයකි. සීලයෙන් සමාජ සුරක්ෂිත භාවය යම්තරමකට ඉටුවුවත් බුදුදහම සීලයෙන් අපේක්ෂා කරනුයේ මානසික ඒකාග්‍රතාවය ඉලක්ක කරගත් කායික සංයමය තුළින් විමුක්තිය සාක්ෂාත් කර ගැනීමයි. විනය අපේක්ෂා කරනුයේ සමාජ සාමයික සංවිධානයයි.

සීලය සම්බන්ධ වනුයේ විශ්ව ධර්මතාව සමගය. විනය සම්බන්ධ වනුයේ ආයතනික ව්‍යවස්ථාව සමඟය. සීලය ඉක්මවා යෑමෙන් දඬුවම් ලබන්නේ විශ්ව ධර්මතාවලට අනුකූලවය. ඒ සඳහා බුදුදහමට බලපෑමක් කළ නොහැකි ය. විනය බුද්ධ ප්‍රඥාප්තියක් වන බැවින් විනය විරෝධීන් දඬුවම් ලබන්නේ බුදුන්වහන්සේ වදාළ ලෙසය. විනය, කඩකිරීමේදී පාපයක් ලෙස හඳුන්වා ඇත්තේ සීල භේදය සිදු වී ඇත්නම් පමණි. ‘සේඛියා’ කඩකිරීමෙන් ඇවතක් සිදු නොවේ. පාපයක් සිදු නොවිය හැකි යැයි සිතිය හැකි සංඝාදිසේස ආපත්ති පවා බුදුන් දුටුවේ ශාසනයට හානි සිදුවන මහජන අප්‍රසාදයට ලක්වන විනය විරෝධි ක්‍රියා ලෙසය.

බුදුන් වහන්සේගේ් විනය ප්‍රඥප්තීන් ආයතනික සංග්‍රහයක් ව්‍යවස්ථා මාලාවක් ලෙස ක්‍රියාත්මක වූ බවත්, ඒවා කඩ කිරීමෙන් සාමණේරයන් වහන්සේ පටන් වරදට ප්‍රමාණවත් දඬුවම් වලට යටත්වීමට සිදු වූ බවත් පෙනී යයි. මුල් යුගයේ ශාසනයට ඇතුළත් වීමට තිසරණ සමාදානය ප්‍රමාණවත් විය. පසුව ඔවුන්ට දස සික්ඛා පද පැනවිය.

1. පාණාතිපාතා වේරමණී - පරපණ නැසීමෙන් වෙන් වීම
2. අදින්නාදානා වේරමණී - නොදුන් දේ ගැනීමෙන් වෙන්වීම
3. අබ්‍රමචරියා වේරමණී - මෛථූන සේවනයෙන් වැළකිමි
4. මුසාවාදා වේරමණී - අසත්‍ය පැවසීමෙන් වෙන්වීම
5. සුරාමේරය මජ්ජපමා දට්ඨාණා වේරමණී - රහමෙරින් වෙන්වීම
6. විකාල භෝජනා වේරමණී - විකල් බොජුනෙන් වෙන්වීම
7. නච්චගීත වාදිත විසුක දස්සන වේරමණී - නැටුම් ගැයුම් වැයුම් විසිළු දැකීම් වලින් වෙන්වීම
8. මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂ නට්ඨානා වේරමණී - මල් ගඳ විලවුන් දැරීම සිරුර මැඩීම, සැරසීම යන කරුණු වලින් වෙන්වීම
9. උච්චාසයන මහා සයනා වේරමණී - උස් අසුන් වලින් වෙන්වීම
10. ජාත රූප රජත පටිග්ගහනා වේරමණී - රන්රිදී මසු කහවණු පිළිගැනීමෙන් වැළකීම

මෙම ශික්ෂා පද දහයෙන් මුල් පහ ඉක්ම වීම සසුනෙන් නෙරපීටම ද අනෙක් පහ ඉක්මවීම දඬුවම් ලැබීමටද හේතුවන බව සමන්තපාසාදිකාව කියයි. මුල් ශික්ෂා කඩකිරීමෙන් සරණා ගමනයේ පටන් සියලු ශික්ෂා බිඳීයයි. නැවත සංවරයට පැමිණීමට නම් ශ්‍රමණ වේශය බැහැර නොකොට තිසරණය හා දස ශික්ෂා පද සමාදන් කරවිය හැකිය. කණ්ඨක නම් සාමණේරයා කණ්ඨකී නම් භික්ෂුණිය දූෂණය කිරීම මුල් කරගෙන දශනාසනයක් ප්‍රකාශ කොට ඇත.

