UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සැදැහැ සිත ගෙනෙන සෙත

අපමණ මානව සමාජය තුළින් යමෙකු සුවිශේෂ වන්නේ ඔහු තුළ කුමන හෝ ගුණ දහමක් විද්‍යමාන වන නිසා ය. සීලය, සමාධිය, ප්‍රඥාව ක්‍රියාකාරීත්වයෙන් ප්‍රකට වන්නාට සමාජයේ යන යන තැන ගරු බුහුමන් වැඳුම් පිදුම් ලැබෙන්නේ ය.

නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
සදෙධා සීලෙන සමපනෙනා
යසො භොග සමපර්‍පතො
යං යං පදෙසං භජති
තත්‍ථ තෙත්‍ථව පූජිතො

සුපින්වත්නි,

සුගත තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර දෙව්රම් වෙහෙර වැඩවසන සමයෙහි චිත්තනම් සිටුතුමා අරබයා මෙ ගාථා ධර්මය දේශනා කළසේක.

දඹදිව මච්ඡිකා සණ්ඩනම් නුවර සැපසම්පතින් සපිරුණු අතර නගරවාසීහුද තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාදී ගුණ නුවණින් අනූනව සමඟි සම්පන්නව වාසය කරති. මෙනුවර චිත්ත සිටුතුමා ද යස ඉසුරෙන් හා ගුණ නුවණින් සම්පූර්ණව පරහිතකාමීව ජනතාව අතර කප්රුකක් මෙන් වාසය කිරීම නිසා සෙසු නගරවාසීන්ට පරමාදර්ශයක් විය.

දිනක් එම චිත්ත සිටුතුමා මහානාම තෙරුන් වහන්සේ සුපිළිසන්ව පිඬුසිඟා වඩනා සංවරලීලාව දුටු විගස ඉන් පැහැදී තෙරුවන් වැඳ තම මාළිගාවට දනට ආරාධනාකොට දන් වළඳවා අවසන තෙරුන් වහන්සේගෙන් සදහම් අසා සෝවාන් ඵලයට පැමිණියහ. පසු කලෙක මනරම් අම්බාටක නම් සිය උයනෙහි තෙරුවන් වෙනුවෙන් විසිතුරු වෙහෙරක් කොට පූජා කළහ. මෙසේ ගුණ දම් වඩමින් සෝවාන් හා අනාගාමී ඵලයට ද, පැමිණි සිටුතුමාට ජනයා බොහෝ ගරුසරු දක්වති. ආචාර සමාචාර පවත්වති.

දිනෙක දෙව්රම් වෙහෙරට පැමිණෙද්දී සිටුතුමන්ට මිනිසුන් දක්වන සැලකිලි දුටු ආනන්ද හිමි බුදුරදුන්ගෙන් මෙම කාරණය සම්බන්ධව කරුණු සැළ කළ විට ඒ නිමිති කරගෙන ‘ආනන්දය’ සැදැහැති ගුණ නැණින් පිරිපුන් දුක සැප දෙකේදී පිහිටවන චිත්ත සිටාණන් කොතන යතත් මිනිසුන් ගරු සරු දක්වන්නේ යයි ගෙනහැර දක්වමින් මෙම ගාථා ධර්මයෙන් එම අදහස කුළුගන්වා වදාළ සේක.

ශ්‍රද්ධාව හා සීලය පුද්ගලයාගේ ගුණදම් ආරක්‍ෂා පෝෂණය කරන තෝතැන්නක් වැන්න. බුද්ධාදී තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාවෙන් ප්‍රසන්න වූ මනසෙහි රාගාදී කෙලෙස් මල සේදී යන්නේ ය.

