Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අරහං බුදු ගුණය

මෙම සංසාර චක්‍රයේ අවිද්‍යාව එනම් චතුරාර්ය සත්‍ය පිළිබඳ නොදැනීම නමැති නාභියත්, ජරා මරණාදී දුක් නමැති නිම් වලල්ලත් සම්බන්ධ කරන උපාදාන, භව, ජාති ආදී දස අංගයෝ ගරාදි නම් වේ. මෙම සියලු අරයන් සිඳ බිඳ දැමූ බුදුපියාණන් වහන්සේ විද්‍යාව පහළ කළ සේක. සංසාර චක්‍රයේ අර සිඳලු හෙයින් බුදුපියාණන් වහන්සේ ‘අරහං’ නම් වන සේක.

නමෝතස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
ආරකත්තා හතත්තාච
කිලෙසාරීන සොමුනි
හත සංසාර චක්කාරො
පච්චයාදීන චාරහො
නරහො කරොති පාපානි
අරහං තං නමා මහං

පින්වත්නි,

සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ සර්වඥතා ඤාණය මහා සමුදුර සමානය. උන්වහන්සේගේ ගුණ නවයෙක් වේ. ඒ ගුණ නවය තථාගතයන් වහන්සේගේ සර්වඥතා ඤාණය නමැති මහා සමුදුරට එක්වන මහා ගංගා නවයක් බඳුය. මේ ගංගානවයෙන් කුමන ගංගාවකට බැස ස්නානය කළ ද එම අයගේ සකල ශරීරයම ශ්‍රද්ධාව නමැති සිසිල් ජලයෙන් පහස විඳියි. පහස විඳින එම අය බුදුපියාණන් වහන්සේගේ සර්වඥතා ඤාණය නමැති සාගරයට පිවිස සෝවාන් ආදී මඟඵල ලබමින් සැපතට පත්වේ.

නව අරහාදී බුදුගුණ මෙනෙහිකිරීමෙන් ලැබෙන ආනිශංසය බුදුපියාණන් වහන්සේ ධජග්ග සූත්‍රයේ මෙසේ දේශනා කර වදාළ සේක. “සචේ තුම්හාකං භික්ඛවෙ අරඤ්ඤගතානංවා රුක්ඛමූල ගතානංවා සුඤ්ඤාගාර ගතානංවා උප්පජ්ජෙය්‍ය, භයංවා ජම්භිතත්‍ථංවා, ලෝමහංසෝවා මමේව තස්මිං සමයේ අනුස්සරෙය්‍ය යාථ ඉතිපිසො භගවා අරහං... භගවාති.. මමං හිමෝ භික්ඛවේ අනුස්සරතං යංභවිස්සති භයංවා ජම්භිතත්‍ථංවා ලෝමහංසෝවා සෝ පහියිස්සති. තං කිස්ස හේතු? තථාගතෝ භික්ඛවේ අරහං සම්මා සම්බුද්ධෝ වීතරාගෝ, වීතදෝසෝ වීත මෝහෝ අභිරූ අච්ඡම්හි අපලායිති,” මහණෙනි, ඉදින් ඔබලා ආරණ්‍යතම හෝ රූක්‍ෂ මූලකට හෝ ශුන්‍යගාරයකට හෝ ගිය විට බියක් තැනිගැන්මක් ලොමු ඩැහැගැම්මක් වූයේ නම් එවිට ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදූ අනුත්තරෝ පුරිසධම්මසාරතී සත්ථාදේවමනුස්සානං බුද්ධො භගවා යනුවෙන් මා සිහි කරන්න. එවිට ඔබලාට යම් බිය ගැන්මක් තැති ගැන්මක්, ලොමු ඩැහැගැම්මක්වෙයිද එය පහව යන්නේ ය. ඒ කවර හෙයින්දයත් අර්හත් සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේ රාගය දුරුකළහ. ද්වේශය දුරුකළහ. මෝහය දුරුකළහ. එබැවින් තථාගතයන්වහන්සේ බිය නැත්තාහු ය. සිතෙහි තැතිගැනුම් නැත්තාහු ය. පලා නොයන්නාහු ය. මෙසේ බුදුගුණ මෙනෙහි කරන අයට පරලොව සැපත ලැබෙන අතර මෙලොවදීම එහි සුඛ විපාක ලබාගත හැකිබව බුදුපියාණන් වහන්සේ දේශනා කළ සේක.