1. පාණාතිපාතා හොති - පරපණ නසන්නේ වෙයි
2. අදින්නාදානා හොති - නොදුන් දේ ගන්නේ වෙයි
3. අබ්‍රහ්මචරියා හොති - මෛථූනයෙහි හැසිරෙන්නේ වෙයි
4. මුසාවාදි හොති - මුසා බස් කියන්නේ වෙයි
5. මජ්ජපායි හොති - රහමෙර පානය කරන්නෙවෙයි
6. බුද්ධස්ස අවණ්නං භාසති - ශෘස්තෘන් වහන්සේගේ නොගුණ කියයි
7. ධම්මස්ස අවණ්නං භාසති : ධර්මයේ නොගුණ කියයි
8. සංඝස්ස අවණ්නං භාසති - සංඝයාගේ නොගුණ කියයි
9. මිච්ඡා දිට්ටිකො හොති - මිථ්‍යාදෘෂ්ටික වෙයි
10. භික්ඛුණී දුසකො හොති - භික්ෂූණී දූෂණය කරන්නේ වෙයි

අවවාද අනුසාසනාවන්ට අනුකූ®ල නොවෙන්නේ නම් මෙම අංග දහයෙන් සමන්විත සාමණේරයා සසුනෙන් බැහැර කළයුතු වෙයි. මෙම දශනාසනාවන් සමණේරයන්ට දස පරිජි ද වෙයි. දස ශික්ෂා අතරින් අවසානයට දැක්වෙන විකාල භෝජනා ශික්ෂාවේ සිට ජාත රූප රජත පටිග්ගහන ශික්ෂාව දක්වා ශික්ෂා පද පහ බිඳෙන්නෙනම් සසුනෙන් බැහැර කිරීම සිදු නොවේ. ඊට දඬුවම් දිය යුතුය. දඬුවම සාමණේරයා ආයති සංවරයට පැමිණ වීම අරමුණු කරගෙනම දිය යුත්තකි. සාමණේරයාට දඬුවම් පමුණුවන මෙම වැරැදි වලට අතිරේකව තවත් වැරැදි පහක් දැක්වෙයි.

1. භික්ෂූන්ට ලාභ වැළකීයන පරිදි ක්‍රියා කිරීම
(භික්ඛුනං අලාභාය පරිසක්කති)

2. භික්ෂූන්ට අනර්ථ සැලසෙන පරිදි ක්‍රියාකිරීම
(භික්‍ඛුනං අනත්‍ථාය පරිසක්කති)

3. භික්‍ෂූන්ට වාසය කිරීම පිළිබඳ දුෂ්කරතා ඇති කිරීම
(භික්‍ඛුනං ආවාසාය පරිකස්සති)

4. භික්‍ෂූන්ට ආක්‍රොෂ පරිභව කිරීම
(භික්‍ඛුනං අක්කොසති පරිභාසති)

5. කේළාම් කියා භික්ෂූන් භික්ෂූන් කෙරෙහි බිඳවීම
(භික්‍ඛු භික්‍ඛුභි භෙදෙති)

මෙම වැරැදි කරන සමණේරයාට දඬුවම් නියම කොට ඇත. එම දඬුවම් නම් ආවරණ හෙවත් ආචාර්ය උපාධ්‍යන් වසන ස්ථානට යාමට ඉඩ නොදීමයි. මෙම ආවරණය සියලු සංඝාරාම ආවරණයක් හෝ ආහාර ආවරණය කිරීමක් නොවිය යුතු බව මහාවග්ග පාලියේ දැක්වෙයි.

සාමණේරයන් මෙන්ම උපසපන් භික්ෂූන් ද වැරැදි කර ඇත. උන්වහන්සේ හික්මීම සඳහා පනවන ලද ශික්‍ෂාවන් ප්‍රාතිමොක්‍ෂය නමින් ඉදිරිපත් වී ඇත. ප්‍රාතිමොක්‍ෂයේ ශික්ෂා පද 227 කි. එයින් සප්ත අධිකරණ සමථ හුදු ශික්‍ෂා සංඛ්‍යාවට ඇතුළු කිරීම නුසුදුසුය. ඒ අනුව විනය ශික්‍ෂා පද 220ක් ලෙස සැලකෙයි. එම විනය ශික්ෂා ආපත්තිවල ස්වභාවය අනුව වර්ග කර දැක්වෙයි.