දස්සන කාමො සීල වතං
සද්ධම්මං සොතුමිචඡති
විනෙය්‍ය මචෙඡර මලං
සවෙ සදෙධාති වුච්චති

ශ්‍රද්ධාවන්තයාගේ ලක්‍ෂණ තුනක් බුදුරදුන් විසින් දක්වා ඇත. සිල්වතුන් දක්නා කැමැත්ත, එමෙන්ම සදහම් ඇසීමේ රුචිය ඇතිවීම මසුරුමල සෝදා හරින දෑතින් දන්දීම යන ගුණාංග සංගත ශ්‍රද්ධාවන්තයා සමාජයට පරමාදර්ශ වේ. ආධ්‍යාත්මික වශයෙන් ධනවත් වීමට ශ්‍රද්ධාව ප්‍රධාන වන බව බුද්ධ දේශනා රාශියක දක්නට පුළුවන.

සද්ධීධ විතතං පුරිසසස සෙට්ඨං

යනුවෙන් තථාගතයන් වහන්සේ අලව්නුවරදී ආලවක යක්‍ෂයාට දේශනා කළ පරිදි භෞතික වශයෙන් රන්රිදී මසු කහවනු ආදී අනර්ඝ වස්තු භාවිතයෙන් තණ්හාදී අපමණ කෙලෙස් දහම් ප්‍රවාහයක් සේ ගලාගොස් සංසාර සාගරයට සත්වයා ඇදගෙන ගොස් ජාති, ජරා, ව්‍යාධි, මරණා දී දුක් දොම්නස් ඇති කරන අතර ශ්‍රද්ධාව නමැති ධනයෙන් හෙවත්

සද්ධාය තරතී ඕඝං

යනුවෙන් දෙසූ පරිදි බුද්ධාදී රත්නත්‍රය පිළිබඳ ගුණ දැන ඇති කරගන්නා ආකාරවතී ලොව්තුරු ගුණයෙන් කාම ඕඝ, භවඕඝ, දිට්ඨිඕඝ, අවිද්‍යාඕඝ යන සතර ඕඝයෙන් සංසාර සාගරයට ගලා නොගොස් එතර වෙන්නට හැකිවන්නේ ය.

සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අරහං ආදී ගුණාංගයන් කෙරෙහි අවංක විශ්වාසයෙන් ‘’බුද්ධං සරණං ගච්ඡාමි’ යනුවෙන් බුදුන් සරණ යන්නා සතර අපායෙන් මිදී විමුක්ති මාර්ගයට ප්‍රථම පියවර තබන්නේ ය. එමෙන්ම බුදුරදුන් විසින් දේශිත ස්වාක්ඛාතාදී උතුම් නව ලොව්තුරා ශ්‍රී සද්ධර්මය සරණයාමෙන්, දැන ගැනීමෙන්, පිළිපැදීමෙන් සංසාරවිමුක්තිය ලැබීමේ ඒකායන මාර්ගය වන්නේ ය. සුපටිපන්නාදී ලොව්තුරා ගුණයෙන් ප්‍රභාවත් ඒ මහා සංඝරත්නයද සරණයාමෙන් නිර්වාණගාමී ප්‍රතිපදාවට පැමිණෙන්නේ ය.

යම්සේ පුද්ගලයෙකුගේ හිස සිඳුනේ නම් ආත්මය විනාශවන්නා සේම සීල ශීර්ෂය විනාශ වූවොත් ගුණ ශරීරය විනාශ වන්නේ ය. මෙසේ ශීර්ෂාර්ථයෙන් සීලය නම් දන්නේ ය. සර්ව කුසල ධර්මයන්ට ප්‍රතිෂ්ඨාධාරවන බැවින් සත්පුරුෂයන්ගේ ආධ්‍යාත්මික ගුණදහම් නිවන් අවබෝධය දක්වා පවත්නා සීලය චිත්ත බලයකි. එමෙන්ම රාගාදී සියලු කෙලෙසුන් ශලන සංවරණ කරන බැවින් ශලනාර්ථයෙන් ශීලය නම් වේ. තවද සියලු කුසල් දහම් ප්‍රවේශයට ශාලාවක් වන බැවින් ශාලාර්ථයෙන් ද ශීලය නම් වන්නේ ය.

