Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

තලවතුගොඩ සංඝමිත්තා ආරාමය

සටහන හා ඡායාරූප - ජනක වෙත්තසිංහ


සිවු මුනි සෑය ගර්භයේ ඇති බුද්ධ ප්‍රතිමා වහන්සේ

සංඝමිත්තා ආරාමය භාවනා මධ්‍යස්ථානය, අංක 422, වැලිපාර, තලවතුගොඩ යන ලිපිනයෙන් හැඳින්වෙන නා ගස් පෙළකින් සෙවණ දෙන පිවිතුරු සුදුවැලි අතුල සක්මන් මඟ අතරින් මම ද මෙම පින්බිම වෙතට පිවිසෙමි. පිවිසුම් දොරටුවෙන් ඇතුළුවත්ම හිතට දැනෙන්නේ ආරක්‍ෂාව පිළිබඳ විශ්වාසයකි. කෙත්යායෙන් හමනා පවනේ සැලෙනා නා පත් ස්වරයේ සිහින් හඩත් සිසිලසත් සිත ප්‍රබෝධවත් කරන සුළු ය. මේ බිමේ ආරක්‍ෂාව පිළිබඳ වඩාත් අවධානය යොමුකර ඇත්තේ ආශ්‍රමයේ වැඩ වසන්නේ වයස අවුරුදු 18 ත් 35 ත් අතර තරුණ වයසේ පසුවන සිල් මාතාවන් නිසා ය.


සිවු මුනි සෑය

මේ භද්‍ර කල්පයේ උත්තරීතර සම්බුද්ධත්වය සාක්ෂාත් කළ කකුසඳ, කෝණාගම, කාශ්‍යප සහ ගෞතම නම් වූ සිව්මහා බුදුරජාණන් වහන්සේලාට පූජාවක් වශයෙන් ‘සිව් මුනි සෑය’ මේ පූජනීය බිමේ ඉදිවූයේ අපවත් වී වදාළ මඩිහේ පඤ්ඤාසීහ නා හිමියන්ගේ සංකල්පනාවක් අනුවය. මේ අපූරු නිර්මාණය නව සංකල්පයකි. සෑය ඇතුළත ගර්භයට පිවිසිය හැක. සිවුමහා බුද්ධ ප්‍රතිමා එතුළ නෙළා ඇත. උත්තරීතර වූ බුද්ධත්වයට පත්වන අවස්ථාවේ දෙව් බඹුන් කළ පූජාවන් ඇතුළුගර්භයේ මූර්තිමත් කර ඇත.

එම වෙල්යාය මායිමේ ජල තටාංගනයක් මධ්‍යයේ පිපෙන සියපත්, ඕලු පුෂ්පයන් ඉස්මත්තේ ආකර්ෂණීය ලෙස ඉදිවෙන ‘මහා ශ්‍රාවික ස්තූපය’ද සිවුමුනි සෑය සේම තවත් නැවුම් සංකල්පයකි. එය බුද්ධ ශාසනයේ උතුම් කාන්තා නියෝජනය වෙනුවෙන් කෙරෙන උපහාර තිළිණයක් සේය.

මෙහි ගර්භයට ද පිවිසිය හැක. මහා ප්‍රජාපතී ගෝතමී, ඛේමා, උත්පලවන්නා භද්‍රකච්චායනා නම් වූ මහ ථෙරණීන් වහන්සේලාගේ පිළිරූ කලාත්මක ලෙසින් එතුළ ඉදිවෙමින් පවතී. සිව්මුනි සෑයෙත්, මහා ශ්‍රාවිකා ස්තූපයේ සැළසුම් සකස්කර ඇත්තේ ක්ලැරන්ස් ගීගන නම් වූ දක්‍ෂ ඉන්ජිනේරුවරයකු විසිනි.

අමිත ගවේශී හිමියන්ගේ මූලිකත්වයෙන් 1986 වසරේ ආරම්භ කළ භාවනා මධ්‍යස්ථානයේ අධීක්‍ෂණය හා ගුරු උපදේශකත්වය ලබා දෙන්නේ බෝගොඩ ඉන්ද්‍රවිමල ස්වාමීන් වහන්සේ විසිනි.

වනසෙනසුනක සිරිය උසුලන සංඝමිත්තා ආරාමයේ එකිනෙක සමීපයේ තනා ඇති කුටිපෙළකි. ඒවා නම් කර ඇත්තේ මෙත්තා, මාලා, උපචාලා, ගෝතමී, ධම්මදින්නා වැනි පෙර රහත් ථෙරණීන් වහන්සේලාට උපහාර වශයෙනි. ආරක්‍ෂාවද නිදහසද සරල බව මෙන්ම ක්‍රමවත් බවද කරමින් මනා සැලසුමකින් මෙම කුටි පෙළ නිමවා තිබේ. ධර්ම සාකච්ඡාවේ යෙදීමට සීල සමාදානය පිණිස රැස්වීමට අවැසි පුළුල් ධර්ම ශාලාව වෙනම තනා තිබේ.


රහත් තෙරණින් වහන්සේගේ පිළිරුවක්

මෙහි ප්‍රධාන දසසිල් මාතාව පානළුවේ සතීමා ය. ජීවිතය පිළිබඳ කල කිරීමට වඩා යථාවබෝධයෙන් සහ සංසාර මඟ පුරුදු ඔස්සේ ඇය තාරුණ්‍යයේ සොඳුරු වයස කසාවතට පූජා කර තිබේ.


