Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

උපන්දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණියේ

අති පූජනීය ස්ථාන අතුරෙන් කැලණියට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. කැලණිය ඒ තරමට ම බොදුජන හදවත් තුළ රැඳී පවතින්නකි. කල්‍යාණ හෙවත් කැලණිය කැලණි ගං මිටියාවතෙහි පිහිටි හෙයින් එය කැලණිය නම් විය. පුරාණයේ මෙය හැඳින්වූයේ කැලණි ගම නමින්ය. පසුව එය නගරයක් වී රාජධානියක් බවට පත්විය.

පෞරාණිකත්වය

කැලණි ඉතිහාසය රාවණ යුගයෙන් ඔබ්බට ද දිව යන්නකි. ක්‍රි.පූ. හයවන සියවස වන විට කැලණිය නාග රාජධානියකි. එවක එහි රජ වී සිටියේ මණි අක්ඛිත නා රජුය. බුදුරජාණන් වහන්සේ ලක්දිවට වැඩම කළ අවස්ථාව දක්වන ගාථාවෙහි කැලණිය ගැන මෙසේ සඳහන්ය.

මහියංගනං නාගදීපං - කල්‍යාණං පදලාංඡනං
දිවාගුහං දීඝවාපිං- චේතියං ච මුතිංගණං

කැලණියේ රජකළ මණි අක්ඛිත නා රජුගේ පුවත මහාවංශයේ සඳහන් වන්නේ මෙසේය.

‘මහෝදර නම් නාගයාගේ මයිල් වූ මණි අක්ඛිත නම් වූ කැලණියෙහි නා රජ තෙමේ යුද කරනු පිණිස එහි ගියේය. සර්වඥයන් පළමු මෙහි වැඩි කල සද්ධර්ම දේශනාව අසා සරණ ශීලයෙහි පිහිටියේ (එහිදී) තථාගතයන් වහන්සේ ආයාචනය කරන්නේ

ස්වාමීන් වහන්ස මේ තෙමේ නුඹ වහන්සේ විසින් අපට කරන ලද මහත් වූ අනුකම්පාවෙක. නුඹ වහන්සේ මෙහි නොපැමිණියේ නම්, අප සියල්ලෝම අළුවම්හ. පුණ්‍යෙීදය ඇත්තා වූ තථාගතයන් වහන්ස මා කෙරෙහිද වෙන් වශයෙන් නුඹ වහන්සේගේ කරුණාව වේවා. නැවත මෙහි ආගමනයෙන් මාගේ වාසභූ®මියට වඩින සේක්වායි’ කීයේය.

මහාවංශය පළමුවෙනි පරිච්ඡේදය (4 - 5 පිටු)
හික්කඩුවේ සුමංගල හිමි
රත්නාකර පොත් සමාගම
කොළඹ
1946

භාග්‍යවතුන් වහන්සේ එම ආරාධනය තුෂ්ණිම්භාවයෙන් ඉවසා වදාළහ. රාජායතන චෛත්‍යයද එහිම පිහිටවූ සේක. කිරිපලු රුකද මිණි පළඟද නමස්කාර කරණු පිණිස නා රජුන්ට ප්‍රදානය කළහ. එයින් පසු තථාගතයන් වහන්සේ ජේතවනයට වැඩි සේක.

බුදුරජාණන් වහන්සේ කැලණියට වැඩම කළ අවස්ථාව මහාවංශ කතුතුමා මෙසේ සඳහන් කරති. එයින් තුන්වෙනි වර්ෂයෙහි ඒ මණි අක්ඛිත නම් නා රජ තෙම එළඹ සංඝයා සහිත තථාගතයන් වහන්සේට නිමන්ත්‍රණය කළේය. සර්වඥ තෙම සම්‍යක් සම්බෝධියෙන් අටවෙනි වර්ෂයෙහි ජේතවනයෙහි වාසය කරණ සේක්. ලෝක ස්වාමී වූ පස්මරුන් දිනූ මුනිශ්වර තෙමේ භික්ෂූන් පන්සියයක් විසින් පිරිවරණ ලද්දේ දෙවෙනි දවස පෞර්‍ණමාසි තිථියෙහි එහිදීම සඟළ සිවුර පොරවා පාත්‍රය (ශිී‍්‍ර හසතයෙන්) ගෙන ඒ කැලණි දෙස වූ මණිඅක් (නාරජහු) නිවසට වැඩි සේක. කැලණි සෑය පිහිටි තන්හි කරණ ලද රත්න මණ්ඩපයෙහි සංඝයාද මා හැඟි වූ පළගෙහි තමන් වහන්සේ ද වැඩ උන් සේක. සමුහය සමග වූ නා රජ තෙම සොම්නස් වූයේ දිව්‍ය වූ ඛාද්‍ය භෝද්‍යයෙන් සංඝයා සහිත සර්වඥයන් සන්තර්පණය කෙළේය. ලෝකානුකම්පා ඇත්තා වූ ලොකනායක වූ සර්වඥතෙම එතන්හි ධම්ම දේශනා කොට අහසට නැග (වැඩ) සමන්කුළු මතුයෙහි පා සටහන දැක් වූ සේක’.
මහා වංශය (පිටුව 5)