කිකීව අණඩං චමරීව වාලිධිං
පියංච පුත්තංච නයනංව රකකං
තථෙව සීලං අනුරකඛ මානකා
සුපෙසලා හොථ සදා සගාරවා

ආදී නයින් අප බුදුරදුන් වදාළ පරිදි කිකිළිය බිත්තරය රක්නා සේ සෙමරා වල්ගය ආරක්‍ෂා කරන්නා සේ පි‍්‍රය පුතෙක් එක් ඇසක් ආරක්‍ෂා කරන සේ සුප්සේල ශික්‍ෂාකාමීන් සීලය ආරක්‍ෂා කළ යුතු වන්නේ ය. මෙතරම් අවධානයෙන් ආරක්‍ෂා කරන සීලයෙන් ලබන ආනිශංස ප්‍රයෝජන ප්‍රධාන වශයෙන් පහකට ඒකරාශී වේ.

1. සීලවන්තයා අප්‍රමාදීව ක්‍රියා කොට මහත් ධනස්ඛන්ධයක් රැස් කර ගනී.
2. සිල්වතාගේ යශෝකීර්තිය දශදිශාවෙහි පැතිරෙන්නේ ය.
3. රාජ ක්‍ෂත්‍රිය, බ්‍රාහ්මණ, ශ්‍රමණ යන පිරිස් අතරට නිර්භයව, විශාරදව, පැමිණෙන්නේ ය.
4. මරණාසන්නයේ දී සිහිනොමුලාව කාල ක්‍රියා කරන්නේ ය.
5. මරණින් මතු සිල්වතා සුගතියෙහි උපදින්නේ ය.

මෙසේ ශ්‍රද්ධා සීලයෙන් පිරිපුන් සත්පුරුෂයා යම් ගමක, නගරයක, පළාතක, රටක සිටින්නේ නම් ඔහුගේ යසස කීර්තිය පැතිරෙන්නේ ය. යන යන තැන ගරු බුහුමන් ලබන්නේ ය.

බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ වසන සමයෙහි සත් සියයක වෙළඳ පිරිසක් නැව් නැග යාත්‍රා කරන්නට වූහ. සත්වන දවස මුහුද මැද මහත් ජලතරංගයක් නැගී නැව දියෙන් පිරෙන්නට වන. මහත් බියට පත් වෙළෙන්දෝ එහා මෙහා දුවමින් ගැහෙමින් තම තමන්ගේ දෙවියන්ගේ නම් කියා යදිමින් වැළපෙති. මෙම පිරිස අතර එක් වෙළෙන්දෙක් මට මේ බියෙන් මිදෙන්නට පිහිටක් ඇද්දෝහෝයි ආවර්ජනා කරන්නේ තමාගේ පවිත්‍ර සීලය දැක රළ පිට පළක් බැඳහුන්නේ ය. මෙම අසිරිමත් සිද්ධිය දැක සෙසු වෙළෙන්දෝ ඔහුගෙන් අභය කාරණය ඇසූහ. මම නැව් නගින දවස් සරණ සිල් සමාදන්ව සිල්වත් සඟනට දන් දී පින්දහම් කොට ආවෙමි. ‘පින්වත’ අපටද එම සරණ සිල් ගන්නට හැකිදැයි ඇසූ විට එම වෙළඳ පිරිස සියය බැගින් වෙන් කොට ක්‍රම ක්‍රමයෙන් සරණ සීලයෙහි පිහිටුවන විට නැවගිලී සත් සියයම මියගොස් තව්තිසා දෙව්ලොව උපන්හ.