මා විස්තර කිරීමට බලාපොරොත්තු වන්නේ බුදුපියාණන් වහන්සේගේ නව අරහාදී බුදුගුණයන්ගේ මුල්ම බුදුගුණය වන ‘අරහං’ බුදු ගුණය පිළිබඳවය. කෙළෙසුන් කෙරෙන් දුරුවූ හෙයින්ද, කෙළෙස් සතුරන් නැතිකළ හෙයින්ද, සංසාර චක්‍රයේ අර සිඳලූ හෙයින්ද සියලු ලෝකයාගේ ආමිස පූජා ප්‍රතිපත්ති පූජා පිළිගැනීමට සුදුසු වූ හෙයින්ද, රහසින්වත් පවු නොකළ හෙයින්ද බුදුපියාණන් වහන්සේ ‘අරහං’ නම් වන සේක.

බුදුපියාණන් වහන්සේ වාසනාගුණ සහිතවම කෙළෙසුන් කෙරෙන් දුරුවූ බැවින් ‘අරහං’ නම් වනසේක. වාසනා ගුණ සහිතව යනු සසර පුරුද්දය. ඒ සසර පුරුද්ද නිසාම උන්වහන්සේ අන්තිම ආත්ම භවයේ එනම් සිද්ධාර්ථ මහ බෝසතාණන් වහන්සේ තමන් වහන්සේගේ රාජ්‍ය සම්පත් හැර දැමීය. රම්‍ය, සුරම්‍ය, සුභ මාලිගා හැරදැමීය. තමන්ගේ දේවිය යසෝදරා හැරදැමීය. රහල්පුතු හැර දැමීය. ඇසට පෙනි පෙනී තිබූ සක්විති රාජ්‍ය බලය අතහැර දැමීය. බෝසත් චරිතය තුළම උන්වහන්සේ එම ආශාවන් දුරුකිරීමට සමත්වූහ.

බුද්ධගයා බෝධි මණ්ඩලයේදී සියලු කෙලෙසුන් නසා බුද්ධ රාජ්‍යයට පත්වූ සේක. මහ බෝසතාණන් වහන්සේ බුද්ධ රාජ්‍යයට පැමිණි බව නොදත් මාරයා බුදුපියාණන් වහන්සේ කෙළෙස් වසගයට ගැනීමට තැත්කළත් නොහැකිවූයෙන් අනන්ත වූ සොවින් පලාගියේ ය. මාරයා ශෝකභරිතව සිටීමට කරුණු විමසූ මාර දියණියන්ට මාරයා මෙසේ පැවසී ය.

අරහං සුගතෝ ලෝකෝ
නරාගේන සුවානයෝ
මාරධෙය්‍ය මතික්කන්තෝ
තස්මා සෝවාමහං භුසන්ති

ඒ සුගත තථාගතයන් වහන්සේ ලෝකයේ අර්හත් වූ සේක. රාගයෙන් බැඳ තබා ගැනීමට නොහැකි ය. උන්වහන්සේ මාගේ විෂය පථයන් ඉක්මවාගොස් මාර බන්ධනයෙන් මිදී ඇත. මා ශෝක කරන්නේ එනිසා ය.

මෙසේ මාර බන්ධනයෙන් හෙවත් කෙළෙසුන් කෙරෙන් දුරු වූ හෙයින් බුදුපියාණන් වහන්සේ ‘අරහං’ නම් වන සේක. කෙළෙස් සතුරන් නැසූ හෙයින් බුදුපියාණන් වහන්සේ ‘අරහං’ නම් වන සේක.

බුදුපියාණන් වහන්සේ කෙළෙස් සතුරන්ට තම චිත්ත සන්තානය තුළ ලැගුම් ගැනීමට ඉඩ නොතැබීය. දස මාර සේනා නමැති එම කෙළෙස් මාරසේනාව මුළුමනින්ම පරාජයට පත් කළ සේක. 1. ක්ලේශ කාමය, 2. අරතිය, 3. සා- පිපාසා දෙක, 4. තෘෂ්ණාව, 5. ථීන මිද්ධය, 6. බිය, 7. විචිකිච්ඡාව, 8. ගුණමකු බව, 9. ලාභ සත්කාර හා යසස, 10. තමන් උසස් කොට අනුන් පහත් කොට සිතීම මෙම දසමාර සේනාවන් මුළුමනින්ම නසාදැමූ බුදුපියාණන් වහන්සේ ‘අරහං’ නම් වන සේක.