කැලණි වෙහෙර

බුදුරජාණන් වහන්සේ දැනට කැලණි වෙහෙර පිහිටි තැන ඉදිකළ මැණික් මණ්ඩපයෙහි සිට දහම් දෙසූහ. එම මිණි පළඟ මැදිකොට කැලණි වෙහෙර ඉදිකර ඇත. මෙය ඉදිකරන ලද්දේ මණිඅක්ඛිත නා රජතුමාගේ අනුග්‍රහයෙන් බව අපට විශ්වාස කළ හැකිය. එයට හේතුව නා රජු බුදුන් වහන්සේ සරණ ගිය කෙනෙකු බැවිනි. තොටගමුවේ ශ්‍රී රාහුල හිමියෝ සැළලිහිණි සන්දේශයෙහි කැලණි දා ගැබ් වහන්සේ ගැන මෙසේ සඳහන් කරති.

අහසින් අවුත් මිණි අක් නයිදු යැදුමට
රහතන් මැදෙහි මුණිහිඳ මිණි පළඟ පිට
දහමුත් දෙසු තැන කළ සැට රියන් කොට
මහදාගැප් හිමින් වදු සොළොස තැන් සිට

සිවුරු දාගැබ

කැලණියෙහි ඉදිකළ තවත් දාගැබක් පිළිබඳ සැළලිහිණි සන්දේශයේ සඳහන් වෙයි. එය උදකස් දාගැබ හෙවත් සිවුරු දාගැබයි. බුදුරජාණන් වහන්සේ කැලණිගඟ ජලස්නානය කොට තුන් සිවුරු ඇඳ පොරවා ගත් තැන මෙම දාගැබ ඉදිකර ඇත. ඇතැමෙක් සඳහන් කරන්නේ මෙය බුදුරජාණන් වහන්සේ ගේ නාන කඩය නයින් විසින් ගෙන ගොස් ඉදිකළ දාගැබ බවයි. සිවුරු දාගැබ පිළිබඳ සැළලිහිණි සන්දේශයේ මෙසේ දැක්වෙයි.

සමනොල ගිරි ගිජිදු දිගු කළ සොඩෙක සැටි
සිසිලළ ගඟ සිලිල් සනසා මුනි නොගැටී
පැහැදුළ තුන් සිවුරු ඇඳ පෙරව වැඩ සිටි
තැනකළ සිවුරු දාගැබ වදු නො පෑ පිටි

මීට අමතරව කැලණි විහාරය පිළිබඳව තිසර, මයුර, කෝකිල සහ හංස යන සන්දේශ කාව්‍යවල ද සඳහන් වෙයි.

කැලණි හෑල්ල

මෙය වන්දනා කවි පොතකි. එහි කවි හැට පහකි. කොත්මලේ ප්‍රදේශයේ උපන් ලෝකුරු නයිදේ මෙහි කතුවරයාය. මහනුවර යුගයේදී රචනා කරන ලද්දකි. සෑම කවියක්ම යේ යන්නෙන් අගපදය දක්වයි. එසේම සෑම කවියක්ම අවසන් කරන්නේ් කැලණියේ යනුවෙනි.

පසක් ගවුතම මුනිදු බුදු වී සාසනේ ලොව පැවතු යේ
එ සම්පත් ඇති අයත් මරුවා කැටුව යනවා උරුදි යේ
වසන් ඇතිදා කරපු පින්මයි කැටුව යන්නේ පැහැදි යේ
වරක් වැන්දොත් උපන් දා සිට කරපු පව් නැත කැලණි යේ

මෙහි වචන බොහොමයක් ගැමි වහරින් දක්වා ඇත. එසේම උපමා ආදිය ගොවි ජීවිතයට ඉතා සමීපය. උරුදියේ යනුවෙන් දක්වා ඇත්තේ එර්දිවීම (සෘධිය) යනුයි. එයින් අදහස් කරන්නේ මරුවා කොහේ හරි රැගෙන යන බවයි. එනම් එලොව ගෙන යාමයි.

