UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

අනාගත පරපුරේ පෞරුෂය ගොඩනැඟීම

මිනිස්සු මෙන් ම තිරිසන් සත්තු ද ජීවත්වීමට කැමැති වෙති. කිසිවෙක් තම ජීවිතයට හානි පැමිණීමේ දී ඊට කැමැත්තක් නොදක්වති. ජීවිතය තමා විසින් ම හානියට පත්කර ගැනීමට ද අකමැති වෙති. මානව වර්ගයාගේ මෙන්ම සතුන්ගේ ද පොදු ලක්ෂණය මෙය වුවත්, ඇතැම් අවස්ථාවලදී තම ජීවිතය, තමා විසින් ම විනාශයට පත්කර ගැනීමේ අවස්ථා පිළිබඳ ද තොරතුරු ලැබෙයි. මෙය මිනිසා තුළ විද්‍යාමාන, පොදු, සාමාන්‍ය තත්ත්වයෙන් ඔබ්බට ගිය ක්‍රියාවකි.

පසුගිය දිනක පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයකට අනුව ශ්‍රී ලංකාවේ දිනකට සියදිවි නසා ගැනීමේ සංඛ්‍යාව දොළහකි. ශ්‍රී ලංකාව වැනි ජීවිතයේ අගය කියන, යහපත් ජීවන දර්ශනයකින් හෙබි, බෞද්ධ දර්ශනය ක්‍රියාත්මක වන රටක, මෙවැනි සිදුවීම් ශෝචනීයය. ජනගහනයෙන් බහුතරයක් බෞද්ධයන් ජීවත්වන රටක් හැටියට, ශ්‍රී ලංකාව වැනි රටක, සිය දිවි නසාගැනීම් සංඛ්‍යාත්මක වශයෙන් වර්ධනයක් පෙන්වීමෙන් පැහැදිලි වන්නේ සමස්ත ජන සමාජය තුළ විශාල මානසික අවපාතයක්, පෞරුෂ පිරිහීමක් පිළිබිඹු වන බවයි.

ගත වූ දෙමසක පමණ ඇතුළත කාලය තුළ මාධ්‍ය තුළින් අනාවරණය කළ ඇතැම් දිවි නසාගැනීම් සම්බන්ධ වාර්තා කෙරෙහි අවධානය යොමු කිරීමේදී පාසල් ප්‍රජාව දැඩි මානසික පීඩනයකට හසුව ඇති බවක් පෙන්නුම් කරයි. තම ජංගම දුරකථනය පාසල තුළ පරීක්ෂාවට ලක් කළා යැයි කියන සිදුවීමට මුහුණ දීමට ඇති නොහැකියාව නිසා තමාගේම ටයි පටියෙන් ගෙළ වැළලා ගත් සිසුවිය බකමුණ ප්‍රාදේශයේ විද්‍යාලයක සිසුන් කීප දෙනෙකු එක්තරා ඇට වගයක් කා දිවි තොර කර ගැනීම, මහනුවර පිළිමතලාව ප්‍රදේශයේ දී නව යොවුන් වියේ පාසල් දරුවන් දෙදෙනකු අඩි 300 ක පමණ ප්‍රපාතයකින් පැන දිවි තොර කර ගැනීම, පන්ති කාමරය තුළ දී දඬුවමකට ලක් වූ ශිෂ්‍යාවක් එය දරාගත නොහැකිව සිය දිවි නසා ගැනීම, පේ‍්‍රම සම්බන්ධතාවට මවුපියන් හරස්වීම නිසා දෙදෙනෙක් එකම ස්ථානයක ගෙළ වැළලා ගැනීම වැනි සිදුවීම් බොහෝ දෙනාගේ අවධානයට ලක් වූ ඒවා ය. ඇතැමකුට මේවා හුදෙක් ප්‍රවෘත්ති පමණක් විය හැකි ය. එහෙත් ස්වල්ප වූ හෝ බුද්ධියක් ඇති අයකුට මේවා ප්‍රවෘත්ති පමණක් ‍ෙනාවේ, සමාජ ගමන් මඟ පිළිබඳ අනාවරණය කරන එක් පැතිකඩකි.

