UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

බද්දේගම මහගොඩ කන්ද ඉසිපතනාරාම විහාරස්ථානය


චෛත්‍යයේ දසුනක්

දකුණු ලක ගාලු දිස්ත්‍රික්කයෙහි බද්දේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බද්දේගම උතුර නයාපාමුල රමණීය ගම්මානයකි. කෙත්වතු තේවතු වලින් සරුසාර ගිංගඟ අසබඩ පිහිටි මෙගම මැද තිලකයක් හා සමාන මනරම් කඳු වැටියකි. ‘මහගොඩ කන්ද’. මෙම කඳු මුදුනෙහි සුපිහිටි විහාරස්ථානය ඉසිපතනාරාමයයි.

මෙම පිං බිමෙහි කුඩා කුටියක් සාදා විහාරස්ථානයක් ලෙස ආරම්භ වූයේ 1950 වසරේදීයි. ගරු යටලමත්තේ ඉන්දසර මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ මෙහි නිර්මාතෘවරයායි.

බාහිර පරිසරයට ඇලුම් කළ පරිසර හිතකාමී ඉන්දසර ලොකු හාමුදුරුවන් වහන්සේ විහාරස්ථානයක තිබිය යුතු ප්‍රථම පූජනීය ස්ථානය ලෙස චෛත්‍ය රාජයාණන් වහන්සේ ඉමහත් වෙහෙසක් දරමින් ගොඩනගන ලදී. මහගොඩ කඳු ශිඛරය මුදුනෙහි සුපිහිටි මෙම සෑරදාණන් බද්දේගම පුරවරයෙහි දසතින්ම අදත් දිස්වන්නකි. දුටුදන සැමගේ මනනුවන් සැදැහැ බැතියෙන් ඔප් නැංවෙන මෙම දසුන විහාරස්ථානයේ චමත්කාරය කියාපායි.

එදා කිසිදු ගමන් පහසුවක් නොමැති යුගයෙහි මේ ශාන්ත පරිසරය බවුන් වඩන යෝගාවචරයින්ට තෝතැන්නක් සේ සැළකූ ඉන්දසර හිමියෝ එහි කුඩා කුටියක භාවනානුයෝගීව ද ගත කළහ. ඒ සමඟම උන්වහන්සේගේ දැඩි ප්‍රයත්නය වූයේ පාරිභෝගික චෛත්‍යය වන බෝධි රෝපණය සඳහා යි. එය ද එම කඳු මුදුනෙහිම රෝපණය කිරීමට අදහස් කළ අතර අනුරපුර ජයසිරි මහ බෝ අංකුරයක් ගෙනවිත් උත්සව ශ්‍රීයෙන් රෝපණය කොට එහි බෝධි ආරක්‍ෂක පවුරක් ද තනවන ලදී. අද එම බෝ සෙවනේ දහස් ගණන් බැතිමත්හු බෝධිපූජා පවත්වමින් සෙත් ශාන්ති ලබති. මෙය මේ ප්‍රදේශයටම විශාල ආශීර්වාදයක් ගෙනදෙයි.


විහාර මන්දිරය

මෙහි පැමිණෙන බැතිමතුන්ගේ පහසුව සඳහා විශාල ධර්‍මශාලාවක් ද ගොඩ නගා ඇත. 1963 වසරේදී මහගොඩ කන්දෙන් නැගුණු බුදු සිසිලස තරමක් අඩු වන්නට වූයේ ඉසිපතනයෙහි නිර්මාතෘවර යටලමත්තේ ඉන්දසර හිමියන්ගේ අපවත් වීමත් සමඟයි. විවිධ අභියෝග ජයගත් නිර්භීත ගතිගුණවලින් හෙබි උන්වහන්සේ නොසිටින්නට මෙවන් පිං බිමක් කිසිදා ගොඩනැගිය නොහැකි බව අදත් ප්‍රදේශවාසී පැරැන්නෝ ප්‍රකාශ කරති. ඉන්පසු ඉසිපතනාරාමාධිපති ධූරයට පත්වූයේ උන් වහන්සේගේ එකම ශිෂ්‍ය ගරු අගලියේ ගුණානන්ද නාහිමිපාණන් වහන්සේයි. එවකට විශාල අඩුවක්ව පැවැති බුදු මැදුරක් සහ සංඝාවාස ගෘහයක් තැනීමට අදහස් කළ ගුණානන්ද හිමියෝ එවකට දානපතියෙකු ලෙස සුප්‍රකට ආර්.ඩී.ඒ.ද ලැනරෝල් මැතිතුමාගේ අවධානය මේ සඳහා යොමු කරවාගෙන විශාල සංඝාවාසයක් එතුමාගේ පරිත්‍යාගයෙන් ගොඩනංවන ලදී.

එසේම ධන පරිත්‍යාගශීලියකු වූ රුවන් වික්‍රමනායක මැතිතුමා විසින් ඉසිපතනාරාම විහාරස්ථානයට විශාල අඩුවක්ව පැවැති ඉතා අලංකාර බුද්ධ මන්දිරයක් ගොඩනගා පූජා කරණ ලදී. අදත් විශාල මැතිමත් පිරිසක් එම බුද්ධ මන්දිරය නරඹමින් වැඳුම් පිදුම් කිරීම විශේෂ ලක්‍ෂණයකි.

මෙම යුගයෙහි තවත් විශේෂත්වයක් වන්නේ යටලමත්තේ ඉන්දසර ලොකු හාමුදුරුවන් වහන්සේ මහගොඩ කඳු මුදුනේ ඉදිකළ බෝධිය චෛත්‍යය දේවාල එලෙසම එහි පවතින ලෙස සලසා මහජන පහසුව සඳහා සංඝාවාස ධර්‍මශාලා, බුද්ධ මන්දිර කඳු පාමුල ගොඩ නැංවීමයි.


සංඝාවාසය

වර්තමාන විහාරාධිපති ගරු අගලියේ ගුණානන්ද නාහිමියන්ගේ සංකල්පනාවකට අනුව මෙලෙස සිදු වුවත් කඳු මුදුනෙහි පිහිටි සිද්ධස්ථාන දැක වැඳ පුදා ගැනීමට අදත් දහස් ගණන් මහජනතාව පැමිනෙති. අද කඳු මුදුනටම වාහන යෑම සඳහා ගමන් මාර්ග පහසුකම් සහ විදුලි ආලෝකය සකසා ඇත. ශ්‍රී සුචරිතෝදය නමින් දහම් පාසලක් හා පෙරපාසලක් මෙහි ද පවත්වා ගෙන යන අතර සුචරිත අසරණ සරණ කැපකරු සේවාවක් ද මාස් පතා කර ගෙන යන පොදු පරාර්ථ අතරවේ. පරිපූර්ණ ඉතා චමත්කාර බොදු මහජනයාගේ හා සැදැහැවත් බව වඩන සිද්ධස්ථානයක් බවට පත්වී ඇත.

 

 

 

 

දුරුතු පුර අටවක පෝය

දුරුතු පුර අටවක පෝය දෙසැම්බර් 24 වන දා බ්‍රහස්පතින්දා පූර්වභාග 10.17 ට ලබයි. 25 වන දා සිකුරාදා අපරභාග 11.40 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 24 වන දා බ්‍රහස්පතින්දාය.

මී ළඟ පෝය දෙසැම්බර් 31 වන දා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

දෙසැම්බර් 24

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 31

Second Quarterඅව අටවක

ජනවාරි 07

New Moonඅමාවක

ජනවාරි 14

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]