පාරාජිකා, සංඝාදිසෙස , අනියත, නිස්සග්ගිය ,
පාචිත්තිය , පාටිදෙසනීය, සේඛියා

ප්‍රාතිමෝක්ෂයට අනුව උපසපන් භික්‍ෂූන් සිදුකරන වරද හඳුන්වනුයේ ආපත්ති නමින් ලැබිය යුතු දඬුවම්වල ස්වභාවය අනුව වර්ග කොට ඇත.

1. ජෙද්‍යගාමිනි (සසුනෙන් පහකිරීම තරම් බරබතළ වැරැදි)
මෙම කොටසට අයත් වනුයේ පාරාජිකා පත්තීන්ය.

2. උට්ඨාන ගාමිණි (දඬුවම් ලබා පුනරුක්ථාපනය විය හැකි අපරාධ)
මෙම කොටසට සංඝාදිසේස අයත්

3. දෙසනාගාමි (වරද ප්‍රකාශ කොට පිරිසුදු විය හැකි ආපත්ති ඒවා ථුල්ලවය (මහා වරද) පාචිත්තිය (පව් රැස් කිරීම) පටිදෙසනීය (ගැරහිය යුත්ත) දුක්කට (නොනිසි සේ කරන ලද්ද) අබ්බාසිත (නොනිසිසේ කියන ලද්ද) යනුවෙන් පස්වැදෑරුම්ය.

බෞද්ධ දඬුවම් ක්‍රමය ගැන සාකච්ඡා කිරීමේ දී දණ්ඩ කර්ම නමින් හැඳින්වෙන දඬුවම් හතක ගැන චුල්ලවග්ග පාලියේ දැක්වේ.

1. තජ්ජනීය තම්ම - කලහකාරී භික්‍ෂූන්ට දුන් දඬුවමක් මෙයින් අදහස් වෙයි. පණ්ඩුක ලෝහිතක යන දෙනම නිතර දබර කරගත් බැවින් ඔවුන්ට තර්ජනය කොට දඬුවමට යටත් කර ඇත. එබඳු භික්ෂුවක් කරුණු දහඅටකින්වත් සපුරා නැවත ප්‍රකෘති තත්ත්වයට පත්විය යුතුය.

2. නිස්ස කම්ම - නිතර ඇවත් වලට භාජනය වූ පිරිසක් අරභයා පනවා ඇති මෙම දණ්ඩණයෙන් ද නිදහස ලැබෙන්නේ ආචාර්ය - උපාධ්‍යයන් වෙත වත් මානත් සම්පූර්ණ කළ විටය.

3. පබ්බාජනිය කම්ම - අස්සජී - පුනබ්බසුක නැමැති දෙනමක් කුල දූෂණ චෝදනාවට වරදකරුවන් වූයෙන් දඬුවම වූයේ අදාළ ආරමයෙන් නෙරපාලීමයි.

4. පටිසාරණීය කම්ම - සුධම්ම නමැති භික්ෂුව අරභයා මෙම දඬුවම පනවා ඇත්තේ කුල දූෂණය හෙවත් ශාසනයට හිතවත් දායකයෙකුට අපහස කිරීම නිසාය. මෙ මගින් අදාළ භික්ෂුව ආරාමයෙන් පහ කළ යුතු බව නියම වේ.

5. ආපත්තියා අදස්සනෙ උක්ඛීපනීය කම්ම - ආපත්තියකට පැමිණි භික්ෂුවක් එය නොපිළි ගන්නේ් නම් එම භික්ෂුව සංඝ සමාජයෙන් බැහැර කිරීම වජ්ජි භික්ෂුහු සංඝ සමාජයෙන් බැහැර කිරීම් වශයෙන් මෙම කර්මය පැනවේ. ඡන්න අරබයා මෙම කර්මය පනවා තිබේ.

6. ආපත්තියා අප්පටි කම්මෙ උක්ෙඛීපනීය කම්ම - මෙය දජන්න තරුන් අරභයාම දේශනා කරන ලද්දකි. තමන් ඇවතකට පැමිණි පසුව ඊට පිළියම් නොකරයි නම් මෙම දණ්ඩණය පැනවිය හැකිය.