පාසල් වියේ පසු වන වයස් කාණ්ඩයේ දරුවන් තුළ පමණක් නොව, වැඩිහිටි ජන සමාජය තුළ ද සදාචාරාත්මක පරිහානිය වර්ධනය වෙමින් පවතින බවට සාධක තිබේ. කාමුකත්වයෙන් ඔද වැඩීම නිසා තම දරුවන් දූෂණයට ලක් කරන මවුපියන් ගැන, සිය ස්වාමි දියණිය අශිලාචාර ලෙස ස්වකීය අභිලාෂ සපුරා ගැනීමට යොදා ගැනීම, කාමුකයන් සඳහා දරුවන් මුදලට විකිණීම, බේබදුකම, සිය ධනය , නිලය බලය අනිසි ලෙස යොදාගෙන කාමාපරාධ ඇතුළු සදාචාර විරෝධී ක්‍රියාවල යෙදීම වැනි ක්‍රියාවල වර්ධනයක් පෙන්නුම් කරයි. යම් සමාජය තුළ මෙවැනි සදාචාර විරෝධී ක්‍රියාවල වැඩිවීමක් ඇත්නම් එයින් ප්‍රකට වන්නේ එකී සමාජයේ වැඩිහිටි පුද්ගලයන්ගේ පෞරුෂයේ බිඳ වැටීම යි.

‘පෞරුෂය’ යන්න, පුළුල් අර්ථයක් ඇති වචනයකි. මනෝ විද්‍යාඥයන්, මානව විද්‍යාඥයන් හා සමාජ මනෝ විද්‍යාඥයන් මේ පිළිබඳ විවිධ අර්ථකථන ඉදිරිපත් කොට තිබේ. සංක්‍ෂේප වශයෙන් ගත්විට පුද්ගලයකුගේ කායික, මානසික, චිත්තවේගීය සමාජමය හා සදාචාරාත්මක වර්ධනයේ සමුච්චය, පෞරුෂය වශයෙන් සැලකීමට හැකිය. පෞරුෂය, නිතර වැඩෙන දෙයකි. සකස් කළ හැකි දෙයකි. පවුල නෑකම පාසල, ආගමික ස්ථාන, දේශපාලන සංවිධාන, ජනමාධ්‍යාදී ආයතන පුද්ගල පෞරුෂ වර්ධනයට සෘජු ලෙස බලපාන ආයතන වේ. පවුලක සාමාජිකයකු හැටියට ජීවිතය අරඹන මිනිසා, මේ ආයතන හරහා තම ජීවිතය ගොඩනගා ගනියි. අර්ථවත් ලෙස මෙම ආයතන ක්‍රියාත්මක වන ඕනෑම සමාජයක ශ්‍රේෂ්ඨ පෞරුෂ ඇත්තෝ බිහි වෙති. ඊට කදිම සාක්ෂියක් අපේ රටේ ඉතිහාසය අපට පෙන්වා දෙයි. එක්තරා අවදියක මේ රට සහලින් ස්වයංපෝෂිතව පැවතිණි. සුරාව, සූදුව ජනතාවට වස විෂ මෙන් සලකන ලදී. එකිනෙකා අතර තරගයක් නොවී සහයෝගීව නැගී සිටීමට ක්‍රියා කළහ. එබැවින් රටවැසියා තෘප්තිමත් ජීවිත ගත කළේ ය. එහෙත් වර්තමානයේ ඒ තත්ත්වය වෙනස් වී තිබේ. මෙය වසර ගණනාවක් තුළ බලපෑ යම් යම් හේතුන්ගේ ඵලයක් මිස විප්ලවීය ස්වරූපයෙන් සැණෙකින් සිදු වූ දෙයක් නොවෙයි. වර්තමානයේ ජීවත්වන අප විසින් කළ යුතු වන්නේ, සිදුවන අසභ්‍ය, අශිලාචාර හා සමාජ විරෝධි සිදුවීම් දෙස බලා තැවීම නොවෙයි. එවැනි ස්වභාවයක් ජන සමාජය තුළ ගොඩනැගීමට තුඩු දුන් හේතු විමසා බලා ඒවා සමාජයෙන් තුරන් කිරීමට ක්‍රියා කිරීම යි. අප විසින් කළ යුතුවන්නේ. බෞද්ධ දර්ශනයට අනුව මිනිසාට ඇති ප්‍රබලතම වස්තුව, ඔහු සතු මනස යි. පුද්ගල චර්යා තීරණය වන්නේ, මානසික ස්වභාවයට අනුව භ.’මනෝ පුබ්බංගමා ධම්මා’ යනුවෙන් ඒ බව දක්වා තිබේ. සෙසු සත්වයන් හා සසඳන විට මිනිස් මනසෙහි සුවිශේෂි ලක්ෂණයක් වන්නේ, ඉතා ඉක්මනින් වෙනස්වීමේ හැකියවක් තිබීම යි. හිතේ හැසිරීම තීරණය කරනු ලබන්නේ, සිතිවිලි වලිනි. සිතිවිලි, යහපත් හා පිරිසුදු වන විට, සිත ප්‍රසන්න වෙයි. ප්‍රසන්න සිතක් ඇත්තාගේ වදන් ද අර්ථවත් ය. මිහිරි ය. සිතිවිලි අප්‍රසන්න වූ තැනැත්තාගෙන් පිටවන වචන මිහිරි හෝ අර්ථසම්පන්න විය නොහැකි ය. ඔහුගේ ක්‍රියාකාරකම් ද තමාටත් අන් අයටත් අහිතකර පිණිසම පවතියි.

