Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බෝධීන් වහන්සේ හත් නමක් නිසා ඉදි වූ කළුබෝවිල හත්බෝධිය විහාරය

කෝට්ටේ යුගයේ සිට පැවැත එන බෝධීන් වහන්සේ හත් නමක් කුඩා වපසරියක් ඇතුළත එකිනෙක සමීපයේ රෝපණය වී ඇති අයුරු දැකීමත් ඉතා දුර්ලභ දර්ශනයකි.


බෝධීන් වහන්සේ දෙනමක්

එදා කුඩා භූමියෙක දක්නට ලැබුණු මේ බෝධීන් වහන්සේලාගේ දර්ශනය ප්‍රදේශවාසී බෞද්ධ ජනතාවට බැති සිත වඩවන විශේෂිත සිද්ධියක් විය.

ඒ නිසාම ප්‍රදේශවාසීහු නිබදව මේ ස්ථානයට ඇදී විත් අවට භූමිය සුද්ධ පවිත්‍ර කර බෝධීන් වහන්සේට පුද සත්කාර කිරීමට, බෝධි පූජා පැවැත්වීමට පෙළඹූහ.

කෙසේ හෝ අසාමාන්‍ය මේ බිම ක්‍රමයෙන් පුද බිමක් බවට පරිවර්තනය වීමේ ආරම්භය සිද්ධ වන්නේ මෙහි වූ බෝධීන් වහන්සේ හත් නම නිසාය.

කාලය මෙසේ ගෙවෙද්දී එළඹෙන්නේ 1937 වසර ය. බෝධීන් වහන්සේ හත් නම නිසා පුද සත්කාර ලද භූමිය 1937 වසරේදී විහාරස්ථානයක් බවට පත්වෙයි. එය ‘‘හත්බෝධිය විහාරස්ථානය’’ නමින් අද ද හැඳින්වේ. අද මේ භූමියේ ඉතිරිව ඇත්තේ බෝධීන් වහන්සේ පස් නමක් පමණි. කොහුවල සිට දෙහිවලට දිවෙන මාර්ගයේ කළුබෝවිල ජාතික රෝහළ පසු කළ විට ඒ ආසන්නයේ හත්බෝධිය විහාරය පිහිටා ඇත. කිරුළපනේ උපනන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි කළුබෝවිල විමලසිරි ලොකු හාමුදුරුවෝ මෙම විහාරස්ථානය ආරම්භ කළහ.

මෙම විහාර භූමියේ ඇති, වර්ෂ 1965 දී ඉඳිකළ ධර්ම මන්දිර ගොඩනැගිල්ල කාගේත් නෙත් එක්වරම පැහැර ගැනීමට සමත් මහල් පහකින් යුතු විසල් ගොඩනැගිල්ල කි. කළු ගලෙන් නිර්මිත සිරිපතුල් ලාංඡනයක් මෙහිදී දැක ගැනීමට ලැබේ.

පුස්තකාලය රැස්වීම් ශාලාව ආදියද ඇත්තේ මෙම පස් මහල් මන්දිරයේ ය.

විහාරස්ථානයේ ඉදිරියෙන් ඇති මදක් විසල් වූ චෛත්‍යය ඉදිවන්නේ 1984 වසරේදීය. මහා සුවිසල් බිමක නොවූවත් ලද ඉඩ මනාසේ කලමනාකරණය කර ගනිමින් ක්‍රමවත්ව ඉතා පවිත්‍රවත්ව දැකුම්කලු ලෙස සැකැසී ඇති හත්බෝධිය විහාරයේ දියුණුවට මූලික වී ඇත්තේ වර්තමාන විහාරාධිපති කණවරැල්ලේ කාශ්‍යප හිමියන්ය.


විහාරාධිපති කණවරැල්ලේ කාශ්‍යප හිමි

උන්වහන්සේගේ නිවැරදි මඟපෙන්වීම දායක කාරකාදීන් හා උන්වහන්සේ අතර වන අනන්‍යෝන්‍ය බැඳීම හා අවබෝධය විහාරස්ථානයේ ශීඝ්‍ර දියුණුවට දායකත්වය සපයා දී තිබේ. සුනාමි මහා ව්‍යසනයට ගොදුරුව හැඳිවත පවා අහිමිවූ අසරණයන් වෙනුවෙන් නිවාස ව්‍යාපෘතියක් උන්වහන්සේගේ මූලිකත්වයෙන් ඇරඹින. අද වන විට නිවාස 200 ක් පමණ සාදා මෙම අසරණ ජනතාවට පරිත්‍යාග කර තිබේ. එම සද් කාර්යය එතැනින් නිමා නොකර ඉදිරියට ද පවත්වාගෙන යාම විහාරස්ථානයෙන් සිදුවන සුවිසල් වූ සමාජ සේවයකි.

වසර 2500 බුද්ධ ජයන්තිය වෙනුවෙන් මීට වසර 53කට ප්‍රථමයෙන් 1956 වසරේදී ආරම්භවූ අටවිසි බුද්ධපූජා සහිත ධර්මදේශනා මාලාව මේ දක්වාම අඛණ්ඩව පවත්වාගෙන ඒමද විශේෂයකි.


