Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

 කනම්පැල්ල ශ්‍රී සුමනාරාමය

නිස්කලංක පරිසරයක ඇති කනම්පැල්ල ශ්‍රී සුමනාරාමය වසර 130 කට ආසන්න ඉතිහාසයකට උරුමකම් කියනා විහාරස්ථානයකි.

විහාරස්ථානයට කි.මී. 1/2 ක් පමණ ආසන්නයෙන් කලබලයකින් තොරව සෙමෙන් ගලා බසිනා කැලණි නදියේ පහසින් සොඳුරු වූ පරිසරය සිතට රැගෙන එන්නේ චමත්කාරයකි.

වසර 1872 දී කැලණි නදී තීර්ථය ආසන්නයේ පහත් බිමක ශ්‍රී සුමනාරාමය ඇරැඹුණු බව කියැවෙයි. මඳ වැසි දිනකදී වුව පහත් බිම ජලයෙන් යටවන නිසාත් මහ වැස්සකදී ගඟ උතුරා පිටාර ගලන විට ඇතිවන ගං වතුරෙන් වන විපත් නිසාත් විහාරය පහත් බිමෙන් වෙනත් සුදුසු තැනකට රැගෙන යාමට තීරණය වෙයි. අද අප පැමිණ සිටින මේ උස්භූමිය මත එසේ රැගෙන ආ විහාරස්ථානය ගොඩ නැඟෙන්නේ වසර 1908 දී පමණ ය.


විහාරයේ දසුනක්

එදා මේ විහාරස්ථානය මේ උස් භූමියට රැගෙන ඒමට තවත් ප්‍රබල සාධකයක් ද හේතු වන්නට ඇතැයි සිතේ. විහාරස්ථානය මෙහි ස්ථාපිත කිරීමට පෙර බොහෝ කලක සිට මේ බිමේ බෝධීන් වහන්සේ නමක් රෝපණය කර තිබූ බවත් අවට ගම්බිම්හි බොදු බැතිමතුන් එම හුදකලා බෝධීන් වහන්සේට නිබඳව පුද පූජා පවත්වමින් ආශීර්වාද ලබා ගත් බවත් කියැවෙයි. එසේ පුද පූජාවන්ට බඳුන් වූ බෝ වෘක්‍ෂයක් සහිත එම පින් බිම විහාරයක් ගොඩ නැඟීමට වඩාත් උචිත යැයි ද එදා සිතන්නට ඇත.

කාල වකවානු නිශ්චිතවම නිර්ණය කිරීමට අපොහොසත් මෙම බෝධීන් වහන්සේ අතීතයේ සිට දිගු ආයු කාලයකට උරුමකම් කීව ද එය සුවිසල් නොවී සාමාන්‍ය ලෙස වැඩී තිබීම ද විශේෂයකි.

කොළඹ දිස්ත්‍රික්කයේ අවිස්සාවේල්ල මැතිවරණ කොට්ඨාසයේ කොස්ගම පොලීසිය හන්දියෙන් වමට ඇති කනම්පැල්ල පූගොඩ මාර්ගයේ කි.මී. 03 ක් පමණ ගිය තැන වමට ඇති මඟෙන් පැමිණ අක්කර 12 ක් පමණ වූ භූමියක ඇති මේ විහාරස්ථානයට පිවිසිය හැක.

වසර 130 කට වඩා පැරැණි විහාර මන්දරය මෙන්ම අලුත් විහාර මන්දිරය, ධර්ම ශාලාව, චෛත්‍යය, පෝය සීමා මන්දිරය, දෙමහල් දාන ශාලාව, දේවාල සහ ඉහත පැරැණි බෝධීන් වහන්සේ නිසා අද විහාරස්ථානය සකලාංගයන්ගෙන්ම පරිපූර්ණ වී තිබේ.


ධර්ම මන්දිරය

චෛත්‍ය සුවිසල් නොවූවද එහි බුහුටි බව විහාර භූමියේ පෙනුමට නවතාවයක් එකතු කරයි. අලුත් විහාර මන්දිරය ඉදිකර ඇත්තේ වසර 1956 දි ය. එහි ඇති සමාධි බුද්ධ ප්‍රතිමාව දක්‍ෂ ශිල්පියකුගේ සොඳුරු නිර්මාණයකි. ජිනදාස බාසුන්නැහේ නම් නිර්මාණ ශිල්පියා මෙම ප්‍රතිමාව සාදා තිබේ.

මාල දෙකකින් සමන්විත වඩා විසල් නොවූ බුද්ධ මන්දිරයේ පිට මාලයේ වන පිරිනිවන් මංචකය පළමු ධර්ම දේශනාව, සිරිපා පිහිටුවීම, මහින්දාගමනය ශ්‍රී මහා බෝධීන් වහන්සේ මෙන්ම දන්ත ධාතූන් වහන්සේ ලක්දිවට වැඩමවීම ආදී බොදු සිදුවීම් පිළිම වශයෙන් ආකර්ශනීය ලෙස නිර්මාණය කර තිබීම විශේෂයකි.