අංගුත්තර නිකායේ රෝග සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ, මිනිසාට වැළඳෙන රෝග දෙකක් පිළිබඳ සඳහන් කරති. කායික රෝග හා චෛතසික රෝග යන ඒ දෙක යි. මේ දෙකෙන් වඩා බලවත් වන්නේ, චෛතසික රෝගයි. යම් කෙනකුට, කායික රෝගයකින් තොරව සිය ජීවිත කාලයම සිටිය හැකි වුවත් චෛතසික රෝගයකින් තොරව ඇසිල්ලක්වත් ගත කළ නොහැකි ය. කායික රෝග හඳුනාගත හැකි වුවත්, චෛතසික රෝග හඳුනා ගැනීම පහසු නොවෙයි. සිරුරට අහිතකර විෂබීජයක් ස්පර්ශ වීමෙන් හෝ ශරීරගත වීමෙන් සිරුර ලෙඩ කරන්නා සේ අයහපත් අරමුණක් ඉඳුරන් හා ගැටීම නිසා සිත රෝගී බවට හැරෙයි. ආශාව, තරහ හා මුලාව සිත අතිශය දුර්වල කිරීමට හේතු වන දරුණුතම විෂබීජ ය. ධර්මයේ අකුසල මුල ලෙස මේවා හඳුන්වා තිබෙයි. කෙලෙස් මුලසුන් නොකළ හැමදෙනා තුළම මේවා විවිධ මට්ටම්වලින් පවතියි. රාගාදී කෙලෙස් සිතිවිලි ක්‍රියාත්මක වන්නේ ද විවිධ ස්වරූපයෙනි. සියල්ල තමා සතුකර ගැනීමට සිතීම, අන් සතු වනු දැක්වූ නො ඉවසීම, ලද දෙයින් තෘප්තිමත් නොවීම, අනෙකකුගේ සතුට - සැපත නො ඉවසීම වැනි විවිධ ස්වභාව වලින් ප්‍රකට වන්නේ, සිතක පවතින ලෝභය හෙවත් ආශාව යි. තවත් කෙනකුගේ දියුණුව නො ඉවසීම, සතුට හා ලාභය දැක ඉවසා සිටිය නොහැකි වීම ඊර්ෂ්‍යාවයි. එය ද්වේෂය මුල්කරගෙන උපදින ක්ලේශයකි. අනෙකකුගේ ජයග්‍රහණය හමුවේ අවලාද නැගීම, අභූත චෝදනා එල්ල කොට, ඔහු විනාශ කිරීමට තැත් කිරීම, චරිත ඝාතනය කිරීම, ප්‍රශංසාවට භාජනය වන්නන් කෙරෙහි අප්‍රසාදය ඇති කිරීමට කුමන්ත්‍රණය කිරීම වැනි හැසිරීම්වලට යොමු වන්නේ, තම සිත තුළ උපදින ද්වේෂය නිසාය.