වරක් වැන්දොත් යනු අවුරුද්දකි. එනම් අවුරුද්දේ පොහොය දොළහයි. එම වැඳීම ආරම්භ වන්නේ අවුරුද්දේ මුල් පසළොස්වක පොහොයෙනි. එය දුරුතු පසළොස්වක පොහොයයි. ඒ බව පහත සඳහන් කවියෙන් පැහැදිලිය.

සරුත් පින්කෙත් වපුල බිජු සේ කුසල් මතුවෙයි ඉදිරි යේ
බොලුත් බොල් රොඩු නැතුව සාදල් රන් කරල් සේ පැසී යේ
මරුත් සතුරන් සොරුත් දෑහැස් නොදැක අපි මතු ඉපදි යේ
දුරුත්තේ පසළොස්වකින් ගොස් වඳීන් දාගොප් කැලණි යේ

මෙහි බොල්නම් කිරි නොවැදුන වී ය. බොල් රොඩු නම් වී කාටුය. (පිදුරු කෑලි) සාදල් නම් සුවඳැල් වී ය. (සුවඳ ඇල් වී) දෑහැස් යනු දාස දාසියන්ය.

කැලණි පූජාවලිය

මෙය කැලණිය ගැන ලියන ලද පුස්කොළ පොතකි. කොළඹ කෞතුකාගාරයේ පුස්කොල පොත් පිළිබඳ නාමාවලියේ මෙම පොත ගැන විස්තර ඇත. මෙහි දැක්වෙන්නේ කැලණි විහාරය ඉදිකළ ආකාරයයි.

(කැලණි විහාරය පිළිබඳ සඳහනක් කැලණි විහාර සෙල්ලිපියෙන් ද අපට දැනගත හැක).

කැලණි තිස්ස රජතුමාගේ කාලයේ කැලණියේ සිදුවූ කරුණු දෙකක් ගැන සඳහන්ය. රහතන් වහන්සේ නමක් උණු තෙල් සැළියක දැමීම සහ මුහුද ගොඩගැලීම එම කරුණු ය.

ගොඩනැගිලි පිළිම සහ සිතුවම්

ලංකාතිලක පිළිම ගෙය, සල පිළිමය, පස් මහල් ප්‍රාසාදය, වට දාගෙය, පැළදිග ප්‍රසාදය, දාගැබ් වහන්සේ, නා පිළිමය, සමාධි පිළිමය, බෝධින්වහන්සේ, තිවංක පිළිමය, සිවුරු දාගැබ, තෙල් සැළ පිළිමය, සහ විභිෂණ දේවාලය කැලණියේ වැදගත් ස්ථාන වේ.කැලණි විහාරය කොටස් හතරකින් යුක්තය. ඒවා නම්

රජ පිළිම ගෙය

මෙහි දක්නට ලැබෙන වැදගත් පිළිමය මණි අක්ඛිත නා රජතුමා ගේ පිළිමයයි. කැලණියේ පැරණි සිතුවම් රාශියක් රන් පිළිම ගෙහි ඇත. සත් සතිය, සොළොස්මස් ස්ථාන සහ ජාතක කතා මෙම සිතුවම් වලින් දැක්වේ.

ඔත් පිළිමගෙය

කැලණි විහාරයේ පැරණිම කොටස ඔත් පිළිමගෙයයි. මෙහි භික්ෂූන් වහන්සේ ගේ සිතුවම් රාශියකි. තවද සතරවරම් සමන්, විභිෂණ, ඊශ්වර සහ ගණදෙවි යන දෙවිවරුන්ගේ රූප සිතුවම් කර ඇත.

අලුත් විහාර ගෙය

මෙහි ඇති මණ්ඩපයෙහි බැතිමතුන්ට වැඳ පුදා ගැනීමට ධාතු කරඬුවක් ඇත. බුද්ධ ශාසන ඉතිහාසය, බුදුරජාණන් වහන්සේ තෙවරක් ලක්දිවට වැඩීම, කැලණි විහාරය ආරම්භ කිරීම මෙහි ඇති සිතුවම් වලින් දැක්වේ.

රන් පිළිම ගෙය

මෙහි රන් පිළිමයක් තැන්පත් කොට ඇත. බුද්ධඝෝෂ හිමි, සඟමිත් තෙරණිය, බෝධින් වහන්සේ වැඩම වීම, දළදා වහන්සේ වැඩමවීම, වැලිවිට සරණංකර හිමි ආදිය දැක්වෙන සිතුවම් රාශියක් මෙහි ඇත.

