UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

බුදුරදුන් වදාළ සකසුරුවම

ලෝකය පුරා සමරන විවිධ ජාත්‍යන්තර දිනයන් අතර ඉතා වැදගත් හා ප්‍රායෝගිකව ජීවිත වලට සම්බන්ධ කරගත යුතු දිනය විශ්ව සකසුරුවම් දිනය බව කිව හැකිය. පරිහානියට පත් නොවී සිටීමට ඕනෑම පුද්ගලයෙකුට පවුලකට පමණක් නොව රටකටද මෙය පොදුවේ වැදගත් වන්නේය. විවිධ සමිති සමාගම් සංවිධාන මේ පිළිබඳව කොතෙකුත් වැඩසටහන් ක්‍රියාත්මක කරනු දැක්ක හැකිය. ඇතැම්විට සකසුරුවම් සමිති, ඉතිරි කිරීම් සමිති පවා මේ වෙනුවෙන්ම ක්‍රියාත්මක වන අවස්ථා ඇත. එහෙත් යථා පරිදි එයින් ප්‍රතිඵල ලද බවක් පෙනෙන්නට නැත. සාටෝප ජීවිත වලට වඩා වඩාත් හුරු වෙමින් පරිහානිය කරා මැ ළඟා වීමේ ප්‍රවණතාව එන්න එන්නම වැඩි වනු බැවින් තිලෝගුරු බුදුරජාණන් වහන්සේ මේ පිළිබඳව කර ඇති මග පෙන්වීම වඩාත් සුදුසුම පිළිවෙළ බව හැ‍ෙගන බැවින් ඒ ගැන සාකච්ඡා කිරීමට අදහස් කරමි.

ධනය ඉපයීමට වඩා අරපරිස්සමින් වියදම් කිරීම ඉතා වැදගත් වන්නේය. ලබන්නාවූ ආදායම මුළුමනින්ම පරිභෝජනය හා විනෝදය සඳහා වැය කරන තැනැත්තා කලකදී පසුතැවිලි වන්නේය. මේ ගැන පැහැදිලි කර බුදුහිමියන් උපයන ධනය මනා ලෙස කළමනාකරණය කිරීමට හොඳ අත්වැලක් සපයා ඇත. උපයන දෙය කොටස් හතරකට බෙදා පරිභෝජනය සඳහා ඉන් එක් කොටසක් පමණක් ගතයුතු බවත් කොටස් දෙකක් නම් ව්‍යාපාර කර්මාන්ත හා ජීවන කුසලතා වැඩිදියුණු කර ගැනීමට වැය කළ යුතු අතර ඉතිරි හතරෙන් එක හදිසි විපතකදී ප්‍රයෝජනයට ගැනීමට තැන්පත් කළ යුතු බවද උන්වහන්සේ වදාළහ.

ඒකේන භෝගෙ භුංජෙය්‍ය - ද්වීහි කම්මං පයෝජයේ
චතුත්ථංච නිධාපෙයිය - ආපදාසු භවිස්සති

මෙහිදී විචාර පූර්වකව සැලකිය යුතු කරුණක් ඇත. වර්තමානයේ සාමාන්‍ය පවුලක දිළිඳු මනුෂ්‍යයෙකු දිනකට උපයන කම්කරු කුලිය හෝ දවසේ ආදායම මේ ආකාරයෙන් බෙදා වෙන්කර ගත හැකිද යන ගැටලුව පෙනේ. මෙය ප්‍රායෝගික වන්නේ. රු.300/ ක් දිනකට උපයන අයකුට ඉන් රු. 75 කින් දවස ගත කළ හැකිද? දරු පවුලකට අසීරු අවස්ථාවකි. එහෙත් මෙහිදී එම අපහසුව ශක්තියක් බවට පත් කර ගැනීමේ උට්ඨාන සම්පදාව සිහියට ගත යුතුය. දවස සැලැසුම් කළ යුතුය. දිනකට යන වියදම් ගණන් බලා ලැයිස්තු ගත කිරීම පවුලේ සියලු දෙනා එක්වී කළ හැකිය. එහිදී අනවශ්‍ය වියදම් කපා හැර අවශ්‍යම වියදම් පිළිබඳව වැඩි සැලකිල්ලක් දැක්වීම කල්පනාවට ගත යුතුය. ලැබෙන ආදායම් හා අවශ්‍ය වියදම් අතර ඇති පරතරය පියවීම සඳහා සුදුසු වැඩපිළිවෙළ යෙදීමද පවුලේ හැමගේම දායකත්වයෙන් කළ හැකිය.