මුළාව හෙවත් මෝඩකම, ඉතා භයානක සිතිවිල්ලකි. පුද්ගල ජීවිතය පහතට ඇද දමමින් ඔහු නොමඟ යවා ජීවිතය විනාශ මුඛයට රැගෙන යෑම අණුවනකමේ ස්වභාවය යි. සිය දිවි නසා ගැනීම කළ දරුවන්ගේ ස්වභාවයත්, විවිධ අපචාර කටයුතුවලට නැඹුරු වූ වැඩිහිටියන්ගේ ස්වභාවයත් විමර්ශනය කිරීමේ දී පැහැදිලි වන්නේ ඒ හැම දෙනාම ‍ෛචතසික රෝග උත්සන්න වූ පිරිසක් බව යි. කෙනකුගේ චෛතසික රෝගී ස්වභාවය තවත් අයකුට හඳුනා ගැනීම, අපහසු ය. එය හඳුනාගත හැකි වන්නේ, ඔහුගේ හැසිරීම හා කථාබහ පිළිබඳව පරීක්ෂාවෙන් සිටීමෙනි. අප ජීවත්වන වත්මන් සමාජයේ වයස් භේදයකින් තොරව හැම දෙනා තුළම චෛතසික රෝග උත්සන්න කරවීමට සමත් විවිධ බලවේග ක්‍රියාත්මක වන බව පෙනෙයි.

‘මතට තිත’ වැඩසටහන, ඇතැම් ජනමාධ්‍ය ආයතන වසා දැමීමට නියෝග දීම, පාසල් බස් රථවල අශෝභන කැසට්පට භාවිතය අත්හිටුවීම, සිඟිති දරුවන් සිටින මවුවරුනට විදේශගතවීම තහනම් වීම, ජංගම දුරකථන භාවිතය පාසල තුළ තහනම් කිරීම, අසභ්‍ය වෙබ් අඩවි හා චිත්‍රපට ප්‍රදර්ශනය කිරීමට තහනම් කිරීම වැනි ක්‍රියා මාර්ග ගැනීමට රජයට සිදුවූයේ සංවිධානගත බලවේගවල ශක්තිය දුර්වල කොට වර්ධනය කිරීමට යි. නීතියට පමණක් ඉඩ දී බලා සිටීමෙන් සියල්ල විසඳාගත නොහැකි ය. මවුපියන්, ගුරුවරුන් හා අනෙකුත් සමාජ ශෝධකයන් විසින් ජන සමාජය තුළ දළුලන මෙවැනි සංවිධාන දුර්වල කිරීම සඳහා කළ යුතු බොහෝ දේ තිබේ. ජාතක පොතේ එන මහිලාමුඛ ජාතකය, වත්මන් ජන සමාජයට කදිම පාඩමක් උගන්වයි. විනීත කීකරු මහිලාමුඛ නම් රජතුමාගේ මංගල ඇතා - අකීකරු ස්වභාවයක් දැක්වූ බැවින්, රජතුමා ඒ පිළිබඳ පරීක්ෂා කිරීමට භාර කරන්නේ, පුරෝහිත බහුණාට යි. ඇතාගේ හැසිරීමේ හදිසි වෙනස්කම් පරීක්ෂා කිරීම සඳහා බෝසත් පුරෝහිත බමුණා පියවර තුනක් අනුගමනය කරයි. සතුන් පරීක්ෂා කරන වෛද්‍යවරු කැඳවා ඇතාට කායික රෝගයක් වැළදී ඇත්දැයි පරීක්ෂා කරවයි. ඒ පළමු පියවරයි. ඇත්ගාල භාර ඇත්ගොව්වන් කැඳවා, ඇත්ගාල අවට පරිසරය පරීක්ෂා කරවීම, දෙවැනි පියවරයි.