මෙසේ එම සත්සියක් දෙව් පිරිස තම පෙරභවයේ දී කළ කුසල කර්මය ආවර්ජනා කරන්නේ තමන්ගේ ආචාර්යන්ගේ උපදෙස් නිසා මහමුහුද මැද, නැව ගිලෙද්දී සරණසිල්හි පිහිටුවා ගෙන මියෙන වේලේ එම පංචසීල චිත්ත කුසල බලයෙන් මෙවන් අසිරිමත් දෙව්සැපතක් ලදිමු යයි නුවණින් දැක අපි ආචාර්යන්ගේ ගුණ කියම්හයි සිතා මධ්‍යමයාමෙහි බුදුරදුන් වෙත පැමිණ ආචාර්යන් තමන්ගේ දෙව්සම්පතට පිටුවහල් වූ අයුරු වර්ණනා කොට දෙව්ලොවටම ගියහ. එසේ හෙයින් බුදුරදුන් වදාළ සේක.

ඤාතීනංච පියො හොති
මිතෙතසුච විරොචති
කායස්ස භෙදා සුගතිං
උප්පජ්ජති සීලවා

තමන් ආශි‍්‍රත සමාජයට ජනපි‍්‍රයව ප්‍රමුඛව ආදර්ශවත් දිවිපෙවෙතක් ගතකොට මරණින් මතු සුගතිගාමී වන්නේ ය.තමාගෙන් සමාජයටත් සමාජයෙන් තමාටත් වන්නා වූ යහපත උදෙසා ආධ්‍යාත්මිකව ශක්තිමත් විය යුත්තේමය. කතමොච භික්ඛවෙ පුග්ගලො සක්කත්වා ගරුකත්වා සෙවිතබෙබා භජිතබෙබා පයිරුපාසිතබෙබා ඉධ භික්ඛ වෙ එකචෙචා පුග්ගලො අධිකොහොති සීලෙන, සමාධිනා, පඤ්ඤාය යනාදී නයින් බුදුරජාණන් වහන්සේ යම් කිසි පුද්ගලයෙකුගේ ගෞරවනීය භාවය හා පූජ්‍යත්වය විස්තර කළසේක.

අපමණ මානව සමාජය තුළින් යමෙකු සුවිශේෂ වන්නේ ඔහු තුළ කුමන හෝ ගුණ දහමක් විද්‍යමාන වන නිසාය. සීලය, සමාධිය, ප්‍රඥාව ක්‍රියාකාරීත්වයෙන් ප්‍රකට වන්නාට සමාජයේ යන යන තැන ගරු බුහුමන් වැඳුම් පිදුම් ලැබෙන්නේ ය.

උපරිම තලයේ වැජඹෙන බුද්ධාදී උතුමන් වහන්සේලා තම උත්තම තම පූජාර්හබව ලබාගත්තේ අති දීර්ඝ කාලයක් පුරුදු පුහුණු කළ සීල, සමාධි, ප්‍රඥා යන උත්තරීතර ලොව්තුරු ගුණ දහම් නිසාමය. එම සත්මඟ ගමන් ගන්නා උත්තමයන්ද යුගයෙන් යුගයට ගරු බුහුමන් ලබන අතර ලක්‍ෂ කෝටි සංඛ්‍යාත ජනතාවගේ මුවින් පිටවන තුති පූජාව පශ්චාත් ජනතාවට පරමාදර්ශයක් වන්නේමය. එම උතුමන්ගේ නාමය ජනතා හදවත් තුළ රඳා පවත්නේ ය.ඔබ සැමට තෙරුවන් සරණින් දහම් දැනුමෙන් දෙව්මිනිස් සම්පත් කෙළවර උතුම් අමාමහ නිවන් සුවම ලැබේවා.

නවම් අමාවක පෝය

නවම් අමාවක පෝය පෙබරවාරි 13 වන දා පූර්ව භාග 05.41 ට ලබයි.
14 වන දා ඉරිදා පූර්ව භාග 08.21 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම පෙබරවාරි 13 වන දා සෙනසුරාදා ය.

මී ළඟ පෝය පෙබරවාරි 22 වන දා සඳුදා ය..


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

පෙබරවාරි 13

First Quarterපුර අටවක

පෙබරවාරි 22

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 28

Second Quarterඅව අටවක

මාර්තු 07

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]