පැරැණි විහාර මන්දිරය ද අලුත් විහාර මන්දිරයටම ඇඳී තිබේ. එහි කුඩා බුදු කුටියේ සියපතක් මත වැඩ හිඳිනා සුවිසල් නොවන බුදු පිළිම වහන්සේ ද මනා අංග ලක්‍ෂණයන්ගෙන් සමන්විත ය.

විහාරයේ ආදී කර්තෘ පුවක්පිටියේ සුමනතිස්ස ලොකු හාමුදුරුවන් ය. 1872 වසරේ කැලණි නදිය සමීපයේ විහාරස්ථානය ගොඩ නැඟෙන්නේ උන්වහන්සේගේ කාලයේ ය. ඉන් පසුව විහාරාධිපතිත්වයට පත් වන්නේ එම ලොකු හාමුදුරුවන්ගේ ශිෂ්‍යයකු වූ කනම්පැල්ලේ පේමානන්ද නාහිමියන් ය. උන්වහන්සේ සියනෑ හේවාගම් දෙකොරළයේ ප්‍රධාන සංඝ නායක මෙන්ම මහෝපාධ්‍ය තනතුරු ද දරමින් විහාරස්ථානයේ ප්‍රගමනයට මහත් වූ සේවාවක් සිදු කළහ.


විහාරාධිකාරී කණම්පැල්ලේ සුමනනන්ද හිමි

වර්තමානයේ මෙහි විහාරාධිපතිත්වය උසුලන මාදන්වල ආනන්ද නාහිමි සියනෑ, හේවාගම් සහ හාපිටිගම යන කෝරළ ත්‍රිත්වයේ ප්‍රධාන සංඝනායක වශයෙන් පිදුම් ලබයි. එසේම උන්වහන්සේ යටතේ විහාරස්ථාන හතරක් පාලනය වෙති. විහාරාධිපති වහන්සේගේ අනුශාසනා යටතේ මෙහි විහාරාධිකාරී වශයෙන් කටයුතු කරන ශාස්ත්‍රපති කනම්පැල්ලේ සුමනනන්ද හිමි සීතාවක පුර ගුරු අභ්‍යාස විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධූරය ද දරමින් ශාසනික, අධ්‍යාපන ක්‍ෂේත්‍ර හරහා මහත් මෙහෙයක් ඉටු කරමින් සිටියි.

දැනට මෙම විහාරස්ථානයේ භික්‍ෂූන් වහන්සේ හය නමක් වැඩ සිටිති. මෙහි පවත්වාගෙන යන ඉරු දින දහම් පාසලෙහි දරු දරියෝ 400 ක් පමණ දහම් අධ්‍යාපනයෙන් පෝෂණය ලබති.

සීතාවක රාජ්‍ය සමයේ ඉතා කැපවීමෙන් රාජකාරී කළ උසස් නිලධාරියෙක් මරණින් මතු රංවල දෙවිඳු බවට පත්වෙයි. කැලණි ගඟ දෑලේ ගම්මාන 64 කට පමණ අධිගෘහිත රංවල දෙවිඳුන් ඔරුපාරු වල ගමන් ගන්නා ඇත්තන්ට මෙන්ම ගඟ ආශි‍්‍රතව රැකියාවේ නියුතු මිනිසුන්ට පිහිට මෙන්ම රැකවරණය සළසන බවට ගම්මුන් අතර දැඩි විශ්වාසයක් පවතී. ඒ රංවල දෙවිඳුන්ට කෘතගුණ සැළකීම, තව තවත් දෙවියන්ගේ පිහිට පැතීම, මෙන්ම රංවල දෙවියන්ට උපහාර පිදීම පිණිස පවත්වන ගංඟා රෝහණ පූජෝත්සවය හා පෙරහර මෙම විහාරස්ථානයේ මූලිකත්වයෙන් සිදු කෙරෙන ප්‍රදේශයට ආවේනික සුවිශේෂ උත්සවයකි.

නොකඩවා වාර්ෂිකව සිදුකෙරෙන මේ මහෝත්සවය නිසා ගම් දනව් හා විහාරස්ථානය අතර වන සහ බන්ධනය වඩ වඩාත් සමීප වී ඇත. වාර්ෂික කඨින පින්කම් මෙන්ම වසර දෙකකට වරක් පැවැත්වෙන සති පිරිත් දේශනාව ගමට සෙත ශාන්තිය අපේක්‍ෂාවෙන් කෙරෙනා තවත් යහපත් කාර්යයකි. මේ නිසා ගමත් පන්සලත් අතර බැඳීම තවත් වැඩිවි ති‍ෙබි. කනම්පැල්ල, දවටියවත්ත, මීගහවත්ත කහව සහ වියන්විල පෙදෙස ආදී දායක පේරු අටකින් දායකත්වය සැපයෙන ශ්‍රී සුමනාරාමය ශාසනික, ආගමික, සමාජ සේවාවන් වෙනුවෙන් හොඳින් ක්‍රියා කරයි. මෙසේ සමාජ, ශාසනික සේවයට කැපවෙමින් ගමත් පන්සලත් අතර වන බන්ධනය වර්ධනය කරමින් ගමයි පන්සලයි සංකල්පයට කදිම වටිනාකමක් ප්‍රදානය කිරීමට ශ්‍රී සුමනාරාමය සමත් වී තිබේ.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.