තමා තුළ වූ අත්දැකීම භාවිතයට ගැනීම තෙවැනි පියවරයි. රාත්‍රී‍්‍රකාලයේ මං පහරන සොරුන් විසින් ඇත්ගාල අවට සිට කථාබහ කරන ලද අසභ්‍ය වචන නිසා ඇතා අකීකරුව ඇති බව වටහා ගත් පුරෝහිතයා තපස්වරුන් කැඳවා ඇතාට ඇසෙන්නට සහ්‍ය වචන කතා කරවන ලෙස උපදෙස් දෙයි. ඒ තුළින් ඇතා පුනරුත්ථාපනය වෙයි. මහිලාමුඛ ජාතකයෙන් අපට ද මඟක් පෙන්නයි. සමාජගත පුද්ගලයන්ගේ හැසිරීම් පිළිබඳන අවධානය යොමු කරවීමට ළමා අවදියෙන් දරුවා නව යොවුන් වියට එළඹි පසු දරුවා ගැන තවත් විවසිලිමත් වීම උවමනා නැතැයි සිතන මවුපියෝ, බොහෝ දෙනෙක් අද සමාජයේ සිටිති. කායික විපර්යාසයකට පත් වූ නව යෞවනයාට තම සිරුරේ ඇති වූ වෙනස්කම් පිළිබඳ ඇත්තේ කුතුහලයකි. ඒ පිළිබඳ මිතුරන් සමග ඔහු කතා කරයි. අදහස් හුවමාරු කර ගනියි. සිරුර හැඩවැඩ කිරීම, මිතුරන් ඇසුරට දැඩි කැමැත්තක් දැක්වීම, ආදරය කිරීමට හා ආදරය ලැබීමට ඇති කැමැත්ත, මව්පියන්ගෙන් ක්‍රමයෙන් ඈත් වී මිතුරන්ට එකතුවීම, සංයුක්ත චින්තනයෙන් තර්කානුසාරී චින්තනයට ප්‍රවේශ වීම, කැපී පෙනීමට ඇති කැමැත්ත, තමන්ට සියල්ල කළ හැකිය යනු මානසිකත්වය වැනි ලක්ෂණ රාශියක් නව යෞවනයා තුළ ගොඩනැගෙයි. තම සම වයසේ අය ඉදිරියේ අවමානයට ලක්වීමට ඔහු කැමැත්තක් දක්වයි. පියවරෙන් පියවර තර්ක කරමින් ගැටලු විසඳීමට පෙළඹෙයි.

ඉඳුරන් පිනවීමට දැඩි කැමැත්තක් දක්වන බැවින්, මුලා වී විනාශයට යෑමට ඇති ඉඩ ප්‍රස්ථාව අධික ය. නව යොවුුන් වියේ දරුවන් තුළ ඇති වන මේ වෙනස වටහා ගැනීමට බොහෝ මවුපියන් අසමත් වීම නිසා, දරුවන්ගේ හැසිරීම් සම්බන්ධයෙන් ගනු ලබන ඇතැම් තීරණ, දරුවාට අහිතකර ලෙස බලපායි. ඉච්ඡා භංගත්වය, අසහනකාරී බව, ආත්ම විශ්වාසය බිඳවැටීම වැනි තත්ත්ව නව යොවුන් වියේ දරුවන් තුළ දුර්වල මානසිකත්වය නිසාම බොහෝ දෙනෙක් තම ජීවිතවලින් පලා යෑමට උත්සාහ කරති. ඒ සම්බන්ධයෙන් දරුවන්ට දොස් තැබීම පසෙකලා මහිලාමුඛ ජාතකයෙන් පෙන් වූ ආකාරයට මවුපියන් තම දරුවන්ගේ චෛතසික ස්වභාව හදුනා ගැනීමට උත්සාහ කිරීම ඵලදායි දරුවකු සමාජයට දායාද කිරීම සඳහා වන වැදගත්ම පියවරක් ලෙස සැලකිය හැකි ය. පැරැණි අධ්‍යාපන ක්‍රමය තුළ දරුවාගේ පෞරුෂය ගොඩනැගීමට උවමනා දැනුම දීම හා ප්‍රායෝගික ක්‍රියාකාරකම් පාසල තුළ දී ක්‍රියාත්මක වුවත් විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයක් පවතින වර්තමාන පාසල් අධ්‍යාපනය තුළ එවැන්නක් අපේක්ෂා කළ නොහැකි ය. එබැවින් වත්මන් සමාජයේ දරුවාගේ පෞරුෂ සංවර්ධනයේ කාර්යය, මවුපියන් සතු එකක් වීම අනිවාර්ය විය යුතු ය.

 

උඳුවප් පුර අටවක පෝය

උඳුවප් පුර අටවක පෝය නොවැම්බර් මස 24 වනදා අඟහරුවාදා අපරභාග 01.55 ට ලබයි. 25 වන දා බදාදා අපරභාග 04.13 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 24 වන දා අඟහරුවාදාය.
 
මීළඟ පෝය දෙසැම්බර් 1 වන දා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

නොවැම්බර් 24

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 01

Second Quarterඅව අටවක

දෙසැම්බර් 09

New Moonඅමාවක

දෙසැම්බර් 15

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]