එම ඌණතාව පියවා ගැනීමට විකල්ප අමතර ආදායම් මාර්ග කෙරෙහි අවධානය යොමු කළ යුතුය. ගෙවතු වගා තුළින් මු‍්‍රළුතැන්ගෙට අවශ්‍ය පලාටික එළවළු ටික වඩාත් ප්‍රණීත ලෙස සපයා ගැනීම අපහසු නැත. විසිතුරු මල් වගාව, මසුන් වගාව, මී මැසි පාලනය, නිවසෙහි සිට කළ හැකි කුඩා ව්‍යාපාර සේවා සැපයීම්, කුඩා කර්මාන්ත ආදිය පිළියෙළ කර ගැනීමෙන් ආදායම් වැඩි කරගැනීම අපහසු නැත. එවිට ඉතිරි කිරීමේ කොටස සඳහා බාධාවක් නොවන්නේය. එහිදී බුදුන් වදාළ උට්ඨාන සම්පදා, ආරක්ඛ සම්පදා’ ඉතා වැදගත් වේ. ඒ සඳහා හොඳ මග පෙන්වීමක් පිණිස කල්‍යාණ මිත්තතාව ද ආර්ථික හැසිරවීම සඳහා සමජීවිකතාව ද කල්පනාවට ගත යුතුය.

ඒ පමණක් නොව තමන් ඉතිරි කරන දේ ඇපයට තබා ණය මුදල් ගැනීම වැනි මාර්ගයක නිවැරැදිව ක්‍රියාත්මක වූ විට දිළිඳුකම් පිටු දැකීමට අවශ්‍ය ශක්තිය ගොඩනඟා ගත හැකි වන්නේය. ධනය පමණක් නොව කාලයද අරපිරිමැස්මෙන් කළමනා කිරීමෙන් වඩා හොඳ ප්‍රතිඵල ලැබෙනු නියතය. මෙහිදී සම්මා වායාම, සම්මා ආජීව, සම්මා කම්මන්ත, පිළිබඳව බුදු හිමියන් දේශනා කළ දහම් කරුණු අතිශය ප්‍රායෝගිකය. වැදගත්ය. එහෙත් තෝරාගත් රැකියාව ක්‍රමානුකූලව අනලස්ව අවබෝධයෙන් හා ගරුත්වයෙන් ස්වාමි පක්ෂයට ලැදිව කළයුතු බවද බුදු හිමියන් පැහැදිලි කර ඇත. සිඟාලෝවාද සූත්‍රය, ව්‍යග්ගපජ්ජ සූත්‍රය වැනි දේශනා මෙහිදී වැදගත්ය. අරපිරිමැස්ම , ඉතිරිකිරීම නැතිවිට දිළිඳු බවට පත්වෙයි. සහජීවනය නැතිවෙයි. සතුට අහිමි වෙයි. එයින් පෞද්ගලිකව පමණක් නොව සමාජය තුළද අවුල් ඇතිවෙයි.

වැඩි වශයෙන් සොරකම වැඩි වන්නේ දිළිඳුකම නිසාය. දිළිඳුකම වර්ධනය වන විට සොරකම් වැඩි වන්නේය. (දිලිද්දියං වේපුල්ලගතෙ අදින්නාදානං වේපුල්ලංගමාසි) සොරකම වැඩිවන විට භයානක දරුණු අවි ආයුධ පරිහරණයද වැඩි වන්නේය. (අදින්නාදානං වේපුල්ලගතෙ සත්තං වේපුල්ලගමගමාසි) එහෙයින් දිළිඳුකම පිටුදැකීම යනු රටේ සමාජයේ සාමය සමෘද්ධිය සහජීවනය රැකීමට ගත යුතු ප්‍රධාන පියවර වනු ඇත. ඒ සඳහා අමාරුවෙන් ජීවත් වන අය තම ඉපයීම් සැපයුම් මට්ටමෙන් ඉහළට නංවා ගැනීම අවශ්‍යය. එයට ඇති මූලික ක්‍රියාමාර්ගය වන්නේ අරපරෙස්සම , සකසුරුවමට හුරුවීමයි. බොහෝ විට හොඳ ධනවත් පවුල් වල අය පරිහානියට පත්වී දිළිඳු වනු දැකිය හැකිය. එසේවීමට හේතු හතරක් බුදු හිමියෝ පෙන්වා දුන් සේක.