7. පාපිකාය දිට්ඨියා අප්පඨිනිස්සග්ගො - මෘදු වූ කොට්ට මෙට්ට ආදිය කැපනම් ස්ත්‍රි ස්පර්ෂයත් ඇති වූ වැරැදි දෘෂ්ටිය ගැන කොතෙක් කරුණු කීවත් එය අත් නොහැරීම සම්බන්ධයෙන් මෙම දඬුවම පණවා ඇත.

මෙකී ආපත්තින්ට දුන් දඬුවම් විමසිමේදී ඉන් අපේක්ෂා කළ අරමුණ ද පැහැදිලි වේ. එනම් පුද්ගල පාරිශුද්ධිය මගින් ශාසනික චිරස්ථතියයි. සාමාන්‍ය නීතියට අනුව පුද්ගලයෙකුට දිය හැකි බරපතලම දඬුවම මරණ දඬුවමයි. බුදු දහම එය කිසි ලෙසකින් අනුමත කෙට නැත. බුදුදහමට අනුව බරපතළම දඬුවම බ්‍රහ්ම දණ්ඩනයයි. මෙමගින් සිදුවනුයේ චූදිතයාට කතා කිරීමෙන් හා ඔහුට අවවාද දීමෙන් වැළකීමයි. මෙය සාමුහික ජීවිතයට දරාගත නොහැකිය. ඊට යටත් වූවෙකුට සමාව ගෙන ප්‍රකෘති තත්ත්වයට පත්වීමට හෝ සිවුරු අතහැර යෑම හැර තවදුරටත් ශාසනය තුළ රැඳී සිටීමට නොහැකිය.

මෙම දණ්ඩනයෙන් ද හැඟී යන්නේ බෞද්ධ දඬුවම් ක්‍රමය පුද්ගලයාට හානිදායක නොවන බවයි. වර්තමාන නීතියේද ස්වභාවයට අනුව අපරාධකරු නැවත වරදට යොමුවීම හෝ ජීවිතය නැතිකිරීම සිදුවේ. බෞද්ධ දණ්ඩනයේ සුවිශේෂත්වය වරදකරුට වරද අවබෝධ කොට ආයති සංවරයට පැමිණවීමයි. ආයති සංවරය ලැබීමේ දී අප වරදක් කළ පසු එය වරදක් බව වටහා ගැනීම පළමුව කළ යුතුය.

වරද වරදක් ලෙස පිළිගෙන අනතිමානිව එවැනි වැරැදි නැවත නොකරමි යන අධිෂ්ඨානය ඇති කර ගැනීම අවශ්‍යය. බාහිර බලවේගයකට බියෙන් හෝ ගෞරවයෙන් නොව හුදෙක් තමන්ගේ කටයුතු ගැන අවබෝධයෙන් හා යහමගට හැරීමේ දැඩි අධිෂ්ඨානයෙන් අවංකව ස්වයං ශික්ෂණයෙක යෙදීම තමාටම පොරොන්දුවීම ආයති සංවරයයි.

ජෙද්‍යගාමිණි ආපත්තියක් සිදු වුවත් එතුළින් උපසම්පදා භික්ෂු කෙනෙකු ලෙස නැවත පිහිටීමට නොහැකි වුවත්, ආයති සංවරය අනුව නිවන් මගට පිවිසීමට එය බාධකයක් නොවේ. උට්ඨාන ගාමිණී ආපත්තිවලටත් භික්ෂුව කළ වරද අවබෝධ කර ගැනීමටත්, ඉන් පසු නිවැරැදි වීමත් අපේක්ෂා කර තිබේ. බෞද්ධ විනය නීති නිර්මාණය වී ඇත්තේ වැරැදිකරුවන් බිහිකිරීමට නොව වැරැදිකරුවන් නිවැරැදිකරුවන් කිරීමටය.

බුදුන්වහන්සේගේ විනය ක්‍රමය තුළ ඇති තවත් වැදගත් ලක්ෂණයක් නම් විත්තිකරු දඬුවමකට යටත් නොකොට අදාළ අධිකරණ සමථයකට පත්කළ හැකි ක්‍රම සලකා බැලීමයි.

සත්ත අධිකරණ සමථයන් හඳුන්වා ඇත්තේ ඒ සඳහාය. සම්මුකා විනය, සති විනය, අමුළ්හ විනය, පටිඤ්ඤාත කරණය, යෙගුය්‍යසිකා, තස්සපාපිය්‍යසිකා, තිණවත්ථාරක, යනු එකී සමථයන්ය.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.