ඉදි වෙමින් පවතින මහා ශ්‍රාවිකා ස්තූපය

මෙහි එවැනිම තරුණ තවත් සිල් මාතාවෝ දස දෙනෙක් පමණ වැඩ වසති. ඔවුන් සියලුදෙනාම මනා අධ්‍යාපනයක් ලද තරුණියන් ය. භද්‍ර යෞවනය කසාවතට පරිත්‍යාග කළේ ජීවිතයේ තාවකාලික සුවය අතහැර මනා ජීවිතාවබෝධයෙන් සංසාර විමුක්තිය සොයායාමේ තිර අදිටනින් බව මේ තරුණ සිල්මාතාවෝ පවසති.

මේ භාවනා මධ්‍යස්ථානයේ ප්‍රමුඛව සිදු කෙරෙන්නේ මේ සිල් මාතාවන් වෙනුවෙන් පුළුල් ධර්මාවබෝධයත් භාවනාව පිළිබඳ මනා පරිචයක් ලබා දීම ය. ඒ සඳහා අවැසි ගුරු උපදේශකත්වය ධර්ම ග්‍රන්ථ පරිසීලනයට අවැසි පහසුකම්, ඉංගී‍්‍රසි, පාලි භාෂා පිළිබඳ දැනුම ඇතළු සියලු දෑ මේ ආශ්‍රමය තුළදීම සැපැයේ. සෑම මසකම පළමුව එළඹෙන සෙනසුරාදා දිනයේ දී උදේ 8 සිට සවස 5 දක්වා පැවැත්වෙන භාවනා අභ්‍යාස වැඩසටහනට ගිහි පක්‍ෂයට ද සහභාගී වීමේ අවස්ථාව ඇත. ගිහි කාන්තා පක්‍ෂයට නේවාසිකව භාවනා අභ්‍යාසයේ නියැලෙමින් ධර්මාවබෝධය ලබා ගැනීමට අවශ්‍ය සෑම පහසුකමක්ම මෙහි දී සපුරා දෙනු ලැබේ. කෑම බීම පවා ඔවුන් වෙනුවෙන් සැපයෙන්නේ නොමිලයේ ය.

මේ සියලු කාර්යයන් සිදු කෙරෙන්නේ සංඝමිත්තා ආරාමය සංගමය මඟින් කැපකරු දායක පින්වතුන්ගේ දායකත්වයෙනි. මෙහි පාලිකාව වන පි‍්‍රයංගා සමන් මලී හා උප පාලිකාව වන නීල නයනී හෙට්ටිආරච්චි යන මෙනවියෝ පරිපාලන කටයුතු මෙහෙයවති.

ආශ්‍රමයේ සිල් මාතාවෝ නිසි ධර්මාවබෝධය ලබමින් සංසාර විමුක්තිය සොයා යන ගමනේ දී අවට පාසල් විහාරස්ථාන වෙත පියනගමින් භාවනා වැඩසටහන් ධර්මදේශනා ධර්ම සාකච්ඡා පවත්වමින් බහුජන හිත සුව පිණිස ධර්ම චාරිකාවේ ද යෙදෙති.

තම ආදරණීය සෙනෙහස පිරි පවුලේ කැදැල්ලෙන් වෙන් වූ ආදරණීය දියණියන්ට කසාවත පෙරවීමට වරම් ලබා දෙන දෙමාපියන් පුරන්නේ ද මහා දාන පාරමිතාවකි. මේ මහා පරිත්‍යාගයට කෘතගුණ සැලකීමට සංවේදී වන මෙම භාවනා මධ්‍යස්ථානය ඔවුන් වෙනුවෙන් මහල් දෙකකින් යුතු ගිලන් හලක් ඉදිකරමින් පවතී. උඩුමහලේ පුස්තකාලයකි. පහත මාලය වෙන්වන්නේ සියලු පහසුකමින් සපිරි කාමර පෙළක් සඳහා ය. අද සමාජයේ සංවේදී ප්‍රශ්නයක් ව පවතින වියපත් දෙමාපියන් වැඩිහිටි නිවාසයන්හි ගාල් කරන වටා පිටාවක මෙහි තැනෙන ගිලන් හල වියපත් දෙමාපියන් හුදකලා නොකරයි. මෙහි කාමර පෙළ වෙන් වන්නේ මෙහි වැඩ වසන සිල් මාතාවන්ගේ පරිත්‍යාගශීලී දෙමාපියන් වියපත්වන විට රැක බලා ගැනීමටය.


ආවාස කුටි පෙළ


සක්මන් භාවනාවේ යෙදෙන සිල් මාතාවක්

සමහර විටෙක ගිහි දරුවන් දෙමාපියන්ට නොසළකා හැරියද සතර බ්‍රහ්ම විහරණයෙන් පෝෂණය වන මේ සිල් මාතාවෝ තම දෙමාපියන්ට ඇප උපස්ථාන කිරීම් උතුම් පින්කමක් බව අවබෝධයෙන් ම දැන ඒ පුණ්‍ය කර්මය තම දෑතින්ම සිදු කිරීමට නිරන්තරයෙන් පෙළඹෙති. එසේ නම් මේ පින්වත් දියණියන් සසුනට පිදූ පරිත්‍යගශීලී දෙමාපියන් කොතරම් භාග්‍යවන්තද? අ.පො.ස.සා.පෙළ, උසස් පෙළ සමත් අවුරුදු 15 – 35 අතර වයසේ පසුවන ජීවිතාවබෝධයෙන් දසසිල් වීමට කැමැති තරුණියන්ට මෙම භාවනා මධ්‍යස්ථානයේ දොරටු විවෘතව පවතී.

 

 

 


සිවු මුනි සෑය ගර්භයේ ඇති දේව පූජා මූර්ති

 

 


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.