1. නට්ඨං න ගවේසෙන්තී (අහිමි වූ දෙය සොයා නොබැලීම)
2. ඡින්ණං න පටිසංකෙරොන්ති (දිරාපත් වූ දෙය පිළිසකර නොකිරීම)
3. අපරිමිත පාන භෝජනා හොන්ති (සීමාවක් නැතිව ආහාරපාන සඳහා වියදම් කිරීම)
4. දුස්සීලං ඉත්ථිවා පුරිසංවා ආධිපච්චේ ධජෙනි (දුස්සීල වූ ස්ති‍්‍රයකු හෝ පරුෂයෙකු ප්‍රධානියා ලෙස තබා ගැනීම)

මෙම කාරණා ගෙදරකට සංවිධානයකට ආයතනයකට පමණක් නොව රටටම වුවද සාධාරණය. එසේම ගේ දොර වියදම් සඳහා වෙන් කළ කොටස වුවද මුළුමනින්ම වැය කිරීම සුදුසු නොවේ. ශත ගණනක් හෝ කැටයකට දැමීම, පිසීමට මැනගත් සහල් වලින් මිටක් වෙනම මුට්ටියකට දැම්ම වැනි සිරිත් ඉතා වැදගත්ය. ප්‍රයෝජනවත්ය. සහල් සෝදන තැන කොටසක් බිම හැලී ඇත්නම් මිරිස් ගල යට මිරිස් කරල් දෙක තුන හැලී ඇත්නම් එතැන සකසුරුවමක් නැත. එපමණක් නොව ප්‍රයෝජනයට ගන්නා ඕනෑම දෙයක් ගණන් හිලව් ඇතිව කිරීම අවශ්‍යය. ඇතැම් නිවෙස්වල මුදල් ගනුදෙනු කලායින් පසු කළේ කුමක්දැයි සිතාගත නොහැකිය. තිබුණු මුදලට වුණේ මොනවාද කියා පසුතැවිලි වන්නේය. පරිභෝජනයට ගන්නා සෑම දෙයක්ම එසේ ගත යුතු වන්නේ ප්‍රමාණයක් ඇතිවයි. සහල් ලිප තබන විට ඒ සඳහා ගත යුත්තේ මැනලාය. තැන්පත් කරන විට කළ යුත්තේද ගණන් ඇතිවය.

මිතං ධඤ්ඤාං නිදාපේති මිනංච සරේ ධාන්‍ය තැන්පත් කිරීම හා පරිභෝජනයට ගැනීම ප්‍රමාණයක් ඇතිව කළ යුතු බව මින් පැවසේ. ඇඳුම් පැළඳුම් වුවද සුළු හේතුවක් නිසා ඉවත දැමීම සුදුසු නැත. වරින් වර විවිධ අවස්ථා වල ප්‍රයෝජනයට ගෙන අවසානයේ නිදාගන්නා තැන පාපිස්නාවට ගත හැකි බව බුදුහිමියන් පෙන්වා දී ඇත. මේ අනුව ධනය උපයනවාට වඩා අවධානය යොමු කළ යුත්තේ මේවා වියදම් කිරීමේ පිළිවෙළ ගැන බව පැහැදිලි වේ. මේ පිළිබඳව බුදුහිමියන් නොයෙක් වර බොහෝ පැහැදිලි කිරීම් කර ඇත. දනට පිනට මෙන්ම කෑමට බීමට යුතුකම් ඉටු කිරීමටද කල්පනාකාරීව විචාර පූර්වකව වියදම් නොකළොත් පසුතැවීම් වීමට සිදුවනු නොඅනුමානය.

උඳුවප් පුර අටවක පෝය

උඳුවප් පුර අටවක පෝය නොවැම්බර් මස 24 වනදා අඟහරුවාදා අපරභාග 01.55 ට ලබයි. 25 වන දා බදාදා අපරභාග 04.13 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 24 වන දා අඟහරුවාදාය.
 
මීළඟ පෝය දෙසැම්බර් 1 වන දා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

නොවැම්බර් 24

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 01

Second Quarterඅව අටවක

දෙසැම්බර් 09

New Moonඅමාවක

දෙසැම්බර් 15

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]