මෙම සිතුවම් සෝලියස් මැන්දිස් මහතා ගේ නිර්මාණ වේ.

කැලණි විහාරයට සම්බන්ධ විභීෂණ දේවාලයද විශේෂ ගොඩනැගිල්ලකි.

රාජ අනුග්‍රහ

කැලණි විහාරයේ දියුණුවට සිංහල රජවරුන් ගණනාවක ගේ් අනුග්‍රහය ලැබී ඇත.

උත්තිය රජතුමා (ක්‍රි.පූ. 267 - 257)

මෙතුමාගේ අගනුවර වූයේ කැලණියයි. කැලණි වෙහෙර අලුත්වැඩියා කළ රජ කෙනෙකි.

යාලතිස්ස

මෙතුමා විසින් කැලණි විහාරයෙහි පස්මහල් ප්‍රාසාදයක් ඉදිකරවන ලදී.

දුටුගැමුණු (ක්‍රි.පූ. 161 - 137)

මේ කාලයේ කැලණි විහාරයේ භිකෂූන් වහන්සේ පන්සියයක් පමණ වැඩ සිටියහ. දුටුගැමුණු රජතුමා උන්වහන්සේලාට නිරතුරුව සංග්‍රහ කළේය.

කනිට්ඨ තිස්ස (ක්‍රි.ව. 167 - 186)

කැලණි විහාරයෙහි පෝය ගෙයක් (උපෝසථාගාරයක්) ඉදිකරවන ලද්දේ මේ රජතුමා විසිනි.

මහා පරාක්‍රමබාහු (ක්‍රි.ව. 1153 : 1186)

මෙතුමාගේ යුද කඳවුරක් කැලණියෙහි විය. කැලණි විහාරයට විශේෂ අනුග්‍රහයක් දැක්වූ රජ කෙනෙකි.

නිශ්ශංකමල්ල (ක්‍රි.ව. 1187 - 1196)

මේ රජතුමා කැලණි විහාරය වන්දනා කරනු පිණිස පැමිණි බව පොළොන්නරු සෙල්ලිපියේ සඳහන්ය.

තෙවෙනි විජයබාහු (ක්‍රි.ව. 1232 - 1236)

කැලණියේ විජයබාහු නමින් විහාරයක් කරවන ලදී. ද්‍රවිඩයන් විසින් විනාශ කරන ලද වෙහෙර ප්‍රතිසංස්කරණය කර රන් කොතක් පැලඳවීය. එහි වහල්කඩක්ද ඉදිකරවන ලදී.

දෙවන පරාක්‍රමබාහු (ක්‍රි.ව. 1236 - 1270)

කැලණි විහාරයේ පහන් පූජාව සඳහා පොල් උයනක් කරවා පූජාකරන ලදී.

හයවන බුවනෙකබාහු (ක්‍රි.ව. 1469 - 1477)

බුරුම රටට උපසම්පදාව ලබාදුන්නේ මේ රජතුමා විසිනි. එම උත්සවය කැලණි විහාරයේදී සිදුවිය.

පෘතුගිසි ලන්දේසි සහ ඉංගී‍්‍රසින් ලක්දිව පාලනය කළ සමයන්හිදී කැලණි වෙහෙරට සැලකීමක් නොවීය. එයින් පසු වැලිවිට සිරි සරණංකර සංඝරාජයාණන් වහන්සේගේ අනුග්‍රහය ලැබීමෙන් නැවත කැලණියට පුනරුදයක් උදාවිය.

බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය සිදුවූයේ දුරුතු මාසයේය. ඒ අනුව කැලණි විහාරයේ වාර්ෂික පෙරහර ආරම්භ වන්නේ ද දුරුතු මාසයේදීය. සම්බුදු වසින් වසර 2553 ක් ගතව ඇති මෙම පුණ්‍ය භූමියෙහි පිහිටියා වූ උතුම් කැලණි චෛත්‍ය රාජයාණන් වහන්සේ අපි නමස්කාර කරමු.

ආයාචනාය මණි අක්ඛි මහෝරගස්ස
යස්මිං නිසීදි භගවා මණ්ඩපස්මිං
ස්සෝ පරිට්ඨිත වීතරාගං
කල්‍යාණ චේතිය මහං
සිරසා නමාමි

මණි අක්ඛිත නා රජුගේ ආරාධනාවෙන් භාග්‍යවතුන් වහන්සේ යම් තැනක මැණික් මණ්ඩපයෙහි වැඩ සිටියේද ඒ මත පිහිට වූ කැලණි චෛත්‍යයට මගේ සිරස නමමි.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.