මහල් පහකින් යුත් ධර්ම මන්දිරය

සෑම වෙසක් පුණ්‍යෙීත්සවයක් වෙනුවෙන්ම දින 14ක් පුරා පැවැත්වෙන ආගමික උත්සවයේදී ලංකාවේ ප්‍රකට ධර්ම දේශකයාණන් වහන්සේ 14 නමක් ධර්මදේශනා පවත්වති. මෙම උත්සවයට අවට ගම් දනව්වලින් මෙන්ම විවිධ ප්‍රදේශවලින් සුවිසල් පිරිසක් සහභාගී වෙති.

එසේම අසරණ දරුවන් වෙනුවෙන් වාර්ෂිකව කෙරෙනා ශිෂ්‍යත්ව ප්‍රදානයද විහාරස්ථානයෙන් සිදුවෙන වටිනා සමාජ සේවයකි. තවද දුෂ්කර දුර බැහැර ප්‍රදේශවල තරුණ භික්‍ෂූන් වහන්සේට නේවාසිකව තම අධ්‍යාපනික කටයුතුවල නියැලීමට මෙහි පහසුකම්ද සලසා දී තිබේ.

මෙසේ විවිධ සුබසාධන කාර්යයන් රැසකට මූලිකවී ඇති හත්බෝධිය විහාරස්ථානය අවට දරුවන්ගේ අධ්‍යාත්මය පෝෂණය කිරීමේ පවිත්‍ර චේතනාවෙන් ආරම්භ කර ඇති දහම් පාසල ඉතා සාර්ථක දහම් පාසලක් ලෙස ප්‍රකට ය.

මෙහි දරුවන් 500ක් පමණ දහම් අධ්‍යාපනයේ යෙදෙන අතර ගුරුවරු විසි දෙනෙක් පමණ උගන්වති. වසර දහයක් තිස්සේ දහම් පාසල් දරුවන් සහ ගුරුවරුන් වෙනුවෙන් නිල ඇඳුම්ද ප්‍රදානය කෙරේ. මෙය සිදුකෙරෙන්නේ විහාරස්ථානයේ ප්‍රබල දායකයකු වන කළුබෝවිල ලේක්හවුස් පුවත්පත් අලෙවි නියෝජිත ජේ.එම්. ආරියදාස මහතාගේ මූල්‍ය දායකත්වයෙනි. හත්බෝධිය විහාරස්ථානයේ මේ වන තෙක් පැවැතියේ ප්‍රධාන බෝධීන් වහන්සේ අබියසවූ කුඩා බුදු කුටියකි.

විහාරස්ථානයේ පරිපූර්ණත්වයට විශාල අඩුවක්ව පැවැති වෙනම විහාර මන්දිරයක් ඉදිකිරීමේ කාර්ය ඇරඹුනේ මීට වසරකට පෙර ය. ඒ සමඟම පිවිසුම් වාහල්කඩද ඉදි කර ඇත.

වර්තමාන ගෘහ නිර්මාණ ශිල්පී ලක්‍ෂණයන් හා පැරැණි සම්ප්‍රදායික සළකුණුද එකට මුසුකරමින් ඉදිකර ඇති බුදු මැදුර විහාරස්ථානයට නව ආලෝකයකි. නව විහාර මන්දිරයේ දොළොස් රියන් හිටි පිළිම වහන්සේ, සිතුවම් හා මූර්ති, නිර්මාණය සිදුවන්නේ ශාස්ත්‍රපති ඉඹුල්දෙනියේ මේධානන්ද හිමියන්ගේ නිර්මාණශීලී දෑතෙනි. නව විහාර කර්මාන්තය අද යුගයේ හැටියට අධිකව මුදල් වැයවන සුවිසල් ව්‍යාපෘතියකි. එහෙත් හත්බෝධී විහාරයේ ප්‍රබල කාර්යශූර දායක සභාවේ අනුග්‍රහයත් විශේෂයෙන් එහි සභාපති ව්‍යාපාරික ගාමිණී බණ්ඩාර දොඩන්වෙළ මහතාගේ නායකත්වයේ ශක්තියත් මෙම කාර්ය සාධනයෙහිලා ඉමහත් පිටුවහලක් වී තිබේ.


නව විහාර මන්දිරය

නව බුද්ධ මන්දිරය හා වාහල්කඩ විවෘත කිරීමේ පුණ්‍යෝත්සවය දින 5ක් පුරා පැවැත්වේ. මේ මස 1 වැනි දා සිට 5 වැනිදා අලුයම දක්වා තිස් පැය 7 ක පිරිත් දේශනාවක් පැවැත්වූ අතර දෙසැම්බර් මස 2 වැනි දින අලුයම බුද්ධ ප්‍රතිමාවහන්සේගේ නේත්‍ර ප්‍රතිස්ඨාපන පුණ්‍යකර්මය සිදු කෙරිණි. 5 වන දින සතාධික සංඝගත දක්‍ෂිණාවක් පැවැත්විණි.

 

 

 


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.