සංසාර චක්‍රයේ අර සිඳලූ හෙයින් බුදුපියාණන් වහන්සේ ‘අරහං’ නම් වන සේක. සංසාර චක්‍රය යනු පටිච්ඡසමුප්පාදයයි. අවිජ්ජා පච්චයා සංඛාරා.... යනුවෙන් සඳහන් පටිච්ඡසමුප්පාදයේ මුලක්, මැදක් අගක් නැත. මෙම සංසාර චක්‍රයේ අවිද්‍යාව එනම් චතුරාර්ය සත්‍යය පිළිබඳ නොදැනීම නමැති නාභියත්, ජරා මරණාදී දුක් නමැති නිම් වලල්ලත් සම්බන්ධ කරන උපාදාන, භව, ජාති ආදී දස අංගයෝ ගරාදි නම් වේ. මෙම සියලු අරයන් සිඳ බිඳ දැමූ බුදුපියාණන් වහන්සේ විද්‍යාව පහළ කළ සේක. චක්ඛුං උදපාදි, ඤාණං උදපාදි පඤ්ඤා උදපාදී, විජ්ජා උදපාදි, ආලෝකෝ උදපාදි යනුවෙන් බුදුපියාණන් වහන්සේ දම්සක් පැවතුම් සූත්‍රයේ වදාළේ ද ඒ සියලු අරයන් සිඳලු නිසා ය. සංසාර චක්‍රයේ අර සිඳලු හෙයින් බුදුපියාණන් වහන්සේ ‘අරහං’ නම් වන සේක.

තුන්ලෝවාසීන්ගේ ආමිස ප්‍රතිපත්ති පූජා පිළිගැනීමට සුදුසු වූ හෙයින් බුදුපියාණන් වහන්සේ ‘අරහං’ නම් වන සේක. සත්තිස් බෝධිපාක්‍ෂික ධර්ම, අෂ්ඨවිද්‍යා පසළොස්චරණ ධම්ම, තෙසැත්තෑ ඤාණයන්ගෙන් පරිපූර්ණ වූ දෙතිස්මහා පුරුෂ ලක්‍ෂණයෙන්, අනන්ත වූ කරුණා මෛත්‍රියෙන් සමන්නාගත වූ බුදුපියාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධකර උතුම් බුද්ධරාජ්‍යයට පැමිණියෙන් තුන්ලෝවාසීන්ගේ ආමිස ප්‍රතිපත්ති පූජාවලට සුදුසු වූ සේක. ඒ බුදුපියාණන් වහන්සේ ‘අරහං’ නම් වන සේක. රහසින්වත් පව් නොකළහෙයින් ‘අරහං’ නම් වන සේක. බුදුපියාණන් වහන්සේ රහසින්වත් පව් නොකළ සේක. ජානුස්සෝනි බ්‍රාහ්මණයා බුදුපියාණන් වහන්සේගෙන් මෙසේ විමසීය. ‘භගවත් ගෞතමයන්වහන්ස, බ්‍රහ්මචර්යාවෙහි ඛණ්ඩ (කැඩුණු) ජිද්‍ර (සිදුරු ඇතිබව) ශබල (කබරගැසුණු බව) කල්මාෂ (පුල්ලි ගැසුණු බව) සිදුවන්නේ කෙසේද?

බ්‍රාහ්මණය, යම් කෙනෙකු සඳහා අඛණ්ඩවූ, අච්ඡිද්‍ර වූ, අශබලවූ, අකල්මාංශ වූ පරිශුද්ධ බ්‍රහ්මචරියාව රකින්නේ යයි කියතොත් ඒ මා සඳහා යයි බුදුපියාණන් වහන්සේ වදාළ සේක. මෙසේ හෙයින් රහසින්වත් තම චිත්ත සන්තානය තුළ පාපසිතුවිල්ලක් පහළ නොවන බැවින් බුදුපියාණන් වහන්සේ රහසින්වත් පව් නොකරන බැවින් ‘අරහං’ නම් වන සේක. මෙම ‘අරහං’ බුදුගුණයෙන් පරිපූර්ණ වූ සම්මා සම්බුදුපියාණන් වහන්සේට නමස්කාරය වේවා!

ඔබ සැමට තෙරුවන් සරණයි!


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.